විමර්ශන ඉලක්කය සහ අධිකරණ පියවර
ආගමික සිද්ධස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල වන බවට පසුගිය දිනවල පැතිර ගිය නොමඟ යවන සුළු සටහන් සහ සංවේදී ආගමික අනන්‍යතාවන් යොදාගනිමින් පවත්වාගෙන ගිය මුහුණුපොත් පිටු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විශේෂ අවධානය යොමුකර තිබේ.
එවැනි ක්‍රියාකාරකම් කිහිපයකට අදාළව මේ වන විටත් අධිකරණයට කරුණු වාර්තා කර නීතිමය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේය.
අමාත්‍යවරයා පැවසුවේ ඊට බුදු දහමට සම්බන්ධ නමක් සහිත මුහුණු පොතේ පිටුවක් තුළ සටහනක් පළ කළ පුද්ගලයෙක් මෙන්ම අටමස්ථානය, දඹුලු විහාරය ඇතුළු බෞද්ධ ආගමික ස්ථාන වලට ප්‍රහාර එල්ල කරන බවට දැමූ ව්‍යාජ සටහනක් සම්බන්ධ පුද්ගලයෙක් ඇතුළු කිහිපදෙනෙක් අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුළ රටේ ආගම්, ජාතින්, ජාතික ආරක්ෂාව පමණක් නොව පුද්ගලයින් , පුද්ගල කණ්ඩායම් පදනම් කරගෙන කිසිම කාරණයක් සම්බන්ධ ව්‍යාජ තොරතුරක් සමාජ මාධ්‍ය ජාලා තුළ පළ කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් සමාජ මාධ්‍ය ජාලාවල බොරු පතුරුවන්නන් පිළිබඳව විශේෂ බුද්ධි අංශ යොදවා සිටින බවත් අමාත්‍ය විජේපාල තවදුරටත් සඳහන් කළේය.
දේශීය මෙන්ම විදේශීය මට්ටමින් සැලසුම් සහගතව ව්‍යාජ ගිණුම් නිර්මාණය කරමින් ජන මනස නොමඟ යැවීමට ගන්නා මෙවැනි උත්සාහයන් පිටුපස සිටින පාර්ශ්ව හඳුනාගැනීම සඳහා විශේෂ බුද්ධි මෙහෙයුම් ද ක්‍රියාත්මක බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග තහවුරු කරයි.
ඩිජිටල් අවකාශය සහ සමාජ ස්ථාවරත්වය
සමාජ මාධ්‍ය හරහා හිතාමතා වෛරී ප්‍රකාශ හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන දේ ප්‍රචාරය කිරීම තවදුරටත් සාමාන්‍ය ඩිජිටල් හැසිරීමක් පමණක් නොවන බවත් එය රටේ නීතිය හමුවේ බරපතළ වරදක් බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි.
රජය පවසන්නේ, මැතිවරණ හා දේශපාලන සංක්‍රාන්ති සමයන් තුළ ජන සමාජයේ අවධානය වෙනතකට යොමුකිරීමට හෝ ආගමික නොසන්සුන්තාවන් නිර්මාණය කිරීමට ඇතැම් කණ්ඩායම් සමාජ මාධ්‍ය අවකාශය උපක්රමශීලීව භාවිත කරන බවයි. මෙවැනි පසුබිමක, නිල නොවන තොරතුරු තහවුරු කරගැනීමකින් තොරව 'Share' කිරීමෙන් වැළකී සිටීමේ පුරවැසි වගකීම පෙරට වඩා තීරණාත්මක වී ඇතැයි ද රජය අවධාරණය කරයි.
රටේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීමේ ප්රයත්නයන් ඉදිරියට යන අතරතුර, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා නොවන පරිදි සැබෑ වැරදිකරුවන් පමණක් නීතියේ රැහැනට හසුකර ගැනීම විමර්ශන අංශ සතු ප්‍රධාන වගකීමක් ලෙස නීති විශාරදයෝ දකිති.



