The Leader News
BREAKING
Top Ad
පුවත්

මේ ආණ්ඩුවත් ගමන් කරන්නේ IMF කප්පාදු වැඩපිළිවෙළේ ම යි - පුබුදු ජයගොඩ

T

The Leader Desk

November 20, 2025 • 1:43 PM

මේ ආණ්ඩුවත් ගමන් කරන්නේ IMF කප්පාදු වැඩපිළිවෙළේ ම යි - පුබුදු ජයගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
  • ඔහු මෙම අදහස් පළ කළේ අද (20) නුගේගොඩ පැවති 2026 අයවැය සම්බන්ධ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමුව අමතමිනි.
  • බී ඕ අයි සමාගම්වලට රුපියල් බිලියන 120.6ක බදු සහ න මේ ආණ්ඩුව යන්නේ අයි එම් එෆ් කප්පාදු වැඩපිළිවෙලේම බව මෙවර අයවැය ඔප්පු කර තිබෙනවා.
  • ජනාධිපතිතුමා කියනවා වක්‍ර බදු : සෘජු බදු අනුපාතය 80;20 සිට 75:25 ට ගෙනාවා, මේක 60:40ට ගෙනාවා කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (20) නුගේගොඩ පැවති 2026 අයවැය සම්බන්ධ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමුව අමතමිනි.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ

පාර්ලිමේන්තු විපක්ෂයේ තත්ත්වය

''ආණ්ඩුව පෙන්වන්න උත්සාහ කරන්නේ වීදි සුනඛයාගේ සිට වතු කම්කරුවා සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දක්වා හැම කෙනා ගැනම සිතන ලද අයවැයක් ඉදිරිපත් කළා කියලා. පාර්ලිමේන්තුවේ විපක්ෂයත් එය අනුමත කරනවා. තැනින් තැන පොඩි වැරදි පෙන්වනවා මිස මේ අයවැයේ ප්‍රතිපත්තිමය පදනමට විපක්ෂයේ පක්ෂත් විරුද්ධ නැහැ.

රවී කරුණානායකට තියෙන ප්‍රශ්නය රනිල්ගේ ප්‍රතිපත්තියේ මේ ආණ්ඩුවත් යන එක නෙවෙයි, ඒ ප්‍රතිපත්තියේ යන ගමන් රනිල්ට ප්‍රශංසා නොකර දොස් කියන එක. හර්ෂ ද සිල්වා කියන්නේ ජනතාව හොම්බෙන් ගියත් කමක් නෑ භාණ්ඩාගාරය පිරී ඉතිරී යනවානම් කියලා. හැබැයි ඒ පිරී ඉතිරී යන භාණ්ඩාගාරය එයාට බාර නොදෙන එකට දුකයි. ඕක තමයි පාර්ලිමේන්තු විපක්ෂයේ තත්ත්වය. අයවැයේ පොදු ජනතාවගේ පැත්තෙන් තියෙන එක ප්‍රශ්නයක් මතු කර ගන්න මේ ගොල්ලන්ට බැහැ.

බී ඕ අයි සමාගම්වලට රුපියල් බිලියන 120.6ක බදු සහන

මේ ආණ්ඩුව යන්නේ අයි එම් එෆ් කප්පාදු වැඩපිළිවෙලේම බව මෙවර අයවැය ඔප්පු කර තිබෙනවා. වෙන කිසිම උපායමාර්ගයක් නෑ. ආණ්ඩුව කලින් කිව්වේ නිෂ්පාදන ආර්ථිකයක් හදනවා කියලා. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, පොදු ප්‍රවාහනය වගේ සමාජ ආරක්ෂණ සේවා පුළුල් කරනවා කියලා. ජනතාව මත බදු බර අඩු කර සහන දෙනවා කියලා. නමුත් වෙන්නේ අනෙක් පැත්ත. ජනාධිපතිතුමා කියනවා වක්‍ර බදු : සෘජු බදු අනුපාතය 80;20 සිට 75:25 ට ගෙනාවා, මේක 60:40ට ගෙනාවා කියලා.

