leader s

රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා සංවිධානාත්මත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ සමාජයේ ඇතැම් වැදගත් යැයි ප්‍රකාශිත වෘත්තීන්වල පුද්ගලයින්ද ඒ සඳහා සහභාගී වී සිටින බවයි.

මෙම තත්ත්වය තවදුරටත් පැවතුනහොත් මෙරට විවාහ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම බිඳවැටෙන බව උන්වහන්සේ සඳහන් කළහ.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මේ බව සඳහන් කළේ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ධර්ම කීර්ති ශ්‍රී ආචාර්ය අකුරැටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත මියන්මාර රජයෙන් ලබාදුන් අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය පිදීමේ උත්සවයට එක්වෙමිනි.
 
‘සමලිංගිකත්වය ප්‍රවර්ධනයට දේශපාලන පක්ෂ ඉන්නවා’

“ලංකාව තුළ ළඟදි ඉඳන් සිදුවෙමින් පවතින භයානක තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක් කරන්න මම කල්පනා කළා. ලංකාව තුළ සමලිංගික අයිතිවාසිකම් පිළිබඳ වැඩසටහන් මාලාවක් ඇතැම් විදේශීය සංවිධානවල ආධාර ඇතිව ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ සංවිධානවලට ලංකාවේ තරුණ තරුණියන් බඳවා ගැනීමේ ව්‍යාපාරයක් මේ වනවිට සංවිධානය වෙමින් පවතිනවා.”

මානසික රෝගීන් බලන වෛද්‍යවරුන් පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්නවා යම්කිසි දරුවෙක් තමන්ගේ ලිංගික අනන්‍යතාවය වෙනස් කරන්නට අදහස් කරනවා නම් ඒ මානසික වෛද්‍යවරු ළඟට ගියාම ඔවුන්ගෙන් ඒ පිළිබඳ සහතිකයක් ලබාගෙන ඔවුන්ට පුළුවන් වෙනවා තමන් පිරිමි කෙනෙක් හැටියට ඉපදුනා නම් ගැහැණු බවට ප්‍රකාශ කරලා සහතිකයක් ලබාගන්න. ඒ අයට පුළුවන් වෙනවා ඒක අරගෙන ගිහිල්ලා තමන් පිරිමි කෙනෙක් ලෙස ඉපදුනත් ගැහැණු කෙනෙක් හැටියට උප්පැන්න සහතිකයක් ලියා ගන්න අවසර ලැබිලා තියෙනවා. ඒ අවසර අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සහතික කරන ලද සහතිකයක් ඔවුන්ට ලබා දෙනවා. මේ සහතිකය අරගෙන ගියහම ඔවුන්ගේ ලිංගයටම අයත් කෙනෙකු සමග විවාහ වීමට හැකියාව ලැබෙනවා.

විවාහ සංස්ථාව දෙදරා යෑමේ වැඩපිළිවෙළක් වෙත රට ගෙන යන්න මේ වැඩපිළිවෙළ රහසිගත ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. සමහර දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයන් මේ වැඩපිළිවෙලට ආශිර්වාද කරන බව මට දැනගන්නට ලැබිලා තියෙනවා. මේ තත්ත්වය අපේ රටේ අනාගතයටත්, අපි හුඟක් ගෞරව කරන බුද්ධ ශාසනයටත් විශාල ප්‍රශ්නයක් විය හැකි අනාගතයේදී.

අපි මේ පිළිබඳව අවධානය යොමු කරන්න උත්සාහ කළාම ඒ අය අපිට දොස් කියනවා අපි ඒ අයගේ මානව හිමිකම් වලට ගෞරව කරන්නේ නැහැ කියලා. වංචනික ක්‍රම වලින් මනුෂ්‍යත්වය වෙනස් කරන්නට ඒ නීති රීති හදනවා නම් රටේ ආයතන ක්‍රියාත්මක වෙනවනම් ඒක වංචනිකව රටේ අනාගතය අඳුරට හෙලීමේ වැඩපිළිවෙළක් හැටියට අපි හඳුන්වාදිය යුතුයි.

කවුරු හරි දරුවෙක් සංක්‍රාන්තික ලිංගික අවශ්‍යතාවයකින් පෙලෙනවා නම්, ඒ වගේ තත්ත්වයකට පත්වෙලා ඉන්නවා නම් ඒ අයට හිරිහැර කිරීමේ කටයුතු කරන්න සුදුසු නැහැ. ඒ හැම දරුවෙකුටම ගෞරවයෙන් සැලකීම අපේ යුතුකමක් වෙනවා.”
 

