‘‘කාව්‍යයක් අගය කළ යුත්තේ එහි පිළිබිඹු ව ඇති රසයට මුල් තැන දීමෙනි. ඒ සමඟ එම කාව්‍ය රීතිය ද අමතක කළ යුතු නො වේ.

සාහිත්ය ලිපි ගොන්නඑහෙත් කාව්‍යයක අලංකාරය ගැන සැලකිය යුත්තේ, රසයට හා රීතියට අනතුරු ව ය. //කාව්‍යං රසාත්මකං වාක්‍යම්// යනු විවරණය කළ යුත්තේ කාව්‍ය යනු රසය ආත්මය කොට ඇති වාක්‍යයක් යනුවෙනි. එ හෙයින් කාව්‍යයක ආත්මය වසයෙන් සැලකිය යුත්තේ එහි රසය යි. රීතිවාදින් රීතිය කවෙහි ආත්මය සේ සලකතත්, රීතිය කාව්‍යයක ශරීරය මෙන් පිළිගත යුතු ය. එහි ආත්මය රසය යි. අලංකාර එහි ආභරණ වශයෙන් සැලකිය යුතු ය.’’

-සාහිත්‍ය ලිපි ගොන්න: කේ. ඩී. පී. වික්‍රමසිංහ: 1966: පිටුව104

යට උපුටා දැක්වූ කොටස කියවීමේ දී කවිය පිළිබඳ එක් එක් පුද්ගලයන් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ තුළ වුව ද පරස්පරතා පවතින බව දැකිය හැකි ය.

කේ. ඩී. පී. වික්‍රමසිංහ සිය කෘතියේ දී දණ්ඩීගේ අදහස පිළිගන්නා අතර ම ඊට පරිබාහිර අදහසක් ද ඉදිරිපත් කරයි. මෙයින් පැහැදිලි වන්නේ කුමක් ද...?

මගේ කියවීම අනුව නම් හැඟන්නේ කවිය රස විඳිය හැකි වන්නේ එහි සාම්ප්‍රදායික සහ රාමුගත නිර්නායක මත නොව අදාළ නිර්මාණය කියවන පුද්ගලයා සතු විඳීමේ ශක්‍යතාව මත බවයි.

සකර්බර්ග් නොසිටියා නම්...

වසර ගණනාවක සිට කාව්‍යකරණයේ නියැළුණ ද තමා කාව්‍යකරණයේ සමත්කම් දක්වන්නකු බව ප්‍රකට කරන්නට සකර්බර්ග් පිහිටවන තුරු බොහෝ පිරිසකට ඉවසා සීටිමට සිදුවීම එක් පසෙකින් සතුට දනවන කරුණක් වුව ද තවත් පසෙකින් කනගාටුවට ද කරුණකි.

සුභාෂ් දික්වැල්ල යනු ද එබඳු කවියෙකි. චන්ද්‍රකුමාර වික්‍රමරත්න කවි ලියන සමයේ සිට ම සුභාෂ් දික්වැල්ල ද කවි ලියන්නට ඇත. එහෙත් චන්ද්‍රකුමාර තරමට ජනතාව අතරට සමීපවන්නට සුභාෂ්ට නොහැකි විය. එහි වරද පවතින්නේ කවියාගේ ද, එසේත් නොවේ නම් කවියා හඳුනාගැනීමට නොහැකි වූ කාව්‍ය ක්ෂේත්‍රයේ ද, කාව්‍ය පාඨක සමාජයේ ද යන්න පිළිබඳ විමසීමට කාලය මිඩංගු කළ නොහැකි වුව ද අප ඒ පිළිබඳ එක්වරක්, දෙවරක් නොව කිහිප වරක් ම සිතිය යුතු ය.

