The Leader News
BREAKING
Top Ad
පුවත්

ප්‍රතිසංස්කරණය සඳහා වියදම ඩොලර් මිලියන 6,500යි; දැනට ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 11යි

T

The Leader Desk

December 15, 2025 • 10:36 AM

ප්‍රතිසංස්කරණය සඳහා වියදම ඩොලර් මිලියන 6,500යි; දැනට ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 11යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ අද (15) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
  • ඇත්තට ම ලැබී තිබෙන ප්‍රතිශතය 0.17%යි ''මේ දිනවල සමාජ මාධ්‍යවල තොරතුරු පැතිරෙන විධියට සුළි සුළඟෙන් වැසි ලැබුණාටත් වඩා ජනාධිපතිගේ පිනෙන් විදෙස් ආධාර ලැබිලා.
  • නමුත් තිත්ත ඇත්ත නම් ප්‍රතිසංස්කරණ වියදම් ඇස්තමේන්තුවෙන් විදේශාධාර ලෙස තවමත් ලැබිලා තිබෙන්නේ 0.17%යි.
  • අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ප්‍රකාශ කළ විදියට දිත්වා කුණාටුව සිදු කළ විනාශය ප්‍රතිසංස්කරණය කිරීමට ඩොලර් බිලියන 6ක් සහ 7ක් අතර ගණනක් යාවි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ අද (15) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...

ඇත්තට ම ලැබී තිබෙන ප්‍රතිශතය 0.17%යි

''මේ දිනවල සමාජ මාධ්‍යවල තොරතුරු පැතිරෙන විධියට සුළි සුළඟෙන් වැසි ලැබුණාටත් වඩා ජනාධිපතිගේ පිනෙන් විදෙස් ආධාර ලැබිලා. නමුත් තිත්ත ඇත්ත නම් ප්‍රතිසංස්කරණ වියදම් ඇස්තමේන්තුවෙන් විදේශාධාර ලෙස තවමත් ලැබිලා තිබෙන්නේ 0.17%යි.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ප්‍රකාශ කළ විදියට දිත්වා කුණාටුව සිදු කළ විනාශය ප්‍රතිසංස්කරණය කිරීමට ඩොලර් බිලියන 6ක් සහ 7ක් අතර ගණනක් යාවි.  අපි ඩොලර් බිලියන 6.5ක් කියමු.  භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කරන විදියට දෙස් විදෙස් සියලු ආධාර දෙසැම්බර් 13 දිනට ලැබිලා තිබුණේ ඩොලර් මිලියන 11යි.  අපි දෙස් විදෙස් ආධාර කියන එක අමතක කරලා මේ සියල්ල ම විදේශාධාර කියලා ගත්තොත් විදේශාධාර ඩොලර් මිලියන 11යි.  එතකොට ප්‍රතිසංස්කරණ වියදම ඩොලර් මිලියන 6,500ක් වුණත් ඇත්තට ම ලැබිලා තිබෙන්නේ ඒකෙන් 0.17%යි.

බරපතළ පල්ලම් බැසිල්ලක්

මේ තත්වය අපි සංසන්දනය කරමු සුනාමි ආපදාවේ දී අපේ රටට ලැබුණු ආධාර එක්ක.  2004 සුනාමි ආපදාවෙන් සිදු වුණු විනාශය ප්‍රතිසංස්කරණය සඳහා යන වියදම ලෙස ඇස්තමේන්තු කළේ ඩොලර් බිලියන 1.5යි.  එයින් ඩොලර් බිලියන 1.3ක් විදේශාධාර විධියට ලැබුණා.  ඒ කියන්නේ ඇස්තමේන්තුවෙන් 87%ක් විදේශාධාර ලෙස ලැබෙනවා.  නමුත් දැන් ලැබෙන්නේ 0.17%යි.  මේක එසේ මෙසේ පල්ලම් බැසිල්ලක් නොවේ. බරපතළ පල්ලම් බැසිල්ලක්.  විදේශාධාර නායයෑම කඳුකරය නායයෑමටත් වඩා දරුණුව සිද්ධ වෙලා කියලා මේකෙන් පේනවා.

