ගුණදාස අමරසේකරගේ විශිෂ්ට ප්‍රබන්ධයක් වන ‘ගන්ධබ්බ අපදානය’ නව මුද්‍රණය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී අද පෙරවරුවේ ජනගත කෙරේ.
කෘතහස්ත ලේඛකයකු මෙන්ම සාහිත්‍ය සහ දේශපාලන විචාරකයකු වන ගුණදාස අමරසේකරයන් විසින් රචිත 'ගන්ධබ්බ අපදානය' ප්‍රබන්ධ කෘතියෙහි නවතම මුද්‍රණය අද පෙරවරු 11:00ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ ප්‍රධාන පීඨිකාවේ දී නිල වශයෙන් ජනගත කෙරේ.
මෙම නවකතාව හරහා කතුවරයා මතු කරන සමාජ ගැටලු මෙන්ම සාරාර්ථ පිරි දිවියක් අපේක්ෂා කරන තරුණ පරපුර මුහුණ දෙන අර්බුදයන් එදාට මෙන්ම වත්මන් සමාජ යථාර්ථයට ද එකසේ අදාළ වේ. පිටු 399කින් සමන්විත මෙම කෘතියේ පිටපතක මිල රුපියල් 1,850ක් වන අතර, විසිදුනු - කියවන නුවණ කුටිවලින් (D 19-20) 20%ක විශේෂ වට්ටමක් සහිතව මිල දී ගත හැකිය.
සංකීර්ණ මානව සබඳතා විවරණය වන ආඛ්‍යානය
නවකතාවේ කතා පුවත දිගහැරෙන්නේ ද්‍රවිඩ හෙදියක වන රීටා බැස්ටියන් සහ ඉඩම් උප කොමසාරිස්වරයකු වන ගුණරත්න අතර ගොඩනැඟෙන සුවිශේෂී ප්‍රේම සබඳතාවක් වටා ය. රීටා ආඛ්‍යානයට පිවිසීමට පෙර වක්‍ර මාවතකින් ගුණරත්න සමඟ ගනුදෙනුවකට එළඹෙන අතර, ඔවුන් දෙදෙනා මුල්වරට හමුවන්නේ බොරැල්ල කනත්තේ රෝමානු කතෝලික කොටසේ පිහිටි ඇගේ පියාගේ සොහොන අසලදී ය. ඇය එහිදී පියා සිහිකර පහන් දල්වන මොහොත, ගුණරත්න සහ රීටා අතරත්, ඔවුන් අතරින් සමුගත් පියා අතරත් ගුප්ත බැඳීමක් නිර්මාණය කරයි.
කෘතියේ අගභාගයේදී එක්තරා තැනක ‘දැන් මට කරන්න තියෙන්නේ රීටාගේ පියා මෙන් ඇයට කවරෙක් හෝ සහකරුවෙක් සොයාදීම’ යැයි ගුණරත්න කල්පනා කරයි. ‘ඩැඩී හිටියා නම් ඔයාට කැමති වෙයි’ යනුවෙන් රීටා පවසන්නේ ද ඒ අදහස තහවුරු කරමිනි. මෙහිදී ඇගේ අභාවප්‍රාප්ත පියා වෙනුවට ගුණරත්න ආදේශ වන අයුරු අපූරුවට නිරූපණය වේ.
පාඨක ප්‍රජාවට තවත් නව මුද්‍රණ එකතුවක්
‘ගන්ධබ්බ අපදානය’ කෘතියට අමතරව ගුණදාස අමරසේකරයන්ගේ තවත් කෘති කිහිපයකම නව මුද්‍රණ මේ වන විට පාඨක අයිතියට පත් කර ඇත. එම කෘති සහ මිල ගණන් පහත පරිදි වේ:
* සභ්‍යත්ව රාජ්‍යය කරා (3 වන මුද්‍රණය) – රු. 350
* ජීවන සුවඳ (14 වන මුද්‍රණය) – රු. 990
* උයනක හිඳ ලියූ කවි (4 වන මුද්‍රණය) – රු. 450
* ගමනක අග (3 වන මුද්‍රණය) – රු. 1,240
ඉහත සියලුම කෘති ද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විසිදුනු - කියවන නුවණ ප්‍රදර්ශන කුටිවලින් (D 19-20) 20%ක සුවිශේෂී වට්ටමක් සහිතව ලබාගත හැක.
(පිටපත | ජයසිරි අලවත්ත)