359786988 988489558946192 2231010655421370170 n

කෙසේ වුව ද සුභාෂ් දික්වැල්ල නමැති කවියා මේ වන විට කාව්‍ය සංග්‍රහයක් ජනගත කර ඇත. එය නම් කර ඇත්තේ ‘‘දකුණේ සිට’’ යනුවෙනි. කෘතියේ නම දුටු සැණින් මා අදහස් කළේ කවියා දකුණේ සිට උතුර පිළිබඳ සංවේදී වී ඇතැයි යනුවෙනි. නමුදු එය එසේ වී හෝ කර නොමැත. එක් නිර්මාණයක් තුළින් කඳුකර වතු කම්කරු ප්‍රජාවගේ දුක ඔහුට සම්මුඛ වී තිබේ. උතුරට විශේෂත්වයක් නොදැක්වුව ද කවියා සමස්ත ලාංකීය ප්‍රජාව ම මුහුණ දෙන සමාජ, දේශපාලන සහ ආර්ථික ඛේදවාචක එක මිටකට රැගෙන එහි ගුණාගුණ, රස නීරස තම නිර්මාණ තුළින් විශද කර ඇත. එබැවින් කෘතියේ නම දුටු සැණින් මා අදහස් කළ දෑ කෘතිය තුළ අන්තර්ගත නොවුණ ද සුභාෂ් දික්වැල්ල නමැති කවියාගේ කාව්‍යක්කාරත්වය අගය කරමින් මම මෙම ලියැවිල්ල ආරම්භ කරමි.

කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත සමස්ත කාව්‍ය පුමාණය 53කි. මගේ වින්දන පරාසයට අනුව ඒ අතුරෙන් නිර්මාණ දහයක් ඉතා විශිෂ්ට ය. තවත් කාව්‍ය නිර්මාණ දහසයක් යම් පමණකට මගේ රසවින්දනය අවදි කරන්නට සමත් වී තිබේ. මේ සියල්ල අතර මා රස වින්ද ද කිසියම් ගැටලුකාරි තත්ත්ව මතුවන නිර්මාණ ද අටක් පැවතිණ.

තත්ත්වය එසේ වුව ද මේ සියලු නිර්මාණ සම්බන්ධයෙන් විග්‍රහයක යෙදීමට මෙම ලියවිල්ල අපොහොසත් වන බව නිසැක ය. මන්ද ඒ සඳහා වැඩි කාලයක් සහ වෙහෙසක් දැරිය යුතු බැවිනි. නමුදු සුභාෂ් දික්වැල්ල නමැති කවියා අගය කළ යුතු ය; ඔහු දිරිමත් කළ යුතු ය. මතු දැක්වෙන අදහස් පළ කිරීම ඒ වෙනුවෙනි.

කඳුකරයට බැල්මක්

තේ කහට : ඡායාරූප ප්‍රදර්ශනය අගෝස්තු 11-12 මාතලේදී
81 2කවියා ‘‘තේ කහට’’ යන මැයෙන් එක් කවියක් නම් කර ඇත. මේ නමින් ම නම් කළ, කඳුකර තේ දලු නෙළන්නියන්ගේ ඛේදවාචකය පිළිබිඹු කළ කාව්‍ය නිර්මාණයක් අනුසාර මාහිංගොඩ කවියාගේ ‘මල් කඩන කොල්ලා’ කාව්‍ය සංග්‍රහයේ ද අන්තර්ගතව තිබිණ; මා එම නිර්මාණය පිළිබඳ මගේ විශේෂ අවධානය යොමු කර චරණ රුපවාහිනි නාලිකාවේ විකාශනය කෙරෙන ‘කවි දහයට ගී දහයක්’ වැඩ සටහනට එම නිර්මාණය සහ විචාරය ඉදිරිපත් කළේ ය. නමුදු සුභාෂ්ගේ නිර්මාණය අනුසාර මාහිංගොඩගේගේ නිර්මාණය යම් පමණකට අභිභවන්නට සමත් වී ඇත. එනම් කවියාගේ දාෂ්ටිවාදය එම නිර්මාණය තුළ ඉතා සියුම් ආකාරයෙන් බහාලන්නට සමත්ව ඇති බැවිනි. සමස්ත නිර්මාණය ම මෙහි උපුටා නොදක්වන අතර මා යට සඳහන් කළ අවස්ථාව පමණක් මම මෙසේ ඉදිරිපත් කරමි.

