මාරාන්තික වසංගතයෙන් රටේ ජනතාව මුදවා ගැනීම සඳහා කැපවී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අවශ්‍යතා පිළිබදව සාකච්ඡා කිරීමටවත් බලධාරීන්
අවස්ථාවක් නොදී සිටියදී සෞඛ්‍ය අමාත්‍යවරයා විරෝධතා පැවැත්වීමට එරෙහිව දෝෂාරෝපන නගා තිබේ.
 
 “සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි ප්‍රශ්න” මුල් කරගෙන සෞඛ්‍ය සේවකයන් දඩමීමා කරගනිමින් කවුරුන් හෝ උද්ඝෝෂණ වැනි කටයුතු වලට පෙළඹෙන්නේ නම් එය “කිසි ලෙසකින් අනුමත නොකරන” බව සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙලිය රඹුක්වැල්ල පවසා ඇත්තේ ඔක්තෝබර් 5 වැනි අගහරුවාදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
අමාත්‍යවරයා සිය චෝදනාව නගා ඇත්තේ සෞඛ්‍ය සේවකයන් සිය ඉල්ලීම් වෙනුවෙන් සාකච්ඡාවක් ලබා ගැනීම සඳහා ලිඛිතව කර ඇති ඉල්ලීමට කිසිදු පිළිතුරක් දී නැතිවය.
 
  
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පසුගියදා චෝදනා කර තිබුනේ අඩු තරමින් තමන් විසින් සිදු කරන ඉල්ලීම් සදහා සාකච්ඡාවක්වත් ලබානොදීම තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සලකන ආකාරය අමාත්‍යවරයා විසින් පෙන්වා දී ඇති බවයි.
 
 
පසුගිය වකවානුවේ පැවති උද්ඝෝෂණ තත්වයන් නිසා රට විශාල ව්‍යසනයට පත්වූ බව සදහන් කරන අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේඉල්ලා ඇත්තේ,  “රටත්, රටේ ජනතාවත් ගැන සිතා” එවැනි කටයුතු වලට මේ මොහොතේ එක් නොවන ලෙසයි.
 
 "පසුගිය වකවානුවේ එවැනි උද්ඝෝෂණ 800 ට වඩා පැවති බවත් ඉන් ඇති වූ තත්ත්වයන් ඉතා අමිහිරි බවත් හෙතෙම කීය," යි අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ඉන්දික පොල්කොටුව නිකුත් කළ නිවේදනයක සදහන්ය.
 
 සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සාමාන්‍ය සේවකයා දක්වා සැවොම විශාල කැපවීමකින් කටයුතු කරන බව පවසා ඇති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තව දුරටත් පවසා ඇත්තේ, යම් ප්‍රශ්න ඇතිවන්නේ නම් එය  සාකච්ඡා කර විසදා ගැනීමට එන්වන ලෙසයි.
 
 රටේ වසංගත තත්වය  තුළ ඇතිවන ආර්ථික තත්වයන්  මැනවින් අවබෝධ කරගනිමින් මේ මොහොතේ කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා තිබේ.
 
 
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පසුගියදා  දැනුම් දී තිබුනේ වසංගතයෙන් රටේ ජනතාව මුදවා ගැනීම සඳහා කැපවී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අවශ්‍යතා දිගින් දිගටම නොසලකා හැරීමට එරෙහි යළිත් වරක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.
 
 
තමන් විසින් ඉදිරිපත් කර තිබෙන ගැටළු විසදීම සදහා කඩිනම් මැදිහත් වීමක් සිදු නොකරන්නේනම් ඔක්තෝබර් 8 දින දවස පුරා සේවාවෙන් ඉවත්වීමේ ක්‍රියාමාර්ගයක් හා උද්ඝෝෂණ ව්‍යාපාරයක් රටපුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව එහි වැඩි දුරටත් තිබුනි.
 
 " සුවවිරුවන් ලෙස බොරුවට නම් කලද ඔවුනට අවශ්‍ය සහන නොදී ප්‍රතිකාර හා සත්කාර සේවාව යහපත් ලෙස බාධාවකින් තොරව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පැහැදිලි නැත."
 
 විරෝධතාවය දියත් කිරීමට පෙර සිය ගැටළු වලට විසදුමක් ලබා දී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සාධාරණය ඉටු කරනු ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව  විශ්වාසය පල කර තිබුනි.
 
 සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් එම ලිපියට අත්සන් තබා තිබුනේ රවී කුමුදේශ්, සමන් රත්නප්‍රිය, උපුල් රෝහණ, ඩබ්.ඒ.ඩී විමලරත්න, නාමල් ජයසිංහ, ධර්මකීර්ති ඈපා, දේවිකා කොඩිතුවක්කු, රෝයි ද මැල් හා උදේනි දසනායක යන වෘත්තිය සමිති නායකයන්  විසිනි.
 

 
 
THE LEADER TV 
 
ගුරු සටන ගැන "ස"ට කේළමක් 
 
 
විමල්ට හොඳ වැඩේ 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්