ශ්‍රී ලංකා රජය මෙතෙක් රහසක් ලෙස තබාගෙන සිටි කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සභාගත කළේ ය.

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසන්නේ අනුර කුමාර දිසානායක එම ගිවිසුම පාර්ලිමේන්තුවේ සභා ගත කරන තුරු තමන් එම ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳව දැනුවත්ව නොසිටි බවයි.

රජයේ බොහෝ මැති ඇමතිවරුන් ද පවසන්නේ ඔවුන් මෙම ගිවිසුම පිළිබඳව දැනුවත් නොමැති බවයි.

මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ නොවැම්බර් 10 වැනිදා පොරොන්දු වුවත්, මේ වන තෙක් එය රජය නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.

රජය අමෙරිකානු සමාගමක් සමග අත්සන් කළ බව කියන ගිවිසුම මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී සභාගත කරනු ලැබුවේ මෙම පසුබිම තුළ යි.



ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හමුවේ කරුණු දක්වමින් මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ, "මේ කැබිනට් පත්‍රිකාවෙන් අවසර ලබා දෙන්නේ නිව් ෆෝට්‍රස් සමාගම සමග ගිවිසුමකට එළඹෙන්න. මේ ගිවිසුම අත්සන්කර තිබෙන්නේ කාත් සමග ද? එන්. එෆ්. ඊ. කියන්නේ නිව් ෆෝට්‍රස් එනර්ජි ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් එල්. එල්. සී. කියන සමාගම සමග. කැබිනට් මණ්ඩලයයෙන් බලය දෙන සමාගම සමග නෙමෙයි. එතකොට මං දන්නේ නැහැ ශ්‍රී ලංකා හෝල්ඩින් සමාගමක් අමෙරිකාවේ රෙජිස්ටර් කරපු සමාගමක්. එතකොට ඒ සමාගම තමයි මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ."

 

"කැබිනට් මණ්ඩලයෙන් බලය දුන්නේ නිව් ෆෝට්ට්‍රස් එනර්ජි කියන සමාගම සමග, හැබැයි ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට අනුබද්ධ හෝල්ඩින්ග් සමාගමක් සමග," ඔහු පැවසිය.  මෙය කැබිනට් මණ්ඩලය මුළුමනින්ම නොමඟ යැවීමක් බව ද අනුර කුමාර දිසානායක පැවසිය.

 

වසර දෙකක් යනතුරු රටට හෙළි නොකිරීමට කොන්දේසියක්?


මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසන්නේ ගිවිසුමේ කොන්දේසිවලට අනුව වසර දෙකක් යනතුරු මේ පිළිබඳව රටට හෙළි නොකර සිටීමට හැකි බව යි.

"මුළුමනින්ම කැබිනට් මණ්ඩලය නොමඟ යැවීමක් හැටියට මේක සඳහන් කරන්න පුළුවන්. දහතුන එක වගන්තියේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අවුරුදු දෙකක් යනතෙක්, ඒ කියන්නේ මේ රහසිගත හා ප්‍රකාශ කිරීම යන වගන්තිය යටතේ අවුරුදු දෙකක් යනකම්, දෙපාර්ශවයේ එකඟතාවකින් තොරව රටට හෝ ජනතාවට ප්‍රකාශයට පත් නොකර සිටින්න," මන්ත්‍රීවරයා අනාවරණය කළේ ය.

එහිදී ඔහු පැවසුවේ "මේ රටේ දේපළ කිසිදු පොල්මඃකාර උරුමක්කාරීත්වයකින් මුදල් අමාත්‍යවරයාට හෝ එහි ලේකම්වරයාට පවරා නොමැති" බව යි.
ඒ නිසා මේ රටේ දේපළ සම්බන්ධයෙන් අත්සන් කරනු ලබන ඕනෑම ගිවිසුමක් පිළිබඳව දැනගැනීමට රටේ ජනතාවට පරම අයිතිය ඇති බව ද ඔහු අවධාරණය කරමින් පැවසිය.

මාධ්‍ය අමතමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ, කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ට ද ගිවිසුමේ පිටපත් ලබා දුන්නේ තමන් බව යි. නැවත ආණ්ඩුවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ගිවිසුමක් නොමැති බව ඔහු අවධාරණය කළේ ය.


