කාර්යබහුල හා ඒකාකාරී ජීවිතයට විවේකය යනු අත්‍යවශ්‍යම දෙයකි.

එවැනි විවේකයන්, ස්වභාව සෞන්දර්යයෙන් අනූන මෙන් ම, සිය සුපුරුදු පරිසරයෙන් තරමක් වෙනස් ප්‍රදේශයකට වී ගත කිරීමට බොහෝ දෙනෙක් කැමති වනවාට සැකයක් නැත.

නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ දී එවැනි විවේකයක් සඳහා දැරීමට සිදුවන අධික මිල, එවැනි විවේකයක් අවශ්‍ය පුද්ගලයන්ට අමතර පීඩනයක් එක් කිරීමක් බවට පත් වී තිබේ.

නමුත් මෙවැනි කාලයක පවා ඔබට අවම වියදමකින් සංචාරයක් යාමට හැකි බව ඔබ දැන සිටියා ද?

මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ එලෙස අවම වියදමකින් කොළඹ සිට ඩෙල්ෆ් දූපත බලා ගිය සංචාරයක අත්දැකීමකි.

කුරිකට්ටුවාන් ජැටිය


පොදු ප්‍රවාහනය, ලාභදායී ප්‍රවාහන මාධ්‍යයක්

ප්‍රවාහනයට අධික මුදලක් දැරීමට සිදුවන මෙවැනි කාලවකවානුවක තනිව හෝ කණ්ඩායම් වශයෙන් යන සංචාරයන්ට පොදු ප්‍රවාහන සේවය අනෙකුත් ප්‍රවාහන මාධ්‍යවලට වඩා ලාභදායී මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකිය. විශේෂයෙන් ම දුම්රිය සහ බස් රථවල ආසන වෙන් කරගැනීමේ පහසුකම ද වර්තමානය වන විට පවතින නිසා ඔබට හොඳ පෙර සූදානමක් සහිත ව චාරිකාව සැලසුම් කළ හැකියි.

අපගේ ගමනාන්තය වූ ඩෙල්ෆ් දූපතට ළඟා වීමට නම් පළමුව යාපනය නගරය වෙත යායුතුය. පෙර සැලසුම්කරගත් පරිදි අප කොළඹ සිට කන්කසන්තුරේ දක්වා දිවෙන රාත්‍රී තැපැල් දුම්රිය ට කොටුව දුම්රිය ස්ථානයෙන් ගොඩ වූ අතර, දුම්රිය යාපනයට ළඟා වන විට පසුදින අලුයම හතරට ආසන්න විය. සාමාන්‍යයෙන් දුම්රිය ස්ථානවල විවේකාගාර පහසුකම් සලසා ඇති නිසා කිසිඳු මුදලක් වැය නොකර දුම්රිය ස්ථානයේ විවේකාගාරවලින් ම පිරිසිදු වීමට අවස්ථාව අපට හිමි විය.

එහි ඇති පහසුකම් සම්බන්ධයෙන් විශාල වශයෙන් සෑහීමකට පත්විය නොහැකි නමුත්, ශ්‍රී ලංකාවේ අනෙකුත් බොහෝ දුම්රිය ස්ථාන හා සංසන්දනය කිරීමේ දී යාපනය දුම්රිය ස්ථානයේ පහසුකම් යම් හොඳ මට්ටමක තිබේ.

අමතක නොවන බෝට්ටු ගමන

නෙඩුන්තීවු, එසේත් නැතිනම් ඩෙල්ෆ් ලෙස හඳුන්වන ශ්‍රී ලංකාවට අයත් මෙම දූපත වෙත කිලෝමීටර් 15කට ආසන්න දුරක් මුහුදෙන් ගමන් කළ යුතුයි. ඒ වෙනුවෙන් පුන්කුඩුතිවුහි කුරිකට්ටුවාන් ජැටියෙන් දිනපතා මගී ප්‍රවාහන බෝට්ටු කිහිපයක් යොදාතිබේ. එම කාලසටහන් වරින් වර වෙනස් විය හැකි නමුත් එම ජැටිය භාරව සිටින නාවික හමුදා කාර්යාලය ඇමතීමෙන් ඔබට පහසුවෙන් එම බෝට්ටු ගමන් කරන වේලාවන් දැනගත හැකියි.

