යහපාලන ආණ්ඩුව පාලනය භාර ගත්තේම හොරු දූෂිතයන් රටෙන් තුරන් කරනවා යැයි පොරොන්දුව රටට දෙමිනි. අවසානයේ යහපාලන ආණ්ඩුව අවසන් වූයේ දූෂිත ආණ්ඩුවක් බවට පත්වෙමිනි. ඉන්පසු ගෝඨා ජනපති

වනුයේ රට දූෂණයෙන් තොර රටක් කරන පොරොන්දුව පිටය. ජනතාව සිතනුයේ කාත් එක්ක කළත් ගෝඨා එක්ක හොර, බොරු බෑ කියාය. 

මේ මිථ්‍යාව හැම ආණ්ඩුවක්ම මුලදීම ඇති කරන අතර පසුවට ඒ ආණ්ඩුවම අන්ත දූෂිත වෙති. ගෝඨාගේ ආණ්ඩුවද පටන් ගත් තැනම ඒ තත්ත්වයට පත්ව ඇත.

විනයගරුක රටක් ගැන කයිවාරු ඇසුණද විනය නැත්තේම පාලකයන්ටය. පාලකයන් විනයගරුක නොවී විනයගරුක කරන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි.

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට සුදුස්සන්ම පත් කරන බව කී ගෝඨා, ඒ වෙනුවෙන් නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කළේය. එම කමිටුව කළේ කුමක්ද යන්න දැන් රටම දනිති. නාලක පාර්ලිමේන්තු යන්න දඟලනුද පෙනේ. ඉන් එහා දෙයක් එහි නොවීය.

''රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට සුදුස්සන්ම පත් කරන බව කී ගෝඨා, ඒ වෙනුවෙන් නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කළේය. එම කමිටුව කළේ කුමක්ද යන්න දැන් රටම දනිති. නාලක පාර්ලිමේන්තු යන්න දඟලනුද පෙනේ. ඉන් එහා දෙයක් එහි නොවීය.''

දූෂිතයන් පත් කිරීම:

ගෝඨාගේ ආණ්ඩුවේ දූෂිතයන්ට තැනක් නැතැයි සිතුවද? එය පැවති ආණ්ඩුවලටත් වඩා හොඳටම හැදෙමින් පවතී. මහින්ද කාලයේ යහපාලන කාලයේ පොඩි හොරු ගෝඨා කාලයේ ශක්තිමත් හොරු කරනු පෙනේ.

 පොඩි, ලොකු කියා දෙයක් නැත. හොරු හොරුමය. ආණ්ඩු මාරු වුවද කවුරු පාලනය ගත්තද මේ හොරු ඒ තැන්වල සිටිති. සුපුරුදු හොර කමේම යෙදෙති. මෙය ගෝඨා නොව සක්‍රයා ආවද නැවතිය නොහැකි වැඩක් වී ඇත.

පෙර හොරු:

මහින්ද පාලන සමයේ සංචාරක අමාත්‍යාංශය මැතිවරණ ක්‍රියාවලියට රාජ්‍ය දේපළ යොදා ගැනීම ගජරාමෙට විය. මේ පිළිබඳ බරපතළ චෝදනාද එකල එල්ල විය. එම අමාත්‍යාංශය යටතේ පිහිටි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ සම්පත් සහ ආහාරපාන බැසිල් රාජපක්ෂගේ ගම්පහ ඔරුතොට කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා යෙදවූයේ එළිපිටමය. 

මේ හේතු කොටගෙන පොලිසිය විමර්ශනයක්ද ඒ ගැන කළේය. විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස වගඋත්තරකරුවන් වූ අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගැනීමට නීතිපති විසින් නියෝග දී තිබුණි.

 මේ තත්ත්වය තුළ ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සැඟවුණු අතර අනෙක් අය අත්අඩංගුවට පත් නොවී සිටීමට විවිධ නීරස කටයුතුවල නිරත විය. 