‘‘කඩා වම් පියයුරුව ගසමි කදු මුදුනතම
පුපුරලා ගිනිලන්න සම බිමක් පෑදෙන්න
පූදිනා පෙම් මලෙක මුදු සුවඳ විඳගන්න
වේදනා තෙත බරිත නොමළ මළ ගෙට එන්න’’

කඳුකර ජනතාව පිළිබඳ කවියාගේ දෘෂ්ටිවාදය මෙලෙස පිළිබිඹු කළ ද උතුරේ පීඩනයට පත් ජනතාව පිළිබඳ මෙන් ම උතුරේ විමුක්ති අරගලය පිළිබඳ ඔහුගේ දාෂ්ටිවාදය ඉදිරිපත් නොකළේ ඇයි ද යන්න යළිත් විමසිය යුතුව පවතී.

මල් වෙළෙන්දා වැරැදි ද...?

මගේ සිත ඉතා ප්‍රබල ලෙස කම්පනයට පත් කළ නිර්මාණයක් ලෙස ‘‘නොමළ මල’’ (මෙම නිර්මාණය පටුනෙහි සඳහන්ව තිබෙන්නේ ‘‘නෙලා මල මල’’ යනුවෙනි.) නමැති නිර්මාණය හැඳින්වීමට හැකි ය.

මෙය එක්තරා ආකාරයකට සිද්ධි වාචකයකි; සහානුකම්පිත සිදුවීමකි. එසේ වුව ද කවියා සිය කවිත්වය ඉතා අපූරුවට උපස්තම්භක කරගනිමින් අදාළ කව ඉදිරිපත් කර ඇත. නිර්මාණයේ කුටප්ප්‍රාප්තිය පිළිබිඹු කෙරෙන්නේ එහි අවසන් කවියෙනි.

‘‘කඩ තිරෙන් වසා නුඹ
සොරා ගමි පිදු කුසුම
කමා කරපන්න මට
මල් නොවේ ජීවිතය’’

පන්සලේ හාමුදුරුවරුන් වෙත ලැබෙන පිරිකර පිටතට අලෙවි කර මුදල් සරි කරන්නේ නම්, කෝවිලේ කපුවන් ද ජනතාව පුජාවට තබනා පලතුරු වට්ටිය යළි පලතුරු කඩයට අලෙවි කර මුදල් සරි කරන්නේ නම්, දුප්පත් මල් වෙළෙන්දකු මෙසේ කිරීම වරදක් ලෙස සමාජ ගතකළ හැකි ද...? ඇතැම් විට කවියා ප්‍රශ්න කරන්නේ ද එය ම විය හැකි ය. කවියා මල් වෙළෙන්දා පිළිබඳ සානුකම්පිත බැල්මක් හෙළයි.

මෙහෙමත් පියවරු

සිය ලෙයින් උපන් දියණිවරු ලිංගික බලහත්කාරයට යට කරගන්නා පියවරුන්ගේ ප්‍රමාණය මේ වන විට වැඩි වශයෙන් වර්ධනය වෙමින් පවතී. එතැනින් නතර නොවී එබඳු සල්ලාල පියවරුන්ගේ සල්ලාල මිතුරන්ට ද සිය දියණිය ලිංගික භාණ්ඩයක් ලෙස භාවිත කරන්නට ඉඩ හසර සලසා දෙන පියවරු ද සිටිති. එම අනුභූතිය පාදක කරගත් නිර්මාණ ද නිරන්තරයෙන් කියවන්නට ලැබේ. එහෙත් සුභාෂ් දික්වැල්ල කවියා ‘‘තාත්තා සහ මිතුරු කැල’’ යන මැයෙන් ඉදිරිපත් කරන නිර්මාණය අදාළ අනුභූතිය පාදක කරගෙන පබැඳි, මා මෙතෙක් කියවා ඇති නිර්මාණ අභිභවන්නට සමත් වී ඇති බව පැවසිය යුතු ය.

