1200 x 80 DMirror
 
 

අපගේ මාතෘභූමිය සංකීර්ණ වූ සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙන මේ තීරණාත්මක මොහොතේ දී
මෙරට සියලු බලවේග ඒකරාශී කිරීමට නොපමාව කටයුතු කරන්නයි 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති කරු ජයසූරිය ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.
 
ඔහු එම ඉල්ලීම සිදුකරනු ලැබුවේ, සිය නිවසේ අද (09) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ය.
 
මේ ආකාරයේ අර්බුද මතු වූ අවස්ථා වලදී ලෝකයේ එක් එක් රටවල් ඒවාට මුහුණ දී ඇති ආකාරයෙහි පොදු ස්වාභාවයක් දැකගත හැකි බව පෙන්වාදුන් හිටපු කතානායකවරයා, දෙවන ලෝක යුද්ධය පිළිබඳව සළකා බැළුවහොත්, සමස්ත ලෝකයම ඊට මුහුණ දුන්නේ එක්සත් වීමෙන් බවත්, එහිදී දේශපාලන පස මිතුරුකම් පිළිබඳව සළකා බැළුවේ නැති බවත් කියා සිටියේය.
 
කොවිඩ් වසංගතයේ වත්මන් අනතුර පැහැදිලි කරමින් ඔහු එම මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් දැක්විය. 
 
KaruJ
 
''අදවනවිට අපගේ මාතෘභූමිය සංකීර්ණ වූ සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙනවා. එය අප සියළුදෙනාම පිළිගන්නා වූද සියළුදෙනාටම පොදු වන්නා වූද සත්‍යයක්. 
ලංකාවට අදාලව ගතහොත්, අද අප මුහුණ දෙමින් සිටින මෙම අර්බුදය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිණියක්ද අපට අනතුරු හඟවා තිබෙනවා. 
එහිදී ඇය පෙන්වා දී ඇති අනෙක් කරුණ වන්නේ මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙමින් සිටින බරපතලම ව්‍යසනය වන බවයි. එබැවින් කිසිවෙකුට හෝ මෙම ව්‍යසනය මඟහැර යමින් රටේ අනාගතය පිළිබඳව කිසිවක් ම හෝ කළ නොහැකිය.
 
මේ ආකාරයේ අර්බුද මතු වූ අවස්ථා වලදී ලෝකයේ එක් එක් රටවල් ඒවාට මුහුණ දී ඇති ආකාරයෙහි පොදු ස්වාභාවයක් දැකගත හැකියි. දෙවන ලෝක යුද්ධය පිළිබඳව සළකා බැළුවහොත්, සමස්ත ලෝකයම ඊට මුහුණ දුන්නේ එක්සත් වීමෙනුයි. 
 
එහිදී දේශපාලන පස මිතුරුකම් පිළිබඳව සළකා බැළුවේ නැහැ. පොදු සතුරාට එරෙහිව තම ආසන්න ප්‍රතිවාදියා සමඟ එක්සත් වෙමින් ඔවුන් එයට මුහුණ දුන්නා. 
 
 Franklin Roosevelt Winston Churchill Joseph Starling
වින්ස්ටන්ට් චර්චිල් - ෆ්‍රෑන්ක්ලීන් රූස්වේට් - ජෝෂප් ස්ටාර්ලින්
 
   
එවකට ඇමරිකානු ජනාධිපති වූ ෆ්‍රෑන්ක්ලීන් රූස්වේට්, බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය වින්ස්ටන්ට් චර්චිල් සෝවියට්, නායක ජෝෂප් ස්ටාර්ලින් සමඟ එක්ව අත්වැල් බැඳගත්තේ ඒ නිසයි. එය එසේ නොවුණානම්, අති භයංකර වූ ෆැසිස්ට්වාදය මුළු මහත් ලෝකයම ගිලගැනීමට ඉඩ තිබුණා. 
 
ඔවුන් ගත් ඒ පියවර නිසා පසු කලෙක ලෝකය පෙර පැවති තත්වයට සාපේක්ෂව සාමකාමී වුණා. සමස්ත ලෝකවාසී ජනතාවගේ නිදහස හා ජීවිතයට ඇති අයිතිය බොහෝදුරට තහවුරු වුණා.
 
