ශ්රී ලංකාව මුහුණ දෙන අලුත්ම සහ වඩාත් මිල අධික ආර්ථික අභියෝගය වන්නේ දිනෙන් දින ඉහළ යන දැඩි පාරිසරික උෂ්ණත්වයයි. වැඩබිම්වල පවතින උෂ්ණත්ව ආතතිය (Heat Stress) හමුවේ සේවකයන්ගේ කාර්යක්ෂමතාව පහළ යාම ජාතික සංවර්ධන සැලසුම්වලදී ප්රමාණවත් අවධානයකට ලක්ව නැති බව ජාත්යන්තර කම්කරු සංවිධානය (ILO) නිකුත් කළ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
මෙය හුදෙක් සෞඛ්ය ගැටලුවක් හෝ පාරිසරික කාරණයක් පමණක් නොව, රටේ සමස්ත ආර්ථික පුනර්ජීවනය සහ ඵලදායිතා ධාරිතාව අඩාල කරන බරපතළ ආර්ථික අර්බුදයක් බව විශේෂඥයෝ පෙන්වා දෙති.
ඩොලර් බිලියන ගණනක නිහඬ පාඩුව
ILO ප්රක්ෂේපණවලට අනුව, අඩු විමෝචන මට්ටමක් යටතේ වුවද 2040 වන විට උෂ්ණත්ව ආතතිය හේතුවෙන් ශ්රී ලංකාවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයට (GDP) අහිමි විය හැකි මුදල ඇමරිකානු ඩොලර් බිලියන 26.1 කි. එමෙන්ම පූර්ණකාලීන රැකියා 145,000කට සමාන ශ්රම ධාරිතාවක් ආර්ථිකයට අහිමි වීමේ අවදානමක් පවතී.
මෙය හුදෙක් අනාගත අනාවැකියක් පමණක් නොවේ; පසුගිය 2023 වසරේදීම මෙරට ආර්ථිකයට අහිමි වූ මුළු වැඩ කරන පැය ගණන මිලියන 241 කි. එය රට සතු මුළු සේවා පැය ප්රමාණයෙන් 1.62% ක බිඳවැටීමකි. එම පාඩුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක් ලෙස ගණන් බලා ඇත.
ක්ෂේත්ර මට්ටමින් සිදුවූ ආර්ථික හා රැකියා අලාභය
2023 වසරේ වාර්තා වූ ඩොලර් බිලියන 6.5 ක අලාභය මෙරට ප්රධාන ආර්ථික ක්ෂේත්ර රැසක් ඔස්සේ දැඩි බලපෑම් එල්ල කර තිබේ:
සේවා අංශය (Services):
ආර්ථික වශයෙන් වැඩිම මූල්ය පාඩුව වාර්තා වූයේ සේවා අංශයෙනි. එහි අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක් වූ අතර, අහිමි වූ පූර්ණකාලීන රැකියා ප්රමාණය 26,529 කි.
ප්රවාහන හා වෙළෙඳ (Transport & Trade):
සැපයුම් ජාල බිඳවැටීම් හා ගනුදෙනු ප්රමාද වීමෙන් සිදුවූ මූල්ය අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 1.25 කි.
නිෂ්පාදන අංශය (Manufacturing):
ඇඟලුම් ඇතුළු කර්මාන්තශාලා ආශ්රිත නිෂ්පාදනයට සිදුවූ පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 920 කි. අහිමි වූ පූර්ණකාලීන රැකියා ප්රමාණය 15,176 කි.
කෘෂිකර්මාන්තය (Agriculture):
රැකියා අහිමිවීමේ බරපතළම පහර වැදුණේ කෘෂිකර්මාන්තයටයි. මුළු රැකියා හානියෙන් අඩකට ආසන්න ප්රමාණයක්—එනම් රැකියා 57,230 ක්—අහිමි වූ අතර, සිදුවූ මූල්ය පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 750 කි.
ඉදිකිරීම් ක්ෂේත්රය (Construction):
දැඩි අව් රශ්මියේ වැඩ කරන ඉදිකිරීම් ශ්රමිකයන්ගේ කාර්යක්ෂමතාව අඩාල වීමෙන් සිදුවූ පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 655 කි.
1960 දශකයේ සිට මෙරට සාමාන්ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් පමණ දැනටමත් ඉහළ ගොස් ඇති අතර, සියවස අවසන් වන විට උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 සිට 6 දක්වා ඉහළ යා හැකි බවට අනතුරු අඟවා ඇත.
