සිංහල ප්‍රබන්ධ කතා සාහිත්‍යට ආකෘතිමය වශයෙන් විශාල වෙනසක් හඳුන්වා දෙමින් ජයසිරි අලවත්ත විසින් රචිත මතඟනා ප්‍රබන්ධ කෘතිය මා අත පත් වී මාස දෙක තුනක් ගත වුවත් එම ආකෘතිමය වෙනස සහ
දෙවන පියවරේ වැඩි කොටසක භාවිත කර තිබූ අකුරු රටාව දිරවා ගත නොහැකිවූ නිසා දෝ අඩක් කියවීමෙන් පසුව මගේ පොත් රාක්කයේ සිරගත වීමට මතඟනාට සිදුවිය. කතුවරයා ගේ ඊ ළඟ ප්‍රබන්ධ කතාව වූ ගෞර ග්‍රන්ථ කෘතිය කියවා අවසන් වූ පසුව මතඟනා නැවත මුල සිට කියවීම ආරම්භ කළේය.
 
පොත කියවාගෙන යාමේදී "සුදු හුඹස් කළු මැණික් "නම් වූ සිංහල ජන ප්‍රවාදය නිරන්ත යෙන් මගේ මතකයට නැඟුණි. මේ ගැන සිබිල් වෙත්තසිංහ ලේඛිකාව ගේ පොතක ද ලියා තිබුණා වගේ මට මතක ය. සුදු හමක් ලබා උපත ලැබීම වාසනාවක් ලෙස සැලකීමට පැරණි සිංහල රාජවංශවල සිට අද දක්වාත් සිංහල මිනිස්සු පුරුදුව සිටිති. පයින් ගැසූ විට සුදු හුඹස් කැඩී බිඳී ගියත් කළු මැණික් නිරන්තරයෙන් දිලිසෙන්නා සේ කළු හෙවත් චොක්ලට් පැහැති සමක් ඇති ලලනාවන්ට‍ එම පැහැය නිසාම හිමිවන සුන්දරත්වය පුරාතනයේ සිට කතාබහ කෙරුණ බව සාක්‍ෂි ඇත. එහෙත් අද දවසේත් දරුවකු උපන් හැටියේ ම බබා සුදු දැයි අසන්නටත්, ගැහැනියක් කසාද බැඳගත් විට මනමාලි සුදු දැයි විමසන්නටත් අපේ අය කට ඉස්සර කර ගනිති. වර්තමාන ශ්‍රී ලංකාවේ චිත්‍රපට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරු (අශෝක හඳගම ඇතුළු තවත් නිර්මාණකරුවන් අතළොස්සක් හැර) මතු නොව රසිකයෝ පවා සුදුපැහැ ඡවී වර්ණය හිමි චරිතවල ආධිපත්‍යට ගොදුරු වී සිටිති.
යහත් අභිරත, ඔහුගේ බිරිඳ වන ලුලිතා සහ දියණිය පත්තිකා යන ප්‍රධාන චරිතත්‍රයේ අසමතික බවට‍ උර දෙමින් ඒ අතරට පැමිණෙන රජ්ජනා නැමැති යෞවනිය ක්‍රමිකව එම ගෘහයේ මුල් බල ණුනුව ලෙස ස්ථාවර වීම දක්වා සිදුවන සියලු හැල හැප්පිම් ඔස්සේ මෙම කතාව ඉදිරියට ගලාගෙන යයි. පත්තිකා සහ රාජ්ජනා යන සම රිසි චරිත දෙක අතරට රාජ්ජනා ගේ පෙම්වතා යයි කියනු ලබන බාසර නැමැති සම ලිංගික චරිතයක් ද එක් වෙයි. සම්ප්‍රදායික චින්තන රටාව විසින් පුද්ගල ලිංගික වුවමනාවල සැබෑව තම ජීවිතවලට පතිත වීමට ඉඩ නොදෙනු ලැබීම හේතුවෙන් මුළු මහත් ජීවන පද්ධතියම අවුල් වී බිඳ වැටීමේ අභාග්‍යසම්පන්න කතාව මතඟනා තුළින් විශද වෙයි.

