The Leader News
BREAKING
Top Ad
පුවත්

ඊයේ 'තවම හිතනවා' කී CIDය අද සලේව 3 වැනි සැකකරු කරයි!

T

The Leader Desk

March 5, 2026 • 4:43 PM

ඊයේ 'තවම හිතනවා' කී CIDය අද සලේව 3 වැනි සැකකරු කරයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිය යනු සැමට සමානව ක්‍රියාත්මක විය යුතු පලිහක් වුවද, ඇතැම් අවස්ථාවලදී එය බලවතුන්ගේ අතේ ඇති දඩයම් ආයුධයක් බවට පත්වන අයුරු අපි මේ දිනවල දැක ඇත්තෙමු.
  • මෙය හුදු විමර්ශනයක් නොව සැලසුම් සහගත අත්තනෝමතික මෙහෙයුමක් බවට වන ලිඛිත නෛතික සාක්ෂි, සැකකරුගේ භාර්යාව වන එස්.බී.එම්.එස්.
  • අභිරහස් පිටපත: පැමිණිලිකරු රිමාන්ඩ් වීම මෙම සමස්ත නාටකයේ ආරම්භය සනිටුහන් වන්නේ 2021 වසරේදී අන්තර්ජාතික සත්‍යය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය (ITJP) විසින් සංවිධානය කළ සූම් (Zoom) මාධ්‍ය සාකච්ඡාවක් මුල්කරගෙනය.
  • එම මාධ්‍ය සාකච්ඡාවට මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ඇතුලු තවත් පියතුමන්ලා සහභාගීවී සිට ඇති අතර, එහිදී සිරිල් ගාමිණී පියතුමා විසින් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් සුරේෂ් සලේ විසින් CID විශේෂ අංශයට පැමිණිල්ලක් ගොනු කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):


නීතිය යනු සැමට සමානව ක්‍රියාත්මක විය යුතු පලිහක් වුවද, ඇතැම් අවස්ථාවලදී එය බලවතුන්ගේ අතේ ඇති දඩයම් ආයුධයක් බවට පත්වන අයුරු අපි මේ දිනවල දැක ඇත්තෙමු. හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ ගේ අත්අඩංගුවට ගැනීම පිටුපස දිගහැරෙමින් පවතින නෛතික නාඩගම, ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ අපක්ෂපාතීත්වය පිළිබඳව බරපතලම අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සිටී.

මෙය හුදු විමර්ශනයක් නොව සැලසුම් සහගත අත්තනෝමතික මෙහෙයුමක් බවට වන ලිඛිත නෛතික සාක්ෂි, සැකකරුගේ භාර්යාව වන එස්.බී.එම්.එස්. බී. සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයා වෙත යොමුකළ ලිපි හරහා මේ වන විට තහවුරු වී තිබේ.

1. අභිරහස් පිටපත: පැමිණිලිකරු රිමාන්ඩ් වීම

මෙම සමස්ත නාටකයේ ආරම්භය සනිටුහන් වන්නේ 2021 වසරේදී අන්තර්ජාතික සත්‍යය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය (ITJP) විසින් සංවිධානය කළ සූම් (Zoom) මාධ්‍ය සාකච්ඡාවක් මුල්කරගෙනය. එම මාධ්‍ය සාකච්ඡාවට මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ඇතුලු තවත් පියතුමන්ලා සහභාගීවී සිට ඇති අතර, එහිදී සිරිල් ගාමිණී පියතුමා විසින් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් සුරේෂ් සලේ විසින් CID විශේෂ අංශයට පැමිණිල්ලක් ගොනු කරන ලදී. තමන්ව අත්අඩංගුවට ගනු ඇතැයි බියට පත් සිරිල් පියතුමා, තම ප්‍රකාශය CID යට ලබාදීමටත් පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සමක් ගොනු කළේය. කෙසේ වෙතත්, පසුව පියතුමාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් CID ය, අදාළ විමර්ශන සටහන් සහ සූම් වීඩියෝව නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කළ අතර, එම විමර්ශනයට පසුව සිදුවූයේ කුමක්දැයි අදටත් අභිරහසකි.

