සැප්තැම්බර් මාසය, සාහිත්‍ය මාසය ලෙස තීන්දු වුණේ කුමන හේතුවක් ද කියා මම නොදනිමි. සමහර විට ඊට නිශ්චිත හේතුවක් නැතුව එක් කලෙක කළ දෙයක් පසුව වාර්ෂිකව සමරනවා ද විය හැක.  

සාහිත්‍ය මාසය වඩා ඉස්මතු වන්නේ කොළඹ දින දහයක් පුරා පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය සහ අලෙවිය නිසා ය. විශේෂයෙන් පසු ගිය දශකයක වැනි කාලයක පොත් ප්‍රදර්ශනය කුමන හෝ හේතුවකට විශාල ජනකායක් කොළඹට ගෙන්වන ඇදහිය නොහැකි අලෙවි පිරිවැටුමක් වාර්තා කරන (ප්‍රකට ප්‍රකාශක ජනක ඉණිමංකඩ මා සමග කළ දෙබසක දී සනාථ කළේ මෙය රුපියල් මිලියන 1500 බව ය) ඉවෙන්ටුවක් බවට වර්ධනය විය.

මේ සැප්තැම්බරයේ අග පැවැත්වෙන මේ ප්‍රදර්ශනය  ගැන ජනතාව අතර උනන්දුවක් ජනිත වෙමින් තිබුණු මේ මස මුල් කාලයේදී, රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල මෙවර යම් ආකාරයකින් ඉස්මතු වුණේ, වෙනදාට වඩා තරමක් වෙනස් කරුණු හේතු කොට ගෙන දේ යී මට සිතේ. මෙවැනි උත්සව කෝවිඩ් සමයේදී සමයේ දී පවත්වන්නට නොහැකි වීම නිසා, එක්තරා ආකාරයකට මේ සම්මාන උළෙලවල් ගැන උනන්දුව ජනතාව අතර තුනී වී ගිය බවක් දක්නට ලැබිණ.

එවැනි සම්මාන උළෙලවල් ඇතත් නැතත් ජීවිතය ගලා යන මට්ටමක ඒ කටයුතු සාමාන්‍යකරණය විය. බොහෝ අයට මෙවැනි දේ තිබුණා ද තියා තියා අමතක වී ගොස් තිබිණ. එහෙත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල කෝවිඩ් නිසා පවත්වනට නොහැකි වුණේ 2020 පමණි.

sahithya 01

 රාජ්‍යය හා ආණ්ඩුව අතර සංකල්පීය හා ඔපරේශනලීය වෙනසක් ඇති බව සැබැවි. එහෙත් ප්‍රායෝගික ව මෙම සම්මාන උළෙල සංවිධානය කරන්නේ ආණ්ඩුවේ යාන්ත්‍රණ මගිනි. ප්‍රථම වරට සංස්කෘතික කටයුතු දෙපාර්තමේතමේන්තුවක් පිහිටවනු ලැබුවේ 1956 බලයට පැමිණි රජය විසිණි. යට කී දෙපාර්තමේන්තුවේ සටහන් හා මුලාශ්‍ර අනුව, එම රජය විසින් සිදු කරන ලද සුවිශේෂි කාර්යය වූයේ 1957 සැප්තැම්බර් 07 සහ 08 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි සිරි පැරකුම්බා පිරිවෙනේ දී රාජ්‍ය අනුග්‍රහය සහිත ප්‍රථම සාහිත්‍ය සම්මේලනය පැවැත්වීමයි. මෙම ඇරඹුමත් සමඟ සාහිත්‍ය උදෙසා  රාජ්‍ය සාහිත්‍ය සමිමාන ප්‍රදානෝත්සවයේ මූලාරම්භය සිදු වූ බවත් එහම මුලාශ්‍රවල කියැවේ. 


තව දුරටත් එහි කියැවෙන්නේ, ප්‍රථම වතාවට 1958 මුද්‍රිත කෘති වෙනුවෙන් 1959 දී විධිමත් ලෙස සාහිත්‍ය සම්මාන ප්‍රදානය කිරීම ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් උපදේශක මණ්ඩලයක උපදේශකත්වයෙන් සිදු වූ බව ය. මෙහි සභාපතිත්වය දරන ලද්දේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උප කුලපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි විසිනි.  

