මේ දිනවල කාදිනල්තුමා සිටින්නේ ඉමහත් කනස්සල්ලෙනි. ඒ, සමරිසි ප්‍රජාව කෙරෙහි සමාජය මෙතෙක් දරමින් සිටි ආකල්ප වෙනස් වී, ඔවුන් ද මේ සමාජයේ ම මිනිස් කොට්ඨාසයක් ලෙස පිළිගන්නට තරම් (ඉඳ හිට කෙනකු දෙන්නකු හැර) සමාජය දියුණූ වීම සම්බන්ධයෙනි.
පුද්ගලයකු සමරිසි භාවයට හෝ තවකෙකු ස්ත්‍රි පුරුෂ ලිංගිකත්වයට හෝ නැඹුරු වන්නේ ඔවුනොවුන්ගේ ශරීරයේ පිහිටි හෝමෝන ක්‍රියාකාරිත්වය මත ය යන්න වටහාගැනිමට තරම් ඥානයක් කාදිනල්තුමාට නොමැති වීම පිළිබඳ අපිට ඇත්තේ ගැටලුවකි.
ඒ ගැටලු එසේ තිබිය දී වුව ද කාදිනල් තුමා වෙත ඉතා සංවේදී ලිපියක් ලියන්නට රංගන ශිල්පියකු මෙන් ම නීතිවේදියකු වන කෞශාල් රණසිංහ ඉදිරිපත් වීම අගය කළ යුතු කටයුත්තකි.
මතු පළ වන්නේ නීතිවේදෟ කෞශාල් රණසිංහ කාදිනල්තුමා වෙත ඉදිරිපත් කළ ලිපිය යි. මෙම ලිපිය කියවීමෙන් අනතුරුව හෝ කාදිනල්තුමාගේ නැණ පහළ වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.
කාදිනල් පටබැඳිගේ දොන් මැල්කම් රංජිත් අගරදගුරු නිවස,
කොළඹ - 8,
ශ්‍රී ලංකාව.
15/08/2025.
කාදිනල් තුමනි,
ජේසුස් වහන්සේගේ ප්‍රේමය ලංකාවේ සමරිසි/ සංක්‍රාන්තික මිනිසුන්ටද හිමි වේවා!
දෙවියන්වහන්සේගේ ප්‍රේමය සමාජයේ පිඩාවට පත් වූ සමරිසි සහ සංක්‍රාන්තික මිනිසුන්ටද හිමි වේවා!
ඊයේ දිනයේ මා ඔබවහන්සේ කියූ සමලිංගික සහ සංක්‍රාන්තික මිනිසුන් අරබයා සිදු කළ කතාව දුටුවෙමි. එහි අවසන් වාක්‍ය මුල් කරගෙන මා ලිපිය ආදරයෙන් ආරම්භ කරන්නම්!
"අපි සංක්‍රාන්තික ලිංගික අවශ්‍යතා ඇති දරුවෙක් සිටිනවා නම් ඔවුන්ට හිරිහැර කිරීම සිදු නොකළ යුතුයි!" ඔබවහන්සේගේම මේ වචන වල තිබෙනවා ඔවුන්ට සමාජයේ වෙන හිරිහැරයක් පිළිබදව, ඔව් කාදිනල්තුමා ඔබ ඒ වචන වලදී නිවැරදි, සමාජයේ සංක්‍රාන්තික මිනිස්සු ඉපදෙනවා, ඔවුන් ඉපදෙන්නේ දෙවියන්වහන්සේගේ කැමත්තටද. කර්ම විපාකයක්ද, එසේත් නොමැති නම් ස්භාවධර්මය නිර්මාණය කළාද යන්න මා නොදනමි.
නමුත් සංක්‍රාන්තික මිනිසුන් මේ ලෝකය තුල ජිවත් වනවා, ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජ අනන්‍යතාවයමත කායිකව සහ මානසිකව පිඩාවට පත්වන වාර අනන්තය. නමුත් ඔවුන්ගේ පිඩාව සමාජයට විහිළුවක්, හිනාවක් බවට පත්ව ඇත. ඒ වෙනුවෙන් දෙවියන්වහන්ස්ගේ ප්‍රේමයවත්, පීඩිතයන් වෙනුවෙන් සටන් කළ ජේසුස් වහන්සේගේ දායවවත් හිමිවන්නේ නැද්ද යන්න මා පියතුමාගෙන් ආදරයෙන් අසන්නෙමි!
කාදිනල් පියතුමනි, මා ඔබගේ කතාව අසන විට ඔබවහන්සේ "සමරිසි මිනිසුන් සහ සංක්‍රාන්තික මිනිසුන් පටලාගෙන" සිටින බවත්, පෙර පැවති දෙවමෙහෙයක පැවසු පරිදි "සමරිසි මිනිස්සුන්ට මානව හිමිකම් අවශ්‍ය නැති" බවක් ඔබගේ මතය වී ඇති බව මට වැටහුණ කරුණක්.
