2025 ජනාධිපතිවරණය සඳහා නාමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමට 'රාජපක්ෂ පවුල' තීරණය කර ඇති තත්වයක් තුළ ඊට ප්‍රතිවිරුද්ධව,

එක්සත් ජාතික පක්ෂයෙන් රුවන් විජේවර්ධන ඉදිරිපත් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් 'වික්‍රමසිංහ - විජේවර්ධන' පවුල් අතර මේවනවිට සාකච්ජා ආරම්භ වී ඇතිබව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මේ අතර 'එජාප නායකත්වය රුවන්ගේ පැත්තට' යන ශීර්ෂයෙන් යුතුව සති අන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා යෝජනා වී ඇති නම් අතරෙන් රුවන් විජේවර්ධනට නායකත්වය ලබා දීම පිළිබඳව වැඩි පිරිසක් කැමැත්ත දක්වා ඇති බවයි.  එජාප නායක රනිල් වික්‍රමසිංහට හිතවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ඒ සම්බන්ධයෙන් එම පුවත්පත වෙත අදහස් දක්වා ඇත.

එජාප නායකත්වය පිළිබඳව එම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ දිස්ත්‍රික් කණ්ඩායම් වල නායකයින් සහ එජාපයට අනුබද්ධ සංවිධාන වල නායකයින් ගෙන්නා සාකච්ඡා පවත්වා ඇති බවත් එම සාකච්ඡාවලදී වැඩි පිරිසක් රුවන් විජේවර්ධනට කැමැත්ත දක්වා ඇති බවත් එම මන්ත්‍රීවරයා පවසා තිබේ.

 

දේශපාලනයේ පවුල් බලය සහ මළගිය ප්‍රාණකාරයෝ

rasika jayakodiමීළඟ ජනාධිපතිවරයා ලෙස තම පවුලේ අයකු පත්කර ගැනීමට රාජපක්ෂ හා විජේවර්ධන පවුල් උත්සාහය දරමින් සිටියදී, 'සමගි තරුණ බලවේගයේ' ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි සිය FB පිටුවේ ඊයේ (අගෝස්තු 20) පළකර ඇති දේශපාලන විග්‍රහයක මෙසේ සඳහන් වේ.

''අද ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුව රැස් වුණා. මහින්ද යාපා කථානායක වුණා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වුණා. තව පත්වීම් කීපයකුත් වුණා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇමතුවා. මේ හැමදේම හැමෝම බලාපොරොත්තු වුණ දේවල්. ඒ අතර විශේෂ දේවල් කීපයකුත් වුණා.

ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල් ම වතාවට එක්සත් ජාතික පක්ෂයේ එක ම මන්ත්‍රීවරයෙකුවත් නැතුව පාර්ලිමේන්තුවක් රැස් වුණා. අඩුම තරමේ පාර්ලිමේන්තුව රැස් වෙන්න කලින් තමන්ට ලැබුණු එක ම එක ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයටවත් නියෝජිතයෙක් නම් කරගන්න එක්සත් ජාතික පක්ෂයට බැරි වුණා.

එක්සත් ජාතික පක්ෂය කොන්දේසි විරහිතව සජිත් ප්‍රේමදාසට බාර දුන්නොත් ඇරෙන්න යළිත් කවදාවත් කවුරු නායකයා වුණත් ඒ පක්ෂය මේ දේශපාලන සුසානයෙන් නැගිටින්නෙ නෑ. එක්සත් ජාතික පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක ම තැනක මිහිදන් වෙයි. තව අවුරුදු හතර පහකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එතැනට ම එකතු වෙයි.

''එක්සත් ජාතික පක්ෂය කොන්දේසි විරහිතව සජිත් ප්‍රේමදාසට බාර දුන්නොත් ඇරෙන්න යළිත් කවදාවත් කවුරු නායකයා වුණත් ඒ පක්ෂය මේ දේශපාලන සුසානයෙන් නැගිටින්නෙ නෑ.''

රණසිංහ ප්‍රේමදාස ජනාධිපති සහ පක්ෂ නායකයා වශයෙන් හිටපු අවුරුදු 4-5ක කාලය තුළ ඇරෙන්න 1947 ඉඳන් අද දක්වා එක්සත් ජාතික පක්ෂය පාලනය වුණේ එකිනෙකාට ඥාති සම්බන්ධයක් සහිත සේනානායක - කොතලාවල - ජයවර්ධන පවුල් සමූහය යටතේ.

