සීඅයිඩී අධ්‍යක්ෂවරයා වශයෙන් මේ ආකාරයෙන් විදෙස් ගමන් තහනමක් පනවන්නට ඔහු කටයුතු කළේ මන්දැ’යි විමසන ලදුව ඔහු පවසා ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමත් සමඟ සීඅයිඩීයේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රහසිගතව රටින් පිටවී යාම නිසා සීඅයිඩීයට අපකීර්තියක් අත් වූ බවත්, තවත් නිලධාරීන් ඒ ආකාරයෙන් රහසිගතව රටින් පලායාම නැවැත්වීමට තමන් එවැනි තහනමක් පැනවූ බවත් ය.

ගෝඨාභයගේ ආගමයත් සමඟින් රහසිගතව රටින් පිටවූ නිශාන්ත සිල්වා යනු ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කප්පම් ලබාගැනීම සඳහා තරුණයන් ඇතුළු පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම ඇතුළු අතිශය ආන්දෝලනාත්මක අපරාධ රැසක විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කළ නිලධාරියා වන අතර, ඔහු ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලේ දැඩි වෛරයට පාත්‍රව සිටියකු බව ප්‍රකට ය.
අධිකරණ නියෝගයක් හෝ නොමැතිව එවැනි විදෙස් ගමන් තහනමක් පැනවීමට කටයුතු කළේ කුමන නීතියක් යටතේදැයි විමසන ලදුව සීඅයිඩී හිටපු අධ්‍යක්ෂවරයා කියා ඇත්තේ එවැනි නීතියක් ගැන තමන්ට දැනීමක් නැති බව ය.
තවදුරටත් ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ තමන් එම පියවර ගත්තේ එවකට හිටපු වැඩබල පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ උපදෙස් පරිදි බව ය.
“මං කිව්වේ නෑ.” හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න
මේ සම්බන්ධයෙන් හිටපු පොලිස්පති වික්‍රමරත්නගෙන් කටඋත්තර ලබාගැනීමේ දී ඔහු පවසා ඇත්තේ තමන් එවැනි කිසිදු නියෝගයක් ලබාදී නොමැති බව ය.
තමන් එවැනි නියෝගයක් ලබාදුන්නත් එය නීති විරෝධී නියෝගයක් වන බවත්, එවැනි අනීතික නියෝගයක් නොතකා හැරීමේ හැකියාව අදාළ නිලධාරියාට තිබූ බවත් හිටපු පොලිස්පතිවරයා පවසා ඇත.
තිලකරත්න ඊයේ අත්අඩංගුවට
සීඅයිඩී හිටපු අධ්‍යක්ෂ ඩබ්. තිලකරත්න ඊයේ (09) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අත්අඩංගුවට පත්වූයේ ඔහු විසින් එවකට සීඅයිඩී රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් 704කට විදෙස් ගමන් තහනමක් පැනවීම සම්බන්ධයෙනි.
එසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද තිලකරත්න රුපියල් මිලියනයක ඇපයක් මත මුදාහරින ලදී.
පොලිස් නිලධාරියකුට පමණක් නොව ඕනෑම පුද්ගලයකුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවිය හැක්කේ අධිකරණ නියෝගයකට අනුව පමණක් වන අතර, හිටපු සීඅයිඩී අධ්‍යක්ෂවරයා එම තහනම පනවා ඇත්තේ එවැනි කිසිදු අධිකරණ නියෝගයකින් තොරව ය.
මේ තහනමට එරෙහිව පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් ම එවකට වැඩබලන පොලිස්පතිවරයා වූ වික්‍රමරත්නටත්, මානව හිමිකම් කොමිසමට හා පොලිස් කොමිසමටත් පැමිණිලි කළ බව වාර්තා වුවත්, ඒ පැමිණිලිවලට කුමක් සිදුවීදැ’යි අද දක්වාත් දැනගන්නට නැත.
ගෝඨාගේ වුවමනාවට පැනවූ තහනමක්?
තිලකරත්න මේ නියෝගය පනවන ලද්දේ තමන් ඒ තනතුරට පත්කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වුවමනාවට ය යන්න පොලිස් දෙපාර්තමේන්තුව තුළ ප්‍රසිද්ධ රහසක් වී තිබේ.
හාස්‍යයට කරුණ වන්නේ, අධිකරණ නියෝගයකින් තොරව කිසිදු පුද්ගලයකුට විදෙස් ගමන් තහනම් පැනවීමට කිසිවකුටත් බලයක් නොමැති බව අදාළ නියෝග දුන් බවට පොලීසිය තුළ නම කියැවෙන ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා හෝ ඒ නීතිවිරෝධී නියෝගය ක්‍රියාත්මක කළ සීඅයිඩී අධ්‍යක්ෂවරයා නොදැන සිටීම ය.
ඒ අනුව දේශපාලන බලවතුන්ගේ නීතිවිරෝධී නියෝග ක්‍රියාත්මක කරන්නට ගොස් අද අමාරුවේ වැටී සිටින්නේ විශ්‍රාමික පොලිස් නිලධාරියා ය.
ගෝඨාගේ සීඅයිඩී අධ්‍යක්ෂ වූ මහින්දගේ හිටපු ආරක්ෂකයා
2019 නොවැම්බර් 18 වැනිදා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ගෝඨාභය රාජපක්ෂ සිය වැඩිමහල් සහෝදරයා අගමැති වශයෙන් පත්කරන්නටත් කලින් සිදුකළ රාජකාරිය බව පෙනෙන්නේ එවකට සීඅයිඩී අධ්‍යක්ෂ තනතුර දරමින් සිටි ශානි අබේසේකර එතැනින් පන්නා දැමීම ය.
ඉන් අනතුරුව ගෝඨාභය සීඅයිඩී අධ්‍යක්ෂ තනතුරට පත්කරගත්තේ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වූ ඩබ්ලිව් තිලකරත්න යි. තිලකරත්න දීර්ඝ කාලයක් රාජකාරි කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයට අනුයුක්තව ය. පසුව ඔහු සීඅයිඩීය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ද කටයුතු කළේ ය.
දේශපාලන වුවමනාව මත සීඅයිඩී අධ්‍යක්ෂ තනතුරට පත්කරගත්තත්, තිලකරත්න යනු සැලකිය යුතු අපරාධ විමර්ශන පළපුරුද්දක් ඇති පොලිස් නිලධාරියකු ලෙස නොසැලකේ.
තමන්ට හා සිය පවුලේ සාමාජිකයන්ට එරෙහිව සිදුවෙමින් පවතින විමර්ශන නතරකර, තමන්ට අවශ්‍ය පරිදි සීඅයිඩීය නැවත ව්‍යූහගත කරගැනීමේ අරමුණින් තිලකරත්න මේ තනතුරට පත්කිරීමට ගෝඨාභය කටයුතු කළ බව ප්‍රසිද්ධ රහසකි.
(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී
sanathbalas@gmail.com
උපුටා ගැනීම -
Sanath Balasooriya ගේ FB පිටුවෙන්...




