මිෂෙල් බැෂලේ


ශ්‍රී ලංකාවේ වාර්තා වන ආගම් මුල් කර ගත් ප්‍රචණ්ඩත්වය සහ ප්‍රචණ්ඩත්වය සඳහා කරන ප්‍රකෝප කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අවධානය යොමු කර තිබේ.

41 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ ආරම්භක දේශනය පවත්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ ඊයේ (සඳුදා-ජූනි 24) මේ පිළිබඳව කවුන්සිලයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කළාය.

ඇය එහිදී පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව තුළ ක්‍රිස්තියානි දේවස්ථාන, මුස්ලිම් දේවස්ථාන ඇතුළු ආගමික ස්ථානවලට පසුගිය මාස කිහිපය තුළදී ප්‍රහාර එල්ල වූ බවය.

මාස දෙකකට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි දේවස්ථාන කිහිපයකට "එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ පවතින උණුසුම් තත්ත්වය පෝෂණය වී තිබීම," පිළිබඳව සිය අවධානය යොමු කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය පැවසීය.

ජනාධිපති සහ අගමැති අතර පවතින පරස්පරතා:

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහතික කිරීම කෙරෙහි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පවතින පරස්පරතා අහිතකර ලෙස බලපාන බව ද ඇය සඳහන් කළාය.

"ප්‍රධාන මානව හිමිකම් කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය අතර ඒකාබද්ධ ප්‍රවේශයක් නොමැතිකම නිසා සැමට ආරක්ෂාව සහ ආරක්ෂාව සහතික කිරීමේදී ආරක්ෂක හමුදාවන්ගේ ඵලදායීතාවට අහිතකර ලෙස බලපානවා," ඇය පෙන්වා දුන්නාය.

මේ අතර, මෑතකදී ඇතැම් ආගමික නායකයින් පළ කළ ප්‍රකෝපකාරී ප්‍රකාශ සම්බන්ධයෙන් ද මිෂෙල් බැෂලේ මෙහිදී අදහස් පළ කළාය.

BBc1
                                     එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ ශ්‍රී ලංකාව පිළිබඳව කළ ප්‍රකාශය 


"මුස්ලිම් විරෝධී ප්‍රහාර සහ ඇතැම් ආගමික නායකයින් ප්‍රචණ්ඩත්වය ඇති විය හැකි ප්‍රකාශ නිකුත් කර තිබීම ගැන මම කලබලයට පත් වුණා. ත්‍රස්තවාදය මර්දනය කරන අතර ම, ප්‍රචණ්ඩත්වය සහ අසමාන සැලකීම් සිදුවීමට මුල් වූ හේතු හඳුනා ගැනීමට දේශපාලනික, ආගමික සහ සෙසු ප්‍රජා නායකයින්ගේ ප්‍රවේශයක් අවශ්‍යයි."

ඇය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ප්‍රශංසනීය මෙහෙයක් ඉටු කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට තමන් සිය සහය පළ කළ බවය.

එකිනෙකා කෙරෙහි වෛරී සහ අන්තවාදී ලෙස ක්‍රියා කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද ඇය පෙන්වා දුන්නාය.

(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්