UNP Leaders

ඒ සම්බන්ධය හැදෙන්නේ ධනවත් ව්‍යාපාරිකයෙකු වෙච්ච දොන් චාල්ස් ගෙමෝරිස් ආටිගල මුදලිතුමාගේ දූවරු තුන් දෙනා මේ පවුල් තුනට විවාහ කර දීම හරහා. 19 වැනි සියවසේ අගත් 20 වැනි සියවසේ මුලත් ලංකාවේ යටත් විජිත යුගයේ අලුතින් පහළ වුණු ප්‍රභූ පංතියේ ඥාති සම්බන්ධකම් අද අපි නෑකම් පවත්වන විදිය එක්ක සංසන්දනය කරන්න බෑ.

මේ පවුල් අතර බැඳීම වගේ ම මේ පවුල්වල එක එක සාමාජිකයන් අතර තිබ්බ තරගයත් ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් කළා.

කොහොම කළත් අවසානයේ මේ පවුල් තුන ම එක සමූහයක් විදියටයි ලංකාවෙ දේශපාලනය මත තමන්ගෙ ආධිපත්‍යය මුදාහරින්නෙ. මේ පවුල් සමූහයේ අන්තිම ප්‍රබල පුරුක තමයි රනිල් වික්‍රමසිංහ කියන්නෙ. රුවන් විජේවර්ධන මේකෙ සාපේක්ෂව දුර්වල පුරුකක් කියන්න පුළුවන්.

යම් විදියකින් රනිල් වික්‍රමසිංහට එජාප නායකත්වයෙන් යන්න වුණොත් පක්ෂය රුවන් විජේවර්ධනට බාර දීලා යන්න ඔහු පුළුවන් උපරිම උත්සාහය දරයි. ඒත් ඒ වෙද්දි නාම පුවරුවක් මිස පක්ෂයක් ඉතුරු වෙලා තියෙන්නෙ නෑ.

''යම් විදියකින් රනිල් වික්‍රමසිංහට එජාප නායකත්වයෙන් යන්න වුණොත් පක්ෂය රුවන් විජේවර්ධනට බාර දීලා යන්න ඔහු පුළුවන් උපරිම උත්සාහය දරයි. ඒත් ඒ වෙද්දි නාම පුවරුවක් මිස පක්ෂයක් ඉතුරු වෙලා තියෙන්නෙ නෑ.'

රනිල් මහත්තයට ආවේණික දුර්වලතා වන මාන්නක්කාරකම සහ උද්දච්චකම වගේ දේවල් එන්නෙ තමන්ගෙ පවුල් සමූහයට මේ පක්ෂය අයිතියි අනෙක් හැමෝම මේකෙ ඉන්න අන්තේවාසිකයො විතරයි කියන entitlement එකත් එක්ක..

 ඒ වගේ ම රනිල් මහත්තයගෙ සුවිශේෂතා වන කියැවීම, දැනුම් ගවේෂණය, ඉතිහාසය, සම්භාව්‍ය කලාව, දර්ශනය ගැන දැනුම වගේ හැම එකක්ම එන්නෙත් ඔහුගේ පවුල හා බැඳුණු ප්‍රභූත්වය එක්කමයි. මේක ලංකාවේ දේශපාලනයේ එක යුගයක නිර්මිතයක්.

 

''ඒ යුගය දැන් අහෝසි වෙලා ඉවරයි''

ඒත් රනිල් මහත්තයගේ හෝ අපේ අවාසනාවට ඒ යුගය දැන් අහෝසි වෙලා ඉවරයි. ඒ අහෝසි වීම පිළිගන්නෙ නැති තැනයි ඔහු දේශපාලන වශයෙන් මළගිය ප්‍රාණකාරයෙක් බවට පත් වෙන්නෙ.

අද දේශපාලනයේ ප්‍රභූන් වෙලා ඉන්නෙ කොන්ත්‍රාත්කාර ලුම්පන් ධනපතින් පැලැන්තියක්. රනිල්ලා ගේ පැලැන්තිය වගේ සම්භාව්‍ය කලාව දර්ශනය හදාරලා නැති මේ ලුම්පන් ප්‍රභූන් ඒ චින්තනමය දුප්පත්කම වහගන්නෙ රට, ජාතිය, ආගම ගැන තමන් තුළ මාර මෙව්වා එකක් තියනවා කියන හැඟීමෙන්.