එපමණක් නොව, සුරේෂ් සලේ කොළඹ දිසා අධිකරණයේ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව වන්දි ඉල්ලා අපහාස නඩුවක්ද (නඩු අංක: DMR/325/2022) ගොනු කළේය. එහිදී පැමිණිලිකරු ලෙස සලේ විසින් ඒ වන විටත් සාක්ෂි ලබාදී අවසන්ව තිබූ අතර, මීළඟට සාක්ෂි කූඩුවට නැගීමට නියමිතව සිටියේ සිරිල් ගාමිණී පියතුමාය.

නෛතිකව සිරිල් ගාමිණී පියතුමා දැඩි අර්බුදයකට ලක්වෙමින් සිටි මේ මොහොතේ, එකී මුල් සූම් මාධ්‍ය සාකච්ඡාවටම සහභාගී වූ ඔහුගේ මිතුරෙකු වන රොහාන් සිල්වා පියතුමා විසින් හදිසියේම නව අපරාධ පැමිණිල්ලක් ගොනු කරන්නේ තම මිතුරාට මෙම නඩු වලින් ගැලවීමට උපකාරයක් ලෙසින්දැයි බරපතල සැකයක් මතු වේ. එහි ප්‍රතිඵලය වූයේ 2026 පෙබරවාරි 25 වැනිදා කිසිවෙකුත් නොසිතූ පරිදි, නීතිය ඉදිරියට ගිය පැමිණිලිකරු වූ සුරේෂ් සලේව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ හදිසියේම අත්අඩංගුවට ගැනීමයි.

2. ඊයේ (04) නීතියේ දෙවඟනට ඇසුණු අපූරු දෙබස: "තවමත් හිතනවා ස්වාමීනී"

පුද්ගලයෙකු PTA වැනි අතිශය දැඩි නීතියක් යටතේ දින 90ක රැඳවුම් නියෝග මත රඳවා ගන්නේ ඔහු යම් බරපතල ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ බවට 'සාධාරණ සැකයක්' පවතින විටදීය. එහෙත් මාර්තු 04 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී දිගහැරුණේ මීට හාත්පසින්ම වෙනස් කතාවකි.

සැකකරුගේ භාර්යාව විසින් CID අධ්‍යක්ෂවරයා වෙත යොමු කළ නිල ලිපියේ සඳහන් වන පරිදි, අධිකරණ කටයුතු අතරතුර මේජර් ජෙනරාල් සලේ ව රඳවා තබා ගැනීම පිළිබඳව අධිකරණය නිල වශයෙන් දැනුවත් කර නොමැති බව මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කර ඇත.

 sa | අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙබරවාරි 27 දින සලේ මහත්මිය වෙත යොමුකර තිබු ලිපිය

 
* අධිකරණය ප්‍රශ්න කළ අවස්ථාවේදී එහි සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා (PC 85967) ප්‍රකාශ කර ඇත්තේ මේජර් ජෙනරාල් සලේ මහතා මෙතෙක් කිසිදු නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බවයි.

* ඔහු කුමන නඩුවක සැකකරුවෙකු ලෙස නම් කරන්නේද යන්න බලධාරීන් තවමත් සලකා බලමින් සිටින බවද එම නිලධාරියා පවසා ඇති අතර, මෙම ප්‍රකාශය අධිකරණය විසින් සටහන් කරගෙන ඇත.

* ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඕනෑම රැඳවුම් නියෝගයක (Detention Order) සහතික කළ පිටපතක් පැය 48ක් ඇතුළත අදාළ අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවද, ඇයගේ ස්වාමිපුරුෂයා සම්බන්ධයෙන් එවැනි කිසිදු රැඳවුම් නියෝගයක් අධිකරණයට ඉදිරිපත් කර නැති බව සලේ මහත්මිය පෙන්වා දෙයි. මෙය බරපතල ක්‍රියාපටිපාටිමය ගැටලුවක් මෙන්ම නීතිය අමු අමුවේ අවභාවිත කිරීමකි.