මා ඔබට කතාවක් කියන්නම්, මා හදුනා ගන්නේ "සමරිසි" වෙනත් වචන වලින් කිව්වොත් "සමලිංගික පිරිමි" අයෙක් විදිහටයි. මා උපන්නේ පිරිමි අයෙක් ලෙසයි, මගේ පිරිමි බවේ අඩුවක්වත්, පිරිමි බවට අකමැති බවක් වත් නොදැනේ. නමුත් අන් දරුවන් මෙන් මම ද වැඩිවියට පා තබද්දී, හිරිමල් ආදරය දැනෙන වයස එද්දී මට විරුද්ධ ලිංගිකයන් දැනුනේ නැහැ. මා හිතුවේ මට මානසික රෝගයක් කියලා, නැතිනම් හෝමෝන ගැටළුවක් කියලා. නමුත් මගේ ආකර්ෂණය තවත් පිරිමි ළමයෙකුට දැනෙද්දී මා තවත් බිය වුනා. මට අවශ්‍ය වුනා මා වෙනස් කරගන්න. ලෝකයම තහනම් කරපු, නමුත් ලංකාවේ 20210 වසරේදීත් කරගෙන ගිය පරිවර්තන චිකිත්සා වලට මා යොමුවුනා. නමුත් වාර කිහිපයක දී මා පරිවර්තනයෙන් වලපල්ලට ගෙන යන බව දැනගෙන මා ඉන් ඉවත් වුනා.
නමුත් පියතුමනි ඔබවහන්සේගේ ආගමික සංස්ථාව තුල තවමත් පරිවර්තන චිකිත්සාව දෙවියන්වහන්ස්ගේ නාමයෙන් කරගෙන යනවා. සමලිංගික දරුවන් දේව ප්‍රේමය හෝ දෙමව්පිය ප්‍රේමය හෝ අසල්වැසි ප්‍රේමය ද නොලබා දිවි තොර කරගන්නවා. මිය ගිය ඔවුන්ටද, මනසින් ද ආදරෙන්ද මිය යමින් සිටින සමරිසි දරුවන්ට දේව ප්‍රේමය හිමිවේවා!

අප උපන්නේ ඒ ලිංගික දිශානතිය, එහෙමත් නැතිනම් තමන්ගේම ලිංගික අනන්‍යතාවය සහිත අයෙකුට ආධ්‍යාත්මික ආකර්ෂණය සහ කායික ආකර්ෂණය පවත්වන සමරිසි බවක නම්, ඒ උපතින් ලද දිශානතිය මත වසර 10කට සිරගෙදරට යන්න නීති අසාධාරණ ලෙස සකසා තිබෙනවා නම් එයට එරෙහිව සටන් කිරීම වරදක් වන්නේ කෙසේද? අප ඉල්ලන්නේ විවහා වන්න නොව නිදහසේ ජිවත් වීමේ අයිතියයි. අපගේ ඒ අයිතියට ජේසුස් වහන්සේගේ දයාව හිමිවේවා!
ඔබවහන්සේ දන්නවාද... ආකර්ශනයක් නැති මිනිස් ආත්ම දෙකක් එකට බන්ධනය කර පවුලක් තනන්නට කිව්වාට සැබෑ පවුලක් නොතැනෙන බව? අද තමන්ගේ ලිංගික දිශානතිය වුන සමරිසි බව සමාජ පීඩනය, දෙමාපිය නම්බුව, ආගම් වල කියන ස්භාවකත්වය සහ වර්ගයා බෝ කිරීම හංගාගෙන, විෂමලිංගික පවුල් සැකසීම වෙනුවෙන් කසාද බන්ධනයට ලක් වන මිනිස්සු මත බන්ධනය මත ආදරය සොයන ගැහැනුන් ද, මිනිසුන්ද ලෝකයට ගෙන දරුවන්ද අසරණ වන බව ඔබවහන්සේට නොපෙනේද?
එක කාන්තාවක් මට වරක කතා කල පැවසුවේ තම ස්වාමිපුරුෂයා සමලිංගික වීම නිසා ඇයට පතිනියක් ලෙස බලාපොරොත්තු වන ආදරයවත් රාගයවත් වසර පහලවක් තිස්සේ නොලැබුනු බවයි. ඇය මගෙන් ඇසුවා ඇයි ඒ මනුස්සයා ඇත්ත නොකිව්වේ කියා... ඇත්ත කියන්නේ කොහොමද? මිනිසුන් මේ "සමලිංගික හෝ විෂමලිංගිකත්වය ස්භාවිකව උපතින් එන දෙයක් මිස තෝරාගැනීමක් නොවන බව තේරුම් ගන්නා තාක්!"
අනේ කිසිවක් නොදැන ජිවත්වන ඔවුන්ට දෙවියන්වහන්සේගේ දයාව හිමිවේවා!