යුද්ධයට මුහුණ දීමේදී පමණක් නොව යුද්ධයෙන් පසු නැවත එවැනි ව්‍යසනයක් ඇති නොවීම සඳහාද එම සියළු බලවේග එක්සත් වුනා. 
 
එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිකරගැනීම සඳහා එදා විවිධ දේශපාලන මතවාදයන් හි පිහිටා සිටි බොහෝ රාජ්‍යයන් එක පෙළට සිටගැනීම ඒ සඳහා දැක්විය හැකි තවත් එක් උදාහරණයකි.
 
අද රටක් වශයෙන් ගත්විට අපද යොමුවිය යුතුව ඇත්තේ එවැනිම වූ ප්‍රවේශයකටය. එහිදී විවිධ දේශපාලන මතවාද, බලය සඳහා වන අපේක්ෂාවන් කිසිවක් පෙරට ගතයුතු නැත. අන් සියල්ලටම පෙර අප හමුවේ ඇති මේ බිහිසුණු ව්‍යසනයෙන් රටත්, රටේ ජනතාවත් මුදාගත යුතුය. ඒ සඳහා මුළු රටම එක්විය යුතුය.
  
අප පසුගියදා මහනුවරදී ප්‍රථමවරට එකී ආයාචනය සිදුකළා. අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලා බැහැදකිමින්ද උන්වහන්සේලා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළා. උන්වහන්සේලාගේ ආශිර්වාදයද ඒ සඳහා නොමඳව ලැබෙන බව අපට එහිදී පසක් වුණා. 
 
ඒ අනුව අප මේ රටේ ගරු ජනාධිපතිතුමාගෙන් හා සමස්ත ජනතාවගෙන්ම ඒ සඳහා පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා. අප මෙම ආයාචනය සිදු කරන්නේ ඉතාමත්ම සද්භාවයෙනුයි. රට කෙරෙහි ආදරයක් ඇත්නම්, කල් නොයවා සියළු දේශපාලන බලවේග හා සියළුම ජන කොටස් එකට එක්ව අත්වැල් බැඳගනිමින් මේ අභියෝගයට මුහුණ දිය යුතුයි. 
 
එහිදී ගරු ජනාධිපතිතුමාගේ මිත්‍රත්වයේ දෑත් සියළු පාර්ශව වෙත දිගුකළයුතුයි. මෙය රටේ බහුතර ජනතාවගේ ද මතයයි. එසේ නොවුවහොත්, මේ රට ඇදවැටෙනු ඇත්තේ ඉතාමත්ම අඳුරු වූ ප්‍රපාතයකටයි.
 
ඇත්ත වශයෙන්ම මෙම උත්සාහය කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා වන ප්‍රයත්නයට පමණක්ම සීමා නොකළ යුතුයි. රසායනික පොහොර එක්වරම තහනම් කිරීමට රජය ගත් තීරණය මෙන්ම කොළඹ වරාය නගරය නැතහොත් පෝර්ට්සිටි ව්‍යාපෘතිය වැනි ජාතික වශයෙන් ඉතා වැදගත් වන්නා වූ  කරුණු කාරණා වලට පවා රටක් ලෙස අප තීන්දු තීරණ ගතයුතුව ඇත්තේ පොදු සම්මුතියට පිහිටා සිටිමිනුයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ පැහැදිළි ස්ථාවරය වන්නේ එයයි.
 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' අද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන්නේ එම අහිංසක උත්සහය නැවතත් ඉදිරිපත් කිරීමටයි.  මේ පිළිබඳව සියළුම දේශපාලන නායකයන්ගේ ද සිවිල් සමාජයේ ද අවධානය යොමු වේවායි අප ප්‍රාර්තනා කරනවා.
 
අප එවැනි ප්‍රවේශයකට යොමුවන්නේ නම්, එහිදී විශේෂයෙන්ම සළකා බැලියයුතු කරුණු ගණනාවක් ද තිබෙනවා. 20 වැනි සංශෝධනයෙන් ඇතිවූ විධායකයට බලය පැවරීම හේතුවෙන් පාර්ලිමේන්තුව බෙලහීනවී තිබෙනවා. ජාතික වැදගත්කමින් යුත් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුව තුළ අද කිසිම සාකච්ඡාවක් සිදු වන්නේ නැහැ. මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයක් ඇත්තේ නැහැ. 
 