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ආරම්භ කිරීමට දායක වූ විද්වතුන් අතර අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මාහිමි , හේන්පිටගෙදර ඥානසීහ නාහිමි, සාලියාලේ සුමනතිස්ස හිමි, අමුණුගම රාජගුරු විපස්සි හිමි, වටද්දර ධම්මානන්ද හිමි, පණ්ඩිත වැලිවිටියේ සෝරත නාහිමි, පණ්ඩිත කෝදාගොඩ ඥානාලෝක නාහිමි, පණ්ඩිත කහඳාමෝදර පියරතන නාහිමි, කොටහේනේ පඤ්ඤාකිත්ති නාහිමි, බඹරැන්දේ සිරි සීවලි හිමි, සිරිමල්වත්තේ ආනන්ද හිමි, මැදඋයන්ගොඩ විමලකිත්ති හිමි, මොරටුවේ ශාසනරතන හිමි, කිරිඇල්ලේ ඥානවිමල හිමි, පූජ්‍ය වෙඬරුවේ අනෝමදස්සි හිමි, යන විද්වද් හිමිවරුන් ප්‍රමුඛ මහාචාර්ය සෙනරත් පරණවිතාන, සිංහල ශබ්දකෝෂයේ හිටපු කර්තෘ ජුලියස් ලැනරෝල්, ආචාර්ය එඩ්මන් පීරිස්, මහාචාර්ය කේ. කනපතිපිල්ලේ, ආචාර්ය ඩබ්.එස්. කරුණාරත්න, එච්.එස්. මොහොමඩ්, එම්.එස්. උවයිස්, මුදලි දු ඊ.ඒ. අබේසේකර, පුංචිබණ්ඩාර සන්නස්ගල, මාර්ටින් වික්‍රමසිංහ, ව්න්සන්ට් පණ්ඩිත, අහුන්ගල්ලේ කරුණාතිලක, ඩබ්ලියු.ඒ. සිල්වා, අමරදාස වීරසිංහ, ටී.බී. පෙරමුණේතිලක, නීතිඥ ජෝන් ද සිල්වා වැනි ගිහි පැවිදි පඩිවරුන් විය. පනස් හය රැල්ලේ පියා වූ, එවකට අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, එතුමන්ගේ නායකත්වයෙන් 1956දී පිහිටුවන ආණ්ඩුවේ සංස්කෘතික කටයුතු අමාත්‍ය ජයවීර කුරුප්පු, කෝට්ටේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොබට් ගුණවර්ධන යන දේශපාලඥයන් ද සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයක් ප්‍රථම වරට බිහිකිරීමේ අවස්ථාවට සුවිශේෂි දායකත්වය සපයා ඇති බව සඳහන් වේ.    

1536735140 Prisedet L                                  

වාර්ෂිකව ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා මේ වන විට සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සව වසර 65 ක් (කෝවිඩ් වසරේ හැර) පවත්වා ඇත.  සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම සාහිත්‍යකරණයේ නියුක්ත ව ජාතියේ අධ්‍යාත්මය සුපෝෂණය කරන ලේඛක ලේඛිකාවන්ට ගෞරව බහුමාන දක්වන අභිමානවත් උලෙළ ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සැළකේ. මේ සම්මාන අතර වඩා අවධානය යොමු වන ඉසව්වකි හොඳ ම නවකතාව. මුල් වසර කිහිපයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලද හොද ම නවකතා මෙසේ ය  : ගිනි සිසිල, පී. නිශ්ශංක (1959), මළ ගිය ඇත්තෝ, එදිරිවීර සරච්චන්ද්‍ර (1960), පෙත්සම, ලීල් ගුණසේකර (1961), ගොළු හදවත, කරුණාසේන ජයලත් (1962), චරිත තුනක්, කේ. ජයතිලක (1963) හා හෙවනැලි ඇද මිනිස්සු, සුනන්ද මහේන්ද්‍ර (1964).