සුදු පැහැ වර්ණයක් හිමි යහත් සහ ලුලිතා යුවළට දාව ඉපදෙන කුලුඳුල් ගැහැනු දරුවා වන පත්තිකා අතිශය කාලවර්ණයෙන් යුක්තවීම නිසා මනෝ ව්‍යාධියකට පත්වන ලුලිතා තම දරුවා ප්‍රතික්ෂේප කිරීමත්, ඒ ඔස්සේ ගොඩනැගෙන අනෙක්‌ චරිතවල ආදරය සහ ලිංගික මනෝ භාවයන් ද අවසානයේ දී පුද්ගල ඝාතන දක්වා විකාශනය වන ආකාරය මා කලින් සඳහන් කළ ශිල්පීයමය සහ ආකෘතිමය වෙනස් කම් සමඟ මෙම කෘතිය තුළීන් විකාශනය වී තිබේ. යහත් නමැති සංස්කෘතික මිනිසා නොහොත් මහාචාර්යවරයාගේ ජීවිතය අවාසනාවන්ත ලෙස බිඳ වැටෙන්නේ ද අනෙක් චරිතවල මනෝභාවයන් වර්ණ භේදය සමග ප්‍රපංචගත වී ඇති නිසාය.
මතඟනා' මත් වූයේ ඇයි? - (වීරවිජය ගුණසේකර)
පත්තිකා ට‍ අත්වන ඉරණමත් මෙබඳුය. අතිශය කළු හමක් සහිතව ඉපදී ම නිසා මවගෙන් ප්‍රතික්ෂේප වී ඇගේ වෛරයටද භාජනය වීම නිසා පත්තිකා ලිංගික හැඟීම් සඟවාගත් තැනැත්තියක් බවට පත් වෙයි. රජ්ජනාගේ ළමා කාලය ද ලිංගික හැල හැප්පීම්වලින් විනිර්මුක්ත වූ එකක් නොවේ. සම හෝ විසම ලිංගික හෝ වේවා තමාට ස්වභාවයෙන්ම හිමි ලිංගිකත්වයට එරෙහිව සමාජය විසින් කෙනෙකු ස්ථාන ගත කරනු ලැබීමේ අවසාන ප්‍රතිපලය විය හැක්කේ විනාශයයි.

රජ්ජනා, ලිංගිකව සැඟවී සිටි පත්තිකාව අවදි කර තම වසඟයට ගැනීමෙන් නොනැවතී අවසානයේදී ඇය මරා දැමීමට පෙලඹීම මගින් කතුවරයා විසින් මෙම සත්‍ය අපට පෙන්වා දෙනු ලබයි. ලුලිතා, පත්තිකා සහ රජ්ජනා යන චරිතත්‍රය ම කතාව තුළ ගොඩ නංවා ඇත්තේ සමාජමය සංසිද්ධීන් සහ හැලහැප්පීම්වලට ගොදුරු වී ස්වභාවික ලිංගිකත්වයෙන් බැහැර වන්නට සිදුවූ කාන්තා චරිත වශයෙනි. මේ චරිත තුනම කතාව තුළ ස්වයංභූ ලෙස වරින් වර ඉස්මතු වෙන්නට ඉඩහරිනවා විනා එක් චරිතයකට හෝ තම දෘෂ්ටියේ සෙවණැල්ලක් හෝ නොවැටීමට කතුවරයා වගබලා ගැනීම පාඨකයාගේ අවධානයට ලක්විය යුතූ කරුණකි.
 