මේ සඳහා විදේශිකයන්ගෙන් මෙන් ම දේශීය සංචාරකයන්ගෙන් අය කරන්නේ ඉතා සුළු මුදලකි. නාවික හමුදාවට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මගී ප්‍රවාහන යාත්‍රාවක ඔබ ගමන් කරන්නේ නම් ඔබට නොමිලේ ම ගමන් කළ හැකිය.

කුරිකට්ටුවාන් ජැටියෙන් උදෑසන 8ට පිටත් වන බෝට්ටුව අල්ලා ගැනීමට නම් අප යාපනයෙන් කුරිකට්ටුවාන් වෙත යන බස් රථයට ගොඩ වී පැය එකහමාරකට ආසන්න කාලයක් කයිට්ස්, මණ්ඩතිවු හරහා පුන්කුඩුතිවු කුරිකට්ටුවාන් වෙත පැමිණිය යුතුයි. එම ගමනේ අතරමග ඇති දුෂ්කර මාර්ගයන් ඒ සඳහා වැඩි කාලයක් ගත වීමට හේතුවක් වී ඇත.

xcgfdgrනෙඩුන්තීවු, එසේත් නැතිනම් ඩෙල්ෆ් ලෙස හඳුන්වන ශ්‍රී ලංකාවට අයත් මෙම දූපත වෙත කිලෝමීටර් 15කට ආසන්න දුරක් මුහුදෙන් ගමන් කළ යුතුයි.


තල් ගස් අතරින් රන්වන් පාටින් සුන්දර ලෙස හිරු උදාව දර්ශනය වෙමින් පවතින අතරතුරේ දී මාර්ග අංක 777දරණ කුරිකට්ටුවන් බලා යන ලං.ග.ම. බසයකට අප ගොඩ වූ අතර, බසය එහි ගමනාන්තය වන කුරිකට්ටුවාන් ජැටිය දක්වාම මගීන් ගෙන යයි. එතැන් සිට ඔබට පයින් ගමන් කිරීමට ඇත්තේ ජැටියේ ඇතුළුවීමේ පර්යන්තයේ සිට බෝට්ටුව දක්වා පමණි.

එදින අපට ගමන් කිරීමට සිදුවූයේ පෞද්ගලික හිමිකාරත්වයක් සහිත බෝටුවක වූ අතර, එහි විශාල මගීන් ප්‍රමාණයක් ද ඇතුළු කර තිබුණි. සියලු මඟීන්ට ජීවිතාරක්ෂක කබා ලබා දී තිබූ නමුත් ඒවායේ ප්‍රමිතිය පිළිබඳ මීට වඩා සැලකිලිමත් විය යුතු බව අපට නිරීක්ෂණය විය.

මෙම ගමන අතරමගදී නාගදීප දූපත ද ඈතින් දිස් වේ.

කාලගුණයේ යම් යම් වෙනස්කම් නිසා ඇතැම්විට මුහුද රළු විය හැකි අතර, අප ගමන් කළ දිනයේ දී සුළු වශයෙන් මුහුද රළු වී තිබුණි. මෙවැනි චාරිකාවක් සැලසුම්කිරීමේ දී කාලගුණය සම්බන්ධයෙන් ද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඇතැම් අවස්ථාවල දී බෝට්ටුව තරමක් පැද්දීමකට ලක් වුවත්, පැයක් පමණ ඇතුළත ආරක්ෂිතව ඩෙල්ෆ් ජැටිය වෙත ළඟාවීමට අපට හැකි විය.

අඩුවෙන් වියදම් කර වැඩියෙන් විනෝද වෙන්න

ඩෙල්ෆ් දූපත ආසන්නයේ මුහුද ඉතා සුන්දර නිල්පැහැයකින් දිස් වූ අතර, සුදුපැහැති වෙරළ සංචාරකයන්ගේ ඇස් එක එල්ලේම ඇදගන්නා දසුනකි.

