‘‘අතීත කාමය එක් පසෙකින් ඉතා සුන්දර ය; ඉතා මිහිරි ය. තවත් පසෙකින් දොම්නස් සහගත ය; කර්කශ ය. ඇතැම් අතීතකාමී සිතුවිලි මුවට සිනහ නංවන අතර ඇතැම් අතිතකාමී සිතුවිලි දෙනෙතට කඳුළු නංවයි.

ඕනෑම පුද්ගලයකුගේ අතීත කතා තුළ මේ සියලු පාර්ශ්ව අඩු වැඩි වශයෙන් අන්තර්ගත ය.’’

මේ කොටස මෙම වෙබ් අඩවියට ම මා විසින් ලියන ලද්දේ 2023/08/06 දින ය; ඒ වෙනත් ලිපියක් වෙනුවෙනි. අද දින ද මෙම කොටස යළි උපුටා දක්වන්නේ කුමුදු කුමාරසිංහ විසින් රචිත ‘‘කොළඹ මතක’’ කෘතිය පිළිබඳ යමක් ලිවීමේ ඇරඹුමක් ලෙසිනි.


යට දැක්වූ ආකාරයට ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල නියැළී කටයුතු කළ පුද්ගලයෝ පසු කලෙක දී තම අත් දැකීම් චරිතාපදාන (අන් පුද්ගලයෙකු ලවා රචනා කර) ලෙස ද ස්වයං ලිඛිත චරිතාපදාන (තමා විසින් ම රචනා කරන ලදුව) ලෙස ද සමාජ ගතකළහ. කුමුදු ‘‘කොළඹ මතක’’ පාඨක ප්‍රජාව හමුවට රැගෙන එන්නේ ද ස්වයං ලිඛිත චරිතාපදානයක් ලෙසිනි. නමුදු එහි අප මෙතෙක් කියවූ ස්වං ලිඛිත චරිතාපදානවලට වඩා වෙනසක් මෙන් ම නවමු බවක් අන්තර්ගත ය. ඒ, ප්‍රධාන කරුණු ද්විත්වයක් හේතුවෙනි.

රචනා රටාවේ නවතාව

පළමු විශේෂත්වය ලෙස මා දකින්නේ කුමුදුගේ රචනා රටාව ය. එය සම්මත රචනා රටාව අභියෝගයට ලක් කරන රචනා රටාවක් ලෙස හැඳින්වුව ද වැරැදි නොවේ. ඇගේ රචනා රටාව බොහෝ දුරට අජිත් තිලකසේන විසින් හඳුන්වා දුන් සහ සමාජගත කිරීමට තවමත් යත්න දරමින් සිටින ‘මැදිවහර’ට යම් තරමකට නෑකම් කියන බවක් හැඟේ. නමුදු එය මැදිවහරත් නොවේ. එනම් ඇගේ ලේඛන රටාව නව්‍ය ලේඛන රටාවකි. එසේ වුව ද ඇය පවසන දෑ වටහා ගැනීම කිසිවකුට අපහසු නොවේ. ඉදින් ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියක් නොවන ‘‘කොළඹ මතක’’ සඳහා එබඳු ලේඛන රටාවක් උපස්තම්භක කරගැනී ම නවමු පියවරකි. එසේ වුව ද සමස්ත සාහිත්‍යකරණය ම මේ අන්දමින් ලිවිය යුතු යැයි මම මෙයින් අදහස් නොකරමි. මන් ද සාහිත්‍ය යනු විවිධ රස භාවයෙන් යුතු විෂයක් විය යුතු ම ය. එකී රසභාව මතුකරගත හැකිවන්නේ එහි නියැළෙන පුද්ගලයාගේ රුචිකත්වය සහ හැකියාව අනුව ය; එය කියවා රස විදිය හැකි වන්නේ ද එකී විවිධ ලේඛන රටා කියවාගන්නා පුද්ගලයාගේ රසභාව අනුව ය.

යට කී කරුණු සලකා බැලූ විට කුමුදු ‘‘කොළඹ මතක’’ ලියා ඇති ලේඛන රටාව කිසිදු ආකාරයකින් කියවා වටහා ගැනීමේ නොහැකියාවක් හෝ ඇය පවසන දෑ වටහා ගැනීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.