අල්ලා ගත් අත්ත ද බිඳුනු කල
පය ගැසු රිකිලි ද
අහක බැලුවා ම...!!
කොයි කෙලෙස සැඟවෙම් ද
මේ භීත සළුව යට

හොට බිම නැමුණු
නාකි සල්ලාල බඹරු
ඉගි බිඟි කරනයුරු
උලාකන්නට තුරුණු පියයුරු
බලා ඉන්නට හිරිකිතව
වැළලුනේ සද සාවි
කැණිමඬල මුදුනත ම...

නැති කලෙක අම්මාව
අප්ප නම් කවරෙක් ද...!!
දොර පියන් ඉකි බිදින
මැදියමක,
මුරුගසන් ලේ ධාතු වරුසාව
දෙගොඩ තැලුවා ය
රන් කිරත් උතුරවා දෙපා මුල

සමස්ත නිර්මාණය එක මිටකට ගත් කළ අදාළ සිද්ධිය කුමක් ද යන්න පුහුණු කාව්‍ය පාඨක පාඨකාවකට හඳුනාගැනිම අසීරු නොවේ. නමුදු මෙහි එන ‘‘හොට බිමට නැමුණු’’ සහ ‘‘නාකි සල්ලාල බඹරු’’ නමැති යෙදුම් ද්වය ම යෙදීම අනවැසි ය යන්න මගේ හැඟිම ය. මන්ද කවියා ඉදිරිපත් කරන ‘‘හොට බිමට නැමුණු’’ නමැති රූපකයේ වර්ණවත් භාවය ‘‘නාකි සල්ලාල’’ නමැති යෙදුමෙන් අවතක්සේරු වී තිබේ. අදාළ පද ද්වය වෙනුවට ‘‘හොට බිමට නැමුණු සල්ලාල බඹරු’’ යනුවෙන් පමණක් යෙදුවේ නම් නිර්මාණයේ ප්‍රබලත්වය වඩාත් තහවුරු වනු ඇතැයි යන්න මගේ හැඟීම ය.

කෙසේ වුව ද අදාළ නිර්මාණය කියැවීමෙන්, කියවා රස විඳිමෙන් ඉක්බිති එය කියවූ පාඨකයා හෝ පාඨකාව කම්පනයට පත්වන බව නම් සක් සුදක් සේ පැහැදිලි ය. වදන් අමුණා ගොතන පද පෙළක් ‘‘කවියක්’’ බවට පත්වන්නේ පාඨක ප්‍රජාව එබඳු කම්පනයකට ලක් කළ හැකි නම් පමණි.

කාව්‍යෝක්ති බහුල නිර්මාණ

මෙම ලිපිය ආරම්භයේ දී ම කවියේ කාව්‍යත්වය රඳා පවතින්නේ කොතැනද, කෙසේ ද යන්න විවාදාපන්න අදහසක් ඉදිරිපත් කළේ ම ‘‘දකුණේ සිට’’ කාව්‍ය සංග්‍රහයේ ද එබඳු විවාදාපන්න නිර්මාණ කිහිපයක් ම අන්තර්ගත බැවිනි. ඒ සියලු නිර්මාණ පිළිබඳ සාකච්ඡා නොකළ ද ඒ වෙනුවෙන් එක් උදාහරණයක් හෝ සැපයිය යුතු ය; ඊට කදිම නිදසුනක් ලෙස ‘‘වැලිකඩට ආ ලියමන’’ නමැති නිර්මාණය හැඳින්විය හැකි ය.

සුභාෂ් දික්වැල්ල 00සුභාෂ් දික්වැල්ල

මෙම නිර්මාණයේ දී කවියා ඉතා සුන්දර මෙන් ම රසවත් වදන්, රූපක, සංකේත භාවිත කර ඇත. ඒ සියල්ල තුළින් කවියේ රස මෙන් ම අර්ථය ද, ධ්වනිය ද මැනවින් විශද කෙරේ. මතු දැක්වෙන්නේ එම නිර්මාණය යි.

