මුස්ලිම් ඇමතිවරුන් සියලු දෙනාම සිය පදවිවලින් ඉල්ලා අස්වීම ඔවුන් ලැබූ ජනවරමට එරෙහිව යාමක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

පාස්කු ඉරිදා (21) ප්‍රහාරවලින් අනතුරුව මුස්ලිම් ජනතාවට එරෙහිව දිගින් දිගටම එල්ලවන චෝදනා හමුවේ සිය පදවිවලින් ඉල්ලා අස්වන බව මුස්ලිම් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු 9 දෙනා නිවේදනය කළේය.

ඔවුන් මාධ්‍ය හමුවේ එසේ නිවේදනය කළත් සැබවින්ම සිය පදවිවලින් ඉල්ලා අස්වූයේ දැයි තවමත් සනාථ වී නැති බව 'බීබීසී සිංහල සේවය' සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ඔවුන් එසේ ඉල්ලා අස් වූයේ නම් එය නිවැරදි තීරණයක් නොවේය යන්න සිය ස්ථාවරය බව ද සඳහන් කළේය.

"ජනාධිපති ලේකම්වරයා කියන විදියට ඔවුන් ලිඛිතව ඉල්ලා අස්වීමේ ලියුම් දීල නැහැ. නමුත් කොයි වුනත්, ඔවුන් ඉල්ලා අස් නොවිය යුතුයි කියල මගේ විශ්වාසය. මොකද ඉල්ලා අස්වෙන්නේ නැතුව ඔවුන්ගේ විරෝධය පළකරන්න තිබුණා," හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

"මොකද ඔවුන් පත්කරලා තියෙන්නේ මහජනතාව, මුස්ලිම් ජනතාව, ඔවුන්ට සේවය කරගන්න."

 

විශ්වාස භංග යෝජනාව:

MR RB

කෙසේ වුවත් ඔවුන්ට ඉල්ලා අස්වීමට බල කෙරුණේ, ඔහු නායකත්වය දරන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්ට එරෙහිව ඉදිරපත් කරන ලද විශ්වාස භංග යෝජනාව ඇතුළු ඇතැම් විරුද්ධ පක්ෂ දේශපාලනඥයන් මුස්ලිම් ප්‍රජාව වෙත එල්ල කළ පීඩනය හමුවේ නොවේ දැයි විමසූ අවස්ථාවේ විපක්ෂනායකවරයා කියා සිටියේ, විශ්වාස භංග යෝජනාව මුස්ලිම් ජනතාවට එල්ල කළ පීඩනයක් නොවන බවය.

"ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය තිබුණේ ඒ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරපු ඇමතිවරයාට විතරයි."

පදවියෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය සමඟ ෆේස්බුක් ඔස්සේ සජීවී සංවාදයකට එක් වූ රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයා තමන්ට එරෙහිව එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.

"අහිංසක සිංහල සහ මුස්ලිම් ජනතාව අතර තවත් කළු ජූලියක් ඇති කිරීම සඳහා ඇතැමුන් උත්සාහ දරමින් සිටින හෙයින්" එවැන්නක් වළක්වා ගැනීම සඳහා තමන් තනතුරින් ඉවත් වූ බව ඔහු පැවසීය.

 

මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර : 'ආණ්ඩුවේ වැරැද්ද'

Rathana himi 

අතුරලියේ රතන හිමියන් මහනුවරදී දියත් කළ උපවාසය පිළිබඳ විමසූ අවස්ථාවේ විපක්ෂනායකවරයා සඳහන් කළේ එය "එක පුද්ගලයෙකුට පමණක්" එල්ල කළ විරෝධයක් බවය.

කෙසේ වුවද මැයි 13 වෙනි දින වයඹ පළාතේ ස්ථාන කීපයකත් හලාවත දිස්ත්‍රික්කයේ සහ මිනුවන්ගොඩ නගරයේත් මුස්ලිම්වරු ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර හමුවේ ඔවුන් දැඩි පීඩනයකට ලක් වූ බව පෙන්වා දුන් විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ "ඒක ආණ්ඩුවේ වැරැද්ද" බවය.

