පැමිණිල්ලේ 339 වන සාක්ෂිකරු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක එරංග ප්‍රභාෂ් ලක්සිරි මහතා වෙත හරස් ප්‍රශ්න යොමු කරමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් මෙම යෝජනාව කරන ලදී.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකු ට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අදාළ සිද්ධියට සම්බන්ධ විමර්ශනය කළ නිලධාරියා ලෙස සාක්ෂි ලබා දෙමින් සිටි අවස්ථාවේදී විත්තියේ නීතිඥවරු මෙම කරුණු මතු කළහ.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
එහිදී මෙම නඩුවේ 6 වන චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා සාක්ෂිකරු ගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේය.
spc ආයතනය පිළිබඳව මෙම සාක්ෂිකරු විසින් පෙර දින සාක්ෂි ලබා දුන් සාක්ෂියට අදාළව හරස් ප්‍රශ්නයක් යොමු කළ නීතිඥවරයා එම විමර්ශනයේදී spc ආයතනය තීන්දු තීරණ ගැනීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයක් සිටින බවට කරුණු අනාවරණය වූයේ දැ යි ප්‍රශ්න කර සිටියේය.
එහි අධ්යක්ෂ මණ්ඩලයක් සිටින බවට කරුණු අනාවරණය වූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
එම අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වීම් පවත්වන බවට විමර්ශනයේදී අනාවරණය වූවාද යන්න පිළිබඳව නීතිඥවරයා විමසීම් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඊට සම්බන්ධ රැස්වීම් සටහන් පරිශීලනය කිරීමක් නොකළ බවය.
විමර්ශනයේදී මතුවන කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කටයුතු කළ අතර අධ්‍යක්ෂක මණ්ඩලයේ සටහන් ලබා ගැනීමට අවශ්‍යතාවයක් මතු නොවූ බවද සාක්ෂිකරු කියා සිටියේය.
අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් පරිපාලන කටයුතු සහ තීරණ ලබා ගැනීමට අදාළව සිදු කරන බව අනාවරණය වූ බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.

එසේ වුවද එහි තිබුණු අධ්යක්ෂ මණ්ඩලයේ මිනිට් සටහන් විමර්ශනයට පාදක කර නොගත් බව සාක්ෂිකරු සඳහන් කළේය.
"එහි මුදල් ප්‍රවාහ එහෙමත් නැත්නම් cash flow සම්බන්ධයෙන් විමර්ශනයක් කළාද?" නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඊට අදාළව ප්‍රකාශ කිහිපයක් සටහන් කරගත් බවය.
අදාළ සැපයුම් වලට ලැබිය යුතු මුදල් වසර ගණනාවක සිට ලැබීම්වල හිඟයක් පැවති බව එහිදී අනාවරණය වූ බවද සාක්ෂිකරු කියා සිටියේය.
එම මූල්‍ය ප්‍රකාශය මේ නඩුව සඳහාම සකස් කළ මූල්‍ය ප්‍රකාශන මිස ආයතනික වශයෙන් ලබා නොගත් ඒවා බවට තමන් යෝජනා කරන බව නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේ දී සාක්ෂිකරු සඳහන් කළේ අදාළ ප්‍රකාශයන් එහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනියක් ගෙන් ලබාගත් බවය .ඒ සම්බන්ධයෙන් ඇය විසින් සාක්ෂි ලබාදුන් බවද ඔහු කියා සිටියේය.
අදාළ ලේඛන තහවුරු කර ගැනීම සඳහා ඇයගෙන් සාක්ෂි ලබාගත් බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය
"ඔබ spc අධ්‍යක්ෂක මණ්ඩලයේ ලේඛන සහ වෙනත් ප්‍රකාශ ලබා නොගත්තේ විමර්ශනය නිසි පරිදි නොකිරීමට බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.
අදාළ ප්‍රකාශය ප්‍රධාන මූල්‍ය නිලධාරීන්ගෙන් ලබාගත් අතර වෙනත් අයගේ ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යතාවයක් ඇති නොවූ බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
"ඔබ පැමිණිල්ලට වාසිදායක සාක්ෂි ලබාදෙන බවට යෝජනා කරනවා "යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.
