ඔබ කඳු නගින්නෙකු නම් එහි යා යුතුම ය. පරිසර රසවතෙක් නම් එහි යන්න. තරුණයෙකු නම් එහි රැදෙන්න. ජීවිතය සොයන්නේ නම්, ගෝවින්දහෙල එය ඔබට මුණගස්වනු ඇත්තේය.  
 
දෙපා, හදවත ශක්තිමත් කඳු නගින්නන්ට මොණරාගල, සියඹලාණ්ඩුව ගෝවින්දහෙල වික්‍රමයකි. පරිසරය හා බැඳුණු සම්භෝගය කි. ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසක් වසා ගත් නමුත්, කිසිදු සංරක්ෂණයකට ලක් නොවූ ස්මාරකයකි. මිනිසෙකුට මිහිමත ලැබිය හැකි අපූර්වතම සම්භෝගයකි. 
 
PHOTO 2023 10 06 14 10 32
 
ඈත සිට බලන විට ‘කන්ද දිගේ බඩගාන යෝධ කබරගොයෙකු ගේ හැඩය ගත් ගල් කුට්ටිය නිසා‘ ‘ගොයා ඉන්දු ගල‘ (rock where the monitor lizard is) කන්දට එනම ලැබී ඇත. ගෝවින්ද පබ්බත යැයි පැරණි පත පොතේ සඳහන් වන එය, උතුරු පැත්තෙන් බැලූ විට සීගිරියේ හැඩය ගත් නිසා පුංචි සීගිරිය යැයි ද කියති. බස්නාහිර සිට බැලූ විට මෙය සැතපෙන බුදු පිළිමයක ස්වරූපය ගනී. ඌව වෙල්ලස්ස සිය අණසකට ගත් පසුව, නැගෙනහිර සහ ඌව පළාත් මායිමේ පිහිටි මේ සොඳුරු පියස බ්‍රිතාන්‍යයන් නම් කළේ ‘වෙස්මින්ස්ටර් ඇබේ‘ (Westminster Abbey Catholic Church) ලෙසිනි. ඒ එහි එංගලන්තයේ ප්‍රකටම දේවස්ථානයේ හැඩය ද, මහේෂාක්‍ය බව ද, ඇතැයි ඔවුන් දුටු නිසාය. නිකුම්භ මාළිගය යැයි කියන්නේ ද මෙතැනටම ය.
කඳු නැගීමෙන් ද, බැසීමෙන් ද ඉතිරි වන්නේ වෙහෙස ම ය. ගෝවින්දහෙල මුදුණේ සිට පෙනෙන සහ දැනෙන දේ, ඒ සියළු වෙහෙස නිවාලන ආශ්වාදයක්, අසිරියක්, තෘප්තියක් හදවතේ ඉතිරි කරන්නේ ම ය. 
 
ඉතිහාස කතාව 
 
PHOTO 2023 10 06 14 10 30 2
 
ක්‍රි.ව. 1215 දි කාලිංග දේශයේ මාඝ රජරට ආක්‍රමණය කිරීමෙන් පසුව, යාපහුවේ සුභ සෙනවියා (සුබ පබ්බත) ද, සංඛ සෙනෙවියා මිණිගංදෑල හෙවත් මිනිපේ ගංදෙණිය පර්වතයේ (අද මහියංගනය) ද, බුවනෙකබාහු ගෝවින්දහෙල ද, ආරක්ෂිත ගිරි මත බලකොටු ඉදිකළ බව කියවේ. මේ, බුවනෙකබාහු ආදිපාදවරයා (බුවනෙකබාහු රජු නොවේ!) හැදු ගෝවින්දමලය හෙවත් ගෝවින්ද පබ්බතය යි. 
 