ප්‍රජාතන්ත්‍රවාදය රජයන ඇමෙරිකාව, එංගලන්තය, යුරෝපය ආදී රටවල සෑම වැදගත් දේශපාලන තීරණයන් ගනු ලබන්නේ විද්වතුන්ගේ උපදෙස් හා මඟපෙන්වීම් ද සැළකිල්ලට ගනිමින් ඒ ඒ රටවල මහජන නියෝජිත ආයතනයන් මඟිනි. 
ඒ සඳහා වන විශේෂ කමිටු හා කාරක සභා ක්‍රමවේදයන්ද පවතිනවා. ලංකාවට අදාළව එවැනි ක්‍රියාමාර්ගයින්ට යොමුවන්නේ ආංශික අධීක්ෂණ කාරකසභා හරහාය. මෙය ලෝකය පිළිගත් ඉතා ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක්.
 
GR
 
අපගේ ගරු ජනාධිපතිතුමා බොහෝ කාළයක් ඇමරිකා එක්සත් ජනපදයෙහි ජීවත් වෙමින් අත්දැකීම් ලබාගත් අයෙකි. 
 
ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය තුළ ක්‍රියාත්මක වන එවැනි කමිටු කොතරම් වැදගත් කාර්‍යභාරයක් ඉටුකරමින් සිටිනවාද ඒමඟින් ගනු ලබන තීරණාත්මක තීන්දු තීරණ පිළිබඳව එතුමාට අමුතුවෙන් පැහැදිළි කළ යුතු නැතැයි සිතමු. 
 
සමහරවිට අන් බොහෝ දෙනෙකුටම වඩා ඒ පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ද එතුමාට ඇතැයි අප විශ්වාස කරනවා. 
 
 
 
පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරකසභා ;
 
එසේ නම් අප යෝජනා කරන්නේ මහජන නියෝජිතත්වය පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරකසභා හරහා ක්‍රියාත්මක කරවීමයි. 
 
2015  ආරම්භ කල සෑම අධීක්ෂණ කාරක සභාවක් තුළින්ම බලාපොරොත්තු වූ ප්‍රතිඵල සමහර සාමාජිකයින්ගේ උනන්දුව අඩුනිසා නොලැබුනත්, අධ්‍යාපන, අධිකරණ හා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා ඉතා උනන්දුවෙන් ක්‍රියාත්මක වූ බව අප පිළිගත යුතුයි. 
 
එහිදී  නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ සංඛ්‍යාව 118 සිට 218 දක්වා සහ, මහාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව 70-108 දක්වා වැඩි කිරීමටත්, ත්‍රිපුද්ගල දූෂණ විරෝධී අධිකරණ දෙකක් පිහිටුවීමටත් මෙම ආංශික අධීක්ෂණ සභාවේ යෝජනා මත සිදු කෙරෙනි. 
 
එපමණක් නොව විනිශ්චයකාරවරුන් ගේද නීතීඥවරුන්ගේ ද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගේ ද අධිකරණ ලඝුලේකන නිලධාරීන් ගේද වැටුප් සැළකියයුතු ආකාරයට වැඩිකරන ලද්දේ එම කාරක සභා මගින් සිදු කරන ලද යෝජනාවන් මතය.  
 
එමෙන්ම අධ්‍යාපන ආංශික කාරක සභාව හරහා ලබා දුන් නිර්දේශ මක මඩකලපු විශ්ව විද්‍යාලය පවරා ගැනීම හා බොහෝ කල් ගිය වැටුප් විශමතා නිවැරදි කිරීමත්, සයිටම් සහ කොතලාවල අධ්‍යාපන පීඨ යා කිරීමත් සිදුවිය.  
 
නව ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම් යෝජනාවලියට අදාළ කැබිනට් පත්‍රිකාව අතිගරු ජනාධිපතිතුමන් විසින් 2021පෙබරවාරි මස 18 වනදින ඉදිරිපත් කළේ ද ජාතික ආරක්ෂාව පිළිබඳ අධීක්ෂණ කාරක සභාවේ කමිටු වාර්තාව පදනම කරගෙනය. 
  
පාස්කු ප්‍රහාරයෙන් පසු සිංහල මුස්ලිම් ජාතින් අතර සමගිය  ඇතිකිරීම සඳහා ද විශාල සේවයක් සිදුකළ බවද අප තේරුම් ගතයුතුව තිබෙනවා.
 