"ඔබ ඒ සම්බන්ධයෙන් මෙම ගරු අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙන බවට යෝජනා කරනවා"යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු එම යෝජනාව ද ප්‍රතික්ෂේප කළේය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමයට අදාළ අනුකමිටුවේ සභාපතිනි ලෙස කටයුතු කළ චම්පිකා වික්‍රමසිංහ මහත්මිය පිළිබඳව විමර්ශනයක් කළ අතර ඇයගේ ලේකම්වරයකු පිළිබඳව අනාවරණයක් නොවූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
"එම කමිටුවට සම්බන්ධව වෛද්‍ය අරවින්දු වික්‍රමසිංහ නමැති පුද්ගලයකු කටයුතු කළාද?" යන්න පිළිබඳව අනාවරණයක් නොවූ බවත් අදාළ ලේඛනවල ඔහුගේ නම ඇත්නම් ඒ පිළිබඳව සාක්ෂියක් ලබා දිය හැකි බවත් සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
"කැබිනට් සංදේශ සකස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කළාද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශ කිහිපයක් ඇති අතර එකින් එක ඒ සම්බන්ධව පැවසීමේ හැකියාවක් තමන්ට නොමැති බවය. කැබිනට් සංදේශය සකස් කිරීමේ මූලික කටයුතු ලේකම්වරයාගේ උපදෙස් මත ඒ ඒ අංශ වලින් සිදු කර සහකාර ලේකම් හරහා ඇමතිවරයා වෙත අත්සන සඳහා යොමු කරන බව සාක්ෂිකරු කියා සිටියේය.
"එසේ සකස් කළ කැබිනට් සංදේශය කුමන හෝ අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ අංශයට යොමු කරන බව අනාවරණය වුණාද?"යන්න යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එවැන්නක් විමර්ශනයේදී අනාවරණය වූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
එම කැබිනට් සංදේශය ආකෘති පත්‍රය සමග අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයට ත්‍රෛයි භාෂාවෙන් සකස් කර යොමු කරන බව සාක්ෂිකරු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
නීතිඥවරයා: කැබිනට් සංදේශය සකස් කළ විෂය භාර නිලධාරියාගේ නම සඳහන් වූ බව අනාවරණය වුණාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී, කැබිනට් සංදේශ සකස් කළේ ආයතනය නිලධාරියෙක් කියලා අනාවරණය වුණා .එම සංදේශයේ නම සහ අභ්‍යන්තර දිගු අංකය තිබුණා.
නීතිඥවරයා: එහි අංශ ප්‍රධානියා ගේ හෝ මාණ්ඩලික නිලධාරියාගේ නම සඳහන් වන බවක් අනාවරණය වුණාද?
සාක්ෂිකරු :එහි සටහන්වීමක් තියෙනවා. අත්සන් කර ඉදිරිපත් කිරීමක් කරන බවට අනාවරණය වුණා
නීතිඥවරයා: මාණ්ඩලික නිලධාරියාගේ ජංගම දුරකථන අංකය එහි සඳහන් වෙනවද?
සාක්ෂිකරු :ස්වාමීනි, ඒ පිළිබඳ විමර්ශනය කළා. එහිදී අනාවරණය වුණේ කැබිනට් සංදේශය අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ගිය පසු එහි අඩුපාඩු තිබෙනවා නම් ඒ ගැන හා සංශෝධන පිළිබඳව දැනුම් දීමට අංකය සහ මෙවැනි පෝරමයක් ඉදිරිපත් කරන බව අනාවරණය වුණා.
නීතිඥවරයා: එම කැබිනට් සංදේශයේ නම සඳහන් ශිරන්තී දිසානායක ගේ ප්‍රකාශයක් ගත්තාද?
සාක්ෂිකරු: ප්‍රකාශයක් ගැනීමට උත්සාහ කළා. එහෙත් ඇය විදේශගත වී සිටින බවට අනාවරණය වුණා.