එහෙත් එහි ප්‍රධාන චූදිතයා වූ බැසිල් රාජපක්ෂට සිදුවූ හානියක් නොමැත. බැසිල්ගේ නමක්වත් නොඈඳුණි. ඒ සංචාරක කර්මාන්තය ගෝඨා යටතේද විනාශවෙමින් පවතී.

අරුන්දික ප්‍රනාන්දු:

ඉන්පසු පැමිණි යහපාලන ආණ්ඩු යටතේ නියෝජ්‍ය ඇමති ධුරය දැරූ අරුන්දික ප්‍රනාන්දු තම ප්‍රයෝජනය සඳහා සුපිරි  වාහන දෙකක් මිලදී ගැනීමේදී සිදුකරන ලද වංචනික ක්‍රියාව මත එහි ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට වගඋත්තර බැඳීමට සිදුවූ අතර අරුන්දික ප්‍රනාන්දුට සිදුවූ හානියක් නොමැත. 

ඔහු දැන් මහින්ද රාජපක්ෂ සමග පාර්ලිමේන්තු යන්නට පැමිණ ඇත. කොයි ආණ්ඩුවෙත් සිදුවන්නේ එකම කාර්යය. එසේ වූවා කියා නිලධාරීන් වෙනස් වන්නේද නැත. එය අතුරු කතාවකි.

අදත් සංචාරක මණ්ඩලය ගෝඨාගේ හිතුවක්කාර පාලනයේ ගොදුරකි :

මුල් කතාවෙන් බැසිල් රාජපක්ෂ සමයේ ලංකා සංචාරක මණ්ඩලයේ සිද්ධිය ගෙනාවේ එහි වගඋත්තරකරුවන් වූ එදා නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් උසාවියේ නඩු අංක බී 629/15 යටතේ පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ නියෝග නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී තිබුණි. 

එලෙස ලද නිලධාරීන් වූයේ හේවා ගුණරත්න භාෂ්වර සේනාංක, දොන් සතරසිංහ ජයවීර, නුගවෙල බුලත්වත්තේ හේමා ධර්මවර්ධන, රාජසිංහගේ සේමසිංහ, වික්‍රමසිංහ ආරච්චිගේ දොන් චන්ද්‍රසිරි, රණවක ආරච්චිලාගේ අමිත කිත්සිරි රණවක යන අයය. ඒ අය අද යහතිනි. කොතෙක් අතීත සිද්ධි වුවද අදත් සංචාරක මණ්ඩලය ගෝඨාගේ හිතුවක්කාර පාලනයේ ගොදුරක් වී ඇත.

ගෝඨා පාලනයේ නීතිය නැවීම:

වත්මන් ගෝඨා පාලනයත් ඊට දෙවැනි නැත. මැතිවරණ කාලය සතේකට මායිම් නොකර නීති විරෝධී පත්වීම් දෙන තැනට ගෝඨා පාලනයද පත්වී ඇත.

සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හතරකි. එනම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා සම්මුදි කාර්යාලය වේ. 

මෙම ආයතනවල අනුමත සේවක සංඛ්‍යාව තුළ නොපවතින උපදේශක තනතුරු සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පත්වීම් ලබාදී ඇත.

ඩබ්ලිව්.ඩී. ජයසිංහ:

ඩබ්ලිව්.ඩී. ජයසිංහව ඉහත ආයතන හතරෙහිම ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ උපදේශක ලෙස පත්කොට ඇත. මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය පවා ලැබී නැත. 

අමාත්‍යාංශ ලේකම් විසින් පත්කොට ඇති මෙම පුද්ගලයා මීට ප්‍රථම ජාතික ප්‍රසම්පාදක කොමිෂන් සභාවේ මහ ලේකම් ලෙස කටයුතු කළ අතර එහිදී ඔහු විසින් සිදුකරන ලද මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳ විගණකාධිපති විසින් වාර්තා කිරීමෙන් පසු ඇතිවූ තත්ත්වය මත ඔහුගේ සේවා දිගුව අත්හිටුවා ඇත. 

විශ්‍රාමික පුද්ගලයකු වන මෙම නිලධාරියාගෙන් අයවිය යුතු මුදල් පවා මේ දක්වා අයකරගෙන නොමැත.

