ශ්‍රී ලංකාවේ අලුත්ම ජනාධිපති කොමිසම ‘පාඨක හවුලක්’ ලෙසින් ජාත්‍යන්තර සමච්චලයට ලක් වී තිබේ.
 
 
අතීතයේ පත්කොට තිබූ කොමිෂන් සභා සහ කමිටු මගින්, සිදුවී ඇතැයි වාර්තා වී ඇති යම් යම් මානව හිමිකම් සම්බන්ධ හා වෙනත් එවැනි වරද පිළිබඳව නිර්දේශ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම හා වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කොමිෂන් සභාවක් පත් කළ බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් පසුගිය 21 දා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබුණි.
 
 
 
ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් ගේ සභාපතිත්වයෙන් පත් කර ඇති කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්  නිමල් අබේසිරි යන තිදෙනාය.
 
කොමිසම පත් කර ඇත්තේ මානව හිමිකම් රැකීම සඳහා ශ්‍රී ලංකාව දී ඇති පොරොන්දු ඉටු කර ඇතිදැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ලබන මස අග ජිනීවා නුවර දී විමර්ශනය කර බැලීමට නියමිතව තිබියදීය.
 
එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 දී කරන ලද විමර්ශනයකින් කරන ලද නිර්දේශ දැක්වෙන පිටු 4 පමණක් කියවීමෙන් අතීත කොමිසන් වල නිර්දේශ පිළිබඳව දැනගැනීමේ හැකියාව තිබියදී තවත් කොමිසමක් පත් කිරීම “විහිළුවක්” ලෙසින් සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් හෙලා දැක තිබේ.
 
“ජාත්‍යන්තර පරිමානයේ බරපතල අපරාධ ශ්‍රී ලංකාවේ සිදුවුනිදැයි විමසා බැලීමට තවත් කොමිසමක් පත් කිරීමේ සිතුවිල්ලම ඒ සා විකාරයක් මෙන්ම වින්දිතයන්ට අපහාසයක්ද වන හෙයින්ම මෙය රැවටිල්ලක්දැයි කල්පනාවට නැගීම සමාව දිය හැකි කාරණයකි,” යි සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා නිවේදනයකින් පවසා තිබේ.
 Yasmin Sooka
 (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා 
 
“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විධිනියෝගයෙන් 2015 දී කරන  ලද විමර්ශනයකින් දැනටමත් අපරාධ චෝදනා ගොනුකිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රවේශ ලක්ෂ්‍යයක් පිහිටුවා ඇති අතර, යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ මෙන්ම ඒවා සිදුකිරීමේ ආණ්ඩුවේ භූමිකාව සඳහා වන නඩු නිමිත්තකටද පැහැදිලි කරුණු දක්වා තිබේ. ශ්‍රී ලංකාව කවුන්සිලයේ න්‍යාය පත්‍රයට ඇතුළු වී සිටින්නේම විසඳුම් ලැබී නැති කෙලෙසීම් සහ අපරාධවල බරපතල කම ආණ්ඩුව විසින්ම පිළිගෙන තිබෙන නිසාය.”
 
 කලින් පත් කරන ලද කොමිෂන් සභා වලින් අනාවරණය කරගන්නා ලද්දේ මොනවාදැයි හඳුනාගෙන එම නිර්දේශ ක්‍රියාත්මක කරන ලද්දේදැයි නව කොමිසම මගින් දැනගැනීමටත් ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇතැයි දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් සිට නිකුත් කළ ITJP නිවේදනය පෙන්වා දෙයි.
 
“මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් කරන ලද විමර්ශනයේ (A/HRC/30.CRP.2) නිර්දේශ දැක්වෙන පිටු 4 පමණක් පුනරීක්ෂණය කිරීමේ සරල කටයුත්තෙන් අතීත කොමිසම් විසින් අනාවරණය කරගන්නා ලද දේ වටහා ගැනීමට හැකියාව තිබියදී කොමිසමක් පත් කිරීම විහිළුවකි.” යි  යැස්මින් සූකා පැවසුවාය. 
 
“නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගතහොත් - එය සිදුවී නැති බව මැනවින් පැහැදිලිය. යුක්තිය හා වගවීම සම්බන්ධයෙන් ස්වකීය ජනතාවටත් මානව හිමිකම් කවුන්සිලයටත් දෙන ලද පොරොන්දු ශ්‍රී ලංකාවේ දිගටම පැවති ආණ්ඩු විසින් කඩ කොට තිබේ. වගවීම, ජාතික සුවපත් වීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට සංක්‍රාන්ති යුක්තිය සඳහා වන අංගසම්පූර්ණ සාකල්‍යවාදී වැඩ රාමුවක් වෙනුවෙන්, 30/1 යෝජනාවත්, ඉන් පසුව ආ යෝජනාත්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව  සම්මත කරගන්නා ලදී.”
 
නව ජනාධිපති කොමිසමේ නියමයන් අපැහැදිලි ලෙස කෙටුම්පත් කර ඇත්තේ විමර්ශනය කළ යුත්තේ කවර කාලයක සිදුකරන ලද උල්ලංඝන සම්බන්ධයෙන්දැයි කාල රාමුවක් දක්වන්නේ නැතිව වීම ITJP විසින් ප්‍රශ්න කර තිබේ.
 
“ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා කියවීමේ පාඨක හවුලකට වැඩිමනත් දෙයක් නොවන මෙය පත් කර ඇත්තේ අපරාධ සිදුවූ බවට චෝදනා නැගෙන සමයේ ආරක්ෂක ලේකම් ලෙස තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ඨ කළ බව කියැවෙන පුද්ගලයාම විසිනි,” යි යැස්මින් සූකා පැවසුවාය.
 
 
සාමාජිකයන්ගේ පැටිකිරිය:
 
අලුත් කොමිසමට නායකත්වය සපයන දිලිප් නවාස් විනිශ්චයකාරවරයා ද එම රාජකාරියට නුසුදුස්සකු ලෙසින්  ITJP හෙලා දැකීමට ලක්වී තිබේ.
 
ඔවුන් පෙන්වා දෙන්නේ, අඩුම වශයෙන් හතර වාරයක් (2010 නොවැම්බර් , 2011 ජූනි , 2011 සහ 2013 සැප්තැම්බර්) එක්සත් ජාතීන් හමුවේ ශ්‍රී ලංකාවේ රජයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී හිඳිමින් රඟපෑ භූමිකාව නිසා නව කොමිසමේ සභාපති වරයා සබැඳියාවන් අතර ගැටුම් ගණනාවක් ඇති බව පෙනී යන අයකු බවයි. 
 
එක් වතාවක් ඒ. එච්. එම්. ඩී නවාස් ජිනීවා නුවරට ගිය ශ්‍රී ලංකා රජයේ නියෝජිත මණ්ඩලයේ සාමාජිකයෙක් විය. 
 
විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළ පරිදි එකී නියෝජිත පිරිස ජිනීවා ගියේ “දෝෂ සහගත” එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලයේ වාර්තාවට විරුද්ධව යෝජනාවක් සභාගත කිරීමටය.
 benki moo
හිටපු මහ ලේකම් බැන්කි මූන්
 
මහ ලේකම් බැන්කි මූන් විසින් එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලය පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේදී සිදුවූ බවට චෝදනා කෙරෙන ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂික නීති උල්ලංඝන සම්බන්ධයෙන් වගවීම පිළිබඳව ඔහුට වාර්තා කිරීම සඳහා බව ITJP සිහිපත් කර දෙයි.
 
 “යුද්ධයේදීත්, සාමයේදීත් පුද්ගලික ගරුත්වය ආරක්ෂා කිරීම අරමුණු කොටගත් සමස්ත ජාත්‍යන්තර නීති සමුදායම මත්තේ දියත් කෙරුණු මාරාන්තික ප්‍රහාරයක් යුද්ධය පවත්වා ගෙන ගිය ආකාරයෙන් නිරූපනය කෙරේ,” යන්න විශේෂඥ මණ්ඩලයේ නිගමනය වූ බව නිවේදනයේ සඳහන් වෙයි.
 
 “තමන් විවෘතවම විරුද්ධව පෙනී සිටි එක්සත් ජාතීන්ගේ වාර්තා අපක්ෂපාතීව විමර්ශනය කිරීමේ හැකියාව මේ කොමිසමේ ප්‍රධානියාට නැත. ඊට අමතරව ඔහු ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා මෙන්ම අභිචෝදකයා ලෙසින්ද ද්විත්ව රංගනයක යෙදෙන නීතිපති දෙපාර්තමේන්තුවේද  පාර්ශවකාරයකු වී ඇත,” යි යැස්මින් සූකා පැවසුවාය.
 Chandra F
හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු
 
අලුත් කොමිසමේ තවත් සාමාජිකයකු ලෙස පත් කර ඇති දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජික හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ද ITJP විවේචනයට හසුව සිටී.
 
 එම ව්‍යාපෘතිය විසින් කොමිසම හඳුන්වා ඇත්තේ මහත් දේශපාලනීකරණයට ලක් වූ එකක් ලෙසිනි.
 
 “දේශපාලන පලිගැනීම් කොමිසම හමුවට ආ පැමිණිලි ගණනාවක් විභාග කිරීම නිසා හිටපු පොලිස්පති ප්‍රනාන්දුටද සබැඳියාවන් අතර ගැටුමක් පවතී. 2004-6 සමයේ පොලිස් ප්‍රධානියා වී සිටි චන්ද්‍රා ප්‍රනාන්දු එම කාලය තුල පොලිසියට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට යෝග්‍ය අපක්ෂපාතී සහ ස්වාධීන අයකු ලෙස සුදුසුකම් ලබන්නේ නැත.”
 
චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පති ලෙස රාජකාරි කළ කාලයේ දී සිදුවූ  විමර්ශන පැවැත්වීමේදී දැක්වූ අසමත්කම පිළිබඳව ශ්‍රී ලාංකික ක්‍රියාධරයන් ප්‍රශ්න නගා තිබෙන බවත් ITJP පවසයි.
 
“හුදෙක් වසන් කිරීමක් සහ කාලය නාස්ති කිරීමක් වන මේ කොමිසමට කිසියම්ම හෝ පිළිගැනීමක් ලබා දෙතොත් එය සමස්ත එක්සත් ජාතීන්ගේ කාර්යදාමයම අනතුරේ හෙලීමක් වනු ඇත,” යි යැස්මින් සූකා අනතුරු අඟවා තිබේ.
 
 

 

 

 


 

 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්