එමෙන්ම පොලිස් නිලධාරින්ගේ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ මහජනතාවට පැමිණිලි කිරීමට 118, 197 වැනි දුරකතන අංක මෙන්ම වෙබ් අඩවි සහ විශේෂ විමර්ශන ඒකක 11ක් ද ස්ථාපිත කර ඇති බව ද අමාත්‍ය ආනන්ද විජේපාල පැවැසීය.
අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
පොලිස් නිලධාරින්ගේ විනය පවත්වාගෙන යාම සහ දූෂණ මර්දනය වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර පොලිස් නිලධාරින්ගේ දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට හා මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත සෘජුව දැනුම් දීමේ හැකියාව ද ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල පැවැසීය.
එමෙන්ම දැනට දිවයින පුරා පොලිස් ස්ථාන 608ක් ක්‍රියාත්මක වන අතර, මුළු පොලිස් නිලධාරින් සංඛ්‍යාව 79,782ක් බව ද අමාත්‍යවරයා පැවැසීය. සාමාන්‍ය සේවයේ නිලධාරින් 71,424ක්, විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරින් 7, 256ක් සහ සහායක සේවයේ නිලධාරින් මීට ඇතුළත් බව ද පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවැසීය.
නව බඳවා ගැනීම් සහ පුරප්පාඩු පිරවීම පොලිස් සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, මේ වන විට නිලධාරින් 17, 000ක් පමණ බඳවා ගැනීමට කටයුතු කරමින් පවතින බව ද හෙතෙම අනාවරණය කළේය.
මේ යටතේ උප පොලිස් පරීක්ෂකවරුන් 325ක් සහ කොස්තාපල්වරුන් 6,530ක් ඇතුළු පිරිසක් බඳවා ගැනීමට නියමිතය. මීට අමතරව, පිරිස් බලය ශක්තිමත් කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට තීරණය කර ඇති අතර, ඔවුන්ට නවාතැන් සහ ආහාර දීමනා ලෙස රුපියල් 25, 200ක අමතර දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.