එහෙයින් කොවිඩ් ප්‍රශ්නයට විසඳුම් ලබාගැනීම සඳහා  සෞඛ්‍ය ආංශික අධීක්ෂණ කාරක සභාවක් පිහිටුවා එයට යොමු කිරීමෙන් විපක්ෂයට මෙන්ම දේශීය හා විදේශීය විද්වතුන්ටද සහභාගිවී එය පොදු ජාතික කටයුත්තක් වශයෙන් ක්‍රියාත්මක වියහැකිය.
 
 මෙය ඉතා කාලෝචිත පියවරක් වශයෙන් අපි දකිනවා. සති කිහිපයකින් මෙම කටයුතු ආරම්භ කළ හැක. 
 
පෝට්සිටි යෝජනාවයද ජනාධිපතිතුමා හෝ රජය නම්‍යගීලි වන්නේ නම්, එය ඉතාමත්ම සුදුසු පිළිවෙත වනු ඇත. 
 
 
 
සර්වපාර්ශික අධීක්ෂණ කාරක සභාවක් :
 
දැනට ඇති ගැටලුවට සාමකාමී විසඳුම් වනුයේ සර්වපාර්ශික අධීක්ෂණ කාරක සභාවක් පිහිටුවා දේශීය හා විදේශීය  අදහස් මෙන්ම උපදෙස් ලබාගෙන මෙය අවසානයක් කරා ගෙනයාමයි. 
 
වෙළඳ කලාප ඇතිකිරීමට කිසිවෙකු විරුද්ධ වී නැත. ගැටලුව ඇත්තේ එයට පැවරෙන බලතල කුමක්ද, ඒවායේ පාලනය පැවරෙන ආයතන රටේ මූලික ව්‍යවස්ථාවට එකඟවන්නේද, නැද්ද යන්න මතයි. 
 
 
විදේශගතව සිටින කීර්තිමත් ශ්‍රීලාංකික නීතිවේදියෙකු වන මහාචාර්ය සූරි රත්නපාල මහතා වැනි විද්වතුන්ගේ හා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ආයතතනවල අදහස්වලටද කන් යොමුකිරීම මෙහිදී ඉතා වැදගත්ය. 
 
JR
ජේ.ආර්.ජයවර්ධන
 
  
දකුණු ආසියාවේ පලවෙනි වෙළඳ කලාපය හා රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරය මහකොළඹ ආර්ථික කොමිසම නමින් ඇති කරන ලද්දේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා විසිනි. 
 
ඒ අනුව රාජ්‍යයට අයිතිව තිබූ ලංකා සම්භාණ්ඩ සංයුක්ත මණ්ඩලය කොරියාවේ ප්‍රසිද්ධ සමාගම් දෙකක් හා එක්කර ආසියාවේ විශාලතම පාවහන් කර්මාන්ත ශාලාව කොරියා සිලෝන් පුට්වෙයාර් සමාගම නමින් කටුනායක වෙළඳ කලාපයේදී ආරම්භ කරන ලදී.
 
 මුල් අවුරුදු කිහිපය තුළ දුෂ්කරතා ඇතිවුවද පසුව එය සාර්ථක ව්‍යාපාරයක් බවට පත්විණි. 
 
මෙහි සාර්ථකත්වය ගැන දැනගත් එවකට මැලේසියානු අගමැතිවරයා දොස්තර මහතීර් මොහොමඩ් මැතිතුමා සහ එම මැතිණියද ලංකාවට පැමිණ කර්මාන්ත ශාලාව පරීක්ෂා කළ අතර ඉන්පසු චීන ආර්ථික විප්ලවයේ මහා මොලකරුවා වන ඩෙංෂියාඕ පෙන්ග් මැතිතුමාගේ විශේෂ නියෝජිතවරයෙකු වශයෙන් ෂැන්ග්හයි නගරාධිපති ෂියාන් සමින්ග් පැමිණ බොහෝ වේලාවක් කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු අධ්‍යයනය කලේය. 
 
පසුව ෂියාන් සමින්ග් මහතා චිනයේ ජනාධිපති පදවියට ද පත්විය. එමෙන්ම එදා J.R ජයවර්ධන ජනාධිපතිවරයා මහකොළඹ ආර්ථික කොමිසමේ කර්මාන්ත ශාලා සඳහා විශේෂ බලතල හා පහසුකම් ලබාදුන්නේය. 
 
