ආණ්ඩු පාර්ශවයේ කිසිවකු ඉවත් වන්නේ නම් ඒ සඳහා ඔවුන්ට කිසිදු බාධාවක් නැති බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.



ආණ්ඩුවෙන් කිසිවෙකු හෝ කණ්ඩායමක් ඉවත් වන්නේ නම් එම අඩුව පිරවීමට විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

බැසිල්වාදියකු වන ඔහු එබව කියා සිටියේ, ඊයේ (27) කොළඹදී මාධ්‍ය අමතමිනි.

''අපේ ආණ්ඩුවේ 2/3 බලය අහිමි වන්නේ නැහැ. අඩුපාඩුව පුරවා ගන්නා ආකාරය අපි දන්නවා.''යයි ද ඔහු එහිදී අවධාරණය කළේය.


ගැටුම උත්සන්නයි - එකට එක !


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 25 දා අයවැය විවාදය එක්වෙමින් ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව පාර්ලිමේන්තුවේදී පැවසිය.  

හිටපු ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊට පෙරදින සිදුකල ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙසිනි.


අග්නිදිග ආසියාව සතු විශ්වීය ඉදිකිරීම් තාක්ෂණයේ දකුණු ආසියාවේ සම්ප්‍රාප්තිය හෙවත් “අධිවේගී අහස් වියමන” ලෙස සැලකෙන “කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani)  නොවැම්බර් 24 දා පස්වරුවේ ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසුයේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබෙන බවත්, එය පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි කටයුතු වෙනුවෙන් යොමු කර ඇති බවත්, පාර්ලිමේන්තු පනතකින් කොමිසම හෙළිකළ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය (2/3) ආණ්ඩුව සතු බවත් ය.


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිදුකළ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, අතීතයේ ඇතැම් ආණ්ඩු හවුල් පක්ෂවලට පහරදී ඒවා විනාශ කරගත් බවත් මේ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය රැඳී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දාහතර දෙනා අත බව සියලු දෙනාට සිහිපත් කර දෙන බවත් ය.

ඒ සම්බන්ධයෙන් තව දුරටත් හෙතෙම මෙසේද සඳහන් කළේය.


'' ආණ්ඩුව ඇතුළේ ගහ ගත්තම වෙන දේ අපි ඉතිහාසය පුරාම දැක්කා. 1947 ඉඳන් මේ රටේ ආණ්ඩු පළමුවැනි මැතිවරණයේදී බලයට පත්වෙන්න පක්ෂවල සහයෝගය අරගෙන ඒ සහයෝගය අතරමග කඩා ගත්තා. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව 64දී.  බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව හැත්තෑ පහේදී. ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව හයෙන් පහක බලය දික් කරගන්න ගිහිල්ලා ජනමත විචාරණයක් තියලා අන්තිමට ලලිත් ගාමිණීලා යන්න ගිහිල්ලා අද වෙනතුරුත් එක්සත් ජාතික පක්ෂයට නැගිටින්න බැරි වුණු තත්වයට ආවා.  චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ කට්ටියක් කඩාගෙන ගියා. ඒකෙන් ඒ ආණ්ඩුව ඉවර වුණා. 2014දී මම සාධාරණ හේතු මත අයින් වෙලා පොදු අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා. ඒ ආණ්ඩුව පරාජය වුණා. තුනෙන් දෙකේ බලය කියන එක සහ ආණ්ඩුවක් කිරීම පිළිබඳව මීට වඩා ගැඹුරින් සහ සංකීර්ණව බුද්ධිමත්ව සහ ප්‍රබුද්ධව හිතන්න ඕන. මීට වඩා බහුශෘත ලෙස හිතන්න ඕන .''


පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ඉලක්ක කර ගනිමින් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් මඩ ප්‍රහාර ගෙනයන බවට පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර එහිදී ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පොදුජන පෙරමුණේ ප්‍රබලයකු වන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ අතර පාර්ලිමේන්තුවේ දී ඇති ඇතිවූ මත ගැටුම පක්ෂ දෙක අතර පවතින දේශපාලන විරසකයෙ උච්චතම අවස්ථාවක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.




ශ්‍රීලනිපය වෙනම ගමනකට… පක්ෂ අභ්‍යන්තරයේ බරපතළ සාකච්ඡාවක්


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන දේශපාලන අර්බුදය මෙ වන විට උග්‍රවී ඇති අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට ශ්‍රීලනිපය දැන් සිටම සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි උපුටා දක්වමින් lankadeepa.lk වාර්තා කර තිබේ.

පුරප්පාඩු වී ඇති ආසන සංවිධායකයන් සහ දිස්ත්‍රික් සංවිධායකයන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇති අතර පක්ෂ මූලස්ථානයේ දී පසුගිය සතිය පුරා ඒ සම්බන්ධ සම්මුඛ පරීක්ෂණ පැවති බවද වාර්තා වේ .

ආණ්ඩුව තම පක්ෂය නොසලකා හරිමින් කටයුතු කරන බවට එම පක්ෂයේ බොහෝ දෙනෙකු පසුගිය කාලය පුරා චෝදනා කළ අතර මේ හේතුවෙන් පළාත් පාලන ආයතන වල අයවැය ඡන්ද විමසීම් වල දී තමන්ට කැමති තීන්දුවක් ගන්නැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන ඇමැති මහින්ද අමරවීර පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට පසුගියදා දැනුම් දුන්නේය.

මේ අතර kubiyonews.com වාර්තා ‌කර ඇත්තේ, ඉදිරි මැතිවරණවල දී තරග කළ යුතු ආකාරය ගැන පක්ෂ අභ්‍යන්තරය තුළ බරපතළ සාකච්ඡාවක් සිදු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ද ඊයේ මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ද ප්‍රකාශ කර ඇති බවයි.



''පොහොට්ටුවට ඕන ඕන විදියට නටන්න අපි සූදානම් නෑ''- ලසන්ත අලගියවන්න


lasantha sඒ අතර සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුයේ, ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණට හෝ විපක්ෂයට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් නැති බවයි.

ශ්‍රී ලංකා පොදුජන සන්ධානය තුළ පවතින ගැටළුවලට විසදුම් ලබා දීම එම පෙරමුණේ වගකීමක් බවද හෙතෙම සඳහන් කළේය. 

 
 
 
 

THE  LEADER  TV


සෑර් ගිනස් පොතට ! | මොණරවිලගේ ලියමන
 


සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න !

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්