''අද දේශපාලනයේ ප්‍රභූන් වෙලා ඉන්නෙ කොන්ත්‍රාත්කාර ලුම්පන් ධනපතින් පැලැන්තියක්. රනිල්ලාගේ පැලැන්තිය වගේ සම්භාව්‍ය කලාව දර්ශනය හදාරලා නැති මේ ලුම්පන් ප්‍රභූන් ඒ චින්තනමය දුප්පත්කම වහගන්නෙ රට, ජාතිය, ආගම ගැන තමන් තුළ මාර මෙව්වා එකක් තියනවා කියන හැඟීමෙන්.''

ඒත් සල්ලි හොයන්න කරන ජාගර වැඩ වල දී රට, ජාතිය, ආගම කියන කිසි එකක් ඔවුන්ට එච්චර වලංගු සාධක වෙන්නෙ නෑ. දේශපාලන අනුහසින් ගන්න කොන්ත්‍රාත්වලින් උපයන ධනය ඔවුන් දේශපාලන කඳවුරුවල ආපහු ආයෝජනය කරනවා.

අනෙක් පැත්තෙන් මේ වෙද්දි දේශපාලන වශයෙන් වඩා ම ක්‍රියාකාරී සමාජ තීරුව බවට පත් වෙලා තියෙන්නෙ ගම්වලින් නගරවලට ආපු, නගරෙ ඉගෙන ගෙන රස්සා කරන පදිංචි වෙලා ඉන්න, මෝටර් සයිකලෙන් කාර් එකකට මාරු වෙන්න බලන, තනි තට්ටුවෙ ගෙදරින් තට්ටු දෙකේ ගෙදරට මාරු වෙන්න බලන, දේපල විකුණලා හරි ළමයින්ට උගන්වන්න බලන, සිංහලෙන් හිතන - කතා කරන මේ රටේ අලුත් මධ්‍යම පංතිය.

 ලංකාවේ මාධ්‍ය ඇතුළෙ තියෙන්නෙ මේ පංතියෙ විඥානය. සමාජ මාධ්‍යවල හුඟක් ම පේන්නෙ මේ පංතියෙ විඥානය. මේ පංතිය එන්න එන්න පුළුල් වෙනවා. ඒ අයගෙ අපේක්ෂාවන් වැඩි වෙනවා. ඒ අපේක්ෂාවන් ඔවුන්ට ළගා කරලා දෙන්න පුළුවන් දේශපාලන වීරයො ඔවුන්ට කාලෙන් කාලෙට අවශ්‍ය වෙනවා. එතකොට අර ලුම්පන් ධනපතින්ගෙ සල්ලි උඩ ගොඩනැගෙන ප්‍රොජෙක්ට් හරහා එහෙම වීර චරිත මැවෙනවා.

Ranil Wickramasinghe 2020රනිලා ගේ ඓතිහාසික කාර්‍යභාරය දැන් ඉවරයි. අහෝසියි. අවලංගුයි.

සම්භාව්‍ය ප්‍රභූවරයෙක් වෙන රනිල් මහත්තයා මේ චිත්‍රය ඇතුළෙ කොහෙවත් හොයන්න නෑ. ඒ වගේ ම මේ චිත්‍රයෙ කොතැනකටවත් ඒ වගේ අය ෆිට් වෙන්නෙත් නෑ. ඒකෙන් කියන්නෙ රනිල් මහත්තයා මේ හැම දේට ම වඩා උඩින් ඉන්න "මාර චරිතයක්" කියන එක නෙවෙයි. එයාගෙ පංතියේ, ඒ සමූහයේ ඓතිහාසික කාර්‍යභාරය දැන් ඉවරයි. අහෝසියි. අවලංගුයි.

ඒ වගේ අයට දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ කොළඹ හතේ තමන්ගෙ ලොකු ගෙවල්වලට වෙලා, ක්ලැසිකල් මියුසික් අහලා, පොත් කියවලා, ඉඳලා හිටලා ඉංග්‍රීසි පත්තරේකට ලියලා මේ හැම දෙයක් දිහා ම නිවුණු සිතින් බලලා ටිකක් විවේක ගන්න.''

රසික ජයකොඩි
20.08.2020

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්