එමෙන්ම පරිපාලන හා වානිජමය නිදහසද මෙම ආයතන වලට ලැබී තිබිණි. රේගු කටයුතු ද විධිමත් කෙරිනි. 
 
විශේෂ ආනයන සඳහා පහසුකම් ලැබිණ. මේ කරුණු වගකීමෙන් යුතුව සඳහන් කරන්නේ එම සමාගම් සභාපති හා පෞද්ගලීකරණය පිළිබඳ ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස අප ලබා ඇති අත්දැකීම් පදනම් කරගෙනය. 
 
 
 
රසායනික පොහොර හා රසායනික කෘමිනාශක:
 
agrochemicals lanka
 
රසායනික පොහොර හා රසායනික කෘමිනාශක සම්පූර්ණ වශයෙන් නැවැත්වීම සඳහා රජය ගත් තීරණයද අධීක්ෂණ කාරක සභාවක් සඳහා යොමුකිරීම ඉතා යෝග්‍ය බව අපගේ විශ්වාසයයි. 
 
මෙවැනි තීන්දු තීරණ ගතයුත්තේ ඊට අදාළ සෑම අංශයන් පිළිබඳවම ඉතාමත්ම ගැඹුරින් කරුණු කාරණා සොයා බලමිනි. 
 
පරිසරයේ ආරක්ෂාව, ජන ජීවිතයේ ආරක්ෂාව, රටේ ආහාර සුරක්ෂතතාවය, ගොවිජනතාවගේ ජීවන තත්වය පිළිබඳව මෙන්ම රටේ සමස්ත පාරිභෝගික අවශ්‍යතාවයන් පිළිබඳවද එහිදී සළකා බැලිය යුතුව තිබේ.
 
 රටක් වශයෙන් අප බරපතල තීන්දු තීරණ ගතයුත්තේ එවැනි සියළු කරුණු කාරණා ගැඹුරින් සමාලෝචනය කරමිනි.
 
කොම්පෝස්ට් පොහොර පාවිච්චිය ප්‍රචලිත කිරීම ගැන කිසිවෙකු විරුද්ධ නැත. මා පසුගියදා 1297 දෙනෙකු සහභාගී වූ අන්තර්ජාලය හරහා සිදුකෙරුණු සම්මන්ත්‍රණයක දී ඒ පිළිබඳව ඉදිරිපත් වූ අදහස් යෝජනා පිළිබඳව සවන් දුනිමි. එහි සියලු දෙනාගේ මතය වූයේ එය ඉතා හොද අදහසක් වුවත් අවුරුදු කිහිපයක් යනතුරු එය ක්‍රියාත්මක කිරීම අපහසු බවයි. 
  
ගොවි රජවරුන්, එළවලු, තේ, රබර්, පොල් වගාකරුවාද මේ මතයේ දැඩිව සිටින බව පැහැදිළිය. අද වනවිට මේ රටේ බොහෝ ප්‍රදේශ වල මතුවෙමින් තිබෙන ගොවිජනතාවගේ විරෝධතාවයන් මඟින් පෙන්නුම් කරන්නේ එම යතාර්ථයයි.  
 
එහෙයින් මාස කිහිපයක් මෙම යෝජනාවන් අධීක්ෂණ කාරක සභාවන් හරහා දීර්ඝ අධ්‍යනයකට ලක්කිරීමෙන් සුහදව හා යථාර්තවාදීව මෙම ගැටලුවලට විසඳුම් ලබාගත හැක.
 
 පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් එකිනෙකාට පරිභව කරගැනීම වෙනුවට මෙවැනි සුහද ක්‍රමවේදයක් තුළ රටේ දැවෙන ප්‍රශ්ණ විසඳාගත හැකි බව අපගේ දැඩි මතයයි. 
 
අප මෙම යෝජනා ඉදිරිපත් කරන්නේ සහජීවනයෙන් රටේ දැවෙන ප්‍රශ්ණ විසඳාගැනීමේ උදාර පරමාර්තයෙනි.  
 
මෙම කරුණු බලධාරීන්ගේත්, දේශමාමක ජනතාවගේත් අවධානයට යොමුවේවායි ප්‍රාර්ථනය කරනවා.''
 
 

 

 


 

THE LEADER TV
 

එන්නත් විදීම බරපතල අවුලක - බලවතුන් 100ක් හිරගෙට යයි!

 

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්