2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 12 දින පැවැත්වුයේ නව ජනපති කෙනෙකු වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ජන්ද සටනේ නිරත ව සිටින විට ය. කුමන හෝ හේතුවකට ගෝඨාභය ජනපතිට රාජ්‍ය සාහිත්‍ය උළෙලකට ප්‍රධාන අමුත්තා ලෙස පැමිණීමට නොහැකි විය. 2020 වසරේ කෝවිඩ් වසංගතය නිසා රාජ්‍ය සාහිත්‍ය සම්මාන පැවතීම අත්හිටුවන ලද අතර 2021 වසරේ පැවැති එම උළෙලට ප්‍රධාන අමුත්තා ලෙස පැමිණියේ ජාතික උරුම ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ය.  

State Literary Awards 02

2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තම්බරයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 2023 උළෙල පැවැතියේ මෙයට සති දෙකකට පමණ පෙර, එනම් 14 වැනිදා මරදානේ එල්ෆින්ස්ටන් රඟහලේදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය. මෙම උත්සවය සාර්ථක කර ගැනීමට ඇමැති විදුර වික්‍රමනායක, අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහත්වරුන්ගෙන් ලැබූ මඟ පෙන්වීම උත්සවයේ වර්ණවත් භාවයට හේතු වූ බව මෙම උළෙලේ ප්‍රධාන සංවිධායක සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා යසින්තා ගුණවර්ධන මහත්මිය පැවැසු බව මාධ්‍යය වාර්තා කළේ ය. àààààà ຠààààààຠremovebg preview

විභවි සංස්කෘතික මධ්‍යස්ථානය මෙහෙය වූ සාහිත්‍ය සම්මාන උළෙල (එම ඇන්ජීයෝව වැසුණු පසු උළෙල නොකෙරිණ), විද්‍යෝදය සාහිත්‍ය සම්මාන, ගොඩගේ සාහිත්‍ය සම්මාන, ස්වර්ණ පද්ම සාහිත්‍ය සම්මාන, ස්වර්ණ පුස්තක, කවිතා සාහිත්‍ය සම්මාන හා රජත පුස්තක සම්මාන උළෙල, ආදිය තෙක් විවිධ වර්ගයේ සම්මාන රාජ්‍ය සාහිත්‍ය උළෙලට අමතර සිදු කරනු ලැබේ. එහෙත් රාජ්‍ය සම්මාන උළෙල කුමන හෝ හේතුවකට සම්මානලාභීන්ගේත් සාමාන්‍ය සාහිත්‍ය රසිකයින්ගෙත් වැඩි ගෞරවය හා අවධානය දිනා ගනී.

මා කලින් කී පරිදි මේ උළෙලේ සම්මාන උළෙල සංස්කෘතික විෂය භාර අමාත්‍යංශයේ හා ඒ යටතේ එන සංස්කෘතික දෙපාර්තමේතුවේ සංවිධානයෙන් හා මුලිකත්වයෙන් පැවැත් වේ. පැය විසි හතර තිස්සේ රාජ්‍ය විරෝධී හා ආණ්ඩු විරෝධී ප්‍රලාප මතුරන්නන් වුව ද දහදියෙන් පෙඟුණු ඒ  විරෝධතා කළු කමිස හා බ්ලවුස් හුලං වදින්නට වත්ත පහල වැලක එල්ලා, හොඳට මැදගත් කුරුතා හා සාරී හැඳ මරදානේ එල්පිනිස්ටනයට පියමං කිරීම සති දෙක තුනකට පෙර ද අපට දැක බලා ගන්නට හැකි වුණේ ඒ නිසා ය. සාමාන්‍යයෙන් රාජ්‍ය  සාහිත්‍ය සම්මාන උළෙලේ ප්‍රධාන අමුත්තා වන්නේ රාජ්‍ය නායකයා ය. නිතර දෙවේලේ තමන්ට පලු යන්නට බණින බහුතර සාහිත්‍යවේදීන් පිරිසකට සම්මාන දීමට ලැජ්ජාව හෝ බිය හෝ ඒ දෙක ම නිසා, රාජ්‍ය නායකයා එදින හවස මරදානට නෑවිත් කියුබාවට පළා ගියා ද විය හැක.  


Udan fernando
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

 

Anida

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්