3. රහස්‍යභාවය ඝාතනය කිරීම: නීතිඥ හමුව රෙකෝඩ් කළ CID "චරපුරුෂයෝ"

නීතිය ඉදිරියේ ඕනෑම පුරවැසියෙකුට හිමි අතිපූජනීයම අයිතියක් වන්නේ තම නීතිඥවරයා සමග රහසිගතව උපදෙස් ලබාගැනීමට ඇති අයිතියයි. එහෙත් 2026 මාර්තු 04 වැනි දින නීතිඥ උපදේශනයක් සිදුවූ ආකාරය පිළිබඳව සලේ මහත්මිය දැඩි කනස්සල්ල පළ කර ඇත.

*  නීතිඥවරයාට සහ රඳවා සිටින පුද්ගලයාට සෘජුවම ඉදිරියෙන් වාඩි වී ඔවුන්ගේ සංවාදය නිරීක්ෂණය කරමින් සහ සටහන් ලබා ගනිමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ මෙම උපදේශනය පවත්වා ඇත.

*  එක් අවස්ථාවකදී නිලධාරියෙකු (මොහු මීට පෙර වත්මන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට ගත් අවස්ථායේ ඔහු සමගම අත් අඩංගුවට පත් SI මෙන්ඩිස් නැමැත්තා බව පැවසේ) ජංගම දුරකථනයක් මේසය මත තබා ඇත්තේ එම සාකච්ඡාව පටිගත කරන බව හැඟවෙන අයුරිනි. අනෙක් නිළධාරියා පොතක සටහන් කිරීමට සූදානම්ව තිබේ.

* නීතිඥවරයා ඊට විරෝධය පළ කිරීමෙන් පසුව පමණක් එම උපාංග ඉවත් කර ඇත.

* එවැනි ක්‍රියාවන් නීතිඥයෙකු සහ සේවාදායකයෙකු අතර පැවතිය යුතු රහස්‍යභාවයට සහ වරප්‍රසාදයට හානි පමුණුවන අතර රඳවා සිටින පුද්ගලයෙකුට නිසි නීති උපදෙස් ලබා ගැනීමට එය බාධාවක් වන බව සලේ මහත්මිය පවසන්නීය.

බරපතලම පරස්පරය:

නීතිඥ උපදේශනය අතරතුර, රඳවා තබා ගැනීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 35882/24 දරන නඩුවට අදාළ වන බව CID නිලධාරීන් පවසා ඇති අතර, එදිනම අධිකරණය හමුවේ ඔවුන් පවසා තිබුණේ ඔහු මෙතෙක් කිසිදු නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බවයි. තම ස්වාමිපුරුෂයා රඳවා තබා ඇත්තේ කුමන නිශ්චිත නඩුව යටතේද යන්න ලිඛිතව තමන්ට දැනුම් දෙන ලෙස ඇය ඉල්ලා සිටින්නේ මේ නිසාය.

4. වස දීමේ තර්ජනය සහ පාතාලයටත් නොකරන අන්තවාදී පීඩනය

තම ස්වාමිපුරුෂයා රඳවා තබා ගැනීමේ තත්ත්වය සම්බන්ධයෙන් සලේ මහත්මිය බරපතල කනස්සල්ල පළ කර සිටින්නීය.

* පවුලේ සාමාජිකයින්ට ඔහුව හමුවීමට අවසර ලබාදෙන ලෙසත්, නිවසේ සිට ආහාර ලබාදීමට අවස්ථාව ලබාදෙන ලෙසත් ඉල්ලමින් 2026 පෙබරවාරි 26 වැනි දින ප්‍රථමයෙන් ලිපියක් යොමු කර ඇත.

* එහෙත් 2026 පෙබරවාරි 27 වැනි දිනැති පිළිතුරු ලිපියක් මගින් CID ය නිවසේ සිට ආහාර ලබාදීමට කළ ඉල්ලීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත.

* පවුලේ සාමාජිකයින්ට හමුවීමට අවසර ලබා දී ඇත්තේ පොලිස් නිෂ්කාශන වාර්තා (Police Clearance Reports) ඉදිරිපත් කිරීමේ කොන්දේසිය මත සෙනසුරාදා දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා පමණි.

