වයස 30න් ඉහළ ඔසී පිල
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 30 ට අඩු කිසිම ක්‍රීඩකයෙක් නැති එකොළොස් දෙනෙකුගේ කණ්ඩායමක් පිටියට යවා තිබෙනවා. මීට හේතුව වී තිබෙන්නේ ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් තහවුරු කර ගැනීමට තරුණ ක්‍රීඩකයින් අසමත් වීමයි.
දින 579කට පසු දීර්ඝතම ආගමනය
දකුණු අප්‍රිකාව ට එරෙහිව ඩර්බන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ඉදිරිපත් කර තිබෙන මේ වයසට යන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එක් ආරම්භක පිතිකරුවෙකු වන්නේ නික් මැඩින්සන්. ඔහු ඊයේ (සිකුරාදා) ටෙස්ට් කඩුල්ලට පිවිසියේ වසර දහයකින් පසුවයි.
2016 වසරේදී අවසන් වරට ටෙස්ට් තරගයක ක්‍රීඩා කළ මේ වමත් පිතිකරුවා 2025 මාර්තුවේ සිට පළමු-පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර නැහැ. ඔහු ඊයේ නැවත පැමිණියේ පළමු-පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් දින 579ක් ඉවත්ව සිටීමෙන් පසුව වන අතර මෙය ටෙස්ට් තරගයකට සහභාගි වීමට පෙර ඔස්ට්‍රේලියානුවෙකුගෙන් වාර්තා වූ එවැනි වඩාත්ම දීර්ඝතම හිඩැස වනවා.
පන්දු 33ක බින්දුව
කෙසේ වෙතත්, දීර්ඝ කාලයකින් පසුව සිදුවූ මැඩින්සන්ගේ ආගමනය පන්දු 33ක බින්දුවකින් අවසන් වුණා. මෙය ටෙස්ට් ඉනිමක ලකුණු ලබා ගැනීම ආරම්භ නොකර ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු මුහුණ දුන් වැඩිම පන්දු සංඛ්‍යාව වනවා. ඔහු අවසානයේදී දැවී ගියේ පන්දුව පිත්තේ අග වැදී කඩුල්ල සමග ගැටීමෙන්.
ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය සටන
ජාත්‍යන්තර වේදිකාවට මැඩින්සන්ගේ නැවත පැමිණීම සිදුවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් බැහැර සිදුවූ ඊට වඩා බොහෝ වැදගත් බිහිසුණු සටනකින් පසුවයි.
ඔහුට වෘෂණ පිළිකාව වැළඳී තිබෙන බවට විනිශ්චය කිරීමෙන් පසුව එය ඉවත් කිරීම පිණිස ඔහු සැත්කමකට බඳුන් වුණා. ඊට සති හතකට පසුව සිදු කළ වැඩිදුර පරීක්ෂණවලදී පිළිකාව ඔහුගේ උදරයේ වසා තරලයට හා පෙනහැල්ලට පැතිර ගොස් ඇති බවට අනාවරණය වුණා.
පවුලේ කැපවීම සහ රසායනික චිකිත්සාව
ඔහු රසායනික චිකිත්සාව ආරම්භ කරන විට ඔහුගේ බිරිඳ ඔවුන්ගේ දෙවැනි දරුවා සමග ගැබ්බරව සිටියා. මැඩින්සන් ප්‍රතිකාර ගනිද්දී ඔවුන්‌ගේ ළදරුවා රැක බලා ගැනීම පිණිස බිරිඳ ඇගේ දන්ත වෛද්‍ය රැකියාවෙන් අස්වුණා.
ඔහුගේ දවස් රෝහලට යාම, නිදාගැනීම හා රසායනික චිකිත්සාව අතරතුර චර්යා රටාවක් පවත්වා ගෙන යාමේ පරිශ්‍රමය වටා කේන්ද්‍රගතව තිබුණා. මැඩින්සන් ඔහුගේ ප්‍රතිකාර ජූලි 14 වැනිදා අවසන් කළ අතර සම්පූර්ණ පුහුණුවීමක යළි නිරත වීම සඳහා අවසර ලැබීමට පෙර තවත් මාස දෙකක් බලා සිටීමට ඔහුට සිදුවුණා.
ජීවිතය දිනූ පිතිකරුවා
ඔහුගේ දෙවැනි පුතුගේ උපතෙන් පසුව මැඩින්සන් නැවත ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ යළිත් නීරෝගී වීමට ලැබීම ගැන කෘතඥ වෙමින්. අසාමාන්‍ය යමක් දැණුනොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසට ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අවසානයේදී ඊයේ ඔහු නැවත වතාවක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළා. කෙසේ වෙතත්, ඔහු නැවත ආරම්භ කළ ගමනට ලකුණු පුවරුවෙන් තෘප්තිජනක ප්‍රතිඵලයක් ලැබුනේ නැහැ.
(සටහන | වර්නන් ගුණසේකර)
ක්‍රීඩා සංස්කාරක