එදා විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා.  මෙදා විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගේ පුනරුත්පත්තිය ලෙස වටගල ඇමතිතුමා කියූ විජිත හේරත් මැතිතුමා.  හැබැයි දෙන්නාගේ හැසිරීම නම් අහසයි පොළොවයි වගේ වෙනස්.  එදා විදේශ ඇමතිතුමා ලෝක ප්‍රජාව ගෙන් පෞද්ගලිකව ම කතා කරලා උදව් ඉල්ලුවා.  ලෝක ප්‍රජාව තුළ කම්පනයක් ප්‍රකම්පනයක් ඇති කරන්න ජාත්‍යන්තර මාධ්‍යවලට ලංකාවට ඇවිත් විපත පිළිබඳ ආවරණය කරන්න කියා ඉල්ලුවා. විජිත හේරත් මැතිතුමා ප්‍රකම්පනයක් කියන එක දන්නව ද කියලත් අපිට සාධාරණ සැකයක් ඇතිවෙනවා.

කදිරගාමර්ලා වෙනුවට වැඩ බැරි ගාමර්ලා


අපි ලිඛිතව ඉල්ලීම් කරලත් ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳෙව්වේ නෑ. මේ විනාශයේ බරපතළකම ජාත්‍යන්තර මාධ්‍ය හරහා ලෝකයට පෙන්වා ලෝක ප්‍රජාව තුළ කම්පනයක්  ඇති කළෙත් නෑ.  එහි ප්‍රතිඵලය වුණේ වියදම් ඇස්තමේන්තුවෙන් 1%ක්වත් විදේශාධාර ලෙස සොයා ගන්න මේ ආණ්ඩුව අසමත් වීමයි.  පසුගිය වසර කිහිපය තුළ සංචාරකයින් ගේ ආකර්ෂණය දිනා ගැනීමට ලංකාව සමත් වුණු නිසා ලංකාව ගැන ලෝක ප්‍රජාවේ වෙන කවදාවත් නොතිබුණු උනන්දුවක් තිබෙනවා.  කදිරගාමර්ලා වෙනුවට වැඩ බැරි ගාමර්ලා රටේ පාලනය භාරගෙන සිටින නිසායි විදෙස් ආධාර බරපතළ නායයෑමකට ලක් වුණේ.

දැන් ඔන්න ප්‍රශ්නයක් මතු වෙනවා.  ඇත්තටම ප්‍රතිසංස්කරණ වියදම් ඇස්තමේන්තුවෙන් 1%ක්වත් විදේශාධාර ලෙස ලැබිලා නැතිනම් මේ දවස්වල ප්‍රවෘත්තිවලට පෙන්වන ගුවන් යානාවලින් ගොඩ බාන බඩු මොනවාද?  ඇත්තෙන් ම ආපදාවක දී මුල් අවස්ථාවේ දී ලැබෙන්නේ සහන ආධාර නැතිනම් රිලීෆ් ඒඩ්ස්.  ප්‍රතිසංස්කරණ ආධාර ලැබෙන්නේ ඊට පසුව.  සහන ආධාර කියන්නේ වින්දිතයින් මුදවා ගැනීමේ මෙහෙයුම්, මුදවා ගැනීමට අවශ්‍ය උපකරණ, ඖෂධ, ඇඳුම් සහ ආහාර යනාදි දේවල් ලබා දීම යි.  සහනාධාර ලෙස ලැබෙන ආධාර පවා සුනාමියේ දී ලැබුණු ආධාරවලට වඩා ගොඩක් අඩුයි.  උදාහරණයක් ගත්තොත් සහනාධාර ලෙස සුනාමි වෙලාවේ චීනය යුආන් මිලියන 50ක් වටිනා භාණ්ඩ එව්වා.  නමුත් සුළිසුළං ආපදාවට එව්වේ යුආන් මිලියන 10ක් වටිනා භාණ්ඩයි.  ඒ වගේම ඇමෙරිකාවත් සුනාමිය වෙලාවේ ඩොලර් මිලියන 134ක ආධාර ලබා දුන්නත් සුළිසුළං ආපදාවට ලබා දුන්නේ ඩොලර් මිලියන දෙකක ආධාර පමණයි. එහෙම බැලුම ඇමරිකාවත් චීනයත් කියන ලෝක බලවතුන් දෙන්නම ලංකාව අත් හැරලා, ලංකා ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා ලංකාව ජාත්‍යාන්තර අනාතයෙක් වෙලයි කියලයි මේ තොරතුරු වලින් කියවෙන්නේ.
 