* සිය 21 ක් හැවිරිදි පුතුට පියා බැලීමට යාම සඳහා අවශ්‍ය පොලිස් නිෂ්කාශන සහතිකය ලබා ගැනීමට අදාළ අයදුම්පත් ඉදිරිපත් කර තිබුණද, එම සහතිකය මෙතෙක් නිකුත් කර නොමැති බැවින් ඔහුට පියා හමුවීමට ඇති අවස්ථාව වැළකී ඇත.

* මෙම ප්‍රමාදය පවුලේ පාලනයෙන් බැහැර කරුණක් බැවින්, නිෂ්කාශන සහතිකය මත බල නොකර සිය පුතුට පියා හමුවීමට අවසර දෙන ලෙස ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.


මේ අතර, ඇයගේ ස්වාමිපුරුෂයාගේ නීතිඥවරුන් විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් සම්පූර්ණ නඩු වාර්තාවට ප්‍රවේශ වීම, පවුලේ අයට හමුවීමට ඇති කාලය වැඩි කිරීම, නිවසේ සිට ආහාර ලබාදීමට අවසර දීම සහ රඳවා සිටින පුද්ගලයාගේ යහපැවැත්ම සඳහා ආරක්ෂිත පියවර ගැනීම ඇතුළු සහන කිහිපයක් ඉල්ලා සිටියහ.

විමර්ශනාත්මක නිගමනය

තම ස්වාමිපුරුෂයා රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතභාවය සහ නිරීක්ෂණය කරන ලද ක්‍රියාපටිපාටිමය අක්‍රමිකතා හේතුවෙන් පවුලේ අයට දැඩි මානසික පීඩනයක් සහ කාංසාවක් ඇති වී ඇති බව සලේ මහත්මිය ප්‍රකාශ කර ඇත. චෝදනාවක් නිශ්චිතව ගොනු කර නොමැතිව ඊයේ දිනයේ අධිකරණය ඉදිරියේ නිරුත්තර වූ ආයතනයක්, අද එක රැයින් සාක්ෂි මවාගෙන ඔහුව 3 වැනි සැකකරු කිරීම පිටුපස ඇති තර්කනය කුමක්ද?

මෙය පැහැදිලිවම, නීතිය සහ ව්‍යවස්ථාව තම පෞද්ගලික න්‍යාය පත්‍රයට යටත් කරගත් අදෘශ්‍යමාන හස්තයක් විසින් මෙහෙයවන පලිගැනීමේ "දේශපාලනික දඩයමක" නිර්ලජ්ජිත ප්‍රතිමූර්තියකි. මෙම ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරන ලෙසත්, රඳවා සිටින පුද්ගලයාගේ නීතිමය අයිතිවාසිකම්, ආරක්ෂාව සහ යහපැවැත්ම සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන ලෙසත් සලේ මහත්මිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

සංස්කාරක සටහන (Disclaimer):

මෙම ලිපියේ අඩංගු කරුණු මුළුමනින්ම පදනම් වී ඇත්තේ සැකකරුගේ නීතිඥවරුන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසම, සැකකරුගේ භාර්යාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත යොමු කළ ලිපි ලේඛන සහ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා මතය. මෙහි අරමුණ විභාග වෙමින් පවතින විමර්ශනයකට හෝ අධිකරණ ක්‍රියාවලියකට කිසිදු ආකාරයකින් බලපෑමක් කිරීම හෝ අධිකරණයට අපහාස කිරීම නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ මාධ්‍ය නිදහසේ මායිමේ සිට පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය කිරීමයි.


සබැඳි පුවත් :

'සලේ තවම සැකකරුවෙකුත් නෙවෙයි'!  - උසාවියේදී CIDයට කටඋත්තර නැති වෙද්දී, ඇතුළේදී නීතිඥ හමුවත් රෙකෝඩ් කරලා!

වැඩිදුරටත් විස්තර :

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය: සුරේෂ් සලේ තුන්වන සැකකරු ලෙස නම් කරයි


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...