මෙරට සමස්ත දේශීය සහ විදේශීය ණය ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මස වන විට, රුපියල් ට්‍රිලියන 30.9ක් යැයි කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ඊයේ (11දා) පැවසීය.
ඊට දේශීය ණය ට්‍රිලියන 19.6 ක්ද විදේශීය ණය ට්‍රිලියන 11.3 ක්ද ඇතුළත් බව පසුගිය දිනෙක 27(2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අසනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේය.
වත්මන් ආණ්ඩුව පත්වූ පසුව පසුගිය අගෝස්තු මාසය වන විට ලබාගෙන ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 1393ක් බවත් විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 526ක් බවත් කී ඇමැතිවරයා එම විදේශීය ණය වර්ගීකරණය කළ විට ද්වී පාර්ශ්වීය ණය ප්‍රමාණය ට්‍රිලියන 3.3 ක් සහ බහු පාර්ශ්වීය ණය ට්‍රිලියන 4.2ක්, ස්වෛරී බැඳුම්කර ට්‍රිලියන 3.1ක්, කාලීන ණය පහසුකම් ට්‍රිලියන 0.7ක් බවද කීය.
පසුගිය වසරේ රජය ගෙවූ ණය ප්‍රමාණය ණය වාරික රුපියල් බිලියන 310ක් සහ පොලිය බිලියන 211ක් ලෙස රුපියල් බිලියන 521 ක් බවත්, දේශීය ණය වාරික 5391 ක් සහ පොලිය 1340 ක් වශයෙන් රුපියල් බිලියන 6731 ක් බවත් හෙතෙම සඳහන් කළේය.
ඉදිරි වසර පහක කාලය තුළ රජයේ ආර්ථික වර්ධන වේගය අවමය සියයට 4.5 ක මට්ටමක පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා කීය.
( divaina | අකිත පෙරේරා)




