කොළඹ නගර සභා සීමාවේ වාහන ගාල් කර තැබීම වෙනුවෙන් 'ටෙනගා කාර් පාර්ක්ස්'

සමාගම විසින් කොළඹ මහ නගර සභාවට ගෙවිය යුතු රුපියල් මිලියන 86 ක පමණ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.

මෙසේ මුදල් ගෙවීම පැහැර හැරීම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි 'ටෙනගා කාර් පාර්ක්ස්' සහ කොළඹ මහ නගර සභාව අතර ඇතිකර ගෙන තිබෙන ගිවිසුම අවලංගු කළ යුතු වුවද, 'වියත්මග' ලොක්කන් දෙදෙනෙකුගේ බලපෑම් නිසා එකී ගිවිසුම අවලංගු කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද පැවසේ.

කොළඹ නගරයේ ගලධාරී වට රවුමේ සිට වැල්ලවත්තටත්, ලිබර්ටි වට රවුමේ සිට ධර්මාරාම පාර දක්වා සහ ඒ සියලු අතුරු මාර්ග වලත් රථ වාහන ගාල් කිරීමට අදාල ගාස්තු මුදල් රිසිට් පත් නිකුත් කර අය කර ගැනීමට කොළඹ 5, හැව්ලොක් ගාර්ඩ්න්ස් හි, අංක 291/33 හි ව්‍යාපාර කටයුතු වල යෙදෙන 'ටෙනගා කාර් පාර්ක්ස්' සමාගමට කොළඹ මහ නගර සභාව මගින් 2016 දී අත්සන් කරන ලද ගිවිසුමක් යටතේ බලය පවරා ඇත.

එකී ගිවිසුම ප්‍රකාරව අය කරගනු ලබන ගාස්තු සහ දඩ මුදල් වලින් කොටසක් අදාල සමාගම විසින් කොළඹ මහ නගර සභාවට මාසිකව ගෙවිය යුතු වුවද, මේ වසරේ ජනවාරි මාසයේ සිට එම මුදල ගෙවීම අදාල සමාගම විසින් මේ වන තෙක් පැහැර හැර ඇත.

ඒ අනුව එකී සමාගම මේ වන විටත් කොළඹ මහ නගර සභාවට වාහන ගාල් කිරීමට අය කරන ගාස්තු වලින් රුපියල් මිලියන 46 ක මුදලකට පොල්ලක් තබා තිබේ. එම පැහැර හැරීමට අදාලව දඩ මුදලක් ද අයවිය යුතු අතර එම මුදල් ගෙවීමද එකී සමාගම මේ වන තෙක් පැහැර හැර ඇත.

එකී සමාගම මේ වන විටත් කොළඹ මහ නගර සභාවට වාහන ගාල් කිරීමට අය කරන ගාස්තු වලින් රුපියල් මිලියන 46 ක මුදලකට පොල්ලක් තබා තිබේ. එම පැහැර හැරීමට අදාලව දඩ මුදලක් ද අයවිය යුතු අතර එම මුදල් ගෙවීමද එකී සමාගම මේ වන තෙක් පැහැර හැර ඇත.

ඊට අමතරව අදාල ගිවිසුමට අනුව 'පාර්කිං මීටර් යන්ත්‍ර' 150 ක් 2016 දෙසැම්බර් 31 දිනට පෙර සවි කිරීමට ටෙනගා කාර් පාර්ක්ස් සමාගම එකඟ වී තිබේ.

ඒ අනුව 2017 ජනවාරි මස සිට රථ පාලක පාලිකාවන් යොදවා ටිකට් නිකුත් කිරීම සම්පූර්ණයෙන් එකී සමාගම නැවැත්විය  යුතු බවද එකී ගිවිසුමේ සඳහන් වේ.

එහෙත්, එකී කොන්දේසිය මෙම සමාගම විසින් සම්පූර්ණ කර නැති අතර, තවමත් රථ පාලක පාලිකාවන් යොදවා ගාස්තු එකතු කිරීම සිදු කරනු ලබයි.

 

දිනකට රු. 30,000 ක දඩ මුදලක් !

එසේ එකී යන්ත්‍ර 150ක් සවි කිරීම පිළිබඳ කොන්දේසිය උල්ලංඝනය කිරීම වෙනුවෙන් දිනකට රුපියල් 30,000 ක දඩ මුදලක් එකී සමාගම විසින් කොළඹ මහ නගර සභාවට ගෙවිය යුතුය.

ඒ අනුව 2017 ජනවාරි 1 වනදා සිට මේ දක්වා රුපියල් මිලියන 40 ක පමණ දඩ මුදලක් පාර්කිං මීටර් යන්ත්‍ර 150 සම්පූර්ණයෙන් සවි නොකිරීම නිසා කොළඹ මහ නගර සභාවට ගෙවිය යුතු වුවද, එකී මුදල ගෙවීමද මේ දක්වා එම සමාගම පැහැර හැර ඇත.