නීතිඥවරයා: එහිදී විෂය භාර කළමනාකාර සහකාර වරයකු ගේ ප්‍රකාශයක් ගත්තාද?
සාක්ෂිකරු. විමර්ශනයේදී විෂය භාර කළමනාකාර සහකාරයෙකු ගේ ප්‍රකාශයක් ගත්තේ නෑ ස්වාමීනී. අදාළ නිලධාරියා වූ 10 වන චූදිත ගේ ප්‍රකාශයක් ගත්තා.
නීතිඥවරයා: වසර දෙක හමාරකටත් ආසන්න කාලයක් කළ විමර්ශනයේදී ඔබ එය අත්සන් කර පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ගන්න කටයුතු කළේ නෑ?
සාක්ෂිකරු: එම කැබිනට් සන්දේශය සකස් කර තිබුණේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත බව තමයි අනාවරණය කළේ. එම නිලධාරීන්ගේ කට උත්තර ගැනීම සිදුකළා.
නීතිඥවරයා: එය ඇත්තද නැත්ත ද කියලා බලන්න කට උත්තරයක් ගැනීමක් ඔබ කළේ නෑ.
සාක්ෂිකරු :ප්‍රකාශයක් ගන්න ශිරන්තී දිසානායක පිළිබඳව තොරතුරු සොයා බැලුවා ඇය විදේශගත වූ බවට දැන ගත්තා.
නීතිඥවරයා: මෙම විමර්ශනය සාධාරණව සහ නිසියාකාරයෙන් කර නොමැති බවට යෝජනා කරනවා.
සාක්ෂිකරු: එය ප්‍රතික්ෂේප කරනවා
නීතිඥවරයා: අවශ්‍ය සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර නෑ,?
සාක්ෂිකරු: අවශ්‍ය පුද්ගලයන්ගේ ප්‍රකාශ පමණයි සටහන් කර ගත්තේ
නීතිඥවරයා:මෙහිදී ඔබ පැමිණිල්ලට වාසිදායක අයගේ ප්‍රකාශ පමණක් සටහන් කරගත් බවට යෝජනා කරනවා.
සාක්ෂිකරු: ස්වාමීනි, ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. විමර්ශනයේදී අවශ්‍ය අයගේ පමණයි ප්‍රකාශ ලබා ගත්තේ.
"ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් රුධිර ප්ලාස්මා ලබා ගැනීමට අයිසොලේස් බයෝ ටෙක් පාමා ආයතනය ඉල්ලීමක් කර තිබූ බවට විමර්ශනවලදී අනාවරණය වුණාද?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ බවට අනාවරණය වූ බවය.
ඒ සම්බන්ධයෙන් වාචික ඉල්ලීමක් කර ඇති බවද එසේ රුධිර ප්ලාස්මා ලබා ගැනීමට සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුමැතිය අවශ්‍ය ලබා ගත යුතු බවට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ලක්ෂ්මන් මහතා විසින් දැනුම් දීමක් කර ඇති බව අනාවරණය වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
"ස්වාමීනී, වාර්ෂිකව ඉතිරි වෙන රුධිර ප්ලාස්මා නිකුත් කිරීමට ටෙන්ඩර් කැඳවන බව අනාවරණය වුණා. ලක්ෂ්මන් මහතාගේ ප්රකාශයේදී අනාවරණය වුණා ප්ලාස්මා පිටට විකුණන්නේ නැති බව. පරීක්ෂණ සඳහා ලබා දීමට අවසරය ලබාගත යුතුයි. අයිසොලේස් බයෝ ටෙක් පාමා ආයතනයට රුධිර ප්ලාස්මා විශාල ප්‍රමාණයක් ඉල්ලා ඇති බැවින් එය ලබාදිය නොහැකි බවත්, ඒ සඳහා ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය බවත් දන්වා තිබූ බව විමර්ශනයේදී අනාවරණය වුණා" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
"පැ .27 ලෙස ලකුණු කර ඇති 2020/05/27 දරණ ලේඛනයට සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නීතිඥවරයා එහි "authorised " යනුවෙන් සඳහන් කර ඇති සටහන නිරීක්ෂණය කිරීමක් කළාද?" යනුවෙන් සාක්ෂිකරු ගෙන් විමසා සිටි අවස්ථාවේ එහෙම සටහන් නිරීක්ෂණය කළ බව සාක්ෂිකරු සඳහන් කළේය
"එහි visit කියන වචනය තනි ඉරකින් කපා තිබීම සම්බන්ධයෙන් විමර්ශනය කළාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ පිළිබඳව විමර්ශනය කිරීමක් නොකළ බවය." ස්වාමීනි, අප විමර්ශනය කළේ අයිසොලස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ් ආයතනයට රුධිර ප්ලාස්මා නිකුත් කර තිබෙනවාද?" යන්න පිළිබඳව එය නිකුත් කර ඇති බව අනාවරණය වුණා. යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළ අවස්ථා ප්‍රකාශ කළේය.