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අධිකරණයත් ජනතාවත් එක වගේ රවටලා


නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස සිටි සමයේ ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කරලා රටට පාඩුවක් කළා කියලා ඔහුට එරෙහිව පදනම් විරහිත නඩුවක් අල්ලස් කොමිසම මහාධිකරණයේ පැවරුවා.  මේ නඩුවේ පදනම් විරහිත භාවය පෙන්වලා මේ නඩුව ඉල්ලා අස්කර ගන්න කියලා කබ්රාල් මහතා ගේ නීතිඥයෝ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන් ඉල්ලා සිටියා.  දූෂණ විරෝධි පනතේ 67 වගන්තිය අනුව කොමිසම අවසර දෙනවා නම් අධිකරණය අවසර දෙනවා නම් අධ්‍යක්ෂ ජනරාල්වරයාට එහෙම නඩුව අස්කර ගන්න පුළුවන්.  නීතිඥයෝ ඒ ඉල්ලීම කළේ රුපියල් මිලියන 1,843ක් ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවීමේ කොන්දේසිය මත නොවේ.  තමන් කිසිම වරදක් කරලා නැති නිසා නඩුව ඉවත් කර ගන්න කියන පදනම මත.  හැබැයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට කිව්වේ මොකක්ද?

අල්ලස් කොමිසම අධිකරණය නොමග යවලා

අල්ලස් කොමිසම මේ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නේ රුපියල් මිලියන 1,843ක් ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවීමේ කොන්දේසිය මතයි කියලා අධිකරණයට කියනවා.  එතකොට කබ්රාල් මහතා ගේ නීතිඥයා මොකද කිව්වේ? අපි කිසිම වරදක් කරලා නෑ.  අයථා විධියට උපයා ගත් මුදලක් අපි ළඟ නෑ.  ඒ නිසා අපි මුදල් ගෙවීමේ කොන්දේසියට එකඟ වෙන්නේ නෑ. එහෙම කිව්වාට පස්සේ එසේ නම් අපි නඩුව ඉල්ලා අස්කර ගන්නේ නෑ කියලා අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙන්න ඕනි.  මොකද අල්ලස් කොමිසම දාන කොන්දේසිය ඉටු කරන්න චුදිතයාට හැකියාව නැතිනම් හරි කැමැත්ත නැතිනම් හරි ඒ කොන්දේසිය ඉටු වෙන්නේ නෑ.  මිලියන 1,843ක් කියන්නේ කෝටිපතියෙකුට වුණත් සුළුපටු මුදලක් නොවේ.  ඒ මුදල ගෙවන්න හැකියාව සහ කැමැත්ත තිබෙනවා ද කියන එක චුදිතයාගෙන් අහන්නේ නැතිව ඒ කොන්දේසියට යටත්ව නඩුව ඉවත් කර ගන්නා බවට අධිකරණයට දැනුම් දීම හරහා අධිකරණය නොමග යැවීමක් අල්ලස් කොමිසම විසින් කර තිබෙනවා.

අධිකරණ නියෝගයේ දුර්වලතා දෙකක්

අධිකරණ නියෝගයේ ප්‍රධාන දුර්වලතා දෙකක් අපි දකිනවා.  අල්ලස් කොමිසමේ කොන්දේසියට අපි එකඟ නෑ කියලා පළමු චුදිත අධිකරණයට දැනුම් දී තිබිය දී ඒ කොන්දේසියට යටත්ව නඩුව ඉල්ලා අස්කර ගැනීමට අධිකරණයෙන් අවසර ලබා දීම මේ නඩු තීන්දුවේ තිබෙන පළමු දුර්වලතාවය.  දෙවන දුර්වලතාවය වෙන්නේ නඩුව ඉවත් කර ගැනීමේ කොන්දේසිය නිශ්චිතව නියෝගයේ සටහන් නොවීමයි.  නියෝගයේ සඳහන් වෙන්නේ පැමිණිල්ලෙන් නියම කර ඇති කොන්දේසි වලට යටත්ව නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමි කියලා මිස කොන්දේසිය මොකක්ද කියන එක නොවේ.  නමුත් එදින අධිකරණ වාර්තාවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කොන්දේසිය නිශ්චිතව සඳහන් වන නිසා ඒක ලොකු ගැටළුවක් නොවේ කියලා පැමිණිල්ල තර්ක කරන්න පුළුවන්.

