ප්‍රධාන ජනපතිවරණ පොරොන්දු 30කින් 10ක් නොවැම්බර් වන විට ඉටුකර අවසන්.
තවත් 10ක් ක්‍රියාත්මක වෙමින් ඇත.
2026 අයවැයත් සමග Manthri.lk, අනුර මීටරය අලුත් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය ජනාධිපතිවරණයේදී ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30 න් පොරොන්දු 10ක් පසුගිය නොවැම්බර් මාසය වනවිට ඉටුකර ඇති බවත් තවත් පොරොන්දු 10 ක් ඉටු කිරීම ආරම්භ කර ඇති බවත් 'වෙරිටේ රිසර්ච්' ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.
එසේම ඉතිරි පොරොන්දු 10 න් 9ක පසුගිය නොවැම්බර් මාසය වනවිට කිසිඳු ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති බවත් එක් පොරොන්දුවක් ඉටු කිරීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දු ඉටුකරනවාද, නැද්ද යන්න සොයා බැලීම සඳහා හඳුන්වා දුන් "අනුර මීටරය" නම් ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රගති නිරීක්ෂණයේ නවතම යාවත්කාලීන කිරීම නිකුත් කරමින් වෙරිටේ රිසර්ච් ආයතනය මෙම අදහස් පළ කර තිබේ.
"අනුර මීටරය" මගින් ජනාධිපති අනුර දිසානායක විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලබාදී ඇති ප්‍රධාන පොරොන්දු 30 ක් නිරීක්ෂණය කරනු ලබයි.
කෙසේ නමුත් මෙම විශ්ලේෂණය සම්පූර්ණ කරනු ලැබුවේ "දිට්වා" සුළි කුණාටුව මෙරටට කඩා වැදීමට පෙර බවද 'වෙරිටේ රිසර්ච්' ආයතනය ප්‍රකාශ කර සිටියි.
මෙහි නිරීක්ෂණය කරනු ලබන පොරොන්දු 30න් 7ක්ම ඇතුළත් කරනු ලැබුවේ මහජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාර සැළකිල්ලට ගනිමින් බවද එම ආයතනය කියා සිටියි. ආර්ථික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුකරණය, දූෂණ විරෝධය , නීතිය හා සාමය මෙන්ම සමාජ ආරක්ෂණය යන ප්‍රධාන ප්‍රතිපත්තිමය ක්ෂේත්‍ර මෙම පොරොන්දු හරහා ආවරණය වේ.
මැතිවරණ පොරොන්දු ඉටුකිරීම සම්බන්ධයෙන් පවතින විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා Manthri.lk විසින් හැකි උපරිම උත්සාහය යොදා පවත්වාගෙන යන මෙම 'අනුර මීටරය' මීට පෙර මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන නිරීක්ෂණය කරන ලද, 'මෛත්‍රී මීටරය' සහ 'ගෝඨා මීටරය’ යන ප්‍රගති නිරීක්ෂකවල ඉදිරි පියවරකි.
Manthri.lk යනු ශ්‍රී ලංකාවේ එකම පාර්ලිමේන්තු නිරීක්ෂක වේදිකාව වේ. එය පවත්වාගෙන යන්නේ මෙරට විශාලම ස්වාධීන බුද්ධි පර්ෂදයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය යි.
ප්‍රගතිය මනින සියලුම පොරොන්දුවල වර්තමාන තත්ත්වය පිළිබද පූර්ණ තොරතුරු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගැනීමට පිවිසෙන්න.





