ඉදිරි මහ මැතිවරණයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම බුද්ධි නිලධාරින් පත් කිරීමේ සුදානමක් පවතින බවත්, බිග් ඩේටා ව්‍යාපෘතිය හරහා සියලු පුරවැසියන්ගේ දේශපාලනික තොරතුරු ඒකරාශී කිරීමේ මෙහෙයුමක්

ආරම්භ කර ඇති බවත්  'සමගි ජන බලවේගය' පක්ෂයේ ප්‍රධානියකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක පවසයි.

ඔහු එබව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය. ඔහු එහිදී තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''අපිට ආරංචිවෙලා තියෙනවා ඡන්දය නුදුරේම පැවත්වනවා කියන එක.  එය කොවිඩ් නිවාරණ වැඩපිළිවෙලක් තුළ සිදුකරනවා කියලා කියනවා. 

එහිදී මැතිවරණ කොමිසම විසින් අපිට කියනවා සුවසේවාවේ නිලධාරීන් දහදාහක් ඒ ඡන්ද මධ්‍යස්ථානවලට අනුයුක්ත කරනවා කියලා. 

ඒ අනුයුක්ත කරන අතරෙම දැනට වාර්තා වෙනවා සෑම මධ්‍යස්ථානයකටම බුද්ධි නිලධාරියෙකුත් පත් කරනවා කියලා. අපි එයට සපුරා විරුද්ධ වෙනවා වගේම රජයෙන් ප්‍රශ්න කරනවා බුද්ධි නිලධාරීන් මේ ඡන්ද මධ්‍යස්ථානවලට අනුයුක්ත කිරීමේ අරමුණ කුමක්ද කියලා. 

ඔබ දන්නවා දැන් සෑම ගෘහයකින්ම අපේ පෞද්ගලික තොරතුරු ඒකරාශී කරමින් ඉන්නවා. ඒ ඒකරාශී කිරීම ගැන අපි විරුද්ධ වෙන්නේ නැහැ එම තොරතුරු ස්වාධීන ආයතනයක් යටතේ පරිපාලනය කෙරෙනවා නම්.  

ප්‍රජාතන්ත්‍රවාදය මිලිටරිකරණයට යට කිරීමේ ක්‍රියාවලියක් : 

අපි දන්නවා බිග් ඩේටා ව්‍යාපෘතියක් තියෙනවා ඒ බිග් ඩේටා ව්‍යාපෘතිය හරහා අපේ පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය දේශපාලනය කිරීමේ අවධානමක් තියෙනවා. ඒ අවධානම හරහා මේ රජය දැනටමත් ක්‍රියාත්මක කරන්න හදන සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම බුද්ධි නිලධාරීන් අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය තුළ පුරවැසියන්ට නිදහසේ ඡන්දය පාවිච්චි කිරීමේ පරිසරය සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීමක් කරනවා. 

මෙය ඉතාමත්ම බරපතල ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට ගහන මරු පහරක් වගේම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මිලිටරිකරණයට යට කිරීමේ ක්‍රියාවලියක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ඉතා වියුක්ත ක්‍රියාවක් මොකද කොවිඩ් 19 මර්ධනය කිරීමට බුද්ධි නිලධාරීන් විශාල සේවාවක් කරා මේකත් ඒකෙම කොටසක් කියලා. 

නමුත් අපි ප්‍රශ්න කරනවා මෙක ඒකේ කොටසක්ද කියලා. ඒ මොකද ලංකාවේ ජනාධිපතිතුමා පසුගිය දවස්වල අපි දක්කා ඉහලම මිලිටරි මණ්ඩලයක් ස්ථාපිත කරා. එහි කේන්ද්‍රීය අරමුණු හැටියට කිවුවේ අනාරක්ෂිතභාවය ඉවත් කරන්න, විනයගරුක භාවය ඇති කරන්න, දැහැමි සමාජයක් ගොඩනගන්න සහ නීතිගරුක සමාජයක් ඇති කිරීම සඳහා බවයි. 

එම මණ්ඩලට 13 දෙනෙක්ගෙන් සමන්විතයි. එයින් 6 දෙනෙක්ම බුද්ධි නිලධාරීන්. මෙයින් මේක බුද්ධි රාජ්‍යක් බවට පත්කිරීමේ ක්‍රියාවලියක්ද කියන සැකය අපිට එනවා. මොකද එම 13 දෙනා අතර කිසිදු සිවිල් වැසියෙක් නැහැ. එම මිලිටරි මණ්ඩලයෙන් තමයි අද ලංකාවේ ස්ථාපිත වෙච්ච රාජ්‍ය සේවෙයේ නිත්‍ය ලේකම්වරුන්ට අණ දීම සිද්ධ වෙන්නේ.  ඒක ඉතාම භයානක තත්වයක්.

'ගෝඨාගේ මිලිටරි මානසිකත්වයට පොදු ජනතාවගේ දුක හැඟෙන්නේ නැහැ'' 

මිලිටරි මානසිකත්වයක් තියෙන මිනිස්සුන්ට පොදු ජනතාවගේ දුක හැඟෙන්නේ නැති බව මේවනවිට පසක්වෙමින් තිබෙන බව ද ශිරාල් ලක්තිලක පවසයි. 

''ජනතාව බලාපොරොත්තු වුණේ සිස්ටම් චේන්ජ් එකක්. නමුත් අවාසනාවකට අද වෙනකොට වෙමින් තිබෙන්නේ රජයේ පරිපාලන තනතුරු වලට එතුමාට හිතවත් හිටපු හෝ දැනට ඉන්න මිලිටරි නිලධාරීන් පත්කරන එක.  

මිනිස්සුන්ට රැකියා අහිමිවෙලා ජීවිකාව අහිමිවෙනකොට, ජීවිතයට ඇති අයිතිය ගැන ප්‍රශ්න කරනකොට, මේ රජය මොකද කරන්නේ? මේ රජය කරන්නේ තමන්ගේ මිලිටරි ව්‍යාපෘතිය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම සඳහා පිඹුරුපත් සකසන එකයි. 

එක පැත්තකින් අපි පුදුම වෙන්නේ නැහැ, මේ මිලිටරි මානසිකත්වයක් තියෙන මිනිස්සුන්ට මේ පොදු ජනතාවගේ දුක හැඟෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි පොහොර ඉල්ලන ගොවියා ගැන තැකීමක් නැති වෙන්නේ, අලි මිනිස් ගැටුම ගැන තැකීමක් නැතිවෙන්නේ, රැකියා අහිමිවෙන සේවකයන් ගැන තැකීමක් නැති වෙන්නේ. 

ඒක පුදුම විය යුතු දෙයකුත් නෙවෙයි. ලෝකය පුරාම ඉතිහාසයේ මිලිටරි මානසිකත්වයෙන් රටවල් පාලනය කරපු අය ඒ ගැන ක්‍රියා කරපු හැටි අපි දන්නවා.  සාමාන්‍ය ජනතාවගේ දහඩිය දුක ඔවුන්ගේ අමාරුකම ඔවුන්ට සන්නිවේදනය වෙන්නෙත් නැහැ සංවේදනය වෙන්නෙත් නැහැ.. ඒක තමයි මේ අපි අත්දකිමින් ඉන්න යථාර්තය. ''

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්