නෙරියට පහළින් කඳු හෙල්වල
ඔබ තබා ගිය මතක සැමරුම්
මහ වැසි වැටි සේදි ගිය පසුත්
ඉනි වැට ගසා රැක ගතිමි තනිවම
දුවා දරුවන්ට නොරිදෙන්න හෙට දින

මෙහි එන ‘‘නෙරිය’’, ‘‘කඳු හෙල්’’, ‘‘මහ වැසි’’, ‘‘ඉනි වැට’’ යනාදි සියල්ල රූපකාර්ථ ය. එම රූපකාර්ථ උපස්තම්භක කරගනිමින් අගනා ව්‍යංගාර්ථයක් මතු කිරීමට කවියා සමත්ව ඇත. තවත් පසෙකින් මෙහි එන ‘‘දුවා දරුවන්ට’’ යන දෙවදන එකට යෙදීම අව්‍යක්ත ය. මෙම දෙවදන ලියන බොහෝ පිරිස් මෙහි අරුත පවා නොදනී. කාව්‍ය රචනයේ මේ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු ය.

නයි පොළොං විසුල තුන්මං හන්දියේ
අදටත් පුප්පා පෙන ගොබ ආලවට්ටම්
ඇඟ මසම ඉල්ලන ඉඟි බිඟි අපූරුව
නොලියා නොහැකි නුඹ හට ස්වාමීනි
කණකොක් පත් ඉරුවක කඳුළින්

සැමියා සිරගතව සිටින බැවින් අසල්වැසි පුරුෂ පාර්ශ්ව විසින් කථකාව වෙත එල්ල කරනු ලබන ලිංගික ආරාධනා කෙබඳු ද යන්න කවියා සංකේතාත්මකව ඉදිරිපත් කර ඇත. එම සංකේත තුළ සැඟව පවත්නා ව්‍යංගය කියවා ගැනීම පුහුණු කාව්‍ය පාඨක ප්‍රජාවට අසීරු නොවන්නේ ය.

සොළොස් කළ රා බී මන් මත්ව
සුර දුතයින් ගෙනා පුවක් මල් කිණිති
නොසරුප් වදන් ජප කළ මා මුව පැණින්
නහවා උන් හිස ගැසූයෙමි
නොසිතා ම දෙවරක්...

සුරාවෙන් මත්ව, ඇතැම් විට තෑගි බෝග ද රැගෙන කථකාවගේ ලිංගික පහස පතා පැමිණි පුරුෂ පාර්ශවයට අසභ්‍ය යැයි සම්මත වදනින් බැණ එළවා ගත් ආකාරය ව්‍යංගයෙන් ඉදිරිපත් කරන්නට කවියා සමත්ව ඇත. ඇතැම් විට මෙබදු අත් දැකීම්වලට මුහුණ පෑ පාඨකාවෝ ද සිටින්නට පිළිවන. ඉදින් ඔවුනට ‘‘මේ මම ම නේද...?’’ යැයි සිතෙන්නට ද පිළිවන. ඒ අන් කිසිවක් නිසා නොව කවියාගේ කවිතාව හේතුවෙනි.

කාකිධර භෘංග රාජයෝ පෙළ සැදී
ආචාර සමාචාර කරන විට නෙතගින්
රංගා ඇදෙන හැටි සීරුවට...!!
පෙන්නා සු සැට මායම ඒ හැමට
මටවත් සිතාගත නොහැකිය
නුඹටවත් නොපෙන්වු ඒ දහංගැට ගැන 