 
කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු නැවත වරක් බොරු කියයි!
 
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් Denver Mark සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.

''ඊයේ රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති ආචාර්යය අකුරැටියේ නන්ද නායක ස්වාමින් වහන්සේට මියන්මාර රජයෙන් ලබා දුන් අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය පිදීමේ උත්සවයට සහභාගී වෙමින් කාදිනල් මැල්කම් ශ්‍රී ලංකාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීමට විදෙස් සංවිධාන හා එක්ව මේ රටේ දේශපාලඥයින්, දේශපාලන පක්ෂ සුදානම් වෙමින් පවතින බව 'අනතුරු ඇඟවීමක්' සිදු කරන බව ඔහුගේම වචනයෙන් පැවසුවා.

එමඟින් මේ රටේ විවාහ සංස්ථාව දෙදරා යන බව ද පවසනවා.

මීට පෙර මෑතකදී කතෝලික දේවස්ථානයක මෙවැනිම ප්‍රකාශයක් සිදු කළ කාදිනල් මැල්කම් මෙවර බෞද්ධ ස්වාමින් වහන්සේ අමතා 'බෞද්ධ උත්සවයක' ප්‍රකාශ කරනවා.

:  ලංකාවේ සමලිංගික විවාහ නීති ගත කරන්නට යනවාද ?
 
බැලූ බැල්මට පෙනන්නේ ශ්‍රී ලංකාව තුළ සමලිංගිකයින්ට විවාහ වීමට ඇති වුවමනාවට වඩා වුවමනාවක් ඔවුන්ව විවාහ කරවීමට කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුට අවශ්‍ය බවයි.
 
ශ්‍රී ලංකාවේ සමකාමී ප්‍රජාව කෙදිනකවත් 'විවාහ වීමේ අයිතිය' ඉල්ලා නැත!

:  එහෙනම් මොනවද ඉල්ලන්නේ?

යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍ය පාලනය විසින් ක්‍රිස්තියානි පල්ලියේ නීති පාදක කොටගෙන සකස් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය ඔවුන් එකල යටත් කරගෙන පාලනය කළ රටවලට පනවනු ලැබුවා. හින්දු භක්තිකයින් බහුතරයක් සිටි ඉන්දියාවට මෙන්ම, බහුතරයක් බෞද්ධ දර්ශනය අනුගමනය කරන ශ්‍රී ලංකාවට ද මෙම නීති බලෙන් පටවන ලදී.

එහි 365 වගන්තිය මඟින් 'සමලිංගික යැයි' හඳුන්වන බයිබලයට අනුව 'අස්වාභාවික ලිංගික ක්‍රියා' අපරාධයක් සේ සලකන අතර එමඟින් සිර දඬුවම් නියම කිරීමක් ද වෙනවා.

ඉන්දියාවට පනවන ලද දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය ද මෙයම වූ අතර ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 2018 සැප්තැම්බර් 6 වෙනි දින එය එරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව ද, පුද්ගලයින්ගේ පුද්ගල ගරුත්වය සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිය උල්ලංඝනය කරන බවද, එය තමන්ගේ නීතියක් නොවන බවද, ඇතුළු බොහෝ කරුණු ඉදිරිපත් කරමින් ඉවත් කරනු ලැබුවා.

ඒ ආකාරයටම බ්‍රිතාන්‍ය යටත් විජිත පැවති රටවල් මෙම නීති වෙනස් කරගෙන තිබෙනවා.
 
ශ්‍රී ලංකාවේ සමකාමී ව්‍යාපාරය ඉල්ලන්නේ ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ පවතින 365/365අ වගන්ති නිර්-සාපරාධීකරණය කිරීමට පමණයි.

:  ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ මොකක්ද?
 
පොදුජන පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති නිර්-සාපරාධීකරණය කිරීමට පාර්ලිමේන්තුවට 2022දී ගෙන ආ පුද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව එම පක්ෂයේම මන්ත්‍රීවරයෙකුගේ රහස්‍ය සහයෝගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් 3ක් 2023 අප්‍රේල් මාසයේ ඉදිරිපත් වුණා.