ගෝවින්දහෙල සහ අඹඅත්තාහෙල කඳු පද්ධතිය මැදින් කපොල්ල දිගේ සියඹලාණ්ඩුව සිට අම්පාර දක්වා වන මාර්ගය ඉදිවී ඇත. කඳු මුදුනේ සිට බැලූ විට, සතුරු හමුදාවකට මුහුණදීමට කදිම ස්වභාවික රැකවරණයක් මේ ස්ථානයකි. මාඝ රුහුණට පැමිණීම වැලැක්වූවේයේ නිකුම්භ මාළිගය යි. 
 
ගමන් මඟ
 
PHOTO 2023 10 06 14 10 27
 
 
සියඹලාණ්ඩුව - අම්පාර මාර්ගයේ 9 කනුව ස්ථානයේ බුවනෙකබා රජමහා විහාරය පිහිටා ඇත. දැනට කඳු මුදුණට ලගාවිය හැකි එකම ආරක්ෂිත මාර්ගය වැටී ඇත්තේ විහාරය මැදිනි. දෙවියන්, බුදුන් වැද පන්සල හා මහා වනාන්තර මායිමේ ගණ දෙවි පිළිමය අසලින් වන අඩි පාරෙන්, එකා පිටුපස එකා බැගින් කඳු ගමන ඇරඹේ. අඩි හැට හැත්තෑව උස ගස් වැල් වලින් වැටුණු වියළි කොළ වලින් මහ පොළාව වැසී ඇත. ගල්, මුල් මතින් අඩි පාරේ මහා වනාන්තරය මැදට යා යුතුය. දිය අඟල් මතින් නොතෙමී යන්නට  කුඩා පාලම් දෙකකි. තැනින් තැන, ගල් පඩි සකස් කර ඇත. කිලෝමීටර තුනක් පමණ ගිය විට කන්ද පාමුලට ලගාවිය හැක. එතැන් පටන් ඉද්ද ගැසුවා සේ ඇති පර්වතයයි. මුදුණට ගමන අතිශයින් දුෂ්කරය.  
යකඩ ඉනිමං හයක් (6) දිගේ ඉහළයට යා යුතුය. රිංගමින්, බඩගාමින්, එල්ලෙමින්, පැද්දෙමින් යා යුතුය. ගල් දෙබොක්කාවල් අතරින්, සීරුවෙන් දණ ගෑ යුතුය.   
 
පර්වතයට පිවිසෙන පැරණි පාර තිබී ඇත්තේ ඇඳගල යාය පැත්තෙනි. සෙල්ලිපිගල (සෙල්ලිපියක් කොටන්නට ගල සකස් කර ඇතත් යම් හේතුවක් නිසා එය සම්පූර්ණ කර නැත) එතැන, පවුරක නටඹුන් ඇත. 
 
corbis 42 39493598
 
සෙල්ලිපිය ඇති තැනට උඩින් පඩි 20 ක් පමණ වූ තවමත් හොඳ තත්වයෙන් පවතින පියගැට පෙළක කි. මේ මුළු වනාන්තරය පුරාම ගල් ලෙන්, ගොඩනැගිලි, නටඹුන්, පොකුණු, ගල් වැටි, පඩි පෙල රැසකි. 
 
පර්වතයට උතුරු පැත්තේ බිංගොඩ පුරාණ රජ මහා විහාරය යි. එහි මෑතක දී සෑදු ගොඩනැගිල්ලක් ද, පුරාණයේ රහතන් වහන්සේලා වැඩ සිටි බව කියන ගල් ලෙන් 50 ක් පමණ ද ඇත. නිදන් හොරුන් විසින් එහි තිබූ චේතිය හාරා විනාශ කර ඇත. ජල පාරක් හරස්කර සෑදු පොකුණ දැන් වැල්ලෙන් පිරී ගොස් ඇත. 
 
