අසත්‍ය හා නොමග යවන සුළු ප්‍රචාරයන්ට නොරැවටී මෙම අවස්ථාවේ වඩාත් අවබෝධයෙන් කටයුතු කරන මෙන් රජය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් විවිධ මාධ්‍යවල පලවී ඇති පුවත් හා වෙනත් රාවයන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලිකරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති නිවේදනයක් මගින් එම ඉල්ලීම සිදුකර ඇත.

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන රටතුළ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වීමත් සමගම එම වෛරසය රටතුළ ව්‍යාප්තවීම වීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වන විට රජය විසින් පියවර ගෙන ඇති බව එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

ඒ අනුව, අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීම, ආසාදිතයින් හඳුනාගැනීම, ආශ්‍රිතයින් හඳුනා ගැනීම හා ඔවුන් නිරෝධායනයට යොමු කිරීම යන සියලු අදාළ ක්‍රියාමාර්ගයන් මේ හා සම්බන්ධිත ප්‍රදේශයන් හා ස්ථාන ආවරණය වන පරිදි ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කර ඇත.

මේ අයුරින්, අදාළ ස්පර්ශකයින් හඳුනාගෙන පරීක්ෂණ හා නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරන අවස්ථාවන්හිදී ඔවුන් නියත වශයෙන්ම කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුන්වමින් සාවද්‍ය ප්‍රචාරයන් පැතිරවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව පෙනී ගොස් ඇති බවත්, මෙම තත්ත්වය නිසා විවිධ ආයතන වසා දැමීමට කටයුතු කරන බව ඇතුලු විවිධ අසත්‍ය තොරතුරු සමාජගත කරන ආකාරයද දැකිය හැකි බවත් රජය පවසයි.

 

ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර නැහැ !

එමෙන්ම, මෙම තත්ත්වය මත රජය විසින් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරීමට හා ඇඳිරිනීතිය පැණවීමට කටයුතු කරන බවට වන විවිධ අසත්‍ය තොරතුරු ඇතැම් පාර්ශ්වයන් විසින් අඛණ්ඩව සමාජගත කරමින් සිටින බවද නිරීක්ෂණය වන බව පවසන රජය, නමුත්, මේ දක්වා එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව අවධාරණය කර සිටියි.

ඒ අනුව, මෙවැනි සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමේ අරමුණ වන්නේ ජනතාව නොමග යවමින් සමාජය තුළ අනවශ්‍ය කැළඹීම් ඇතිකිරීම බව පෙන්වා දෙන රජය, මේ අයුරින් සාවද්‍ය ප්‍රචාරයන් සමාජගත කරන පිරිස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන මෙන් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

Rajanganayaරාජාංගනයේ නිදැල්ලේ සිටින ආසාදිතයන් සොයා පරීක්ෂණ. (BBC)

මෙහිදී, යම් පුද්ගලයකු කොරෝනා වෛරසය ආසාදිතයකු බවට තහවුරු වුවහොත් ඒ බව මෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග හා සමාජය දැනුවත් විය යුතු සියලු කරුණු පිළිබඳ නිල තොරතුරු ක්ෂණිකව මහජනතාව වෙත දැනුම් දීමට රජය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බව එම නිවේදනයේ තව දුරටත් සඳහන් වේ.

එබැවින් අසත්‍ය හා නොමග යවන සුළු ප්‍රචාරයන්ට නොරැවටී මෙම අවස්ථාවේ වඩාත් අවබෝධයෙන් කටයුතු කරන මෙන් හා විශේෂයෙන්ම සෞඛ්‍ය අංශවලින් දැනුවත් කර ඇති සියලු සෞඛ්‍යාරක්ෂණ උපක්‍රම දැඩිව අනුගමනය කරමින් ආරක්ෂිතව හා විචක්ෂණශීලීව කටයුතු කරන මෙන් රජය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

අවධානම තේරුම් ගන්න - ජනාධිපතිගෙන් දැනුම් දිමක් !

GotabayaR

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය සඳහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජූලි 14) රැස් විය.

එහිදී වත්මන් වාතාවරණය හමුවේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහතික කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

PCR පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සමාජය තුළ වසංගතය පැතිරයාම අවම මට්ටමේ තබා ගැනීමට පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා මෙහිදී සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කර ඇත.

කොරෝනා වසංගතය සතුටුදායක ලෙස පාලනය කිරීමට හැකිවන තෙක් කණ්ඩායම් ආශ්‍රීතව වෛරසය පැතිරයාමේ ඉහළ අවදානමක් පවතින බැවින් කණ්ඩායම් ආශ්‍රීතව පහසුවෙන් කළ හැකි පරීක්ෂණ අඛණ්ඩව කළ යුතුව ඇති බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.

රට සාමාන්‍ය තත්ත්වයට පැමිණිය ද අවදානම පහව ගොස් නැති බැවින් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අත් නොහළ යුතු බවත්, පුනරුත්ථාපන සහ සිර කඳවුරු, විශ්වවිද්‍යාල, පාසල් වැනි ආයතනවල උණ පරීක්ෂාව වැනි සරල පරීක්ෂණ දෛනිකව කරගෙන යාමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.

උණ, උගුර ආශ්‍රීත ආසාදන වැනි රෝගී තත්ත්වයක් හටගෙන ඇතිනම් ඒ බව තේරුම් ගෙන සමාජ ඇසුරට නොයාමෙන්ද කොරෝනා වසංගතය මර්දනයට දායක විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා  වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අගමැති ලේකම් ගාමිණි සෙනරත් සහ කොවිඞ් මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

සබැඳි පුවත් :

''සමාජය තුළ කොරෝනා ව්‍යාප්ත වීමේ අවධානම වැඩියි''- වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්