ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති සේවකයින් තිදෙනෙක් කොළඹ වරාය පරිශ්‍රයේ, මීටර 50ක් උසැති ගැන්ටි දොඹකරයකට නැඟ ඊයේ

(ජුලි 01) දහවල් ආරම්භ කළ විරෝධතාව තවදුරටත් පැවැත්වේ. අදාළ විරෝධතාව සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාද අසාර්ථක විය.

 ඉකුත් ජූනි මස 20 වන දින චීනයෙන් ගෙන් වු ගැන්ටි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර ඇත. මෙම විරෝධතාවයන්ට ආණ්ඩුවට පක්ෂපාති වෘත්තීය සමිති ද එක්ව සිටිති.

එම වරාය වෘත්තීය සමිති පවසන්නේ, මෙම ගැන්ටි දොඹකර ගොඩබෑමක් සිදු නොකිරීම හේතුවෙන් ඒවා රැගෙනආ නෞකාවට ප්‍රමාද ගාස්තු ලෙස දෛනිකව විශාල මුදලක් ගෙවීමට සිදුවන බවයි.


වෘත්තීය සමිති උසිගන්වන්නේ කවුද ?

lcn

පසුගියදා මෙරටට රැගෙන ආ දොඹකර නැගෙනහිර පර්යන්තයට සවි කරන ලෙසට රජයට බලකෙරෙන විරෝධතාවන් සදහා වරාය සේවකයින් උසි ගන්වන්නේ කවුරුන්ද යන්න පිලිබදව සොයා බලන ලෙස පාර්ශව කිහිපයකින්ම ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා සී නිව්ස්' වාර්තා කරයි. 

එම පුවත් වාර්තාවේ සඳහන් පරිදි, පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී එවකට වරාය අමාත්‍යවරයා වූ සාගල රත්නායක විසින් නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට හා ජපානයට ලබාදීමට අවබෝධතා ගිවිසුමක් අත්සන්කොට ඇත.

නැගෙනහිර පර්යන්තය විශාල නෞකාවන් සදහා ඉදිවෙන පර්යන්තයකි. ඒ සදහා අවශ්‍ය වන්නේ විශාල හා දිගින් වැඩි දොඹකරයි.

නමුත් මෙරටට රැගෙන ආ මහින්ද සමරසිංහ අමාත්‍යවරයා විසින් ඇණවුම් කරන ආන්දෝලනයකට තුදු දෙන දොඹකර නැගෙනහිර පර්යන්තයට සවි කිරීම සදහා නුසුදුසු දිගින් අඩු විශාල නෞකාවල බහාලුම් ගොඩ බෑමට තරම් ප්‍රමාණවත් නොවන බවට වරාය ඉංජිනේරුවන් පෙන්වා දී ඇත.

නමුත් නැගෙනහිර පර්යන්තයට නුසුදුසු මෙම දොඹකර නැගෙනහිර පර්යන්තයටම සවි කරන ලෙසට වරායේ වෘත්තීය සමිති සේවකයින් පවසති.

වරායේ නිලධාරීන් මෙම දොඹකර නැගෙනහිර පර්යන්තයට නුසුදුසු බව කියද්දිත් මෙසේ සේවකයින් උසි ගන්වන්නේ කවුරුන්ද යන්න සොයා බලන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම වරාය වෘත්තීය සමිති විසින් වරායේ දූශිත නිලධාරීන් ඇතැයි ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත අදහස් දැක්වුවත් ඒ පිලිබදව තාම හෙලිකර නොමැත.

වෘත්තීය සමිති මෙසේ ප්‍රකාශ කරද්දී නිලධාරීන්ද වෘත්තීය සමිති නායකයින්ට සමාගම් විසින් නැගෙනහිර පර්යන්තයේ සිද්ධි‍ය විශාල අර්බුදයක් දක්වා රැගෙන යාම සදහා මුදල් ගෙවා ඇති බවට පෙරලා චෝදනා කර ඇත.

මෙලෙස අනවශ්‍ය අර්බුදයක් ඇති කරන්නේ කවුරුන්ද හා මෙසේ දුෂිත නිලධාරීන් හා මුදල් ලබා ගත්තායැයි කියන වෘත්තීය සමිති නායකයින් කවුද යන්න පිලිබදව සොයා බැලීම සදහා පරීක්ෂණයක් කඩිනමින් සිදුකරන ලෙසට ජනාධිපතිවරයා ගෙන් විවිධ පාර්ශවයන් විසින් ඉල්ලීමක් සිදුකර ඇත.''

