''ඡන්දයක් ගැන තාමත් වචනයක්‌වත් නැහැ. මොකද වෙන්නේ කියලා අපි දැන් උඩ බලා ඉන්නවා යෑයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, 'දිවයින' පුවත්පතට පවසා ඇත.
''රටේ මොකද වෙන්නේ කියලා අපි පත්තර බල බලා ඉන්නවා. ඡන්දයක් ගැන තීරණයක් ආවොත් අපට විවේකයක් නැහැ. ඉස්‌සරහට මොනවා හරි ඡන්දයක් එන්න පුළුවන්. අපි බලමු මොකද වෙන්නේ කියලා.'' මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
පළමුව එන්නේ ජනාධිපතිවරණයක් ද? පළාත් සභා මැතිවරණයක් ද ? ඒ දෙකම එකටද? යන්න සම්බන්ධයෙන් මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩිලෙස සාකච්ජාවට බඳුන් වෙමින් තිබේ.
සීමා නිර්ණ වාර්තාව මෙතෙක් ඉදිරිපත් වී නොමැති වාතාවරණයක් තුළ පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය අගෝස්තු 30 වෙනිදාට පෙර දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගවිනිසුරුවරයාට දැනුම් දී තිබීම ඊට හේතුවයි.
ඒ අනුව, අගෝස්තු 23 වන දා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එය සලකා බැලීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති ප්‍රධාන ප්‍රශ්න වන්නේ,
(අ) 2017 අංක 17 පනත මගින් සංශෝධිත, 1988 අංක 2 දරණ පළාත් සභා මැතිවරණ පනතේ 13 සහ 14 වගන්ති ප්‍රකාරව සමාලෝචන කමිටුව මා හට ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කර නොමැති බැවින්, ජනාධිපතිවරයා වශයෙන් මා හට, සීමා නීර්ණ කමිටුව විසින් පළාත් සභා අමාත්‍යවරයාට ඉදිරිපත් කළ වාර්තාවට අනුකූලව නව මැතිවරණ කොට්ඨාශ, එහි සීමා සහ නම් ප්‍රකාශයට පත් කළ හැකි ද? බව.
(ආ) ඉහත සඳහන් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පළාත් සභා මැතිවරණය 2017 අංක 17 පනත මගින් සංශෝධිත, 1988 අංක 2 දරණ පළාත් සභා මැතිවරණ පනතට ප්‍රකාරව පැවැත්විය හැකි ද? යන්න.
එය ප්‍රකාශයට පත් කිරීමට බලයක් නොමැති නම් වත්මන් පනත අනුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වුවහොත් 2017 සංශෝධිත පනතට පෙර පැවති නීතිය අනුව පළාත් සභා මැතිවරණයක් පැවැත්විය හැකි ද? යන්නය.
පළාත් සභා 8ක් ආණ්ඩුකාරවරුන් යටතේ:
ශ්‍රී ලංකාවේ පළාත් සභා 9න් 8ක් සඳහාම මේ වන විට මන්ත්‍රීව නියෝජනයක් නොමැත. ඒවා පාලනය වන්නේ ආණ්ඩුකාරවරුන් යටතේය. ඌව පළාත් සභාවට ද ලබන ඔක්තෝබර් මාසයේදී වසර 5ක කාලය සම්පූර්ණ වනු ඇත. ඒ අනුව, ඌව පළාත් සභාවේ නිල කාලය අවසන්වීමට ඇත්තේ තවත් මාස 2ක් පමණි.
නිල කාලය අවසන්වී ඇති පළාත් සභා 8:
සබරගමුව පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 10යි.
උතුරු මැද පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 10යි.
නැගෙනහිර පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 10යි.
මධ්‍යම පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 10යි.
උතුරු පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 10යි.
වයඹ පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 10යි.
බස්නාහිර පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 4යි.
දකුණු පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 4යි.
පළාත් සභාවක නිල කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ඉ) ව්‍යවස්ථාව අනුව සඳහන් වන්නේ පහත පරිදිය.
'පළාත් සභාවක් කලින් විසුරුවා හරිනු ලැබුවහොත් මිස, එම පළාත් සභාවේ පළමු රැස්වීම සඳහා නියම කරන ලද දින සිට අවුරුදු පහක කාලයක් එම සභාව පවත්නේය. එකී පස් අවුරුදු කාලය ඉකුත්ව ගිය විට ම එම පළාත් සභාව විසිර ගියාක් සේ සැලකෙන්නේය.'
සීමා නීර්ණ අර්බුදය:
මිශ්‍ර, සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහය ඇතිව පනතක් සම්මත කරගත්තේ 2017 වසරේ ඔක්තෝබර් මාසයේදීය.
එම පනත සම්මත වීමෙන් අනතුරුව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා 5 දෙනකුගෙන් සමන්විත කොමිසමක් පවා පත් කළ අතර එහි සාමාජිකයන් විසින් 2018 පෙබරවාරි මාස සිය වාර්තාව ලබාදී තිබුණි.
එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2/3 ක විශේෂ බහුතරයෙන් සම්මත කළ යුතු වූ අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවූයේ 2018 අගෝස්තු මාසයේදීය.
කෙසේ නමුත් එම වාර්තාව පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය. එය ඉදිරිපත් කළ, එවකට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ සහය පවා ඊට නොලැබිණි. ඔහු එම තීරණයට එළැඹියේ සීමානිර්ණ වාර්තාවේ අඩුපාඩු ඇති බව පවසමිනි.
එම වාර්තාවට සහය පළ කරමින් එකදු මන්ත්‍රීවරයකු හෝ ඡන්දය භාවිත නොකළ අතර ඊට විරුද්ධව මන්ත්‍රීවරු 139 දෙනෙක් ඡන්දය භාවිත කර තිබිණි.
ජනාධිපතිවරණය කවදා ද?
මැතිවරණ කොමිසමට අනුව ජනාධිපතිවරයාට 2019 ජනවාරි 8 වන දා සිට ඕනෑ ම මොහොතක ජනාධිපතිවරණය කැඳවිය හැකිය. ජනාධිපතිවරයා තම ධුර කාලය සම්පූර්ණ කිරීමට තීරණය කළහොත් ජනාධිපතිවරණය නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය.
2020 ජනවාර 08 වන දින ජනාධිපතිවරයාගේ නිල කාලය ඉකුත් වන හෙයින් නිසැක වශයෙන් ම මේ වසර අග භාගයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුව තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපතිගේ ප්‍රකාශය
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමකදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිකුත් කිරීමෙන් පසු ඕනෑ ම මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බවය.
"මෙතනදී අපට කරන්න දෙයක් නැහැ. අපිට ලැබෙන නියෝගයක් අනුව ඕනෑ ම මැතිවරණයක් පවත්වන්න අපි සූදානමින් ඉන්නේ."
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ වී තිබු අතර නුවන් නිරෝධ අල්විස් හා ඩිලාන් ජයසිංහ සිය FB පිටුවල මෙසේ සඳහන් කර තිබිණ.
(උපුටා ගැනීම- බීබීසී සිංහල සේවය)