පටිච්චසමුප්පාද දර්ශනයට අනුව කිසිදු අනන්‍යතාවක් ස්ථාවර (Fixed) නොමැති බවත් අනන්‍යතාව යනු හේතු නිසා හටගත් ඵලයක්
පමණක් බවත්, හේතුවලින් හටගත් අනන්‍යතාව හේතුවල වෙනස් වීමෙන් වෙනස්වන්නේ යැයි පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පවසනවා.
උන්වහන්සේ මෙලෙස සඳහන් කරන්නේ 2024 ජුනි මස 13වන දින; ඒ උන්වහන්සේගේ Face book ගිණුමෙහි සටහනක් තබමින්.
ඒ සඳහා නිමිත්ත වෙන්නේ සංක්‍රාන්තික ලිංගිකත්වයට පත් වූ කාන්තාවක ගේ සිය දිවි නසාගැනීමක්.
එම කාන්තාව සිය දිවි නසාගන්නේ ඇයි යන්න ධම්මානන්ද හිමියන්ගේ සටහන කියවන ඔ්නෑම කෙනකුට වැටහෙනවා. සත්‍යවශයෙන් ම ඒබඳු මරණවලට වගකිව යුත්තේ මනුෂ්‍යත්වය නොහඳුනන, කිසිදු ලිංග භේදයකුනි තොරව මනුෂ්‍යත්වට ගරු කළ හැකි සමිජයක් නොපවතින බැවින්.
මතු දැක්වෙන්නේ මෙබඳු ඉරණමකට එම කාන්තාවට මුහුණ දුන් සිදුවීම සහ එහි විපාක සම්බන්ධයෙන් උන්වහන්සේ බුදු දහම මත පිහිටා කළ ප්‍රකාශය යි.
(සටහන - ජයසිරි අලවත්ත)
LGBTQ ප්‍රජාවේ මියගිය කෙනෙකුගේ හත් දවසේ ධර්ම දේශනාව
-(පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි)

'' අද ලංකාවේ LGBTQ ප්‍රජාවේ කෙනෙකුගේ හත් දවසේ ධර්ම දේශනාවක් කළා. මිය ගිය කෙනා ඉපිද ඇත්තේ පිරිමි දරුවෙකු ලෙස. පස්සේ කාන්තාවක් බවට පත් වෙනවා. මිය ගොස් ඇත්තේ වයස 31 දී. ඒ තමන් ම ගත් තීරණයක් නිසා.
ඇගේ දේහය ගෙදරින් බාර ගෙන නැහැ. ඒ කටයුතු සිදු කරන්නේ LGBTQ ප්‍රජාවේ අය එකතු වෙලා.
ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ 'අනන්‍යතාව' බෞද්ධ දෘෂ්ඨි කෝනයකින් බැලීම. මෙහි දී පටිච්චසමුප්පාද දර්ශනයට අනුව කිසිදු අනන්‍යතාවක් ස්ථාවර (Fixed) නැති බවත් අනන්‍යතාව යනු හේතූන් නිසා හටගත් ඵලයක් පමණක් බවත් මූලිකව මතු කළා. තව ද හේතූන්ගෙන් හටගත් අනන්‍යතාව හේතූන්ගේ වෙනස් වීමෙන් වෙනස්වන බව සාකච්ඡා කළා.
ඒ අනුව විවිධ හේතූන්ගේ සමවායයෙන් හටගන්නා බැවින් ද, කිසිදු බලවතෙකුගේ විශේෂ මැදිහත්වීමකින් හට නොගත් බැවින් ද කිසිදු අනන්‍යතාවක් තවත් අනන්‍යතාවකට වඩා උසස් හෝ පහත් වන්නේ නැති බව ද සාකච්ඡා කළා.
ඊළඟට සාකච්ඡා කළේ දාර්ශනික වසයෙන් එන පණිවුඩය මෙසේ වුවත් සංස්කෘතික ආගම තුළ අනන්‍යතා එබඳු සුවිශේෂත්වයක් නැති දෙයක් නොවන ආකාරය යි. ඒ තුළ බරපතල ලෙස අනන්‍යතා ධුරාවලියකට අනුව පෙළ ගැසෙන ආකාරයත්, ඒ යටතේ තමා විසින් විශේෂයෙන් තෝරා නොගත්, ජාතිය, භාෂාව, ආගම, කුලය සහ ලිංගිකත්වය ආදිය පදනම් කරගෙන බරපතළ ලෙස බලය ගොඩනන්වා ගැනීම සහ හිංසනය ක්‍රියාත්මකවන ආකාරය පෙන්වා දෙමින්, ආගම බොහෝවිට තවදුරටත් මුල් පණිවුඩය නියෝජනය නොකරන ආකාරය සාකච්ඡා කළා.
අවසාන වසයෙන් බුදුදහමේ එන 'දුක' නැති කිරීම යන්නට සමාජ දුක නැති කිරීම, හිංසාවට පීඩාවට ලක්වීමෙන් එන දුක නැති කිරීම ද අයත්වන ආකාරය සාකච්ඡා කළා. එහි දී අවිහිංසාව පිළිබඳ අදහස මෙකී සමාජ දුක නැති කිරීම සමග සම්බන්ධවන ආකරාය සාකච්ඡා කළා. අවසානයේ මියගිය තැනැත්තියට පැන් වඩා සුගතිය ප්‍රාර්ථනා කළා. එහි දීත් පැන් වැඩීම ජීවත්ව ඉන්නා අයගේ සුවපත්වීමට අදාළ ප්‍රතිකාරමය (therapeutic) ක්‍රියාකාරකමක් වන ආකාරය පෙන්වා දුන්නා.
අවසානයේ ඒ අයගෙන් වැඩි දෙනෙකු මා වෙත පැමිණ කතා කළා. ඒ අය වැඩි දෙනෙකු තම නිවෙස්වල දී වත් ආගමික කටයුතුවල දී ඉදිරියට පැමිණ කටයුතු කර නැති බවත් ආගමික ස්ථානවලට ගොස් හෝ ආගමික කටයුතු කර නැති බවත් එසේ නොයන්නට හේතුව තමන් ඒ තැන්වල දී අපහසුතාවනට පත් වේ යැයි පවත්නා බිය සහ ඇතැම්විට ආගමික ස්ථානවල කතාකරන ධර්මය තමන්ට එතරම් අදාළ නොවීම බවත් ප්‍රකාශ කළා. එහෙත් අද සාකච්ඡාව අනුව එහි අදාළ බවක් පවත්නා බව වැටහෙන බවත් ප්‍රකාශ වුණා.''
(උපුටා ගැනීම - Galkande Dhammananda Thero FB - 2024 -jun -13 )