ප්‍රශ්නය මේ වචන පිටුපස සැඟවිලා සෙල්ලම් කරන එක නෙවෙයි. සෘජු, වක්‍ර වගේ වචන පැත්තකින් තියමු. ප්‍රාග්ධන හිමියන්ගේ, මහා සමාගම්වල පිරිවැටුම මත බදු කීය ද, වැටුප් ශ්‍රමිකයා ඇතුළු සාමාන්‍ය ජනතාව අමතා බදු කීයද? මෙවර රුපියල් බිලියන 4910ක බදු ආදායමෙන් බිලියන 3056ක්ම භාණ්ඩ හා සේවා මත බදු. ජාත්‍යන්තර වෙළඳාම මත පනවා ඇති බිලියන 544ක බද්දෙන් විශාල කොටසක්, ආනයන මත බද්දත් අන්තිමේ භාණ්ඩ මිලට එකතු වෙලා ජනතාවමයි ගෙවන්නේ.

සෘජු බදු ලෙස නම් කර තිබෙන බිලියන 1120ක බදු මුදලෙන් බිලියන 215ක් වැටුප් ශ්‍රමිකයා ගෙවන උපයන විට බද්ද. බිලියන 185ක් බැංකු ගිණුම්වල රඳවා ගැනීමේ බද්ද. මේවා ගෙවන්නේ සාමාන්‍ය ජනතාව. ප්‍රාග්ධන හිමියන්ට බදු සහන දෙනවා. මේ අවුරුද්දේ පළමු මාස හයේදී රුපියල් බිලියන 120.6ක බදු සහන බී ඕ අයි සමාගම්වලට දීලා.

අමාත්‍යංශ ගණනාවක ප්‍රාග්ධන වියදම් කපා හැරලා

ඒ අතර ජනතාව වෙනුවෙන් වන රජය වියදම් කපනවා. විශේෂයෙන් ප්‍රාග්ධන වියදම් කපනවා. 2025 වසරේ වෙන් කළ ප්‍රාග්ධන වියදමෙන් 30%ක් පමණ වියදම් නොකර නැවත හරවා යැවීම භාණ්ඩාගාරයට මුදල් ඉතිරි කර ගොඩගසා ගැනීම සඳහා සිතාමතා කළ දෙයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය සිය ප්‍රතිපාදන වලින් 60%ක් හරවා යවා තිබිය දී: ඖෂධ හිඟය, වෛද්‍ය උපකරණ හිඟය, උපකරණ අබලන් වීම, කාර්යමණ්ඩල හිඟය යනාදි දහසක් ප්‍රශ්නවලින් රෝහල් පද්ධතිය රෝගී වී තිබෙනවා. 2026 වසරේ අමාත්‍යංශ ගණනාවක ප්‍රාග්ධන වියදම් 2025 වසරටත් වඩා කපලා. මෙහෙම තමයි භාණ්ඩාගාරය පුරවන්න හදන්නේ.

පාසල් අධ්‍යාපනය සඳහා ප්‍රාග්ධන වියදම් 2025දී බිලියන 99.3 සිට 2026දී බිලියන 98.9 දක්වා කපලා. පෙළපොත් මුද්‍රණයට කරන වියදම 2025 සිට 2026ට යද්දී රුපියල් මිලියන 500කින් අඩු වෙලා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් දිළිඳු පාසල්වල දරුවන්ට ශිෂ්‍යාධාරය දෙන මුදලත් රුපියල් මිලියන 45කින් අඩු කරලා. ක්‍රීඩා පාසල්වල සිසුන්ට පෝෂ්‍යදායී ආහාර සඳහා වෙන් කරන මුදල රුපියල් මිලියන 80කින් අඩු කරලා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වන මුදල බිලියන 134.5 සිට 131.3ට කපලා. ඒ සොච්චමෙනුත් බිලියන 7.5ක් වෙන් කරලා තියෙන්නේ කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාලයට. රජයේ විශ්වවිද්‍යාල වාහන මට්ටමට දානවා. ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රාග්ධන වියදම් බිලියන 435 සිට 390ට කපලා. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ප්‍රාග්ධන වියදම් බිලියන තුනකින් කපලා. නිෂ්පාදන ආර්ථිකයක් ගැන කිව්වට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රාග්ධන වියදමත් තුනෙන් එකකින් කපලා. වැවිලි හා යටිතල පහසුකම් අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය යනාදි ජනතාවට සේවා සපයන අමාත්‍යංශ ගණනාවක ප්‍රාග්ධන වියදම් කපා හැරලා.