අප බෝට්ටුවෙන් ගොඩ බසින විට ම ලංගම බසයක් ජැටියේ නවත්වා තිබුණි. දූපතටම ඇති එකම ලංගම බසය වන මෙය, මාර්ග අංකයක් නොමැතිව ශ්‍රී ලංකාවේ ධාවනය වන එකම බස් රථ සේවයයි.

මෙම බස් රථය, සාමාන්‍යයෙන් ජනතාව ජීවත්වන ප්‍රදේශ හරහා වැටී ඇති ප්‍රධාන මාර්ගයේ ගමන් කරයි.

ඔබ ජැටියෙන් ගොඩබසින විටම ප්‍රවාහන පහසුකම් සැපයීමට පහසුකම් සපයන්නන් රැඳී සිටිනු දැකගත හැකියි. ඔවුන්ගේ ගාස්තු ඔබගේ වියදම් හා ගැලපෙයි නම් ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක ප්‍රවාහන පහසුකමක් ලබාගෙන දූපතේ සුන්දර ස්ථාන නැරඹීමට හැකිය. දූපත වෙත එන බොහෝ සංචාරකයෝ උදෑසනම දූපත වෙත ළඟා වී එවැනි ප්‍රවාහන පහසුකමක් ලබාගෙන සංචාරක ස්ථාන නරඹා නැවත සවස බෝට්ටුවේ ප්‍රධාන ගොඩබිම දක්වා පිටත්වෙති.

කෙසේනමුත් එදින අප තීරණය කර තිබුණේ රාත්‍රියේ ඩෙල්ෆ් දූපතේ නතරවීමටයි.

පාපැදි කුලියට ලබා දෙන බවට වන දැන්වීම් ද ජැටිය අසල එල්ලා තිබෙන අතර, පාපැදියකින් දූපතේ සංචාරය කිරීමට කැමැත්තක් දක්වන සංචාරකයන්ට පාපැදියක් කුලියට ගෙන වෙනස් අත්දැකීමක් ලැබීමට හැකිය.

නවාතැන් වියදම අඩු කරගන්න හොඳම උපක්‍රම

ඩෙල්ෆ් දූපත වසරේ වැඩි කාලයක් වියළි කාලගුණය සහිත ප්‍රදේශයකි. එමෙන් ම එහි අනතුරුදායක වන සතුන් ද නොමැත. එනිසා කඳවුරු අත්දැකීමකට කැමති අයෙකුට පහසුවෙන් ම ආරක්ෂිත හා අවසර ඇති ස්ථානයක් තෝරාගෙන කඳවුරු ගසා රාත්‍රිය ගතකිරීමට හැකිය.

දූපතේ එක් කෙලවරක ඒ සඳහාම වෙන් කළ ප්‍රදේශයක් ද පවතියි. මුහුදු වෙරළේ ආරක්ෂිත ස්ථානය කඳවුරු ගැසීම ඉතා සුන්දර අත්දැකීමක් වනු නොඅනුමානයි.
මක්නිසා ද යත් සුදු පැහැති මුහුදුවෙරළේ නිල්පැහැති රළ බිඳෙන අතරේ ඉහළ අහසේ සුන්දර ලෙස සඳ, තරු පායා ඇති ආකාරය මනස්කාන්ත ලෙස දිස්වන නිසායි.

එසේත් නැතිනම් ඉතාම අඩු මුදලකට නවාතැන් ලබා ගැනීමට පහසුම ක්‍රමය වන්නේ රජයට අයත් තානායම්, විවිධ පුණ්‍යායතනවලින් මෙහෙයවන විශ්‍රාම ශාලා හෝ නේවාසිකාගාරවල නවාතැන් ගැනීමයි. ඩෙල්ෆ් දූපතේ ද රජය විසින් එම පහසුකම් සලසා ඇති අතර, සාමාන්‍ය මුදලකට නවාතැන් ගත හැකි බොහෝ තැන් ඇති බවද අපගේ සංචාරයේ දී නිරීක්ෂණය විය.

