සිය පෙරමුණට මේ වනවිට මන්ත්‍රී ආසන 150 ක් සහිත තුනෙන් දෙකක බහුතර බලයක් ඇති බැවින් වෙනත් පාර්ශවයක සහයක් අවශ්‍ය නොවන බව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පවසයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 සමගින් මෙවර මහමැතිවරණයේදී මන්ත්‍රී ආසන 145 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය.

සිය පෙරමුණට සහය දක්වන පක්ෂ 4 ක් උතුරු නැගෙනහිර පළාත්වලින් මන්ත්‍රී ආසන 5 ක් දිනා සිටින බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සිය පෙරමුණට ලැබී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙයි.

ඒ අනුව,

ඩග්ලස් දේවානන්ද නායකත්වය දරන EPDP පක්‍ෂය දිනාගත් මන්ත්‍රී ආසන 2ක ද

දිගාමඩුල්ල දිස්ත්‍රීක්කයෙන් තරග කළ ඒ එල් එම් අතාවුල්ලගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය දිනාගත් මන්ත්‍රී ආසනයද,

යාපනය දිස්ත්‍රීක්කයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරග වැදුණු අංගජන් රාමනාදන්ට හිමිවූ මන්ත්‍රී ආසනයද

මඩකලපුව දිස්ත්‍රීක්කයෙන් තරග වැදුණු තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල් පක්‍ෂයෙන් තරග කළ  ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් දිනාගත්  මන්ත්‍රී ආසනයද

සිය පෙරමුණට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීමට සහාය වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා සිටියි.

 

''ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යම් යම් බාධක තියෙනවා කියලා දැන් කියන්න බැහැ'' -   ජී. එල්. පීරිස්

GLP

මේ අතර ඊයේ (අගෝස්තු 07) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසුයේ, ජනතාව මේ මැතිවරණයේදී ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමේ සම්පූර්ණ බලය තම පක්ෂයට ලබා දී ඇති බවයි.

''පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනි දා රැස්වෙන විට 3/2 බහුතරයක් බලයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලයත් නව රජය සතුයි. ඊට පස්සේ අපිට කිසිසේත් කියන්න පුළුවන් කමක් නැහැ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යම් යම් බාධක තියෙනවා කියලා. අපිට අවශ්‍ය ශක්තිය පාර්ලිමේන්තුව තුළ නැහැ වෙන පක්ෂ සමග සාකච්ඡා කරන්න ඕනේ ඒ පක්ෂවල සහයෝගය ලබාගන්න ඕනේ කේවල් කිරීමේ ප්‍රවනතාවයක් පාර්ලිමේන්තුව තුළ ජනිත වීම ඒ කොන්දේසිවලට යටත් වෙන්න සිද්ධ වෙනවා මේ කිසිදු ගැටලුවක් පාර්ලිමේන්තුවේ උද්ගත වෙන්නේ නැහැ. ඒකෙන් ගම්‍ය වන්නේ නැහැ මේක හිතුවක්කාර විදිහට හැසිරීමට බලාපොරොත්තු වෙන රජයක් කියලා.'' යයි එහිදී අවධාරණය කර සිටි මහාචාර්ය ජී. එල්. පීරිස් මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්න කිරීම් හමුවේ මෙසේ ප්‍රතිචාර දැක්විය.

ප්‍රශ්නය:

දැන් ඔබතුමාලට තියෙන්නේ ආසන 145 යි. තුනෙන් දෙකක් ගන්න අවම වශයෙන් තව ආසන 5ක් ඕනේ ?

මහාචාර්ය ජී. එල්. පීරිස්:

වෙන පක්ෂ වෙන ලාංඡනවලින් ඉල්ලුවා. උදාහරණයක් විදිහට ඩග්ලස් දේවානන්දාගේ පක්ෂය ආසන 2 ක් තියෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසනයක් ලැබුණා යාපනයෙන්. අතාවුල්ලා, එතකොට පිල්ලයාන් ඉතින් ඒවා අප සමග වැඩ කරන පක්ෂ. ඒ නිසා අලුත් පාර්ලිමේන්තුවට 150 ට වඩා ආසන අපේ පක්ෂය තුළ තියෙනවා.

 

ප්‍රශ්නය:

දැන් ප්‍රථමයෙන් ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ද ?

මහාචාර්ය ජී. එල්. පීරිස් :

ඒ ගැන අපි ගැඹුරින් හිතලා බලන්න ඕනේ. විකල්ප කිහිපක් තියෙනවා. පැහැදිලිව පේනවා යම් යම් සංශෝධන අවශ්‍යයි කියලා. මේක මේ විදිහට යන්න බැහැ. අවශ්‍යමයි කොමිෂන් සභාවල ඝණ පූර්ණය වෙනස් කරන්න.

පහුගිය කාලෙම කිව්වේ රනිල් සහ සුමන්තිරන් විශේෂයෙන් මොකක්ද කිව්වේ? පිලිණු වෙච්ච පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. කැඳවන්නේ නැති එක නීති විරෝධියි කිව්වා. දැන් පැහැදිලිව පේනවා ඒ පාර්ලිමේන්තුව කිසි සේත් ජන මතය නියෝජනය නොකළ බව. ජනාධිපතිවරයාට බලය තියෙන්න ඕනේ පාර්ලිමේන්තුව විසුරුවන්න ඕන වෙලාවක. ඒක කරගන්න බැරි වුණේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා.

Pasku Attack lankaඡන්ද ප්‍රතිපලයට පාස්කු ඉරිදා ප්‍රහාරය හුඟාක් බලපෑවා - මහාචාර්ය ජී. එල්. පීරිස්  

 

ප්‍රශ්නය:

දේශපාලන වේදිකාවේ මතුවෙච්ච ප්‍රධාන කාරණා බැඳුම්කරය හා පාස්කු ප්‍රහාරය

මහාචාර්ය ජී. එල්. පීරිස් :

ඒක හුඟාක් බලපෑවා ප්‍රතිඵලයට. දැන් ජනාධිපති කොමිෂන් සභාවේ දිනෙන් දින එළියට ආපු දේවල හරි භයානක දේවල් නේ. ඒකෙන් මේ රටේ ජනතාවට පෙනුනා කිසිම පියවරක් ගත්තේ නැහැ කියලා ගිය රජය ජීවිත ආරක්ෂා කරන්න. වාර්තා ලැබුණු විගස අපේ රජය අවශය පියවර ගන්නවා.

 

ප්‍රශ්නය:

රිෂාඩ් බද්යුදීන්, රවුෆ් හකීම්, හිසබුල්ලා යන අයගේ භූමිකාව කොයි වගේ ද?

මහාචාර්ය ජී. එල්. පීරිස්:

ඒ අය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු ලෙස පත්වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට කටයුතු කරන්න පුළුවන් අපේ රජයක කොටස්කරුවන් වෙන්නේ නැහැ. තුනෙන් දෙකක් තියෙනකොට තව මොකක්ද අවශ්‍යතාවය. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්