එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කව්රුදැයි නිල වශයෙන් ප්‍රකාශ කරනතෙක් පක්ෂයට සම්බන්ධ කිසිඳු අලුත් පෙරමුණක් ආරම්භ නොකරන ලෙසත් ඊට තමන්ගේ බලවත් විරෝධය පලකරන බවත් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් එක හඬින් පවසති.


අලුත් පෙරමුණක් ගොඩනගන්නේ නම් එය පක්ෂය විසින් නම් කරන ජනාධිපති අපේක්ෂකයා විසින් ඔහුගේ අභිමතයට අනුව එවැන්නක් සිදුකල යුතු බවට ද ඔවුහු අවධාරණය කරති.

එජාප මන්ත්‍රීවරුන් මේබව අවධාරණය කර ඇත්තේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (22) පස්වරුවේ පැවති එජාපෙ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදීය.

මන්ත්‍රීවරුන් මෙසේ විරෝධය මතුකළේ එක්සත් ජාතික පක්ෂය තවත් හවුල්කාර පක්ෂ රැසක් එක්කර ගනිමින් අගෝස්තු මස 05 වැනි දා ගොඩනැගීමට නියමිත අලුත් සන්ධානය වෙතය.

කබීර්-මලික් පෙරමුණ ගනී : එක හඬින් සජිත් ඉල්ලයි

image c967a4f29f

රැස්වීම ආරම්භ කරමින් මුලින්ම අදහස් දක්වා ඇති එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රීවරයා, ඉදිරි ජනාධිපතිවරණයේ දී නියත ජයග්‍රහණයක් සඳහා එජාප ජනප්‍රිය අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කර ඇත. ඒ අනුව එජාප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුත්තේ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස බවට  අවධාරණය කරමින් ඔහු අදහස් දක්වා ඇති අතර අනතුරුව හිටපු සභාපති මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ද එම අදහස අනුමත කරමින් කරුණු ඉදිරිපත් කර තිබේ.

අනතුරුව රන්ජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරාල, එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, හර්ෂ ද සිල්වා ආදී ලෙසින් එජාප ප්‍රබලයින් රැසක් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට කරුණු දක්වා ඇත. 

මෙතෙක් කාලයක් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කළ යුතුබවට මතවාදයක් ගෙනගිය එජාප පසුපෙළ අභිබවා රනිල් වික්‍රමසිංහගේ සමීපතම මිතුරන් මෙන්ම, එම පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් මෙසේ සජිත් වෙනුවෙන් ඉදිරිපත්වීම සුවිශේෂී කාරණයකි.

සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීමේදී පක්ෂ නායකයා ලෙස අගමැතිවරයාගේ බලය සම්බන්ධයෙන් ගැටළුවක් මතුවන්නේ නම්, පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද එම මැති ඇමතිවරුන් යෝජනා කර ඇත.

මෙසේ සජිත් වෙනුවෙන් මැති ඇමතිවරුන් කරුණු දක්වද්දී අගමැතිවරයාගේ හිතවතුන් වන  පක්ෂයේ මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් වැනි ඇමතිවරුන් පවා නිහඬ පිළිවෙතක් අනුගමනය කර තිබේ. 

රවී කරුණානායක යම් අදහස් දැක්වීමකට සුදානම් වෙද්දී මන්ත්‍රීවරුන් ඔහුට විරෝධය පළකරමින් ඊට අවස්ථාවක් ලබාදී නොමැත.

මෙම රැස්වීමේදී අදහස් දක්වා ඇති සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා, පක්ෂයේ මුදල් වලටත් වංචා කරන පුද්ගලයින් සිටින බව සඳහන් කර ඇතත් ඒ කවුරුන්දැයි සඳහන් කර නොමැත. 

සියලු කාරනා සම්බන්ධයෙන් නිහඬව සවන්දී ඇති පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කිරීමට මන්ත්‍රී කණ්ඩායම් වෙනම සාකච්චාවක් පවත්වන බවයි.

ගම ඉල්ලන එජාප අපේක්ෂකයා !

එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දැක්වූ අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළේ බොහෝ දෙනෙකු අපේක්‍ෂා කළ පුද්ගලයා එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවයි.



අනතුරුව සිය FB  පිටුවේ පොස්ටුවක් පළකර ඇති ඇමැති අජිත් පී. පෙරේරා මෙසේ සඳහන් කර තිබේ.
Ajitha


සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ නම එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස යෝජනා වූයේ දැයි මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්ගෙන්ද විමසීමක් කළ අවස්ථාවේදී ඔහු මෙසේ පැවසිය.

"වාද විවාද අදහස්වලට යන්නේ නැතුව ඉතා ඉක්මනින් අපේක්ෂකයාව තීරණය කරන්න ඕනේ කියලා තමයි අදහස් පළ වුණේ. නායකතුමා කිව්වේ සජිත් ප්‍රේමදාස මහතා එක්කත් කරූ ජයසූරිය මහතා එක්කත් ඊළඟට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් එක්කත් කතා කරලා අපේක්ෂකත්වය පිළිබඳ සියලු දෙනාගේ එකඟත්වය උඩ තීන්දුවක් ගන්නවයි කියලා." යනුවෙනි.



රන්ජන් රාමනායක ප්‍රකාශ කර සිටියේ, මීලග ජනාධිපති අපේක්ෂයා ලෙසට සජිත් ප්‍රේමදාස පත්කරන ලෙසට ගම්වල සිටිනා සිය පාක්ෂිකයන් ඉල්ලා සිටින බවයි.

ශ්‍රීලනිපය කියන කතාව :
Goata and Daya

මෙසේ අලුත් සන්ධාන සැදීමට පෙර ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නැයි එජාපය සිය නායකයට බලපෑම් කරද්දී, සන්ධානගතවීමට පෙර ජනපති අපේක්ෂකයා නම් කිරීම ගැන නිදහස් පක්ෂය, පොහොට්ටු පක්ෂය වෙත විරෝධය
පල කරයි.

සන්ධානගතවීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගෝස්තු මස 11 වනදා ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන් සිය විරෝධය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු  මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් අනුරාධපුර නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්ණවලට පිලිතුරු ලබා දෙමිනි.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්