"නිකුත් කර අවසානයේදී හෝ මෙම visit කියන වචනය කපා දැමුවාද යන්න පිළිබඳ විමර්ශනයක් කළාද?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.
එවැනි විමර්ශනයක් සිදු නොකළ බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
ඒ නිසා තමයි මා යෝජනා කරන්නේ මේක අසම්පූර්ණ විමර්ශනයක් කියලා යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු එය ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.
"ගෙවීම් වව්චර පිළිබඳව විමර්ශනයක් සිදු කළාද?" යන්න පිළිබඳව නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ප්‍රශ්න ගත ඖෂධ දෙකට අදාළව සිදු කළ ගෙවීම් සම්බන්ධයෙන් එවැනි විමර්ශනයක් කළ බවය.එහිදී ගෙවීම් වලට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස 2020 අගෝස්තු මස සිට 2024 දක්වා වෛද්‍ය සැපයුම් ආයතනයේ තිබූ සටහන් පිළිබඳව අනාවරණයක් කර ගැනීමක් සිදු කළාද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකරු එහිදී සඳහන් කළේ එවැනි ලේඛන භාරයට ගැනීමක් සිදු නොකළ බවය
අදාළ ගොනුව 2020 අගෝස්තු වන විට වෛද්‍ය සැපයුම් ඒකකයට යවා තිබූ බවක් අනාවරණය වූවාද යනුවෙන් විමසා සිටි නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ විමර්ශනයේදී එම ගොනුව භාර ගැනීමක් සිදු නොකළ බවය.
එම ගොනුව භාර නොගැනීම සඳහා විශේෂ හේතුවක් තිබුණාද යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර භාර ගැනීමක් නොකළ බව සාක්ෂිකරු ඊට පිළිතුරු වශයෙන් කියා සිටියාය.
"සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර සිටි ලේකම්වරු ද ගෙවීම් වලට ප්‍රමුඛතාවය ද ලබා දෙන ලෙස දන්වා නිකුත් කර ඇති ඇති ලිපි පිළිබඳව අනාවරණයක් වුණාද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකළ බැවින් ප්‍රකාශයක් කළ නොහැකි බවය.
"සැපයුම්කරුවන් ට අදාළව සම්පූර්ණ පොරොත්තු ලේඛනයක් ලබා ගැනීමක් මෙම විමර්ශනයේදී සිදු කළාද ?"
යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැන්නක් භාරයට ගැනීමක් සිදු නොකළ බවය.
යෝජනාවක් ඉදිරිපත් කරමින් මෙම විමර්ශනය අසම්පූර්ණ ලෙස කර ඇති බවට නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එය ප්‍රතික්ෂේප කරන බවත් අදාළ විමර්ශනය ලේඛන හරහා සිදු කළ බවත්ය.