කිසියම් පුද්ගලයෙක් කුමුදුගේ ‘‘කොළඹ මතක’’ කෘතියේ ලේඛන රටාව පිළිබඳ විවේචනයක් ඉදිරිපත් කරන්නේ නම් මා එම පුද්ගලයාට හෝ කණ්ඩායමට එක් කරුණක් පැහැදිලි කළ යුතු යි. එනම් භාෂාවේ ශුද්ධ භාවය පිළිබඳ දැඩි ලෙස පෙනී සිටි සහ ඒ සම්බන්ධයෙන් විවිධ කෘති සම්පාදනය කළ මහාචාර්ය සුචරිත ගම්ලත් 1980 වසරේ දී රචිත ‘‘නාට්‍ය ප්‍රවේශය’’ කෘතිය ‘‘කතා කරන භාෂාවෙන්’’ ලියා ඇති බවයි. සිංහල භාෂාවට ඉතාමත් ආදරය කළ, ඒ සම්බන්ධයෙන් දැඩි මතයක එල්බ සිටි ඔහු අදාළ කෘතිය ‘‘කතා කරන භාෂාවෙන්’’ පළ කළේ ඇයි ද යන්න එදා මතු නොව මෙදා ද කිසිවකු නොවිමසන්නේ ඇයි...?

ඒ සඳහා කිසිවකු මෙවන් තර්කයක් ගොඩනැගිය හැකි ය. එනම් ‘‘ඔහු භාෂාවේ රටාව වෙනසකට බඳුන් කළේ භාෂාව හරි හැටි දැනගෙන’’ යනුවෙනි. එයින් අදහස් කෙරෙන්නේ කුමක් ද...? කපුවා කෝවිල ඉදිරිපිට මලපහ කළාට ගැටලුවක් නැහැ යන අදහස නොවේ ද...? සංඝයා වන්සේගේ අකටයුතු ක්‍රියා ප්‍රශ්න කිරීමට ගිහියන්ට අයිතියක් නැහැ බඳු අදහසක් නොවේ ද...?

යට කී කරුණු සලකා බලන විට කුමුදුගේ ලේඛන රටාව පිළිබඳ යම් යම් පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට ගැටලු තිබුණ ද මට පුද්ගලිකව එය කිසිදු බාහිර බලපෑමක් නොකළ බව මෙහි දී සඳහන් කළ යුතු ය; කෘතියේ අන්තර්ගතය කියවා ගැනීමට එකී ලේඛන රටාව කිසිදු බාධාවක් නොවු බව ද පැවසිය යුතු ය. ඇතැම් විට ඒ, මා ද මගේ ප්‍රබන්ධකරණ සඳහා එකම ප්‍රබන්ධයක වුව කථන සහ ලිඛිත ලේඛන වහර යොදාගන්නා බැවින් විය හැකි ය. මා ද එසේ කරන්නේ ලේඛන රටාවේ වෙනසක් කළ යුතු බැවිනි. එහි දී එක් පසෙකින් කුමුදු මටත් වඩා ඉදිරියෙන් සිටින බව මගේ පුද්ගලික හැඟීම ය. මන් ද මා ලේඛන රටාවේ වෙනසක් සහිතව කටයුතු කරන්නේ සිංහල භාෂාවේ රිති අනුගමනය කරමින්, එය පිළිගන්නා අතර ය. නමුදු කුමුදු මේ කිසිවක් ඒ ආකාරයෙන් නොතකා තම ලියවිල්ල නිදහසේ ම ඉදිරිපත් කරන්නී ය. එය කියවන ප්‍රජාවට ද නවමු අත්දැකීමකි.