කෙසේනමුත් මෙහි ඇත්තේ සීමිත හෝටල් ප්‍රමාණයක් නිසා ඔබගේ ආහාර අවශ්‍යතා සඳහා පෙර ඇණවුම් ලබා දී තිබීම වඩාත් නුවණට හුරු දෙයකි.

zferrකොරල් පරවල කැබලි එක පිට එක තබා සකසා ඇති මෙම තාප්ප පුරා විවිධ තෘණ වැල් වැවී ඇති අතර ඒවායේ පිපී ඇති දම්පැහැ කුඩා මල් එම දර්ශනය වඩාත් සුන්දර කරයි.


වර්ග කිලෝමීටර 62ක පමණ භූමි භාගයේ ජීවත්වන ජනගහනය 3500කට පමණ සීමා වීම නිසා මෙම දූපත ඉතාම නිසංසල පරිසරයකින් යුක්තය. පාසල්, බැංකු හා රාජ්‍ය ආයතන ද පිහිටා ඇති මෙම දූපතේ, ඔබට සාමාන්‍ය ප්‍රදේශයක දී සංචාරය කරනවිට ලබා ගත හැකි පහසුකම් පහසුවෙන් ලබා ගත හැකි යි.

කොරල් ගල් බැමි අතරින් දිවෙන සුන්දර ලන්දේසි මතක

ඔබ වරක් හෝ ඩෙල්ෆ් දූපතේ සංචාරය කළ හොත් ඉතා ඉක්මනින්ම ඔබට නිරීක්ෂණය වන දෙයක් වන්නේ එහි ඇති සියළු බැමි හා තාප්ප සකසා ඇත්තේ කොරල් ගල් යොදාගෙන බවයි. කොරල් පරවල කැබලි එක පිට එක තබා සකසා ඇති මෙම තාප්ප පුරා විවිධ තෘණ වැල් වැවී ඇති අතර ඒවායේ පිපී ඇති දම්පැහැ කුඩා මල් එම දර්ශනය වඩාත් සුන්දර කරයි.

දූපත පුරා පයින් ඇවිද යාමට අපහසු වුවත්, පයින් යා හැකි දුරින් ඇති නැරඹිය හැකි සුන්දර සංචාරක ස්ථාන කිහිපයක්ම මෙහි තිබේ.

මෙම දූපත මුල් කාලයේ දී පෘතුගීසි පාලනය යටතේ පැවතී ඇති අතර පසුව ලන්දේසීන් ශ්‍රී ලංකාවේ බලය තහවුරු කරගැනීමෙන් පසුව ලන්දේසීන් විසින් දූපත ඔවුන් සතු කරගෙන තිබේ. මෙම පාලන කාල දෙකේ දී මෙන් ම ඉංග්‍රීසි පාලන සමයේ දී ද පැවති ගොඩනැගිලි රැසක නටබුන් රැසක් තවමත් දූපත තුළ දැකගත හැකියි.

දූපතේ එක් අන්තයක කැළෑ අශ්වයන් විශාල වශයෙන් ජීවත් වෙති. බටහිර යටත්විජිත පාලන සමයන්හි දී අශ්වයන් ඇතිකර තිබෙන මෙම දූපතේ ඔවුන් නැවත යනවිට අශ්වයන් අතහැර දමා යාම නිසා, ඉතිරි වූ අශ්වයන් විශාල රංචු ලෙස වර්තමානයේ දී වර්ධනය වී තිබේ. එහි අශ්වගාලක නටබුන් ද ඇති අතර මේවා නැරඹීමට නම් ඔබට ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට සිදුවෙයි.

zdfwt4පෘතුගීසි සමයේ දී ඉදිකිරීම් ආරම්භ වී ඇති මෙම ගොඩනැගිල්ලේ වැඩ අවසන් කර ඇත්තේ ලන්දේසි පාලන සමයේ දිය. මෙම බලකොටුව කොරල් ගල්වලින් නිමවා තිබීම විශේෂත්වයකි.


මුහුදු වෙරළ අද්දර ඇති ගරාවැටී ඇති නමුත් සුන්දර බලකොටුව නැරඹීමට ඔබට පයින් ම හෝ පාපැදියකින් පහසුවෙන් යා හැකිය. බස් රථය ද ධාවනය කරන්නේ මෙම මාර්ගයේයි. පෘතුගීසි සමයේ දී ඉදිකිරීම් ආරම්භ වී ඇති මෙම ගොඩනැගිල්ලේ වැඩ අවසන් කර ඇත්තේ ලන්දේසි පාලන සමයේ දිය.