"මෙම සිද්ධියේ නියම තත්ත්වය හෙළිවන පරිදි සාධාරණ විමර්ශනයක් කර නැති බවට යෝජනා කරනවා." යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු එයද ප්‍රතික්ෂේප කළේය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගෙවීම් සිදුකිරීමට භාණ්ඩාගාරයෙන් අක් මුදලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එම මුදල් spc ආයතනයට යොමු වී තිබූ බවට අනාවරණය වූ බවය.

"ඉන්දියානු යෝජනා ක්‍රමයට අදාළව වෙන ම වැය විෂයක් තිබූ බවට අනාවරණය වුණාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ මුදල් අමාත්‍යංශය විසින් වෙනම මුදල් වෙන් කිරීමක් තිබූ බවට අනාවරණය වූ බවය.
icl යටතේ කරන ගෙවීම් සම්බන්ධයෙන් ඉන්දියානු රජය විසින් යම් මූල්‍යමය ප්රතිපාදනයක් වෙන් කළ බවට අනාවරණය වුණාද? යන ප්රශ්නය නීතිඥවරයා යොමු කළ අතර "ස්වාමීනි, විමර්ශනයේදී අනාවරණය වුණේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ආනයනය කිරීමේදී අනුකමිටුව ප්‍රධාන කමිටුව icl සම්බන්ධීකරණ කමිටුව හරහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනුමැතිය ලැබුණු පසු ඒ මුදල් මහා භාණ්ඩාගාර ගිණුමට ඇතුළත් වන බව අනාවරණ වූ අතර ඖෂධ සැපයීම කළ පසුව ඊට අදාළ මුදල් ඉන්දියානු මුදලින් ඉන්දියානු නිෂ්පාදකයන් ට ගෙවීම් කල යුතු කරන බවට අනාවරණයක් වූ බව" සාක්ෂිකරු සඳහන් කළේය
"මේ සඳහා ගෙවීම් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් බවට යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ හයවන චූදිත විසින් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය මගින් ගෙවීමට අනුමැතිය ලබා දුන් බව අනාවරණය වූ බවය.
පැ. 93 ලෙස ලකුණු කර ඇති ලේඛනය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් හයවන චූදිත යොමු කළ ලිපියක් වන අතර එහි 94 ලෙස ලකුණු කර ඇති මිනිට් සටහනක් ඇති බව සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ නීතිඥවරයා යොමු කළේය.
අදාළ සටහන මගින් 6 වන චූදිත විසින් 10 වන චූදිතගෙන් නිර්දේශ ඉල්ලා තිබූ බව ද එය විමර්ශනයේදී භාරයට ගත් බවද සාක්ෂිකරු සඳහන් කළේය.
"වෛද්‍ය සැපයුම් ඒකකය විසින් සිදුකළ ගෙවීම් වලට අදාළ වව්චර් පත් පරීක්ෂාවේ දී නමක වෙනසක් තිබීම සම්බන්ධයෙන් නිරීක්ෂණයක් වුණාද ?"යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එහි දෝෂයක් ඇති බව නිරීක්ෂණය වූ බවය.
එයට අදාළ මුදල් ගෙවා අවසන් වී ඇති බව විමර්ශනයේදී අනාවරණය වූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
"නමේ වෙනසක් තිබියදී මුදල් ලබා ගැනීම සිදුකළේ කෙසේදැයි යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කළාද?" යනුවෙන් නීතිඥවරයා එහිදී ප්‍රශ්නයක් යොමු කළේය
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ අදාළ විමර්ශනයේදී එම මුදල් අදාළ ආයතනයේ ගිණුමට බැර වූ බවට කරුණු අනාවරණය වූ බවත් ඒ සම්බන්ධයෙන් බැංකු නිලධාරීන්ගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමක් සිදු නොකළ බවත්ය.
සාක්ෂි ලබාදීමේදී විත්තිය විසින් විමසන ප්‍රශ්නවලට නිසි ලෙස උත්තර ලබා නොදෙන බවට නීතිඥවරයා යෝජනා කළ අවස්ථාවේදී සාක්ෂිකරු එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය
මෙම විමර්ශනයේදී pick and choose ක්‍රමයට හෙවත් තෝරා ගත් සාක්ෂිකරුවන්ගෙන් පමණක් සාක්ෂි ලබාගත් බවට නීතිඥවරයා යෝජනා කළ අවස්ථාවේදී සාක්ෂිකරු එයද ප්‍රතික්ෂේප කළේය.