මෙම කවියෙන් කියවෙන්නේ තවත් බරපතළ සමාජ ඛේදවාචකයක යථාර්ථය යි. සිරකරුවකු හෝ හෝ සැකකරුවකුගේ දුක සැප බැලීමට පැමිණෙන ඔහුගේ බිරිඳ හෝ සොහොයුරියක රූමත් නම් බන්ධනාගාර නිලධරයෝ එම කාන්තාව කෙරෙහි විශේෂ ඇල්මක් දක්වති. ඇය ඔවුන්ගේ වසඟයට ගන්නට මාන බලයි. කිසියම් ආකාරයකින් ඇය ඊට ඍජු විරුද්ධත්වයක් පෑවහොත් එහි වාඩුව ගන්නේ සිරකරුවාගෙන් හෝ සැකකරුවාගෙනි. නිරන්තරයෙන් මතු නොව හදිසියේ හෝ මෙලෙස බන්ධනාගාර ගතවන පුද්ගලයන්ගේ බිරින්දෑවරු, සහෝදරියෝ මේ තත්ත්වය මැනවින් දැන සිටිති. එබැවින් ම මේ කාන්තාවෝ ඉතා යාප්පුවෙන් ඔවුන් සමග ගනුදෙනු කරති. කවියා ඉතා සරල, සුගම වක් බිණුමකින් පවසන්නේ මේ යථා ස්වභාවය යි; එය ද අන් කිසිවක් නොව ඔහු සතු කවිතාව යි.

යට විමංසනයට බඳුන් කළ නිර්මාණ කිහිපය හැරුණු විට: ‘‘ගිහිගෙය හැර නොයමි’’, ‘‘මග හැරුණු වසන්තය’’, ‘‘කුටුම්බගත ප්‍රේමය සහ රෙදි වැල’’, ‘‘ප්‍රතිබිම්බය’’, ‘‘නොලියවුණු කවිය’’ සහ ‘‘මල්වඩම් අනවශ්‍යයි’’ යන නිර්මාණ මගේ වෙසෙස් අවධානයට ද: ‘‘ගඟ දිය පිටාර ගියාම’’, ‘‘සඳටත් තිබුණාලු කතාවක්’’, ‘‘ජේසුනි කමා කළ මැන’’, ‘‘බේබද්දාගේ සිල් පවාරණය’’, ‘‘අල්තිනායි’’, ‘‘කැලෑ නොවැදුනු ප්‍රේමය’’, ‘‘කරුමක්කාර සටහන’’, ‘‘තාත්තා මිහිදන් තැන’’, ‘‘නිදොස් කොට නිදහසි වීමි’’, හතුරු මිතුරු’’, ‘‘රාජ ද්‍රෝහියාගේ ලියවිල්ල’’, ‘‘කනේරු’’, ‘‘ජාලිය ක්‍රිෂ්නජිනාගේ පාරමිතාවක අවනඩුව’’, ‘‘පියවරුන්ගේ දිනය පහු උනාලු’’ සහ කසළ ශෝධක මිතුරා’’ නමැති නිර්මාණ මගේ රස වින්දනය මඳ වශයෙන් අවදි කළ අතර: ‘‘පත්තර වෙළෙන්දා’’, ‘‘හැර ගිය බිරිඳගේ මෘත දේහය එම්බාම් කිරීම’’, ‘‘දරු ප්‍රසුතියට බිරිඳ ඇතුළත් කිරීම’’, ‘‘හිතවත් රිචා’’, ‘‘අන්තිම කැමති පත්‍රය’’, ‘‘මල් වඩම් අනවශ්‍යයි’’, ‘‘බත් කඩේ රතු අක්කා’’, ‘‘කිරි කපන්නාගේ විරහව’’ සහ ‘‘මාතර කිඹුලිගේ පාපෝච්චාරණය’’ යන නිර්මාණ රසවිදිය හැකි වුව ද යම් යම් ගැටලු පවතින බව ද පැවසිය යුතු ය.

මේ සියල්ල මෙසේ වුව ද සමස්ත නිර්මාණ සමුච්චයේ ම අක්ෂර වින්‍යාස සහ පද බීදිම්වල බහුල වශයෙන් සදොස් තැන් තිබිණ. ඉදිරි නිර්මාණකරණයේ දී එම වැරැදි ද නිවැරැදි කරගන්නේ නම් මැනවි.

ජාතක කතා විමර්ශන 13 : 'පිරිමිකම' මැනීමේ වැරැදි ක්‍රම - ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/10/01   


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්