මෙම බලකොටුව කොරල් ගල්වලින් නිමවා තිබීම විශේෂත්වයකි. තට්ටු දෙකකට නිර්මාණය කර ඇති මෙම සුන්දර බලකොටුවේ ඉහළට නැගි විට අවට පරිසරය ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැකියි. එක් අතකින් වැසිවතුර එක් වූ නොගැඹුරු ජල තලාවකුත්, අනෙක් පසින් දිස්වන නිල්පැහැති මුහුදත් ගෙන එන දසුන වචනයෙන් විස්තර කිරීමට නොහැක. මුහුද දෙසින් හමා එන සුළං අවු රශ්මියෙන් පීඩා විඳි අපට මහත් සිසිලසක් ගෙන දුන්නේ ය. බලකොටුවේ ඉහළට නැග වම් පැත්ත බැලූ විට කුරුස සවි කර ඇති තරමක් විශාල සුසාන භූමිය බලකොටුවට ගුප්ත පෙනුමක් එක් කරයි.

zdfw4t4

අතීතයේ පටන් වර්තමානය දක්වාම ඩෙල්ෆ් හි ජීවත්වන්නන් මිහිදන් කිරීමට යොදාගන්නා සුසාන භූමිය


මෙය අතීතයේ පටන් වර්තමානය දක්වාම ඩෙල්ෆ් හි ජීවත්වන්නන් මිහිදන් කිරීමට යොදාගන්නා සුසාන භූමියයි. එහි ඇවිද ගිය අපට 1800 ගණන්වල මිහිදන් කළ ලන්දේසි ජාතිකයන්ගේ සොහොන් කොත් ද දැක ගැනීමට හැකි විය.

එතැන් සිට මඳ දුරක් නැවත ජැටිය දෙසට ඇවිද යද්දී ලන්දේසි හා ඉංග්‍රීසි පාලන සමයේ දී භාවිත කළ උසාවි සංකීර්ණයක නටඹුන් හමුවෙයි. එහි ඉහළින් ඉංග්‍රීසි අධිරාජ්‍ය ලාංඡනය ද තවමත් දිස්වෙයි. නඩු අසන ලද ස්ථානය මෙන් ම ඇතැම් උළුවහු තවමත් දිරා නොගොස් පවතියි.

fge66ලන්දේසි හා ඉංග්‍රීසි පාලන සමයේ දී භාවිත කළ උසාවි සංකීර්ණයක නටඹුන්


එම ස්ථානයේ ම එකල පණිවුඩ යැවීම සඳහා යොදාගත් පරවියන් රඳවා තිබූ පරවි කූඩුව ද පිහිටා ඇත. මීටර් දෙකකට ආසන්න උසකින් යුතු මෙම විශාල පරෙවි කූඩුවේ වර්තමානය වන විට කිසිඳු පක්ෂියෙක් ජීවත් නොවූව ද එය නොමැකෙන මතක සටහනක් ලෙස තවමත් එම භූමියේ ජීවමානව පවතියි.

zdgfrteපණිවුඩ යැවීම සඳහා යොදාගත් පරවියන් රඳවා තිබූ පරවි කූඩුව


ඩෙල්ෆ් දූපතේ තුරු ගහණය අතින් වැඩිපුරම නිරීක්ෂණය කළ හැකි වන්නේ තල් ගස් සහ නුග ගස් ය. බොහෝ නුග ගස් විශාල ප්‍රදේශයක් පුරා දැවැන්තව විහිදී ඇති ඒවා වන අතර විශේෂම කරුණ වන්නේ, එවැනි දැවැන්ත නුග ගස් මත ම දැවැන්ත තල් ගස් ද හටගෙන තිබීමයි. සතුන් මාර්ගයෙන් හෝ වෙනත් ආකාරයකින් නුග ගස් මත රැඳි තල් ගෙඩි පැළ වී දැවැන්ත වෘක්ෂයන් ලෙස නුග ගස් මත වැඩ සිටියි.