මතක කැබලි

co kk.jpg‘‘කොළඹ මතක’’ කෘතියේ මා දකින දෙවන විශේෂත්වය වන්නේ කතුවරිය සිය මතක ඉදිරිපත් කිරීමේ දී ඒවායේ මුල, මැද අග වශයෙන් පිළිවෙළකට ඉදිරිපත් නොකිරීම ය. තවත් සරලව පවසන්නේ නම් ඇය ඉදිරිපත් කරන්නී ‘මතක කැබලි’ (Pieces of memory) ලෙසින් වීම ය; ඇය සිය මතක කැබලි ඉදිරිපත් කරන්නී ඇයට මතකයට එන පිළිවෙළට මිස එය පිළිවෙළට පෙළ ගස්වමින් නොවීම ය. නමුදු මෙහි දී ඇතැම් සිද්ධි එක් වතාවකට වඩා ලියැවුණ අවස්ථා ද පවතී. ඇතැම් විට එක ම වාක්‍ය එක ම ආකාරයට කිහිප පළක ම ලියවි තිබේ. කෘතිය මුද්‍රණය කිරීමට පෙර එය කල්පනාවෙන් කියවා තෝරා බේරාගත හැකි සංස්කාරකවරයකු හෝ සංස්කාරකවරියක අතට පත් කළේ නම් මේ දුර්වලතාව මගහරවා ගැනීමට ඉඩ තිබිණ. ඒ හැර ඇගේ මතක කැබලි තැන තැන විසිර තිබීම කෘතියේ රස උකහා ගැනීමට බාධා නොපමුණුවන බව මගේ හැඟීම ය.

කොළඹ ද ගමකි...

ගම සුන්දර යැයි පැවසුව ද සැබැවින් ම නම් ඒ පවසන තරමට ම ගම සුන්දර නැත. එමෙන් ම ‘‘කොළඹ මතක’’ කියැවීමෙන් ඉක්බිතිව හැඟී ගියේ කොළඹ යනු හැත්තෑව දශකයේ අර්ධයකටත් වඩා වැඩි කාලයක් වනතුරු ම ගමක් ලෙස ම පැවති බවයි. තවත් සරලව ම පවසන්නේ නම් ජේ. ආර්. ජයවර්ධන විසින් හඳුන්වා දෙනු ලැබූ විවෘත ආර්ථිකය පැමිණෙන තෙක් ම කොළඹ (කුමුදු විසූ) ගමක් ලෙස පැවති බවයි.

තුෂාරි අබේසේකර විසින් රචිත ‘‘නොනිවී ඇවිළුණෙමි’’ කෘතිය කියැවීමන් ඉක්බිතිව ද මට මෙබඳු ගැටලුවක් පැන නැගිණ. අනතුරුව ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී මා ඇගෙන් මේ පිළිබඳව විමසී ය. ඇගේ පිළිවදනට අනුව ඇය සිය කෘතිය සඳහා පාදක කරගත් චරිතය සැබෑ චරිතයකි. ඒ ඇතැම් සිද්ධි ද සැබෑ ම සිද්ධි ය. එබැවින් ම කුමුදුගේ කෘතිය තුළ අන්තර්ගත චරිත කොළඹ නවය සහ දහය යන පෙදෙස්වල වෙසෙන්නට ඇතැයි යන්න මෙන් ම අදාළ සිද්ධි සිදුවන්නට ඇතැයි අරුමයක් නොවේ. තවත් සරලව පවසන්නේ නම් කුමුදුගේ ජීවන අත්දැකීම්වලට සාපේක්ෂව කොළඹ යනු එක් පසෙකින් ගමකි; මම, ඔබ අපි සැවොම ‘ගම’ යැයි හඳුන්වන ගමටත් වඩා ගමකි.

මා එසේ පවසන්නේ මගේ ජීවන අත් දැකීම් සමග සංසන්දනය කිරීමෙනි. මන්ද මා කොළඹ ඉපදුණ ද ජීවිතයේ මට වයස අවුරදු තුනේ දි හෝ හතරේ දී පමණ කොළඹින් නික්ම පහළොස් වසරකට වැඩි කාලයක් හැදී වැඩෙන්නේ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ය. එසේ වුව ද මට වඩා අට වසරකට පසුව උපන් කුමුදු ලබන්නේ ද මා ලද අත්දැකීම් හා සමපාත අත්දැකීම් ය.