රස්නයට අමතරව රට ඇතුළෙන් එන බාධා
ශ්රී ලංකාවේ ඵලදායිතා ගැටලුව හුදෙක් දේශගුණය මත පමණක් පටවා මඟහැරිය නොහැක. යල්පැනගිය නිෂ්පාදන පද්ධති, ප්රමාණවත් නොවන තාක්ෂණික පුහුණුව, දීර්ඝකාලීන කාර්මික ආරවුල් සහ ආයතනික ප්රතිසංස්කරණවලට පවතින විරෝධය ජාතික තරගකාරිත්වයට දැඩි බාධාවක්ව පවතී.
කම්කරුවන්ගේ නීත්යානුකූල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ හිතාමතා සංවර්ධන කටයුතු අඩාල කිරීම එකිනෙකට පටලවා නොගත යුතු බව ස්වාධීන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. ව්යාපෘති අසාර්ථක වීම් හෝ ප්රමාදයන් පිටුපස දේශපාලන අධිකාරිය, හාම්පුතුන්, වෘත්තීය සමිති සහ පරිපාලන ආයතන යන සියලු පාර්ශ්වයන්ගේ කාර්යභාරය සාක්ෂි සහිතව තක්සේරු කිරීම අත්යවශ්යය.
පැය ගණන නොව ක්රමවේදය වෙනස් විය යුතුයි
සේවකයන් වැඩි වේලාවක් වැඩෙහි යෙදවීමෙන් හෝ ඔවුන් මත පීඩනය යෙදවීමෙන් පමණක් ඵලදායිතාව වැඩි කළ නොහැකි බව පෞද්ගලික අංශය තේරුම් ගත යුතුය. වඩා හොඳ තාක්ෂණය, නවීන කළමනාකරණය සහ සාධාරණ සේවා කොන්දේසි ඊට අත්යවශ්ය වේ.
ILO වාර්තාව ඉදිරිපත් කරන ප්රායෝගික පියවර කිහිපයකි:
* දහවල් කාලයේ උපරිම රස්නය පවතින හෝරා මඟහැර වැඩ මුර සකස් කිරීම.
* සෙවණ සහිත විවේක ස්ථාන, සිසිල් පානීය ජලය සහ කර්මාන්තශාලා වාතාශ්රය ඉහළ නැංවීම.
* සේවා පරිසරයේ උෂ්ණත්වය මැන බලන තත්කාලීන නිරීක්ෂණ පද්ධති (Wet Bulb Globe Temperature monitoring) හඳුන්වා දීම.
* දෛනික ආදායම අහිමි වේ යැයි බියෙන් රෝගී වන තුරුත් දැඩි අව්වේ වැඩ කරන අඩු ආදායම්ලාභී ශ්රමිකයන් රැකගැනීමට විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීම.
ආර්ථික ආරක්ෂාව පිළිබඳ තීරණාත්මක සාධකයක්
2060 වන විට දේශගුණික තත්ත්වයන් උපරිමයෙන් අයහපත් වුවහොත්, රැකියා 349,000කට වැඩි ප්රමාණයක් සහ ඩොලර් බිලියන 87.1ක දැවැන්ත අලාභයක් මෙරටට සිදුවිය හැකි බවට අනාවැකි පළව තිබේ.
දීර්ඝකාලීන ආර්ථික අර්බුදයකින් ගොඩඒමට වෙරදරන රටකට මෙය දැරිය නොහැකි පාඩුවකි. ශ්රමික ආරක්ෂාව, විනය, නිපුණතා සංවර්ධනය සහ ආයෝජන හිතකාමී කාර්මික සබඳතා තහවුරු කෙරෙන පොදු සම්මුතියකට රජය, හාම්පුතුන් සහ වෘත්තීය සමිති නොපැමිණියහොත්, වත්මන් නිෂ්පාදන ශක්තිය මෙන්ම මතු පරපුරේ රැකියා අවස්ථාද අහිමි වීමේ අවදානමක් පවතී.
(සටහන | සම්පත් ධීරසේකර)
සබැඳි පුවත් වාර්තාව :
දිස්ත්රික්ක රැසකට දැනෙන උණුසුම ඉහළ යාමේ අවදානමක් - theleader.lk