පන්සල මැදින් චේතිය දක්වා පඩි 20 කට වැඩි පඩි පේළියකි. එහි තිබූ සඳකඩ පහන කුඩු කර සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇත. තැත නැන අඩි 10 -12 උස ගල් කනු ය. එම ගල් කණු මත රහතුන් වහන්සේලා සහිත (දළදා වහන්සේ තැම්පත් කිරීමට සකස් කළා යැයි ද කියන) කරඩුව තැම්පත් කිරීමට සැකසූ දෙමහල් ගොඩනැගිල්ලක් තිබූ බව ජනප්‍රවාදයේ දැක්වේ. මෙය ක්‍රි. පු. 2 වන සහ 3 වන සියවස්වලට අයත් බව පැවසේ. භික්ෂුන් වැඩ සිටි බව අනුමාන කරන ලෙන්වල බ්‍රාහ්මී අක්ෂර කොටා ඇත.  
 
පන්සල ට මදක් පහලින් අම්පාර පැත්තට වන්නට මීටර් 400 කින් පමණ, පරණ බෝවල අලුත් බණ්ඩාර දේවාලය පිහිටා ඇත. මෙය දැනට වසර 50 කට පමණ පෙර සකස් කර ඇත. (එයට පෙර දේවාලය ස්ථාපනය වී තිබී ඇත්තේ අම්පාර ප්‍රධාන මාර්ගය අසල ය.) නා, නුග, මොර, ගල්සියඹලා, වෙලං, මිල්ල වැනි දැවැන්ත ගස් වලින් වැසී ඇති වනාන්තරය ගත සිත නිවයි. දැන් පාළුවට ගොස් ඇතත්, කලකට පෙර එහි ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේ වැඩවාසය කලහ. 
 
පර්වතය නැගීමට යකඩ ඉණිමඟ ට පිවිසීමට පෙර, මදක් නැගෙනහිර පැත්තට වන්නට ‘බඹර ගුහාව‘ නැතිනම් ‘බඹර කොටුව‘ නම් ස්ථානය හමුවේ. ආර්.එල්. ස්පිට්ල් 1924 දී බඹර ගුහාව ගැන ‘වනගත ලංකා‘ හි මෙසේ ලියා ඇත. ‘‘මී කැඞීම සඳහා කන්දට නැගුණු මිනිසුන් ඒ කාර්යයේදී සිය පය රඳවා ගැනීම සඳහා සවි කළ කූඤ්ඤ බොහෝ ගණන් සෘජු බෑවුම් මුහුණතෙහි තිරස් අතට විහිසුණු දිගු පැළුම්වලින් පිටතට නෙරා තිබිණි. කෙනෙකුට ළඟා විය නොහැකි සේ පෙනුණු තැනක වූ මීයක් වෙත පැමිණි එඩිතර මිනිසකුගේ බර දැරූ වැල් ඉනිමගකින් ශේෂ වුණු දිගු වේවැලක්ද කන්ද මුදුනින් පහළට වැටී එල්ලෙමින් තිබුණි. ’’ (වනගත ලංකා, ආර්. එල්. ස්පිට්ල්, පරිවර්තන ප්‍රේමචන්ද්‍ර අල්විස්, සූරිය ප්‍රකාශන, පිටු 136)
 
බෝවල වැසියන් බඹර කපන්නට සවි කළ කූඤ්ඤ අදත් නැගෙනහිර බඹර කොටුවේ දැකිය හැකිය. අතීතයේ බඹරවද වලින් පිරී තිබූ නමුත් දැන් වසර 25 කින් මෙපිට (ජංගම කුළුණු සියඹලාණ්ඩුවේ ඉදි කළ පසුව) මෙහි බැඳි බඹරයක් නම් නැත. නැගෙනහිර දෙසට මීටර් 50 ක් පමණ දුරින් දෙවන බඹර කොටුවකි.    
 