කෘතිය කියවීමේ දී එය එසේ සිදුවූයේ කෙසේ ද යන්න ඇතැම් අවස්ථාවල දී මට උභතෝකෝටිකයකි. මන් ද මා යළි කොළඹට සංක්‍රමණය වන්නේ 1983 වසරේ සැපැතැම්බර් මාසයේ දී ය. ඒ, ගංගොඩවිල විජයරාම පෙදෙසට ය. ඒ වකවානුවේ දී එම ප්‍රදේශ පවා කුමුදු පවසන තරමේ ග්‍රාමියත්වයක් දක්නට නොලැබිණ. එසේ වුව ද කොළඹ කේන්ද්‍රීය වූ මරදාන, දෙමටගොඩ සහ බොරැල්ල යන ප්‍රදේශ එතරම් කර්කශ තත්ත්වයක පැවතියේ ද යන්න විශ්වාස කළ නොහැකි තරම් ය. නමුදු යථාර්ථය එය යි.

කතුවරියගේ අත්දැකීම් පාඨක අත් දැකීම් බවට පත්වීම


කතුවරිය සිය අත්දැකීම් පාඨක ප්‍රජාව හමුවේ තබන්නී තම පවුලේ වටපිටාවට පමණක් සීමා නොකරමිනි. ඇය, ඇය වටා සිටි බොහෝ චරිත සහ සිද්ධි තම ග්‍රහණයට නතු කරගන්නී ය. ඒ සියලු චරිත සහ සිද්ධි දියුණු යැයි පවසන ජන කොට්ඨාසයක් වෙසෙතැයි බොහෝ දෙනා විශ්වාස කළ සහ කරන ‘‘කොළඹ’’ සිටියා ද යන්න පවා අදහාගත නොහැකි ය. මන්ද යට සඳහන් කළ පරිදි මා පහළොස් වසරක් පමණ ජීවත් වූ දකුණේ ද මේ සිද්ධි අත් දැක ඇත; මෙබදු චරිත අනන්ත අප්‍රමාණව සම්මුඛ වී ඇත; ඔවුන් සමග වාසය කර ඇත. ඉදින් කෘතිය පුරා මට හැඟුණේ ඒ අත්දැකීම් යනු කුමුදුගේ අත් දැකීම් නොව මගේ අත්දැකීම් ලෙසිනි.

ලෝකය ම එක යායකි

මා රූපවාහිනි නාලිකවක සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වූ අවස්ථාවක දී වැඩ සටහන ඉදිරිපත් කරන්නිය ප්‍රබන්ධකරණයේ දී පාදක කරගන්නා චරිත පිළිබඳ මගෙන් විමසුවා ය. ඒ අවස්ථාවේ දී මා ඊට ලබාදුන් පිළිතුර වූයේ: භාෂාව සහ සංස්කෘතිය හැරුනු විට ලෝකයේ වෙසෙන සියලු මිනිසුන්ගේ ජීවන රටා සමපාතය යන්න ය. එවිට අප නොදන්නා රටක වුව ද අපේ රටේ සිදු වු සිදුවීමක් හා සමපාත සිදුවීමක් හෝ කිහිපයක් සිදුවිය හැකි බව ය. අප්‍රිකානු ලේඛකයකු වන න්ගුගි වා තියොන්ගො, චිනුවා අචිබි බඳු ලේඛකයන්ගේ කෘති ඊට සාක්ෂි දරයි.

img 20230908 0012කුමුදුගේ ලියවිල්ල සීමා වන්නේ කොළඹ කොටස් කිහිපයකට වුව ද මා කලින් කළ ප්‍රකාශය ලෝකයට ම වලංගු වන්නට ඇගේ ලියවිල්ල සාක්ෂි සපයන්නේ ය.

කුමුදු එක් තැනෙක මෙබඳු සටහනක් තබන්නී ය.

‘‘අපේ ගෙදර ඉඳල වත්ත පැත්තට වෙන්න අමුතු හැඩයෙ පොල් ගහක් තිබුණා. ඒකෙ කඳ උඩට ඉස්සිලා නෙමෙයි තිබුණෙ. පොළොවට සමාන්තරව යම් දුරක් ගිහින්, ඊට පස්සෙ තමයි අහස දිහාට දික්වෙලා තිබුණෙ.’’

