පැමිණිල්ල ද්වේෂසහගත හා දේශපාලනික එකක් බවට විනිසුරු මඬුල්ලෙන් නිගමනයක්
හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිතට සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුකට වන්දි නියම වෙයි
පසුගිය 2024 ජනාධිපතිවරණ සමයේදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලක් පදනම් කරගනිමින් විමර්ශන ඇරඹීම තුළින් වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන නිලධාරීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන යන තිදෙනා විසින් මෙම මූලික අයිතිවාසිකම් කඩකිරීම සිදුකර ඇති බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ප්‍රකාශයට පත් කළේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අචල වෙංගප්පුලි දෙදෙනාගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් විවෘත අධිකරණයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
වන්දි නියෝග සහ ඉදිරි පියවර අත්හිටුවීම
අදාළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න දෙදෙනාට පෞද්ගලිකව වන්දි ගෙවීමට ද වගඋත්තරකරුවන්ට නියෝග කෙරිණි. ඒ අනුව පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් රුපියල් 50,000 බැගින් ද, විමර්ශනය මෙහෙයවූ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් රුපියල් 10,000 බැගින් ද වන්දි ගෙවිය යුතු බව තීන්දුවේ දැක්වේ.
මීට අමතරව, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබූ එම පැමිණිල්ල පදනම් කරගනිමින් පෙත්සම්කරුවන්ට එරෙහිව කිසිදු ඉදිරි නීතිමය පියවරක් නොගන්නා ලෙසත්, මෙම නඩු තීන්දුවේ පිටපතක් පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය නියෝග කළේය.
පැමිණිල්ලේ පසුබිම සහ දේශපාලනික අරමුණු
නඩු තීන්දුවේ කරුණු පැහැදිලි කරමින් විනිසුරු ගිහාන් කුලතුංග පෙන්වා දුන්නේ, පෙත්සම්කරුවන් දෙදෙනා පසුගිය මැතිවරණ සමයේ එක් දේශපාලන ප්‍රවාහයකට අනුබද්ධ විශ්‍රාමික පොලිස් සාමූහිකයක් හරහා කටයුතු කර තිබූ අතර, පැමිණිලිකාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊට ප්‍රතිවිරුද්ධ දේශපාලන ප්‍රවාහයක කටයුතු කර ඇති බවයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනා කරමින් 2024 ජූලි 24 වන දින පොලිස්පතිවරයා වෙත මෙම පැමිණිල්ල යොමු කර තිබූ අතර, එය පැහැදිලිවම ද්වේෂසහගත සහ දේශපාලනික අභිප්‍රායකින් සිදුකළ එකක් බව විනිසුරු මඬුල්ල නිරීක්ෂණය කළේය. එමෙන්ම එම පැමිණිල්ල පදනම් කරගනිමින් විමර්ශන ආරම්භ කර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 13(1) ව්‍යවස්ථාවන් මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ අත්‍යාසන්න අනතුරක් නිර්මාණය කර ඇති බව අධිකරණය නිගමනය කළේය.
නීතිපතිවරයාගේ ප්‍රතිඥාව සහ අධිකරණ නිරීක්ෂණය
මෙම පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන්ට එරෙහි විමර්ශන කටයුතු අත්හිටුවා ඇති බවත්, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී වාර්තාවට අදාළ කටයුතු අවසන් කර ඇති බවත් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි.
කෙසේ වෙතත්, අධිකරණයට ලබාදුන් එම ප්‍රතිඥාව නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවත්, විමර්ශන අවසන් බව ප්‍රකාශ කිරීමෙන් පසුවද ඒ සම්බන්ධයෙන් යළි උපදෙස් නිකුත් කිරීමක් සිදුව ඇති බවත් නිරීක්ෂණය කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල, නීතිපතිවරයාගේ ප්‍රතිඥාව නිසියාකාරව ඉටු වී නොමැති බව සිය තීන්දුව මගින් අවධාරණය කළේය.
පෙත්සමෙන් මතු කළ කරුණු
පාස්කු ප්‍රහාරයට අදාළ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණේ, රාජ්‍ය බුද්ධි සේවය අදාළ ලිපිය යොමුකළ 2019 අප්‍රේල් 09 වන දින රවී සෙනෙවිරත්න විදෙස්ගතව සිටි බවත්, අප්‍රේල් 16 වන දින රාජකාරි ආරම්භ කිරීමෙන් පසු එය අදාළ අංශ වෙත කඩිනමින් යොමුකළ බවත්ය. ලිපිකාරිත්වයේ ප්‍රමාදයක් හේතුවෙන් එය ශානි අබේසේකර වෙත ලැබී තිබුණේ අප්‍රේල් 20 වන දින බවද එහි සඳහන් විය.
තවද, සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වනාතවිල්ලුව සහ මාවනැල්ල ප්‍රදේශවල සිදුකළ විමර්ශන මෙන්ම, වෙනත් බුද්ධි අංශ මගින් විමර්ශන නොමඟ යැවීමට ගත් උත්සාහයන් පිළිබඳවද පෙත්සම මගින් කරුණු ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව දේශපාලන පළිගැනීම් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අයුතු ලෙස යොදාගනිමින් තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙමින් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ තිබූ අතර, දීර්ඝ විභාගයකින් අනතුරුව විනිසුරු මඬුල්ල මෙම තීන්දුව ලබා දෙන ලදී.