උසාවි සංකීර්ණය ආසන්නයේ ම සැලකිය යුතු ප්‍රදේශයක විහි දී ගොස් ඇති නුග ගසේ ද එලෙස දැවැන්ත තල් රුකක් හටගෙන තිබේ.

උසාවි සංකීර්ණය ආසන්නයේ ම ඩෙල්ෆ් දූපතේ කඩපොළ පිහිටා ඇති අතර, කුඩා කාලයේ දී අප දැක ඇති කඩපොළවල් ආකාරයේ පැරණි තේ හා සිල්ලර කඩ කිහිපයක් එහි තිබේ. එක් වෙළඳසලක කාන්තාවක් "බායප්පන්" නැමැති රසකැවිලි වර්ගයක් අලෙවි කරමින් සිටි අතර අපි ඒවා රස බැලීමට අමතක නොකළෙමු. එහි රසය කොණ්ඩ කැවුමකට තරමක් සමාන වුව ද එය තරමක් ඝන අග්ගලාවක හැඩයකින් යුක්ත විය.

ජැටියේ සිට කිලෝමීටර දෙකක් පමණ ඇවිද ගිය තැන තවත් සංචාරක ස්ථාන නැරඹීමට සංචාරකයන්ට හැකියි. එයින් එකක් දැවැන්ත ගසකි.

dger65අප්‍රිකානු රටවල්වල වැවෙන මෙම බයෝබැබ් ගස අරාබි වෙළඳුන් හරහා දූපතට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.


දැඩි වියළි කාලගුණයක් ඇති අප්‍රිකානු රටවල්වල වැවෙන මෙම බයෝබැබ් ගස අරාබි වෙළඳුන් හරහා දූපතට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙවැනි ගස් කිහිපයක් මන්නාරමේ ද තිබේ. ඩෙල්ෆ් දූපතේ ඇති බයෝබැබ් ගස සියවස් ගණනක් පැරණි එකක් බව දුටුවිටම කිව හැකියි. එහි එක් පසෙකින් කුහරක් ඇති අතර ඉතා පහසුවෙන් මිනිසුන් පහළොස් දෙනෙකුට පමණ රැඳී සිටිය හැකි ගස් බෙනයක් ඒ තුළ පිහිටා තිබේ. කෙසේ නමුත් ගස නැරඹීමට පැමිණි සංචාරකයන් ගසේ කඳ සූරා විවිධ දේවල් ලියා තිබීම කණගාටුවට කරුණකි.

මීට අමතරව මෙම දූපතේ පැරණි බෞද්ධ විහාරයක නටඹුන් හා පැරණි කෝවිල්වල නටඹුන් ද පිහිටා තිබේ.

මන බඳින වෙරළේ සවසක්

ආසන්න වශයෙන් කිලෝමීටර 14ක් පමණ පාගමින් සිදු කළ සංචාරයෙන් පසුව දැනෙන තෙහෙට්ටුව නිවාගැනීමට නිල්වන් මුහුදේ බැස නෑම හැර අන් කිසිඳු ක්‍රමයක් තිබිය නොහැකිය. සවස් යාමයේ හිරු බැසයාමට ආසන්න වන විට විවිධ වර්ණවලින් දිස් වන අහස දෙස බලමින් නොගැඹුරු මුහුදු වෙරළේ සුන්දරත්වය විඳ ගැනීම ඕනෑම අයෙකුගේ මනස සුවපත් කරන්නකි. 

සිහින් සුදුවැලි අතරින් පාද තබා යන විට විවිධ හැඩැති වර්ණවත් බෙලිකටු හා සිප්පිකටු රාශියක් දැකගත හැකියි. දූපත වටා ඇති කොරල්පරවල කොටස් ද වෙරළට ගසාගෙන පැමිණ ඇත. නමුත් ඇතැම් සංචාරකයන් විසින් තැන තැන දමාගොස් තිබෙන කැළිකසළ සොඳුරු වෙරළේ පැවැත්මට හානි කරන්නකි.

සුළු වේලාවකින් හිරු බැසගොස් සඳ නැග ආ අතර මුහුදට සඳ එළිය වැටී සුන්දර දර්ශනයක් මැවුණි.