යුගදනවි ගිවිසුම:


# යුගදනවි ගිවිසුමට අනුව එහි විකුණුම්කරු ලෙස නම්කර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව යි.


# මිල දී ගන්නා ලෙස 'NFE SRI LANKA POWER HOLDINGS LLC' යන සමාගම නම්කර ඇත.


# ඇමෙරිකා එක්සත් ජනපදයේ '1209, ඔරේන්ජ් ස්ට්‍රීට්, විල්මිග්ටන්, DE 19801' ලෙස මෙම සමාගමේ ලිපිනය දක්වා තිබේ.


# 'වෙස්ට් කෝස්ට් පවර් (පෞද්ගලික) සමාගමේ නිකුත්කර ඇති ප්‍රාග්ධන කොටස්වලින් 40%ක් විකිණීමේ හා මිල දී ගැනීමේ ගිවිසුම' වශයෙන් මෙම ගිවිසුම නම්කර ඇත.


# ඊට අත්සන් තබා ඇත්තේ 2021 සැප්තැම්බර් 17 වැනි දා යි.


# ගිවිසුම පිටු 141කින් සමන්විත ය.


# ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තබා ඇත්තේ මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල යි. NFE SRI LANKA POWER HOLDINGS LLC වෙනුවෙන් ගිවිසුමට අත්සන්කර ඇත්තේ එහි කළමනාකාර අධ්‍යක්ෂ ඩැනියල් ක්‍රිස්ටෝපර් නයිට් නැමැත්තෙකි.


# ගිවිසුමට අනුව මිල දී ගන්නා විසින් අදියර දෙකක් යටතේ විකුණුම්කරුට ගෙවීම් සිදුවිය යුතු ය. ඒ අනුව පළමු අදියර යටතේ ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 187.5කි. දෙවැනි අදියර අවසානයේ තවත් ඩොලර් මිලියන 62.5ක මුදලක් ගෙවිය යුතු ය.


# ගිවිසුමට අනුව යම් බේරුම්කරණ අවස්ථාවක දී, බේරුම්කරණය සිංගප්පූරුවේ දී සිදුකළ යුතු බව ද ගිවිසුමේ සඳහන් වෙයි.


"සඟවන්න දෙයක් නැහැ":



සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේ දී පැවසුවේ තමාට සඟවන්නට කිසිත් නොමැති බවකි.

"අනුර කුමාර, නිව් ෆෝට්ට්‍රස් එනර්ජි පිළිබඳ ගිවිසුම ඔබතුමා සභාගත කළා. හැබැයි මේ වෙනකොටම ගිවිසුම අපි අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා රජය හැටියට. ඔබ තුමාට ගිවිසුම ලැබුණේ කොහොමද කියන කාරණෙත් අපි දන්නවා. ඒ හින්ද අපිට මෙතෙන හංඟන්න දෙයක් නැහැ. අපිට හංඟ හංඟ ගහන්න දෙයක් නැහැ, සඟවලා කටයුතු කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ කියලා අපි කියන්න ඕනේ."



ඒ කෙසේ වෙතත්, සිවිල් සංවිධාන රජයට බලකර සිටින්නේ මෙම ගිවිසුම පිළිබඳ වහාම ජනතාව දැනුවත් කරන ලෙස යි.

 

යුගදනවි බලාගාරයට අදාලව නිව් ෆෝට්ට්‍රස් සමාගම සමග ඇතිකර ගෙන ඇති ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ගෞරවය සහ මහජන විශ්වාසය රැක ගැනීම උදෙසා වහාම රටට හෙළිදරව් කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කරයි.අදාල ගිවිසුම අත්සන්කර ඇති ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග් නැමති සමාගම නිව් ෆෝට්ට්‍රස් සමාගමට සම්පූර්ණයෙන් අයිති සමාගමක් ද, නැතහොත් හවුල් සමාගමක් ද යන්න දැන ගැනීමේ අයිතිය ජනතාව සතු බව ද එම සංවිධානය අවධාරණය කළේ ය.

 

රටේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නා ඉහළම ආයතනය හා මුදල් පාලනය භාරව සිටින ආයතනය වන පාර්ලිමේන්තුවට පවා එවැනි ගිවිසුමක් හෙළිදරව් නොකිරීම මඟින් ජනතාව සතු පරමාධිපත්‍ය බලය බලවත් ලෙස හෑල්ලුකර ඇති බව ද එම ව්‍යාපාරය නිවේදනය කළේ ය.

සමාජ හා සාමයික කේන්ද්‍රයේ සම්බන්ධීකාරක චමීර පෙරේරා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට අදාල ගිවිසුම බලන්න අවශ්‍ය නොවුණත් රටේ ජනතාව එය දැන ගත යුතු බව යි.

රටේ දේපළ පිළිබඳ අයිතිය ඇත්තේ රටේ ජනතාවට බව ද ඔහු වැඩිදුරත් පැවසීය.

