සංඛ්‍යාලේඛනවලින් නොපෙනෙන ඉදිකිරීම් බිමේ ඇත්ත
මෙරට ඉදිකිරීම් ක්ෂේත්රය යළි පිබිදීමේ මාවතට අවතීර්ණ වන බවට දර්ශක සාක්ෂි දරයි. 2026 සැප්තැම්බර් මස ඉදිකිරීම් කළමනාකරුවන්ගේ මිලදී ගැනීමේ දර්ශකය (PMI) ඒකක 57.8ක් සටහන් කර ඇති අතර, නව ඇණවුම් දර්ශකය ඒකක 65.6ක් දක්වා සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රජයේ ප්‍රතිසංස්කරණ සහ යටිතල පහසුකම් ව්‍යාපෘති නැවත පණගැන්වීමයි.
කඩදාසි මත එවැනි පිබිදීමක් සටහන් වුවද, බිම් මට්ටමේ ඇත්ත තත්ත්වය ඊට වඩා සංකීර්ණය. 2026–2028 කාලය වෙනුවෙන් යෝජිත රුපියල් ට්‍රිලියන 2ක දැවැන්ත රාජ්‍ය ආයෝජන වැඩසටහනෙන් 70%ක්ම වෙන්වන්නේ ඉදිකිරීම් ආශ්රිත ව්‍යාපෘති සඳහාය.
මෙහිදී මතු වන බරපතළම ප්රශ්නය වන්නේ කොපමණ ව්‍යාපෘති ප්‍රමාණයක් අලුතින් ප්‍රකාශයට පත් කරන්නේද යන්න නොවේ; ඇස්තමේන්තුගත මුදලට, නියමිත කාලසීමාව තුළ නිමවී ජනතාව අතට පත්වන්නේ ඉන් කවරක්ද යන්නයි.
තාර හිඟය හෙළිකළ සැපයුම් සැලසුම්වල අස්ථාවරත්වය
මාර්ග සහ මහාමාර්ග සංවර්ධනය වෙනුවෙන් මෙරට මාසික තාර (Bitumen) අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 20,000ක් පමණ වේ. මැදපෙරදිගින් ලැබෙන තාර තොග සැපයුමේ ඇතිවූ බාධා හේතුවෙන් දිවයිනේ ප්‍රධාන මාර්ග රැසක වැඩ කටයුතු මේ වන විටත් ප්‍රමාද වී තිබේ.
බාහිර ආනයන කම්පනයක් හමුවේ මෙවැනි මහා පරිමාණ රාජ්‍ය ව්‍යාපෘති ක්ෂණිකව අඩපණ වන්නේ නිසි සැපයුම් සැලසුම්කරණයක්, විකල්ප වෙළෙඳපොළවල් හෝ උපායමාර්ගික තොග සංචිත නොමැතිකම නිසා බව ක්ෂේත්‍ර නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
සැපයුම්කරුවන්ගේ භාණ්ඩ බෙදාහැරීමේ දර්ශකය ඒකක 65.6ක් දක්වා ඉහළ යාම සාක්ෂි දරන්නේ අමුද්‍රව්‍ය හිඟය මෙන්ම නිපුණ ශ්‍රමිකයන්ගේ හිඟයද ඉදිකිරීම් බිම දැඩි පීඩනයකට ලක් කර ඇති බවටයි.
කොන්ත්‍රාත්කරුවන් පොලී උගුලක හිරවීම
රජයේ ව්‍යාපෘති නිමකර සහතික කළ බිල්පත් නියමිත වේලාවට නොලැබීම කොන්ත්‍රාත්කරුවන් මුහුණ දෙන තවත් දීර්ඝකාලීන අර්බුදයකි.
ගෙවීම් නොලැබෙන විට කටයුතු පවත්වාගෙන යාමට සිදුවන්නේ වාණිජ බැංකුවලින් අධික පොලියට ණය ලබාගනිමිනි. මෙය මහා පරිමාණ සමාගම්වලට වඩා දැඩිව බලපාන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට, අනුකොන්ත්රාත්කරුවන්ට මෙන්ම ඉදිකිරීම් බිමේ දහස් ගණන් කම්කරුවන්ගේ රැකියාවලටය.
හිඟ මුදල් පියවීමට මහා භාණ්ඩාගාරය ගන්නා පියවර සාධනීය ආරම්භයක් වුවද, අවශ්‍ය වන්නේ වරින් වර කෙරෙන මැදිහත්වීම් වෙනුවට නියමිත දිනට බිල්පත් ගෙවෙන ක්‍රමවත්, ස්ථිර ගෙවීම් පද්ධතියකි.
රුපියල් මිලියන 263ක මුදල් ගනුදෙනුව සහ පාලන දුර්වලතා
මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන් කිහිපදෙනෙකුගේ ගිණුම් වෙත රුපියල් මිලියන 263කට අධික මුදලක් අතිරේකව බැරවීමේ සිදුවීම මූල්‍ය පාලනයේ පවතින හිඩැස් හෙළිකළ තවත් සංවේදී සිදුවීමකි.
ලංකා බැංකුව පවසන්නේ SLIPS පද්ධතිය හරහා මුදල් හුවමාරු කිරීමේදී ඇතිවූ අභ්‍යන්තර තාක්ෂණික දෝෂයක් මීට හේතු වූ බවයි. මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරන්නේ තම ගිණුම් පාර්ශ්වයෙන් එවැනි වරදක් නොවූ බවයි.
අතිරික්ත මුදලින් වැඩි කොටසක් පසුව අයකර ගැනීමට හෝ සුරක්ෂිත කිරීමට හැකිවුවද, තවත් රුපියල් මිලියන 51ක පමණ මුදලක් අයකර ගැනීමේ සම්බන්ධීකරණ මට්ටමේ පැවති බව වාර්තා විය. තාක්ෂණික දෝෂයක් හේතුවක් විය හැකි වුවද, එවැනි වැරදි වළක්වා ගැනීමට පවතින අභ්‍යන්තර ආරක්ෂණ ක්‍රමවේද අසාර්ථක වූයේ මන්දැයි පරීක්ෂා කිරීම සහ ස්වාධීන තාක්ෂණික විගණනයක් සිදුකිරීම මහජන විශ්වාසය තහවුරු කිරීමට අත්‍යවශ්‍ය වේ.
සැබෑ ආයෝජනයක වටිනාකම මැනෙන්නේ ප්‍රතිඵල මතයි
මාර්ගයක් ප්‍රමාද වන සෑම දිනයකම ප්‍රවාහන වියදම් ඉහළ යයි; වාරිමාර්ග ව්‍යාපෘතියක් ඇනහිටින සෑම මොහොතකම ගොවියාගේ අස්වැන්න අඩු වේ; නිවාස ව්‍යාපෘති ඇනහිටින විට පවුල් ගණනාවක් අතරමං වේ.
සැප්තැම්බර් PMI සමීක්ෂණය ආවරණය කරන්නේ මෙරට ඉහළම ශ්‍රේණිගත කිරීම් සහිත ප්‍රධාන සමාගම් 35ක පමණ දත්ත බැවින්, සමස්ත ක්ෂේත්රයම සම්පූර්ණයෙන්ම සුවපත් වී ඇති බවට තීන්දු කළ නොහැක.
රාජ්‍ය ආයෝජන සාර්ථක වන්නේ වෙන්කරන මුදලේ විශාලත්වයෙන් හෝ දර්ශකවල ඉලක්කම්වලින් නොව, එයින් මහජනතාවට හිමිවන සැබෑ ආර්ථික වටිනාකම මත පමණි.
(සටහන | සම්පත් ධීරසේකර)