PHOTO 2023 10 06 14 10 31 2
 
යකඩ ඉනිමං දිගේ උඩට නැග දකුණු දෙසට රිංගා යා හැකි ගල් දෙබොක්කාවකි. දණ ගාමීන් ගල්දෙබොක්කාව දිගේ ගිරි පල්ලමට නොවැටී සීරුමාරුවට පාද තබන්නට හැකි නම්, සුගලාදේවි වැව (කම්මල්බැඳි වැව), උණාන යාය, කෝඹුරුහෙල, කෝංගස්පිටිය, බක්මීටියාව, ආරුගම්බේ පාලම, පෙතුවිල් මුහුද, අක්කරේපත්තුව දක්වා දිවෙන මනරම් දසුන දැකිය හැක්කේය. 
 
කන්ද මුදුණට යන්නට නැවත ගල්දෙබොක්කාවෙන් ආපසු පැමිණිය යුතුය. යකඩ පඩි පෙළින් අනෙක් පැත්තට ගොස්, තවත් යකඩ ඉණිමං නැගිය යුතුය.  
 
බටහිර දෙසට, ඇඳගලයාය, ගොවිඳුපුර ගම, අඹඅත්තාහෙල, අක්කර 2000 ක වගා බිමි සහිත මුතුකණ්ඩිය ජලාශය, මීයාගල කඳු, මරගල කදු වැටිය, පල්ලේවෙල  පෙනේ. සුගලාදේවියගේ රාජධානිය වූ උඳුන්දොර නැතිනම් උද්දරද්වාරය කදිමට මෙතැනට පෙනේ. එහි අවසන් සීමාව මිහිඳුමෙන් වැසුණු ප්‍රතාපවත් පස්සර නමුණුකුල කඳුවැටිය යි. 
උතුරු පැත්තට බෝවල ගම, කොටාගොඩ දැනට අතහැර දමා ඇති බිංගොඩ පුරාණ පන්සල, සේනානායක සමුද්‍රය, ජයන්ති වැව ද, පැහැදිලි අහසක් සහිත දිනෙක අම්පාරේ සාම චේතිය ද දැකිය හැකිය. 
 
දකුණු පසට දෙගල්හෙල (හෙළමුල්ල කන්ද), සියඹලාණ්ඩුව, සඳකැබැල්ලත් ඉවසිලිවන්න දෑසකට යාල මහ වන මැද සිතුල්පව්ව විහාරයත් දැකිය හැක.  
 
ආර්.එල්. ස්පිට්ල් 1924 වසරේ ගොවිදුහෙල නැග එහි දර්ශනයෙන් වශිකෘත වී එහි සිට ඈතින් පෙනෙන, ප්‍රෙයාර්ගේ පියස්ස (Friar’s Hood) ගැන සටහන් තබා ඇත්තේ මෙසේය. පැරැණි පෘතුගීසි නාවිකයන් ‘‘යුරෝපයේ කැරලිකරුවෝ’’ යනුවෙන් ප්‍රකට ව සිටි ලන්දේසි සතුරන්ගෙන් බේරී යාත්‍රා කිරීම සඳහා ප්‍රෙයාර්ගේ පියස්ස ඉලක්ක කොට ගත් බව වාර්තා වී තිබේ. ’’ඒ අද අප හොදින් හඳුණන ගල්ඔය වඩිනාගල කන්ද යි. 
 
PHOTO 2023 10 06 14 10 28
 
රජුගේ ධාන්‍යාගාරය තිබූ තැන අද ධනගිරිය නමින් හැදින්වේ. සමහරුන් ධනකිරිය ගම කියා කියන්නේ ද, මේ ධාන්‍යාගාරය තිබූ අදත් වී, උක්, බඩඉරිඟු වගාවෙන් ජීවිකාව ගෙවන මිනිස් ජනාවාසයටය.  
 