ටෙනගා කාර් පාර්ක්ස් සහ කොළඹ නගර සභාව අතර ඇති කර ගත් ගිවිසුමට අනුව මෙම ව්‍යාපෘතිය ජනතා පහසුව සහ කොළඹ මහ නගර සභාවට ආදයම් උපදවන ව්‍යාපෘතියක් වන බැවින්, මෙම ගිවිසුමට කිසිදු සංශෝධනයක් එක් කළ නොහැකි බවත්, කළ හැකි වෙනස්කම් වන්නේ මහ නගර සභාවට ලැබෙන ආදායම් කොටස වැඩි කිරීම සහ වාහන ගාල් කරන මං තීරු ගණන් වැඩි කිරීම පමණක් බවත් පැහැදිලි වන බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 විශේෂයෙන් සැලකිය යුතු කරුණ වන්නේ අත්සන් කළ ගිවිසුමත්, මහ නගර සභාවට ඉදිරිපත් කළ යෝජනාත් අතර යම් ගැටලුවක් පැන නගින්නේ නම් ඉදිරිපත් කළ යෝජනාව පිළිගත යුතු බවයි.

එයට හේතුව ව්‍යාපෘතිය පිරිනැමීමේදී ආයතනයක් තෝරා ගනු ලැබූවේ ඉදිරිපත් කර ඇති යෝජනාවේ සඳහන් සේවාව මත බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

colombo Tenaga Car Parks

කොළඹ මහ නගර සභාවට දිගින් දිගටම ලැබිය යුතු ආදායම අහිමි වන මෙම තත්ත්වය හමුවේ මෙකී සමාගම සමග ඇතිකර ගත් ගිවිසුම වහා අවලංගු කරන ලෙස කොළඹ මහ නගර සභාව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මහ නගර සභාවේ පසුගිය මස පළමුවෙනි මුදල් කමිටුවට (මසකට මුදල් කමිටුව සාමාන්‍යයෙන් දෙවරක් රැස්වේ.) ඉංජිනේරු මංජුල කුලරත්න විසින් ඉදිරිපත් කරන ලද අතර, එය 'ටෙනගා කාර් පාර්කිංස්' සමාගමට වාසිදායක වන ලෙස පක්ෂග්‍රාහීව සකස් කර තිබූ පදනම යටතේ නිවැරදි වාර්තාවක් ඊළඟ මුදල් කමිටුවට ඉදිරිපත් කරන ලෙස නගරාධිපතිනි රෝසි සේනානායක නියෝග කර තිබෙන බව පැවසේ.

ඒ අනුව නිවැරදි වාර්තාවක් සකස් කළද පසුගිය මස දෙවන මුදල් කමිටුවට එය ඉදිරිපත් නොවීම නිසා නගරාධිපතිනිය ඒ පිළිබඳ විමසා ඇත.

අවසානයේ ටෙනගා කාර් පාර්ක්ස් සමාගම සමග ඇතිකර ගත් ගිවිසුම පසුගිය දෙසැම්බරයේ මහ සභාව ගත් තීරණය අනුව අවලංගු කරන ලෙස නගරාධිපතිනිය නාගරික කොමසාරිස්වරිය වූ නීතීඥ රෝෂිනී දිසානායකට උපදෙස් ලබා දී ඇත.

 

'වියත් මගත්' හවුල් !

වර්තමාන රජය බලයට පත් වූ පසුව නාගරික කොමසාරිස්ධුරයට පත් වූ නීතීඥ රෝෂිනී දිසානායක 'වියත් මග' සංවිධානයේ ප්‍රබල සාමාජිකාවක් වන අතර, රාජ්‍ය අමාත්‍ය සහ 'වියත්මග' ප්‍රධානියෙකු මෙන්ම ප්‍රකාශිකාවකද වන සීතා අරඹේපොල ගේ දේවි බාලිකා විද්‍යාලයේ එකම පන්තියේ උගෙනුම ලැබූ අයෙකු වේ.

අපට ලැබී ඇති විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ටෙනගා කාර් පාර්ක්ස් සමාගමේ ගිවිසුම අවලංගු කරන ලෙස කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක ලබා දෙන ලද උපදෙස සම්බන්ධයෙන් රෝෂිනී දිසානායක නාගරික කොමසාරිස්වරිය යළි නගරාධිපතිනිය අමතා ප්‍රකාශ කර ඇත්තේ "එකී ගිවිසුම මේ අවස්ථාවේ අවලංගු කළ නොකරන ලෙසට ඉහළින් උපදෙස් ලැබී ඇති බවයි."

''රෝෂිනී දිසානායක නාගරික කොමසාරිස්වරිය යළි නගරාධිපතිනිය අමතා ප්‍රකාශ කර ඇත්තේ "එකී ගිවිසුම මේ අවස්ථාවේ අවලංගු කළ නොකරන ලෙසට ඉහළින් උපදෙස් ලැබී ඇති බවයි.''

මේ පිළිබඳව කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග අප සමග පැවැසුවේ, වියත්මග ප්‍රධානියෙකු සහ ටෙනගා සමාගමේ ප්‍රධානියෙකු අතර පවතින සුහද සම්බන්ධයක් නිසා කිසිවිටක මෙම ගිවිසුම අවලංගු කළ නොහැකි බව මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් අතර කසු කුසුවක් පවතින බවයි.

(theleader.lk හි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්