"ආණ්ඩුවට තිබුණා යම් කිසි වැරදි ක්‍රියාවක් කෙරෙනව නම් එතෙන්දිම ඒකට ක්‍රියාත්මක වෙලා ඒක නතර කරන්න. ඒක පැතිරෙන්න ඉඩ නොදී ඉන්න. රජය ක්‍රියාත්මක නොවුණු නිසා තමයි මේ තත්ත්වය ඇතිවුණේ."

මුස්ලිම් විරෝධී ප්‍රහාරවලට සම්බන්ධ වූ බවට පොදු ජන පෙරමුණේ ආධාරකරුවන්ට ද චෝදනා එල්ල වී තිබේ.

මේ අතර ඇමතිවරුන් පිරිසගේ ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ද මුස්ලිම් ජනතාවට එල්ල වූ ප්‍රහාර හමුවේ ආණ්ඩුවේ හැසිරීම දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

"සම්පූර්ණ සහයෝගය ලබාදීල තිබියදීත්, විටින් විට මේ රටේ වෛරය, ක්‍රෝධය ඇතිකරන ආකාරයේ ක්‍රියාදාමයන් පිළිබඳව රජය කටයුතු කරන ආකාරය පිළිබඳව අපි පිළිකුලට පත්වෙලා සිටිනවා," යනුවෙන් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පැවසීය.

Magala samaraweera 

මුස්ලිම් දේශපාලන නායකයන් අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්වීම විද්වතුන් කිහිප දෙනෙකුම හඳුන්වා දුන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරවලින් අනතුරුව ඉස්ලාම් 'වහාබ්' අන්තවාදය තම සමාජයෙන් තුරන් කර දැමීමට පොදු මුස්ලිම් ප්‍රජාව දරමින් ඇති උත්සාහය සහ ඔවුන්ගෙන් ලැබෙන සහයෝගයේ වැදගත්කම ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන් තේරුම් ගනු නොලැබීමේ තවත් දිගුවක් ලෙසය.

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, 1983 දී ජනාධිපති ජේ ආර් ජයවර්ධන කළු ජූලියට ඉඩ දී දවස් පහක් නිහඬවම බලා සිටි බව පෙන්වා දුන්නේය.

ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් (හයවෙනි සංශෝධනය) මගින් දෙමළ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවෙන් පිටමං කිරීමට කටයුතු කළ ආකාරයත් සිහිපත් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, ඉන් අනතුරුව ජයවර්ධන ජනාධිපතිවරයාට ගනුදෙනු කිරීමට සිදුවුණේ ත්‍රස්තවාදය සමග බවත් පෙන්වා දුන්නේය.

මුස්ලිම් ඇමතිවරුන් පදවිවලින් ඉල්ලා අස්වීම ගැන මුදල් අමාත්‍ය මංගල සමරවීර දැඩි විරෝධය පළ කළ බව ජනමාධ්‍ය වාර්තාකර තිබුණි. විශේෂයෙන්ම මුස්ලිම් අමාත්‍යවරුන්ට ඉල්ලා අස්වීමට සැලැස්වීමෙන් සිදුවන්නේ 1958 දී එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා විසින් බණ්ඩාරනායක - චෙල්වනාගයම් ගිවිසුම ඉරා දැමීම හා සමාන වරදක් බව ඔහු සඳහන් කර තිබුණි.

පාස්කු ඉරිදා ප්‍රහාරවලින් ප්‍රදේශ කිහිපයක වාර්ගික අරමුණු මුල්කර ගනිමින් එල්ල කෙරුණ ප්‍රහාර සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම ප්‍රමුඛ කොමසාරිස්වරුන්, ප්‍රචණ්ඩ ක්‍රියා නතර කිරීමට පියවර ගෙන ඇති බවක් දක්නට නොමැති බව සඳහන් කර තිබුණි.

(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්