එම විෂය ගත සිද්ධියට අදාළව 6 වන විත්තිකරු විසින් අපරාධමය වරදක් සිදු නොකර ඇති බවට නීතිඥවරයා යෝජනා කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ වරදක් අනාවරණය වීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදුකළ බවය.
හයවෙනි විත්තිකරු වෙනුවෙන් සිදුකළ හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව හතරවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආශෝක සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
මෙම හතර වන විත්තිකරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් ගණකාධිකාරීවරයා ලෙස සේවයට එක් වූ කාල සීමාව පිළිබඳව ස්ථිර මතකයක් නොමැති බව සාක්ෂිකරු සඳහන් කළේය.
"අධිකරණය හමුවේ පැ.310 ලෙස ලකුණු කර ඇති ගැනුම් ඇනවුම මෙම හතරවන විත්තිකරු විසින් නිකුත් කළ පළමු වන ගැනුම් ඇනවුම බවට කරුණු අනාවරණය වුණාද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ " ස්වාමීනි ,ඒ මුල්ම එකද කියලා අනාවරණය වුණේ නෑ. නමුත් ඔහු එය නිකුත් කර ඇති බව තමයි අනාවරණය වුණේ. වෙනත් ගැනුම් ඇනවුම් තියෙනවාද කියලා විමර්ශනය කළේ නෑ. මෙය මුල්ම එකද කියලා නිශ්චිතව කියන්න බෑ. "යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
"Pronto පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීමට හැකියාව ඇත්තේ කාටද යන්න පිළිබඳව මෙහිදී විමර්ශනයක් සිදු කළාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළ ඒ සම්බන්ධව විමසීමක් කළ බවය. "ගැනුම් ඇනවුම සකස් කළ පුද්ගලයාගෙන් කටයුතු උත්තරයක් ගැනීම සිදු කළාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි කට උත්තරයක් නොගත් නමුත් එයට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගත් බවය.
ගැනුම් ඇනවුම් ,එම පද්ධතියෙන් මුද්‍රිත පිටපතක් ලෙස ලබාගත හැක්කේ කුමන අවස්ථාවක දැයි නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අනුමැතිය ලබාදීමෙන් අනතුරුව මුද්‍රිත පිටපතක් ලෙස ගැනීම සිදුකළ හැකි බව අනාවරණය කරගත් බවය.
එහිදී නීතිඥවරයා යෝජනා කර සිටියේ අනුමැතිය ලබාදීමට පෙර මුද්‍රිත පිටපත ලබා ගන්නා බවය.
"ස්වාමීනි, pronto පද්ධතිය හරහා එයට සැපයුම් ගණකාධිකාරීවරයා අනුමැතිය ලබාදෙන්න දුන් බව තමයි අනාවරණය වුණේ ඉන් පසුව එහි පිටපත් මුද්‍රිත පිටපත් ලබාගත් බවට අනාවරණය වුණා" යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළ අවස්ථාවේදී නීතිඥවරයා එය අමූලික අසත්‍යයක් බවට යෝජනාවක් ඉදිරිපත් කළ අතර සාක්ෂිකරු එය ප්‍රතික්ෂේප කළේය.
අයිසොලේස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ් ආයතනය pronto පද්ධතියේ ලියාපදිංචි වී නොතිබූ බවට නීතිඥවරයා යෝජනා කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අයිසොලේස් බයෝටෙක් පාමා ඒ ජී ආයතනය එහි ලියාපදිංචි වී තිබූ බවය. ලියාපදිංචි නොවූ ආයතනයකට ගැනුම් ඇනවුමක් නිකුත් කරනවා නම් එය ලියාපදිංචි කළ යුතු බවද, ලියාපදිංචි කර නැති ආයතනයකට ගැනුම් ඇනවුමක් නිකුත් කර නොහැකි බවද විමර්ශනවලදී අනාවරණය කරගත් බව සාක්ෂිකරු සඳහන් කළේය.