"මේ ලෑස්ති වෙන්නේ, මිග් යානා ගනුදෙනුව වගේ ගැහිල්ලකට ද ලෑස්ති වෙන්න ද? අපිට ඉතිහාසය මතක යි. හදාගන්නවා කොම්පැණිය, හැබැයි හදාගෙන මාසයක්, දෙකක්, තුනක් යනකොට, වැඩේ වුණාට පස්සේ, ගිවිසුම අත්සන් කළාට පස්සේ, සල්ලි ටික හුවමාරු වුණාට පස්සේ, හොයා ගන්නත් නැහැ කොම්පැණිය," ඔහු පැවසීය.


සමාගමේ ඇඩ්‍රස් එක තියෙන්නේ "අමෙරිකාවේ සුපර් මාර්කට් එකක"


අදාල ගිවිසුමේ නම් සඳහන් සමාගම පිළිබඳ තමන් සොයා බැලූ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ ය.
"ඒකේ ඇඩ්රස් එක අපි හෙව්වා. ඇඩ්රස් එක තියෙන්නේ අමෙරිකාවේ සුපර් මාර්කට් එකක. ඒ තියෙන ඇඩ්රස් එක දැන් අපි හොයන්න ඕනේ අමෙරිකාවේ ඒ ගෑස් ගේන කොම්පැනියේ එක ද කියලා.

මේවා මේ රටේ ජනතාවට ආදරයට ගහපු ගිවිසුම් ද? 1987 දී 5/6 බලය පාවිච්චි කරලා වගේ තමයි අද 2/3 බලය පාවිච්චි කරලා කෙරවලපිටිය අපේ රටෙන් විකුණලා දාන්නේ. ඒ විතරක් නොවෙයි ලංකාවට ගෑස් විදුලිබලය සැපයීම, ගබඩා පහසුකම, නල පද්ධතිය ඔක්තොම තනි එකාට ලියලා දෙනවා. මොකට ද? කොමිස්වලට. ඒක එහෙම ගැහුවාම වෙන එකවුන්ට් එකකට යනවා සල්ලි ටික. පැන්ඩෝරා ගිණුම්වලට.

පැන්ඩෝරා ගිණුම් හෙළිදරව් වෙනකොට තව අවුරුදු පහක් විතර ගිහිල්ලනේ. දැන් ඕකේ කොමිස් මුදල යන්නේ කවද්ද? ඒවා හෙළිදරව් වෙනකොට ලෙඩා මැරිලා බඩ සුද්ද යි."

 

සුනිල් හඳුන්නෙත්ති තවදුරත් පවසන්නේ ගිවිසුම අත්සන් තැබීමේදී එහි රජය පාර්ශ්වයෙන් අත්සන් තැබූ මුදල් අමාත්‍යංශයේ ලේඛම් එස් ආර් ආටිගලගේ සාක්ෂියට අත්සන් තබා ඇති විදුලිබල මණ්ඩලයේ සභාපති ෆෙර්ඩිනැන්ඩස් ම මුදල් අමාත්‍යංශයේ උපදේශකයකු ලෙස ඇමරිකානු සමාගම වෙනුවෙනුත් සාක්ෂියට අත්සන් තබා ඇති බවයි. ඇමරිකානු සමාගමේ අනෙක් ශාක්ෂි කරුවශයෙන් අත්සන් කල අනෙක් පුද්ගලයාත් ශ්‍රී ලංකාවේ පුරවැසියකු බවට ඔගු තවදුරටත් පැවසිය.

 

 

මේ අතරේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ ගිවිසුමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බැවින් තමා ඒ ගැන සෙවීම අනවශ්‍ය බව යි.

"මේ ගිවිසුම අත්සන් කරන්න කැබිනට් මණ්ඩලය අනුමැතිය දීලා තියෙනවා නේ. එතකොට මම ගිහිල්ලා කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට මොකද්ද, ගිවිසුමේ තියෙන්නේ මොනවද කියලා හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමා විශ්වාසය කියන්නේ. කැබිනට් එක ට්‍රෙෂරි එකේ ලේකම්තුමාට අවසර දුන්නට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ල ඒවා අනුමත කරලා එන ගිවිසුමක් මම හිතන් නැහැ ගැටලුවක් තියෙනවා කියලා. ඒකෙ ඔක්කොම කියවන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ නැහැ," ඔහු ප්‍රකාශ කළේ ය.

 




(BBC සිංහල සේවය )

 

Leader Whats app

 

 
 
 
 

මොළ 16 න් මොළ හතට ප‍්‍රහාරයක් ! | මොණරවිලගේ ලියමන

 

 

පාඨලීට වෙච්ච දේ ෆොනීටත් වෙයිද ? 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්