එයින් ඔවුන් පැවසුවේ මෙම පනත මඟින්,

1️⃣ ළමුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බවත්,

2️⃣ නීතියේ ආධිපත්‍ය ලිහිල් වෙන බවත්,

3️⃣  ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත්,

4️⃣ බෞද්ධාගමට තර්ජනයක් බවත්

නිසා මෙම පනත ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවයි.  

මෙම පෙත්සමට ප්‍රති-පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණ අතර දෙපිරිසේම අදහස් විමසූ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කළේ,

1️⃣ ළමා ලිංගික අපයෝජනයට අදාළ මෙවැනිම වෙනත් නීති පවතින බැවින් මෙමඟින් ළමුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් නොවන බවත්,

2️⃣ නීතියේ ආධිපත්‍යට තර්ජනයක් වන බව ඔප්පු කිරීමට පෙත්සම්කරුවන් අපොහොසත් වී ඇති බවත්, එම තර්කය සාක්ෂි සහිතව ඔප්පු නොවන බවත්,

3️⃣ හමුදාව අතර HIV ව්‍යාප්තිය වැඩි වේ යැයි පැවසීම සහ එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පැවසීම කිසිම පදනමක් නැති හාස්‍යජනක තර්කයක් වෙන නිසා එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවත්,

4️⃣ බෞද්ධ දර්ශනය තුළ විනය පිටකයේ ලිංගිකත්වය පිලිබඳ නීති පනවා ඇත්තේ පැවිද්දන්ට මිස ගිහියන්ට නොවන බවත්, බුද්ධ දර්ශනය සියලු සත්ත්වයන්ට සාධාරණව හා සමානව සළකන්නට කියා දෙන දර්ශනයක් බවත් එමඟින් බෞද්ධ දර්ශනයට කිසිම හානියක් නොවන බවත්,
 

එනිසා මෙම පනත මඟින් ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට කිසිඳු තර්ජනයක් නොමැති බවත්, මෙම පනත බලාත්මක කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් ආරක්ෂා වෙන බවත් පවසමින් පෙත්සම නිෂ්ප්‍රභා කළා. තවද මෙම පනත පාර්ලිමේන්තුව තුළ අවම බහුතරයිකින් සම්මත කළ හැකි බවද පැවසුවා. එමෙන්ම පුද්ගලිකත්වයට ඇති අයිතිය, පුද්ගල ගරුත්වයට ඇති අයිතිය, වැඩිහිටියන් අතර සිදුවන ලිංගික ක්‍රියාවලට රාජ්‍යයට බලපෑම් කිරීමට අයිතියක් නොමැති බව පවසමින් පිටු 42ක දීර්ඝ නඩු තීන්දුවක් ලබා දුන්නා.
 
කෙටියෙන්ම කිවහොත් වතිකානුවේ හිටපු පාප් වහන්සේ පවා "පුද්ගලයෙකු LGBTIQ වීම හේතු කොටගෙන අපරාධකරණයට පත් නොකළ යුතු බව" පැවසුවා.

මෙම නඩු තීන්දුවේ සාරාංශය සිංහලෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පළ කළ විස්තරාත්මක නඩු තීන්දුව ලින්ක් පහලින් දක්වා තිබෙනවා.

2023 නඩු තීන්දුවේ සාරාංශය (සිංහල) 
2023 සවිස්තරාත්මක නඩු තීන්දුව 

 
තවද හාස්‍යජනක දේ වන්නේ මේ නීති පනවන ලද බ්‍රිතාන්‍ය ඒවා අයින් කර ගන්නේ නැත්නම් නිර්-සාපරාදීකරණය කරන්නේ 1967දී. නමුත් ශත වර්ෂයකට වඩා ඉපැරණි යටත් විජිත බ්‍රිතාන්‍ය නීති අපි තවමත් අපේ කියමින් ඉන්නවා.


:  එහෙනම් කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු කියන්නේ මේ මොනවාද?
 
බෞද්ධාගමට තර්ජනයක් ඇති බව කාදිනල් මේ පවසන්නේ පළමු වතාවට නොවේ. මීට පෙර ද විවිධ දේශපාලනික වුවමනාවන් මත මැතිවරණ සමයන්වලදී  පවා මෙවැනිම ආකාරයේ ප්‍රකාශ අවුරුදු ගණනාවකට පෙර නිකුත් කර තිබෙනවා.