ගමනේ වියදම් සහ දැනුවත්විය යුතු කරුණු
කොළඹ කොටුවේ සිට යාපනය දක්වා දුම්රියේ තෙවන පන්තියේ ටිකට්පතක් සඳහා රුපියල් පන්සියයත් හයසියයත් අතර මුදලක් වැය කිරිමට සිදුවන අතර ඊට වඩා වැඩි මුදලක් ගෙවා සුවපහසු ආසනයක් ලබාගැනීමට හැකියි. යාපනය බස් නැවතුමේ සිට කුරිකට්ටුව්වාන් ජැටිය දක්වා ඔබ ගමන් කළ යුතු මාර්ග අංක 777 බස් ගමනේ ගාස්තුව රුපියල් 170ක් පමණ වේ.

මුලින් සඳහන් කළ පරිදි ජැටියේ සිට ඩෙල්ෆ් දක්වා යන මුහුදු ගමන ඔබ යන්නේ නාවික හමුදා හෝ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ (RDA) යාත්‍රාවක නම් ඔබට නොමිලේ ම ගමන් කළ හැකියි. නමුත් ඔබට පුද්ගලික මගී ප්‍රවාහන යාත්‍රාවක ගමන් කළහොත්, ගෙවීමට සිදුවන්නේ රු.300ක පමණ මුදලකි.

මෙම දූපතේ නවාතැන් පහසුකම් ඉතා අඩු මිලක සිට ඉහළ මිල ගණන් දක්වා පැතිරී ඇති අතර ඒවායේ සපයන පහසුකම් ඒ අනුව වෙනස් වේ. ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාව හරහා පාලනය වන තානායම සැලකිය යුතු අඩු මුදලකට සොයා ගත හැකි පහසුකම් සහිත ස්ථානයකි. මෙම තානායමේ හතරදෙනෙකුට සිටිය හැකි වායුසමීකරණය නොකළ කාමරයක් එක් රාත්‍රියකට රු.2600ක් ගෙවා ලබා ගැනීමට ඔබට හැකියි. එහි වායු සමීකරණය කළ කාමර ද ලබා ගැනීමේ පහසුකම තිබේ.
 
df44මෙම සුන්දර දූපතේ ඔබට ලබා ගත හැකි උපරිම වින්දනය ලබා ගෙන එම දූපතේ පරිසරයට හානියක් නොවන පරිදි කටයුතු කර නැවත පැමිණීම සංචාරක ඔබගේ වගකීමයි.

ආහාරපාන මිල ගණන් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ආහාර මිල ගණන්වලට සමාන අතර, පුළුල් පරාසයක් සහිත ආහාර මෙනුවක් ඇති හෝටල් කිහිපයක්ම ජැටියේ සිට පයින් යන දුරින් පිහිටා තිබේ.

මෙම දූපත තුළ මත්පැන් අලෙවිහලක් නොමැති නිසා එවැනි දේ භාවිත කිරීමට බලාපොරොත්තු වන අයට ඒවා ප්‍රධාන ගොඩබිමෙන් රැගෙන පැමිණීමට සිදුවේ. කෙසේනමුත් වැඩිමිලට නිල නොවන අයුරින් මත්පැන් දූපත තුළ අලෙවිවන බව එහි ගිය අපට දැනගැනීමට හැකි විය.

කාර්යබහුල ඒකාකාරී ජීවන රටාවෙන් මිදී වෙනස් අත්දැකීමක් ලබා ගැනීමට මෙන් ම, වියදම් අඩු නමුත් වැඩි අත්දැකීමක් ලබා ගැනීමට කැමති දෙස් විදෙස් සංචාරකයන් හට ඩෙල්ෆ් යනු ඉතාම හොඳ ගමනාන්තයකි.

මෙම සුන්දර දූපතේ ඔබට ලබා ගත හැකි උපරිම වින්දනය ලබා ගෙන එම දූපතේ පරිසරයට හානියක් නොවන පරිදි කටයුතු කර නැවත පැමිණීම සංචාරක ඔබගේ වගකීමයි.

(ඡායාරූප සහ සංචාරක සටහන : අමන්දිකා කුරේ)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්