මහාවශයේ 81 වන පරිච්චේදයේ 4 සහ 5 පාඨයන් හි ‘‘සතුරන් විසින් ළං විය නොහැකි ගෝවින්ද නම් පර්වත මස්තකයෙහි පුරයක් කොට ගෙන වසන්නා වූ ලෝකයෙහි ප්‍රසිද්ධ වූ වික්‍රම ඇති භුවනෙකබාහු නම් වූ ඈපා මිහිපති තෙම රුහුණු රට ද (එහි වැසි) භික්ෂු සංඝයා හා සස්න ද රක්ෂා කළේය.’’ යැයි දැක්වේ. මෙය මෙතැන ගැන හමුවන පැරණිතම සඳහන යි. 
 
කොටියාගල උපරතන හිමි විසින් රචිත වෙල්ලස්සේ අභිමානය කෘතියේ ද, කුසුම්සිරි විජයවර්ධන විසින් රචිත ශ්‍රී ලංකාවේ ලෙන් කෘතියේ ද, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි රචිත ‘නවතම ශිලා ලිපි ගවේෂණය‘ කෘතිවල ද ගෝවින්දහෙල විස්තර ඇතුලත් වේ. 
 
රිලව්, වදුරන්, ඌරා, මීමින්නා, කබල්ලෑවා (ඈයා), ගෝනා, මුවා, දහස් ගණන් සමනල්ලු මේ බිමේ සිටිති. ඔවුන් කිහිප දෙනෙකු ද, කබල්ලෑවාගේ පා සලකුණු, වැසි වැටුණු පොළොවේ සී සා ඇති ඌරා ගේ සලකුණු ද දුටිමි. කොටියන් (හෝ දිවියන්) තිදෙනෙකු මේ වනයේ වෙති. කුඩා කාලයෙන් දශක ගණනාවකට පසුව මම බඹරකොටවු පා මුල දී බිංකුණ්ඩන් පොකුරු පිටින් දුටුවෙමි. කුසුම්සිරි විජයවර්ධනගේ  කෘතියේ මෙම වනාන්තරයේ වලසුන් ගේ ගුහා පවතින බව දක්වන නමුත්, අද නම් එහි වලසුන් නැත.  
 
PHOTO 2023 10 06 14 10 29පර්වතය මුදුණේ අක්කර හතරකට මදක් වැඩි බිම පුරා ගල් සියඹලා, මිල්ල, කෝමාරිකා, බිංකොහොඹ, ඇටබුරු (ඇට්ටමුරා), බිනර, දළුක් (පතොක් කුලය), මුගුණ (මූණමල්), මීවන වර්ග, මාදං (දඹ ගස්), හීංබෝවිටියා, හීං කරඹ, ඕකිඩ් වර්ග, මීමන වර්ග තිබේ. දිගු නියගයෙන් පසුව වැස්ස වැටී මේ ගහ කොළ පාට වැටී නව දළුදමින් තිබුණි. දැවැන්ත ගල් සියඹලා ගසක සමණලයන් සිය ගණනකි. පාරාදීයකි. දළුක් පඳුරු නැවුම් මල් දරමින් තිබූ අතර, මීමැස්සන් හා දෙබරුන් ඒවාගේ සාරය උරා බොති. 
 
නැගෙනහිර - වෙල්ලස්ස අඟලේ සිතියම ට පාදක ස්ථානයක් (කුකුල් අඩිය) ක් මෙහි මුදුනේ ඇත්තේය. ස්වභාවික ගල් ගුහා දෙකක්, ගල් දෙකක් එකතු කරමින් තැනු ගඩොල් බිත්තියක් (පොකුණක් විය හැකිය) මෙහි ඇත. 
 