(උපුටා ගැනීම අවසන්)

Cranes brought to colombo

කෙසේවුවද මෙම අර්බුදය සම්බන්ධයෙන් theleader.lk කළ සොයා බැලීමකදී අනාවරණය වුයේ, ජය බහාළුම් පර්යන්තයේ (JCT) 5 අදියර සඳහා මීටර් 120ක් දිගින් යුතුව පර්යන්තය දිගු කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ගැන්ට්‍රි දොඹකර 03ක් මිලදී ගැනීමටත් 2018 වසරේදී කැබිනට් අනුමැතිය ලැබී තිබු බවයි.

එසේ කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ, වරාය විෂයබාර හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රීකාවක් සඳහාය. 

එහෙත් සාගල රත්නායක වරාය බාර ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසුව වරාය අධිකාරියේ සභාපති ලෙස පත්කල ඔහුගේ සොයුරු කාවන් රත්නායක විසින් උපදෙස් දී ඇත්තේ, මීටර් 120 ක දිගින් යුතුව ඉඳිකිරීමට යෝජිතවූ පර්යන්ත කොටසේ කොන්ත්‍රාත්කරු සමග සාකච්ජා කොට මිළ ගණන් අඩු කිරීමටත් එහි ඉඳිකිරීම් සැලසුම් වෙනස් කරන ලෙසත්ය. 

එහෙත් කොන්ත්‍රාත්කරු මිල ගණන් අඩු කිරීමට එකඟ නොවූ හෙයින් පර්යන්තය ඉඳිකිරීමේ කටයුතු නවතා දැමීමට සභාපති කාවන් රත්නායක උපදෙස් දී ඇත.

එහෙත් පර්යන්තය ඉඳිකිරීම් නොමැතිව ඊට අදාළ ගැන්ට්‍රී දොඹකර 03ක් චීනයට අයත් ZPMC සමාගම හරහා ගෙනඒමට පියවර ගෙන තිබේ. 

2019 ජනාධිපතිවරණයෙන් පසු සිදුවූ ආණ්ඩු මාරුවෙන් පසු පත්වූ ජනාධිපතිවරයා විසින් වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්කල විශ්‍රාමික ජනරාල් දයා රත්නායක ප්‍රමුඛ කළමනාකාරිත්වය මේ පිළිබඳව දීර්ග වශයෙන් සාකච්ජා කර ඇති අතර අදාල ගැන්ට්‍රී දොඹකර 03 සම්බන්ධයෙන් ගතහැකි හොඳම විකල්පය කුමක්දැයි වරායේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ගෙන් විමසීමක් ද සිදුකර ඇත.

එහිදී වරාය අධිකාරියේ ඉංජිනේරු අංශ විසින් නව සභාපතිවරයට යෝජනා කර ඇත්තේ, හොඳම විකල්පය නැගෙනහිර පර්යන්තයේ දොඹකර සවි කිරීම බවයි.

අදාල ඉංජිනේරු අංශ විසින් ලබාදුන් නිර්දේශමත පදනම්ව, වරාය සභාපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රීකාවක් හරහා මෙම ගැන්ට්‍රී දොඹකර 03 නැගෙනහිර පර්යන්තයේ සවිකිරීමට 2020 ජනවාරි 30 දින අනුමැතිය ලබාගෙන ඇත. 

එසේම, ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා කැබිනට් පත්‍රීකාවක් හා අදාළ ලියකියවිලි වරාය සභාපතිවරයා විසින් වරාය අමාත්‍යංශය වෙත බාරදී ඇතත් මෙතෙක් එම ලියකියවිලි කැබිනට් මණ්ඩලයට යොමුකර නොමැති බව වාර්තාවේ.

මේවනවිට ආණ්ඩුවට සම්බන්ධ වරාය වෘත්තීය සමිති මෙන්ම අනෙකුත් සියලුම වෘත්තීය සමිති පාහේ  නැගෙනහිර පර්යන්තර රැකගැනීම සඳහා යයි කියමින් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වී ඇති අතර එම වෘත්තීය ක්‍රියාමාර්ග අඩපන කිරීම සඳහා ආණ්ඩුවට පක්ෂපාති කණ්ඩායම් විසින් පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භකර තිබීම විශේෂ කාරණයකි.

මේ අතර අගමැති මහින්ද රාජපක්‍ෂ පවසා ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

සබැඳි පුවත් :

වරායේ දොඹකර අර්බුදය ගැන බොහෝ දෙනා නොදන්න කථාවක්..

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්