රට යන්නේ ජනතාව කබලෙන් ලිපට ඇද දමන මාර්ගයක

රනිල් වික්‍රමසිංහගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ උගුලේ අහු වෙන්න එපා, විකල්ප ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනක් හදන්න කියලා අපි කිව්වේ ඇයි කියලා මේ අයවැය බැලුවම තේරෙනවා. ණය සේවාකරණය ඇතුළු සමස්ත රාජ්‍ය වියදම වන රුපියල් බිලියන 8980න් බිලියන 4495ක්, ඒ කියන්නේ අඩකටත් වඩා වැඩියෙන් වැය කරන්නේ ණය පොලී වාරික ගෙවන්න. ඒ වගේම බදු ගසමින් මුදල් එකතු කරන්නේ රුපියල් දීලා ඩොලර් මිලදී අරන් විදේශ ණය ගෙවන්න.

විදේශ විනිමය ලොකු අර්බුදයක. ජනාධිපතිතුමා මොකක්ද අර්බුදය කියලා ඇහුවට අපේ සංචිත තියෙන්නේ ඉතා නරක මට්ටමක. 2024 දෙසැම්බර් 31 වනවිට ඩොලර් මිලියන 6091ක් සංචිතය තිබුනා. 2025 සැප්තැම්බර් 30 වනවිට තියෙන්නේ මිලියන 6243යි. ඒ කියන්නේ මාස 9ක් තිස්සේ සංචිතයට අලුතෙන් එකතු වී තිබෙන්නේ මිලියන 152යි. 2025 දෙසැම්බර් 31 වනවිට ඩොලර් මිලියන 7174ක ඉලක්කය සැපිරීමටනම් ඉතිරි මාස තුනෙහි දී මිලියන 931ක් ඒ කියන්නේ ඩොලර් බිලියනයක් පමණ සොයන්න ඕන. ඒක කරන්න බැහැ. වෙන්නේ ණය ගෙවන්නත් ණය ගැනීම සහ ජනතාව් පීඩාවට පත්කර, රුපියල්වලින් ඩොලර් මිලදී ගැනීම. මේ තියෙන ඩොලර් මිලියන 6243කින් 1359ක් චීන ණය, 900ක් ඉන්දියානු ණය, 580ක් අයි එම් එෆ් ණය. මිලියන 2400ක් පමණ කෙටි කාලයකින් ගෙවිය යුතු ලංකාවේ වාණිජ බැංකුවල ණය. එතකොට ස්ථාවර සහ පාවිච්චි කළ හැකි මට්ටමේ තියෙන්නේ ඩොලර් මිලියන 1014යි. එයිනුත් බහුතරය මිලදී ගත් ඩොලර්. සැප්තැම්බර් මාසයේ දී පමණක් ඩොලර් මිලියන 177ක් මිලදී ගෙන තිබෙනවා.

අවසානයේ වෙන්නේ මේ අර්බුදයේ මුළු බර පොදු ජනතාව මත පටවා ජනතාව කබලෙන් ලිපට ඇද දමන මාර්ගයක රට යන්නේ. මේ ආණ්ඩුව කිසිවක් වෙනස් නොකර ඒ පාරේම වේගයෙන් යනවා. විපක්ෂය වේගය මදි වගේ පොදු කනුකුණු ගාමින් අත්පොලොසන් දෙනවා. මේ අයවැය ප්‍රතිපත්තියට විපක්ෂය පාර්ලිමේන්තුවේ නෑ, ඒ විපක්ෂය එළියේ හදමු.''

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...