විටෙක රහස් පරීක්ෂක කතාවකත්, තවත් විටෙක මනෝ විද්‍යාත්මක කතාවකත් ලක්ෂණ මතඟනා හි ප්‍රකට වෙයි. රාජ්ජනා විසින් ලුලිතාවත් යෙහෙළිය වන පාත්තිකාවත් ඝාතනය කරනු ලබන ආකාරය ඉදිරිපත් කිරීමේ දී පාඨකයාව රහස් පරීක්ෂක භූමිකාවකට අවතීරණ කර, ඇගේ සටහන්වල අඩංගු ලුහු ඉඟි කාරණා ඔස්සේ සිද්ධිය දැනගැනීමට සලස්වනවා විනා සිද්ධි වාචකය සජීවීව ඉදිරිපත් කිරීමට කතුවරයා යුහුසුළු නොවෙයි. රහස් පරීක්ෂක කතාවක් වේවා මනෝවිද්‍යාත්මක කතාවක් වේවා මෙම ශිල්පීය ක්‍රමය මෙම ප්‍රබන්ධයේ විශේෂයෙන් සිත් ගත් තැනක් වූ බව කිව යුතුය.
වජ්ජා'වජ්ජ 51 : 'මේ පොත ලක්ෂෙකටවත් විකුණන්නෙ නෑ...'... - (ජයසිරිගේ නවකතාවක්)
මතඟනා හි ආකෘතිය ගැන සැලකීමේදී, මේ ආකාරයට ආකෘතිගත කළ කෘතියක් මා මීට පෙර අවස්ථාවක කියවා හෝ අසා නොමැත. කතුවරයා කතාව පටන් ගන්නේ අවසානයෙනි. ඒ, ‘අවසානට පෙර’ යනුවෙනි . ඉන් පසුව (1) පළමු සිද්ධිය (2) පළමු සිද්ධියට පෙර (3)අතරමැද (4) දෙවැනි සිද්ධිය (5) පශ්චාත් මරණ පරීක්ෂණය( 6) යළි වර්තමානයට යන පරිච්ඡේද ඔස්සේ ඉදිරියට ගොස් පොතේ ප්‍රථම භාගය අවසන් කර පොත උඩ යට හරවා කියවන්නට සලස්වයි. පළමුවැනි වර කියවීමෙදී මේ අවස්ථාව මා ඔළුවෙන් හිටවීමක් ලෙස දැනුණ ද දෙවන වර කියවීමේදී එයම නැවුම් අත්දැකීමක් ලෙස විඳ ගැනීමට හැකි විය. රහස් පරීක්ෂක කතාවක අත්දැකීම් සිහිකරවීමට සමත් මෙම ආකෘතියට‍ අනුගතව මතඟනා කියවීම වෙනස් ම ආකාරයේ වින්දනයක්‌ කියවන්නාට ලබාදෙයි.
jayasiri 07 1.jpg

ජයසිරි අලවත්ත

කතුවරයා යොදාගන්නා බස් වහර සරල සුගම එකකැයි මම නොකියමි. එය බොහෝ විට වියත් මෙන්ම නැවුම් බස් වහරකට හිමිකම් කියයි. වචනවලින් පොහොසත් සිංහල භාෂාව ඔහු නිර්භයව සිය ලේඛනයේදී යොදා ගනියි. ලේඛණ කාර්යයේදී කතුවරයා දක්වා ඇති භාෂාත්මක පරිචයට මතු දැක්වෙන උපුටාගැනීම් උදාහරණ සපයයි.


‘දෙනෙතින් ගලා හැලෙන අක්දහර’, ‘සිනිඳුවට ඔප මට්ටම් කළ රන් පැහැ නෙරළු පල යුගලක් වැනි රජ්ජනා ගේ තුනුපල යුගල, ‘උපැස් යුවළෙහි දකුණු බාහුවෙන් අල්ලා එහි බර දෙකන් ගොටු සහ නැහැ මුඳුන මතට පැටවුයේ ය.’ ‘පත්තිකා ඒ අදහස ම දෙනෙත්වල ලියා රාජ්ජනාගේ දෙනෙත් තුළට බහාලුවේ ය.’ ‘ඇය මේසයේ ග්‍රැනයිට් පෘෂ්ඨය සමග ගනදෙනුවක නිරත වූවා ය. ‘ලුලිතාගේ ලලාටය මත සිය ලලාටය තබා දෙදෙනා එකිනෙකාගේ නැහැ තුඩු එකිනෙකට ස්පර්ශ වන සේ තෙරපුවාය.’

පසුගාමී ලිංගික අදහස් සහ චර්යාවන් සහිත මිනිසුන් සහ ගැහැනුන් හිඟ නොවන ශ්‍රී ලංකාව වැනි රටකට ජයසිරි අලවත්තගේ මතඟනා වැනි මනෝවිද්‍යාවට බර වූ ප්‍රබන්ධ කතා තව තවත් ලියවිය යුතුය යැයි හඟිමි . 

අලවත්තගේ නිර්මාණ දිවියට සුබ පතමි.

Screenshot 2023 10 02 at 17.37.42(දයා සුදසිංහ)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්