"අදාළ ගැනුම් ඇනවුම නිකුත් කළ සතිශ් කුමාර නමැත්තා ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමක් සිදු කළාද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටි එවැනි ප්‍රකාශයක් ලබා නොගත් බවය. ඔහු විදේශගත වූ බව දැන ගත් බවද සාක්ෂිකරු කියා සිටියේය.
එම ගෙවීම් සඳහා අනුමැතිය ලබාදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කළ අතර අනුමැතිය ලබාදීමට පෙර අදාළ ලේඛන පරීක්ෂා කළ යුතු බවට අනාවරණය වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය
"ඒ ලේඛන උත්පාදනය කළේ සතිශ් කුමාර විසින්?" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සතිශ් කුමාර විසින් අදාළ පිටපත එළියට ගත් නමුත් එම පිටපත් මුද්‍රණය කර ඇත්තේ අනුමැතිය ලබාදීමෙන් පසුව බව අනාවරණය කර ගත් බවද සාක්ෂිකරු කියා සිටියේය.
"ඔබ අත්‍යවශ්‍ය නිලධාරීන්ගේ ප්‍රකාශයන් සටහන් කර ගැනීමකින් තොරව අසම්පූර්ණ විමර්ශනයක් කර බවට යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු එය ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.
"අදාළ ගෙවීම් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි අනුව වගකීම ඇත්තේ කාටද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ප්‍රධාන ගණකාධිකාරීවරයා වෙත එම වගකීම ඇති බවය .නමුත් මෙහිදී ගණකාධිකාරීවරයා වෙත GRN පත, invoice පත සහ ගැනුම් ඇනවුම් පමණක් ඉදිරිපත් කර තිබූ බවය.
ඒ අනුව ප්‍රධාන ගණකාධිකාරිවරයා ට අදාළ ගොනුව පරීක්ෂා කිරීමේ හැකියාවක් නොතිබූ බවට විමර්ශනවලදී අනාවරණය කරගත සාක්ෂිකරු සඳහන් කළේය.
"WOR පරීක්ෂා කිරීම රාජකාරි හතර වන විත්තිකරුගේ රාජකාරි ලැයිස්තුවේ කොටසක් දැයි" නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ කර සිටියේ WOR පරීක්ෂා කළ යුතු බවට පැහැදිලිව සඳහන් වන බවය. ඒ අනුව WOR පරීක්ෂා කිරීමෙන් අනතුරු අදාළ මුදල් ගෙවීම කළ යුතු බවට අනාවරණය වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව හත්වෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටිය නීතිඥ අරවින්දු මනතුන්ග ආරච්චි මෙනවිය සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
"විමර්ශනයක් සිදුකිරීමේදී ඊට අදාළව සටහන් යෙදීමක් සිදු කරනවාද?" යනුවෙන් නීතිඥවරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අවස්ථාවට අනුව එවැනි සටහන් කිරීමක් සිදුකරන බවය.

මෙම මෙම නඩුවට අදාළ විමර්ශනයේදී එලෙස සියලුම විමර්ශන වලට අදාළ සටහන් තබා නමැති බවට නීතිඥවරිය යෝජනා කළ අවස්ථාවේදී සාක්ෂිකරු එය ප්‍රතික්ෂේප කළේය
පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝගයන්ට පටහැනිව මෙම විමර්ශනය අසම්පූර්ණ විමර්ශනයක් ලෙස කර ඇති බවට නීතිඥවරිය යෝජනා කළ අවස්ථාවේදී සාක්ෂිකරු ප්‍රතික්ෂේප කළේය.
මෙම ඖෂධ වලට අදාළව වව්චර් පත් අනුමත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කළ අතර සැපයුම් අංශයේ නසීර් නමැත්තකු විසින් එය සකස් කර ඇති බවට හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළ සාක්ෂිකරු මෙම නඩුවේ සාක්ෂි සඳහා ඔහු මෙතෙක් කැඳවා නොමැති බවට කියා සිටියේය.
ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් තමන්ට එතරම් දැනුමක් නොමැති බව සාක්ෂිකරු ප්‍රකාශ කළ අතර එසේ තිබියදී ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ලේඛන පරිහරණය කරමින් මෙවැනි විමර්ශනයක් සිදු කළේ කෙසේදැයි නීතිඥවරිය ප්‍රශ්නයක් යොමු කළාය.
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ අදාළ සාක්ෂිකරුවන්ගෙන් ඒ පිළිබඳව සාක්ෂි ලබා ගැනීමක් සිදුකළ බවය. අවශ්‍ය අවස්ථාවලදී පැහැදිලි කර ගැනීම සිදුකළ බවද සාක්ෂිකරු සඳහන් කළේය
"ඔවුන් කියන දේ ද ඔබ මෙහි ඇවිත් කියන්නේ?" යනුවෙන් නීතිඥවරිය ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ විමර්ශනයේදී අනාවරණය වූ දේ ප්‍රකාශ කරන බවය.
සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ලැබුණු උපදෙස් මත මාස හයක නවයක කාලයක් සඳහා අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තබා ගැනීමට හත්වන විත්තිකරු විසින් ඔහුගේ අත් අකුරෙන් උපදෙස් ලබාදී තිබූ බැවින් අදාළ රිටොප්සි මැබ් ඖෂධ තොගය භාර ගැනීමක් සිදුකළ බව විමර්ශනවලදී අනාවරණය වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
එම සටහනේ හත්වන චූදිත විසින් කර ඇත්තේ අත්‍යවශ්‍ය ඖෂධ මාස හයකටත් පිළිකා ඖෂධ මාස නවයකටත් වන පරිදි තබා ගැනීම සඳහා උපදෙස් ලබා දීමක් බවට තමන් යෝජනා කරන බව නීතිඥවරිය සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ මාස හයක සහ නවය අතර කාලයකට තබා ගැනීමට එමගින්
උපදෙස් ලබාදී ඇති බව අනාවරණය වූ බවය.
"එහි රිටොප්සි මැබ් යනුවෙන් සඳහනක් තිබෙනවාද?" යන්න පිළිබඳව නීතිඥවරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු එවැනි සඳහනක් නොමැති නමුත් රිටොප්සිමැබ් අත්‍යවශ්‍ය පිළිකා ඖෂධයක් වන බැවින් එම ඖෂධ භාර ගැනීමට තොග පාලක නිලධාරීවරයා සහ අදාළ සහකාර අධ්‍යක්ෂවරිය කටයුතු කර ඇති බව අනාවරණය වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
එමෙන්ම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව නව වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විසින් සාක්ෂිකරුට හරස් ප්‍රශ්න යොමු කිරීමක් සිදු කෙරිණි.
"එහිදී EOI ක්‍රමය යටතේ වන ප්‍රසම්පාදනයක් පිළිබඳව විමර්ශනයක් සිදු කළාද ?"යනුවෙන් නීතිඥවරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් ඇති බව අනාවරණය වූ නමුත් ඖෂධ සම්බන්ධයෙන් එවැනි එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය අදාළ කරගත නොහැකි බවට අනාවරණය වූ බවය.
හදිසි ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් නව වන චූදිතට තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බවට තමන් යෝජනා කරන බව සාක්ෂිකරු සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අදාළ නිර්දේශය ඔහු විසින් ඉදිරිපත් කර ඇති බවය.
අදාළ ලේඛන සකස් කිරීමට නවවෙනි විත්තිකරු විසින් උපදෙස් ලබාදී ඇති බව අනාවරණය වූ බවද සාක්ෂිකරු කියා සිටියේය.
"HSEPC කමිටුවේ තීරණය අවසානාත්මක තීරණය බවට අනාවරණයක් වුණාද ?"යනුවෙන් නීතිඥවරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එය අවසන් තීරණය නොවන බව ය.
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කෙරිණ.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න