පිටුව 45

මෙම සිද්ධිය මගේ ජීවිතයට ඉතාම සමීප ය. එක්තරා කාලසීමාවක මා අහංගම පෙදෙසේ පිහිටි මගේ තාත්තාගේ ලොකු අක්කාගේ නිවසේ විසී ය. එය විශාල වත්තකි. වත්ත ඉදිරියේ විශාල වෙල් යායකි. වෙල් යාය පිහිටියේ ඉඩමට වඩා පහත් බිමක ය. එම ඉඩමේ වෙල්යායට මායිම්ව කුමුදු විස්තර කරන ආකාරයේ ම පොල් ගසක් තිබිණ. කුමුදුගේ මතකය පවතින්නේ එම පොල්ගස දිගේ ඇගේ යහළුවන් බයිසිකල් පැදි ආකාරය යි. මගේ මතකයේ තිබෙන්නේ නැන්දාගේ බාල ම පුතා සමග මා එම පොල්ගස දිගේ ඇවිද ගොස් වෙලට පැන්න ආකාරය යි; මා සහ මල්ලී මාරුවෙන් මාරුවට එම ගසේ සෑහෙන දුරක් ඇවිද ගොස් යළි වේගයෙන් ආපසු දිව ආ ආකාරය යි. විශේෂයෙන් ම ගොයම් කපා පැගීමෙන් ඉක්බිති යළි වපුරණ තෙක් අප දෙදෙනාගේ රජදහන වූයේ මේ අපූරු පොල් ගස ය.

එමෙන් ම කුමුදු සටහන් කරන ආකාරයේ: පවුල් ආරවුල්, අනියම් යැයි සම්මත ස්ත්‍රී පුරුෂ සබඳතා, ඉඩම් ආරවුල්, හාමුදුවරු සහ ස්ත්‍රී සබඳතා, වැසිකිළි බාල්දි ඔසවාගෙන යන සක්කිලි යනුවෙන් හඳුන්වන මිනිස්සු යනාදි සියල්ලට සම්බන්ධ සියලු චරිත මා කුඩා අවදියේ දැක ඇත. වෙනසකට පවතින්නේ මත් කුඩුවලට සම්බන්ධ වු අය මුණ නොගැසීම ය. නමුදු බේබදු චරිත අනන්ත අප්‍රමාණව සම්මුඛ වී ඇත. මීට අමතරව විදෙස්ගත වූ කාන්තාවන් පිළිබඳ අත්දැකීම් ද මා සතුව නොපවතී. ඒ හැරුණ විට කුමුදු ‘‘කොළඹ මතක’’ කෘතියේ රැගෙන එන සිද්ධි සහ චරිත සියල්ල මට මගේ ජීවිතයේ දී ද, වෙසෙසින් ම දකුණේ දී සම්මුඛ වී ඇත.

ඉදින් එක් පසෙකින් මෙය මගේ මතක කැබලිවලට ද සමපාත ය. ඇතැම් විට මෙම කෘතිය කියවන බොහෝ අයගේ මතක කැබලිවලට ද සමපාත විය හැකි ය. ඒ අන් කිසිවක් නිසා නොව අපි පෘතග්ජනයෝ ම වන බැවිනි. එබැවින් මෙම කෘතිය කියවන හැම දෙනාගේ ම ජීවන අත්දැකීම් බිඳක් හෝ මෙහි අන්තර්ගතව ඇති බව මගේ විශ්වාසය යි. එය සාක්ෂාත් කරගැනීමට නම් ඔබ ද ‘‘කොළඹ මතක’’ කියවිය යුතු ම ය. අනිවාර්යයෙන් ම එය ඔබේ කතාව වනවා නිසැක ය. එහි කොතැනක හෝ ඔබ, එසේත් නොමැතිනම් ඔබ දන්නා කිසිවකු හෝ අනිවාර්යයෙන් සිටිනවා නිසැක ය. එනම් ‘‘කොළඹ මතක’’ යනු අපි සියලු දෙනාගේ ම මතකයෙන් බිඳක් හෝ වනු නොඅනුමාන ය. ඉදින් ඔබ ‘‘කොළඹ මතක’’ කියවිය යුතු ම වන්නේ එබැවිණ.


වජ්ජා'වජ්ජ අවසන් වුව ද..'අපලෝකන' එළඹෙන සිකුරාදා සිට - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/09/24


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්