මෙම කාරණයේදී සමලිංගිකත්වය සහ බෞද්ධ දර්ශනය පිලිබඳ කතා කිරීමට සුදුසුම පුද්ගලයා කතෝලික කාදිනල් මැල්කම් රංජිත් ද යන්න ප්‍රශ්නයක්. විවිධ අවස්තාවන්වලදී අස්ගිරිය පාර්ශවයේ ස්වාමීන් වහන්සේ ඇතුළු විවිධ සංඝයා වහන්සේලා විසින් සමලිංගිකත්වය පිලිබඳ විවිධ අදහස් දක්වා ඇති අතර බෞද්ධ දර්ශනය තුළ 'ගිහියන්ට' මොනයම් ආකාරයේ ලිංගික ක්‍රියා තහනම් කර නැති බවත්, බෞද්ධ දර්ශනය 'නීති පනවන' දර්ශනයක් නොවන බවත්, මනුෂ්‍යත්වය, සහකම්පනය, පුද්ගල ගරුත්වය පිලිබඳ බෞද්ධ දර්ශනය තුළ පෙන්වා දෙන බවත් සදහන් කර තිබෙනවා.


:  ඉතින් ඇයි කාදිනල්ට බෞද්ධයෝ ආපහු එකපාරම මතක් වුණේ?
 
කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු පක්ෂ දේශපාලනයේ යෙදෙන බව කතෝලික සභාවේ ගිහියන් සහ පැවිද්දන් ද පවසන කරුණක්. එය නොරහසක් බව කාදිනල් මැල්කම් රංජිත්ගේ අතීත මෙන්ම වර්තමාන ප්‍රකාශ සහ ක්‍රියා කලාපවල ද පැහැදිලිවම පෙනෙන්නට තිබෙන දෙයක්. මරණ දඬුවමට පක්ෂ බව වරක් කාදිනල් මැල්කම් රංජිත් පැවසුවද ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය එයට අතිශය ප්‍රතිවිරුද්ධ මතයක් දරමින් එම සම්මේලනය මරණ දඬුවට පක්ෂ නොවන බව පවසා තිබෙනවා.

මේ ආකාරයේ බොහෝ පරස්පර විරෝධී මත කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු හා ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අතර සිදුව තිබෙනවා. කාදිනල් මැල්කම් රංජිත්ගේ ප්‍රකාශ හුදෙක් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පමණක් නොව වතිකානුවේ ද අදහස් නොවන බව නොයෙක් අවස්තාවන්වලදී ද ඔප්පු වී තිබෙනවා.

තම 'නිලය' භාවිතා කරමින් මෙසේ බොරු කියමින් මිනිසුන් ඇවිස්සීමට කාදිනල් මැල්කම් රංජිත්ට ඇති අයිතිය කුමක්ද? තමන්ට අවශ්‍ය වෙලාවට බහුතර බෞද්ධ අනුගාමිකයින් සහ පැවිද්දන් අවුස්සා කුපිත කිරීමට උන්වහන්සේට ඇති අයිතිය කුමක් ද?

 මතයක් දැරීමේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය මේ රටේ සියලු පුරවැසියන්ට මෙන්ම කාදිනල් මැල්කම් රංජිත්ට හිමියි. එනමුත් බොරු වපුරා, විවිධ ජන කොටස් කුපිත කරමින්, ඔවුන් යොදවා වෙනත් විවිධ ජන කොටස්වලට එරෙහිව යාමට පෙළඹවීමට ප්‍රජාතාන්ත්‍රික අයිතියක් ශ්‍රී ලංකාව තුළ නොමැති බව 'නීතිමයව' මතක් කළ යුතුව ඇත.

කාදිනල් මැල්කම් රංජිත්ගේ දේශපාලන ගේම්වලින් පීඩිතභාවයට පත් වෙන්නේ අසරණ මිනිසුන් බව සහ එය ක්‍රිස්තු ධර්මය අනුව ද, එතරම් 'මානුෂීය' නොමැති බව ද මතක් කළ යුතුමය.

කාදිනල් මැල්කම් රංජිත්! බෞද්ධ දර්ශනය තුළ දෙවියන්ගේ නීති නැත!

(සටහන | ඩෙනී)

උපුටා ගැනීම - Denver Mark ගේ ෆේස්බුක් පිටුවෙන්...

2025 අගෝස්තු 15
 

 

whatsapp 202507155