ඇලන් ටියුරින්සමලිංගිකත්වය යනු ජාන විකෘතියක්, මානසික රෝගයක් හෝ හෝමෝන අසමබරතාවයක් නොවන බව විද්‍යාව තහවුරු කරද්දීත්, අපට ප්‍රතිකාර වලට යන්නට කීම, සමරිසි දරුවන් ප්‍රතිකාර වලට බලහත්කාරයෙන් යොමු කිරීම කෙතරම් සාධාරණද? ඔබවහන්සේට මා මේ ලිපිය ලිවීමට භාවිතා කරන පරිඝනකයේ පියා වුයේ විද්‍යාඥ ඇලන් ටියුරින්ය. ඔහු සමරිසි අයෙක් වීම නිසා එවකට බලහත්කාරයෙන් ඔහුට හෝමෝන ප්‍රතිකාර ලබා දී අවසානයේ ඔහුගේ ජීවිතය තොරකරගන්නා තැනට පත් කරවිය. සමරිසි අපගේ ජිවිතයේ වටිනාකමින් මනුෂත්වයට ප්‍රයෝජන නොගෙන මානසික මරණයට තල්ලු කිරීම ජේසුස් වහන්සේ අනුමත කරන්නේදැයි දිව්‍ය නියෝජිත ඔබගෙන් මා ඇසීමට කැමතිය?
පියතුමනි, මම දැන් ඔබට පැහැදිලි කරන්නම් සංක්‍රාන්තික මිනිසුන් යන්න කවුද කියා! ඔවුන් සමලිංගික මිනිසුන් නොවේ, ඔවුන්ගේ මනස කාන්තාවක් වෙද්දී, ශරීරය පිරිමියෙක් වෙලා. ඔවුන්ට අර්බුදය ඇත්තේ "ජෙන්ඩර් ඩිස්පොරියා" යන මානසික තත්වයේ. ඉතින් වෛද්‍ය විද්‍යාවට අනුව වසර ගණනාවක් සෞඛ්‍ය සායන වල පිහිට මත මනසට අයිතිය ශරීරය ලබාගන්නට ඔවුන්ට හැකි ව තම අනන්‍යතාවය වෙනස් කරගන්න නීති ලංකාවේ ස්ථාපිත වුනේ 2016 වසරේදී.
නමුත් වසර 10ක් ගතවූ පසු ඔබවහන්සේ ද බෞද්ධ භික්ෂුන් හට එයට එරෙහි වෛරයේ අවි අතට ගන්නට කීමට ඇත්තේ කුමන පදනමක්ද යන්න මට සිතා ගත නොහැකිය!
ගැහැණු ලාස්‍ය සහිත පිරිමියෙක්, පිරිමි ලාස්‍ය සහිත ගැහැනියක් පාරේ යද්දී කවදාවත් නොදැකපු, නොහදුන මිනිසෙක් ඔවුන්ට කායිකව, වාචිකව හිංසා කරද්දී මට අසන්නට ඇත්තේ දෙවියන්වහන්ස්ගේ කුමන පරික්ශාවකටද ඔවුන්ට මේ මුහුණ දීමට ඇත්තේ?
ලෝකයේ ඉන්නේ ස්ත්‍රීන් ද පුරුෂයන්ද පමණක් නොවේ! වෙනත් අනන්‍යතා ඇති මිනිසුන් උපදිනවා. “මන්ද ඇත නපුංසකයන් උත්පත්තින්ම එසේ වූ, ඇත නපුංසකයන් මනුෂ්‍යයන්ගෙන් නපුංසක කළ, ඇත නපුංසකයන් ස්වර්ග රාජ්‍යය පිණිස තමන්වම නපුංසක කළ. මේක පිළිගන්න හැකි අය පිළිගනියි.” (මැතෙව් 19:12) ඉතින් ඔවුන්ට ද දේව ප්‍රේමය හිමිවේවා!

කාදිනල් පියතුමනි අවසන් ලෙස, ඔබගේ වචන අවියක් කරගෙන අපි වැනි සමරිසි මිනිසුන් හටත්, සමාජයේ ජිවත්වන සංක්‍රාන්තික ලිංගික මිනිසුන් හට හිංසා කිරීමට පසුබිම හදන විට, අපේ ජිවත් වීමේ, ආදරය කිරීමේ සහ ගෞරවයෙන් හුස්ම ගැනීමේ අයිතීන් කාප්පාදු කිරීමේදී ජේසුස් වහන්ස්ගේ ප්‍රේමය අපට හිමිවේවා. ඔබගේ වචන වල බරපතල බව ඔබටද වැටහේවා!
ආදරයෙන්,
ඔබේ අසල්වැසියෙක් වූ සමලිංගික මනුෂ්‍යයෙක් සහ මානව හිමිකම් වෙනුවෙන් හඬනගන්නෙක්
| නීතිවේදී කෞශාල් රණසිංහ
සබැඳි ලිපියක් :
සමලිංගිකත්වය : කාදිනල් හිමිගේ අනාවරණයේ ඇත්ත නැත්ත ?