පර්වතය මුදුණේ කිසිදා ජලය නොසිදෙන ගලින් සැකසූ ජලාශ දෙකකි. එහි විශාල පොකුණ ගැන, 1975 දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ටී.ඩබ්ලිව්. ඩී.පෙරේරා විසින් සිදු කළ ගවේෂණ වාර්තාවක සඳහන්ව ඇත්තේ ‘මුදුනේ දකුණු බෑවුම දෙසට වන්නට ප්‍රමාණයෙන් මීටර් 6.75 X 4.5 සහ ගැඹුර මිටර් 3.98 ක් වූ ගල් පොකුණකි. එය ආයතන චතුරඝ්‍රාකාර ය‘. (කුසුම්සිරි විජයවර්ධන - ගල් ලෙන්  පි. 158) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එදා එහි පැමිණි බවට තැබූ සටහනක් පර්වතයේ ඇත. එතැන් පටන් අද දක්වා, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මෙහි කිසිවක් සංරක්ෂණය හෝ කැණීම් හෝ කර නැත.
අනෙක් පොකුණ එයට වඩා මදක් කුඩා ය. ගැඹුර ද අඩු ය. පායන කාලයට එය සම්පූර්ණයෙන්ම සිදී යයි.  එතැනින් මදක් ඈතින් ගල් පුවරු ඇල්ලූ පොකුණකි. එහි ඇතෙකු වුවත් නෑ විය හැකිය. (ජනප්‍රවාදයේ දැක්වෙන්නේ ඇත්තු නාවපු පොකුණ කියා ය) 
 
රාජකීයයෙකු වාඩිවන්නට ගලින් සැකසූ ආසනයක් මෙහි ඉස්මත්තේ ඇත. එතැනට මදක් ඈතින් එකම ගලක කළ සෙල්ලිපි දෙකකි. එකක අක්ෂර 21 ක් ද, දෙවැන්නේ අක්ෂර 12 ක් ද මම අතගා බැලීමි. එතැනම කැඩි ගිය ගොඩනැගිල්ලක නටඹුන් රැසකි. ගවයා රහිත සඳකඩ පහන නිදන් හොරුන් කඩා බිඳ දමා ඇත. පුන්කලස් දෙකක් තිබූ බව ගමේ පැරැණ්නෝ පවසන නමුත්, දැන් එහි කැබිළි පමණක් තිබේ. මුරගල් කොටස් ද, ගලේ සිදු කළ ඉදිකිරීම් හි කණු වලවල් ද, මෙහි ඇත. ගොඩනැගිල්ලේ ගල් කණු ද, එම කණු සිටුවන්නට ගලේ කෙටූ වලවල් ද මෙහි ඇත. එතැනට ඈතින් ටැම්පිට ගෙවල් සාදා තිබූ ගල් කණු රැසක් (50 ක් පමණ), ස්ථාන දෙකක ඇත. 
 
එතැනම බාගෙට හෑරූ වැඩ අවසන් නොකළ පොකුණක නටඹුන් ය. 
 
2010 න් පසුව ඉදිකළ බුදු කුටියක් සහ 2021 රෝපණය කළ බෝධීන් වහන්සේ දෙනමක් ද පර්වත මුදුණේ ඇත. 
 
පදුරු අතරින් නැගෙනහිර පැත්තට, ගල අද්දරට ගිය විට ‘දෝංකාර ගල‘ ය. කඳු දෙක අතර මීටර් 50 කට ආසන්න පරතරයකි. එක් කඳු මුදුණක සිට හූ හඬ, ශබ්දයක් නැගු විට එය දෝංකාර දෙමින් නැවත නැවත ඇසෙන බැවින් එතැනට ඒ නම ලැබී ඇත.
 
PHOTO 2023 10 06 14 10 30
 
මෙම ස්ථානයට ආසන්නයේ ම කළු ගල් කුට්ටි ලෙස සකස් කිරීමට, කුඤ්ඤ යොදා හාරන ලද විශාල ගල් කුට්ටි වල කුඩා සිදුරු දැකිය හැකිය.  තැන නැත ගල්වඩුවන් විසින් සිදුකළ මෙවැනි සලකුණු රැසකි.  
ගොඩනැගිල්ලක බිත්ති යැයි හඳුණාගත හැකි කොටස් සියල්ලම පාහේ මේ වන විට බිමට පෙරලා දමා ඇත.
 
