විසිවන සංශෝධනය තුනෙන් දෙකකින් සම්මතකර ගැනීම සඳහා සමස්ත ලංකා මහජන කෙංග්‍රසයේ

හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලැබෙනු ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, ඊයේ (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩුවේ පක්ෂ නායක  රැස්වීමේදීය.

එහිදී අමාත්‍ය විමල් විරවංශ වහා නැගිට ඊට විරෝධය පළකරමින්, '' පහුගිය කලේ කියපුවත් එක්ක එහෙම වුනොත් කොහොමද අපි රටට මුහුණ දෙන්නේ.'' යයි සඳහන් කරද්දී අගමැතිවරයා පවසා ඇත්තේ, රිෂාඩ් බදියුදීන් හා රවුෆ් හකීම් ඡන්දය නොදෙන බවයි.

''ඉතින් ඒ මුස්ලිම් මන්ත්‍රීවරුන් බලෙන් ඡන්දය දුන්නොත් අපි මොකද කරන්නේ'' යයි අගමැතිවරයා අවඥා සහගතව පවසා ඇත.

 

ජනාධිපති හා අලි සබ්රි නො එයි! - වාසුගෙන් හා දයාසිරිගෙන් විවේචන වැලක්

මෙම රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබුනද පසුව එය වෙනස්කර අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත් ඊයේ දහවල් මාධ්‍ය වෙත දැනුම් දී තිබුනේ, මෙම රැස්වීමේදී 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

කෙසේවුවද, මෙම රැස්වීමට ජනාධිපතිවරයා සහ විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අධිකරණ ඇමති අලි සබ්රි සහභාගී නොවීම විශේෂ කාරණයකි.

මෙහිදී අදහස් දක්වා ඇති වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා, විසිවන සංශෝධනයෙන් යෝජනාකර ඇති ද්විත්ව පුරවැසිභාවයට අදාල වගන්තින්ට එකඟවිය නොහැකිබව දැඩි ආවේගයෙන් යුතුව සඳහන් කර තිබේ.

ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අදහස් දක්වා ඇති එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසා ඇත්තේ, රාජ්‍ය ආයතන එකසිය ගණනක් විගණනය නොකිරීමට විස්ස මගින් ඉදිරිපත්කර ඇති වගන්ති තම පක්ෂයට කිසිඳු ලෙසකින් පිළිගත නොහැකි බවයි.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් තම පක්ෂය ඉදිරිපත්කළ යෝජනා සම්බන්ධයෙන් මේ දක්වා අධිකරණ ඇමතිවරයා හෝ විස්සට උපදෙස් දුන් කිසිවකු ගෙන් ප්‍රතිචාරයක් නොලැබීම කණගාටුවට කාරණයක් බවද ඔහු සඳහන් කර තිබේ.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ කිහිපයකම නායකයින් මෙහිදී විසිවන සංශෝධනය සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අධිකරණ ඇමතිවරයා දැනුවත් කරන බව පවසමින් අගමැතිවරයා රැස්වීම අවසන් කර තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේදී පැවැත්වීමට නියමිත අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම ලබන 21 සහ 22 යන දිනවලදී විවාදයට ගැනීමට නියමිතය.

 

ජනපතිට පිළිතුරු දෙන්න අපිත් සූදානම් – මුරුත්තෙට්ටුවේ හිමි

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවක දී අභයාරාම විහාරාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසිවන සංශෝධනය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කළහ.

මහා සංඝරත්නයේ අනුමැතියෙන් තොරව, මහා සංඝරත්නයට පිටුපා 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සූදානම් වන්නේ නම් ඊට පිළිතුරු දීමට ද මෙරට මහා සංඝරත්නය සූදානම් බව උන්වහන්සේ එහිදී පැවසුහ.

“අපි ජනාධිපතිතුමාට කියනවා 20 ගේන්නෙ නැත්නම් වඩා හොඳයි, 20 ගේනවා නම් මහා සංඝරත්නයේ අනුමැතිය අරගෙන 20 ගේන්න. එහෙම නැතිව යම් යම් දෙනාගේ බලපෑම් මත, හිතුවක්කාරකම් මත, දඩබ්බර ක්‍රියාවන් මත මේ 20 ගේනවා නම් අපි එකඟ වෙන්නෙ නෑ කවදාකවත්.

20 ගේන්න, දුර්වලකම් හදන්න. පිළිගන්න බැරි ඒවා පැත්තකට දාන්න. මහා සංඝරත්නයට පිටුපාලා, මහා සංඝරත්නය කොන් කරලා, මහා සංඝරත්නයේ අවවාද පිළිගන්නෙ නැතුව යමක් ගේන්න සූදානම් නම් මහා සංඝරත්නයත් සූදානම් ඒ සෑම දේකටම පිළිතුරු දෙන්න කියන එක මං මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි” යනුවෙනුයි එහිමි සඳහන් කළහ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්