සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සම ඉදිරිපත් කරන ලද්දේ, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසිනි.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විදේශ අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, ඊක්වල් ග්‍රවුන්ඩ් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා යන පුද්ගලයින් නම් කර තිබේ.
පෙත්සමෙන් ඉල්ලන්නේ කුමක් ද?
පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජිත ව්‍යාපෘතියකට ඉඩ සලසමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් වග උත්තරකාර රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරනු ලැබ ඇති බවට තොරතුරු ලැබී ඇති බව ය.
එම ලිපිය තුළින් වගඋත්තරකාර සභාපතිවරයා ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා වූ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට එකඟතාව පළ කර තිබෙන බවට පෙත්සම්කරුවෝ චෝදනා කරති.
මෙම ලිපිය පිළිබඳ තොරතුරු හෙළිදරව් වීමෙන් පසුව මතු වූ මහජන විරෝධය මෙන් ම මහ නා හිමිවරුන් සහ කාදිනල් හිමිපාණන් විරෝධය පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණක් රජය තුළ නොමැති බව සඳහන් කළ බවත් පෙත්සම්කරුවෝ කියා සිටියහ.
ඊට අමතරව විදේශ අමාත්‍යවරයා ද එම ප්‍රකාශය ම සිදුකළ බවත් පෙත්සමේ සඳහන් කර ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම රාජ්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කර අදාළ ලිපිය නිකුත් කර ඇති බවටත්, ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මෙන් ම දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ද උල්ලංඝනය කර ඇති බවටත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ එම ව්‍යාපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීයේ සභාපතිවරයා නිකුත් කර ඇති ලිපිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.
ඊට අමතරව, ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් වග උත්තරකාර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.
'LGBTQ ටුවරිස්ට්ලට ලංකාව ට්‍රැවල් කරන්න පුළුවන් ඩෙස්ටිනේෂන් එකක් කියන එක විතරයි අපි තහවුරු කරලා තියෙන්නේ'
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මගින් සමලිංගිකත්වය ප්‍රචාරණය නොවන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය පවසයි.
විදේශීය සමලිංගික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් LGBTQ ප්‍රවර්ධනයක් මෙරට තුළ සිදු කිරීමට සංචාරක මණ්ඩලය සූදානම් වන බවට මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇතිව තිබේ.
ඒ, සංචාරක මණ්ඩලය සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වෙත යොමු කළ ලිපියක් හේතුවෙනි.
මෙලෙස එල්ල වන විරෝධයට කාදිනල් මැල්කම් රංජිත් හිමියන් මෙන් ම විපක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් ද එක්ව සිටින අයුරු දැක ගත හැකි ය.
| බීබීසී සිංහල