කන්ද අවට තැන තැන වැසි ජලය බැස යාම පාලනයට කළු ගල් වැටි දමා ඇත.  බඹර කොටුව ආසන්නයට වැසි දිය ගලා නොයන සේ සැකසූ ගල් වැටි, මහ වැස්සෙන් පවා තවමත් එම බිම ආරක්ෂා කරයි. කඳු මුදුණේ සිට බටහිර බෑවුමේ පහතට බැසීම සඳහා පිය ගැට පෙළ පැවති බවත්, තවමත් ආරක්ෂිතව ගලේ කොටසකට බැසිය හැකි බවත් මාගේ මඟ පෙන්වන්නෝ පවසති. 
 
‘‘ගල් දෙබොක්කා අතරින් රිංගමින් ද මිටි ගල් ගුහා තුළින් ද දණ ගාගෙන ඇදෙමින් හා අප විසින්ම කල් තියා පිළියෙල කර ගැනුණු රළු ඉනිමංවල එල්ලෙමින් ද අපි ඉමහත් ආයාසයකින් කන්ද නැගීමේ දුෂ්කර ක්‍රියාවෙහි යෙදුණෙමු“ යැයි ආර්.එල්. ස්පිට්ල් ලියා ඇත. අද ද එසේමය. වෙනසකට ඇත්තේ විජිතමුණි සොයිසා ඌව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි සමයේ සකස් කළ යකඩ ඉනිමං සහ පඩි පෙළ ගමන් පහසුව හා ආරක්ෂාව සැපයීම ය. එල්ලෙමින්, පැද්දෙමින්, රිංගමින්, දණගාමින්, බඩගාමීන් පර්වතය මුදුණට ද, නැවත පහලට ද පැමිණිය යුතුය.  
 
පසුගිය වසර 100 තුල මෙහි තිබූ ඉදිකිරීම්, ගොඩනැගිලි, පුරා විද්‍යාත්මක වටිනාකම් රැසක් විනාශ වී ඇත.  තැන තැන නිදන් හොරුන්ගේ ග්‍රහණයට හසුවී විනාශ කර ඇත. බෙහෙත් කවා ගල් කණු සාදාගත් සලකුණු, නිදන් සලකුණු යැයි සිතා සිදු කර ඇති විනාශය අපමණය. වසර 15 කට පෙර සම්පූර්ණයෙන් තිබූ සඳකඩපහන පවා දැන් විනාශ ය.  
 
වෘත්තීය මගපෙන්වන්නෙකුගේ සහාය නොමැතිව මෙම කන්ද තරණය නොකළ යුතු තරම්ය. හතර පස් දෙනෙකුගේ වත් කණ්ඩායමක් ලෙස එහි යාම වෙහෙස නිවාගැනීමට ද, ආරක්ෂාව හා රැකවරණය තහවුරු කර ගෑනීමටද උචිතය. අත්තනායක මුදියන්සේලාගේ සරත් කුමාර (දුරකතනය 076 0480777) මට මගපෙන්වූ  ඒ මහා වනාන්තරයේ සෑම ගහ කොළයක්ම දන්නා හිතවතා ය. සරත් කුමාර ගේ ජීවිතයම, මේ බිම රැක ගන්නට කැපවී ඇත්තේය. ගෝවින්දපුර වසමේ ග්‍රාම නිලධාරී නිලන්ත මහතා ගෙන් ද, පුජ්‍ය බුද්ධම ධම්මික නායක හාමුරුවන්ගෙන් ද මේ ගමණට ලැබුණේ අපමණ සහායකි. ජීවිතයේ අපමණ සතුට ගෙනා චාරිකාවකට ඔවුන්ගෙන් ලැබුණු සහාය නොවන්නට මේ ගමන සිහිනයක්ම පමණී. 
 
 

rajith keerthiරජිත් කීර්ති තෙන්නකෝන්

This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 


 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්