සිදුවිය හැකි විකල්ප තුනක්

කොන්දේසියේ කියන්නේ මාස තුනක් ඇතුලත රුපියල් මිලියන 1,843ක් පළමු චුදිත විසින් ගෙවිය යුතුයි කියන එක.  නමුත් කබ්රාල් ඉතාම නිශ්චිතව කියනවා මම වරදක් කරලා නැති නිසා මම ගෙවන්නේ නෑ කියලා.  එහෙම නම් ඉදිරියේ දී සිදු විය හැකි විකල්ප තුනක් තිබෙනවා.  

පළමු විකල්පය වෙන්නේ 67(5) වගන්තිය යටතේ තමන් වරදක් කර නොමැති නිසා වන්දි මුදල ගෙවීම ප්‍රතික්ෂේප කිරීම සාධාරණ හේතුවක් ලෙස කොමිසම විසින් භාර ගැනීමයි.  මොකද 67(5) වගන්තියේ කියන්නේ සාධාරණ හේතුවකින් තොරව ලබා දුන් කාලය තුල කොන්දේසි ඉටු කිරීමට චුදිත අපොහොසත් වුණොත් නැවත අධිචෝදනා ගොනු කළ යුතුයි කියලා.  තමන් වරදක් නොකළ නිසා වන්දි මුදල නොගෙවන බවට කබ්රාල් මහතා කරන දැනුම් දීම සාධාරණ හේතුවක් ලෙස භාර ගැනීමෙන් මේ කතන්දරේ ඉවර කරන්න කොමිසමට පුළුවන්.  

දෙවන විකල්පය තමයි ඒක සාධාරණ හේතුවක් ලෙස පිළිනොගෙන මාස තුන ගෙවුණාම නැවත නඩු පවරන්න කොමිසමට පුළුවන්.  එහෙම කළොත් කොමිසම සමාජය ඉදිරියේ විහිළුවක් බවට පත් වෙනවා.  

තුන්වන විකල්පය තමයි කොමිසම නඩු පැවරුවොත් ඒක කබ්රාල් මහතා අභියෝගයට ලක් කිරීම.  නියෝගය තුල අධිචෝදනා ඉවත් කර ගැනීමේ කොන්දේසි නිශ්චිතව සඳහන් නොවන නිසා කොන්දේසි ඉටු නොකළ බවට යලි නඩු පවරන්න බෑ කියා තර්ක කිරීමේ හැකියාව තිබෙනවා.  ඒ නිසා මේ නඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග අතිශයින්ම ව්‍යාකූල වී තිබෙනවා.

රට ඉදිරියේ අල්ලස් කොමිසම විහිළුවක් බවට පත්වෙලා

අධ්‍යක්ෂ ජනරාල් කියන විධියට කබ්රාල් මහතා වන්දි මුදල් නොගෙවූ නිසා කොමිසම විසින් යළි නඩු පවරනවා නම් ඒක විකාරයක්නෙ.  කබ්රාල් මහතා විසින් කොමිසමට ඉදිරිපත් කළ ඉල්ලීමේ කිසිම කොන්දේසියකට යටත් වීමට එකඟ වී නෑ.  එහෙම නම් නඩුව ඉවත් කර ගන්න අධිකරණයේ අවසර පතන්න කලින් මේ මුදල ගෙවිය හැකි ද? ගෙවීමට එකඟ ද? කියන ප්‍රශ්න දෙක කොමිසම විසින් කබ්රාල් මහතාගෙන් ඇසිය යුතුව තිබුණා.  දැන් වෙලා තිබෙන්නේ අධිකරණයේත් කොමිසමේත් කාලය නාස්ති කරලා මහජන මුදල් නාස්ති කරලා කොමිසම රට ඉදිරියේ විහිළුවක් බවට පත් කිරීමට අධ්‍යක්ෂ ජනරාල් කටයුතු කිරීමයි.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රතිසංස්කරණය සඳහා වියදම ඩොලර් මිලියන 6,500යි; දැනට ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 11යි | The Leader