සංචාරක අංශයේ ප්‍රසම්පාදන උපදේශක තනතුරක් නොමැතිවා සේ ම වුවමනාද නොවේ. එහෙත් කිසිදු සම්මුඛ පරීක්ෂණයකින් තොරව මැතිවරණ කාලපරිච්ඡේදය තුළ පත්වීම් ලබාදීම ගැටලුසහගතය. කිසිදු විනිවිදභාවයකින් තොරව ලබාදී ඇති මෙම උපදේශක තනතුරින් ගෝඨා ආණ්ඩුවේ තරමද හෙළිවෙමින් පවතී.

යූ.කේ.ඒ.ඩී. මිහිඳුකුරුලසූරිය:

මීට අමතරව යූ.කේ.ඒ.ඩී. මිහිඳුකුරුලසූරියටද සංචාරක සංවර්ධන අධිකාරියේ උපදේශක තනතුරක් පිරිනමා ඇත.
අනුමත කාර්ය මණ්ඩලය තුළ නොමැති මෙම තනතුර සඳහා මීට වසරක කාලයකට පෙර බඳවාගෙන ඇති මෙම පුද්ගලයාගේ සේවා කාලය 2020.06.02 දින අවසන් විය. 

ඉන් අනතුරුව කාර්ය මණ්ඩලයට ඇතුළත් නොමැති මෙම තනතුර සඳහා මසකට රු. 150,000ත ගෙවීමකට 2020.06.03 සිට වසරක් සඳහා මෙම පත්වීම් ලබාදී ඇත්තේ මැතිවරණ නීතිරීති කිසිවක් නොසලකමිනි. 

මහින්ද පාලන කාලයේ මොනරාගල දිසාපති ලෙස කටයුතු කළ මොහු පැළ තවාන්වලින් මිලදී ගැනීමේ සිද්ධියක් මත රාජ්‍ය පරිපාලන සංචිතයට මාරු කර යැව්වෙකි. අද විශ්‍රාමිකයෙකි. 

ජෙරාඞ් සුමිත්‍ර අබේවර්ධන ගුණසේකර:
මෙවන් පුද්ගලයන් ගෝඨා නඩත්තු කරනුයේ ඇයි? කවුරු සනසනු සඳහාද? ජෙරාඞ් සුමිත්‍ර අබේවර්ධන ගුණසේකරද උපදේශකයකු ලෙස ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට පත් කොට ඇත. මෙම තනතුරද අනුමත කාර්ය මණ්ඩලයට අයත් නොවන තනතුරකි. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මෙම පත්වීමද ලබාදී ඇත.

රාජ්‍ය ආයතනවල කටයුතු පිළිබඳ මාර්ගෝපදේශක වියදම් දැරීම සඳහා බලය පවතිනුයේ ඊට පෙර වර්ෂයේ සම්මත කළ අයවැය යටතේ වන කාර්යයන් සඳහා පමණක් වන අතර, ඒ අනුව අනුමත කාර්ය මණ්ඩලය තුළ නොමැති තනතුරු, ආයතනවල අයවැය මගින් සම්මත නොවූ සම්මුඛ පරීක්ෂණ කැඳවීම් හෝ උපදේශකවරුන් බඳවා ගැනීම් කළ නොහැකිය. 

මැතිවරණ නීතිද උල්ලංඝනය කරමින් මහින්ද, යහපාලන ආණ්ඩු අබිබවා ගෝඨා ක්‍රියා කරන තැනට තල්ලු වී ඇත. 

මහින්ද, රනිල් අබිබවා ගෝඨාගේ පාලනය දූෂිත වන ලකුණු දැන්ම පෙන්වමින් පවතී. ඡන්දයට පෙර මෙසේ නම් ඡන්දයෙන් පසු කුමක් වන්නේදැයි අමුතුවෙන් කිවයුතු නැත. ගෝඨාගේ විනයගරුක රට මෙබඳු යැයි අනාගතයට කියා දිය හැකිය. ■


( ටිරන් කුමාර බංගගමආරච්චි -රාවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්