"නවකතාකාරයෙකුට වැකේෂන් නෑනෙ. අපි හැමවෙලේම ලියමින් ඉන්නෙ නැති බව ඇත්ත.

නමුත් අපි වැකේෂන් එකකට ගියත් ලියන්නෙකුගේ මානසිකත්වයෙන් ගැළවෙන්න බැහැ. මුහුදු වෙරළකට ගියත් බාර් එකකට ගියත් අපි දේවල් දකින්නෙ අත්විඳින්නෙ ලියන්නෙකුගෙ ඇසින්, ලියන්නෙකුගෙ ආත්මයෙන්. මාත් එක්ක ඉන්න කෙනා වීදුරුව අල්ලන විදිහ, බොන විදිහ එයා වේටර් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන විදිහ දැන් මේවා පේන එක නවත්තන්න බැහැනෙ. ඒකයි මම කිව්වෙ ලියන්නෙකුට වැකේෂන් එකක් නෑ කියල"

මෙවර කතාබහට එක්වන මංජුල වෙඩිවර්ධන යනු සිංහල සාහිත්‍යය තුළ අපට මුණගැසෙන තීරණාත්මක නවකතාකරුවෙකු සේම විශිෂ්ට කවියෙක් සහ කෙටිකතාකරුවෙකි.

weddas books

ඊට අමතරව ටෙලිනාට්‍ය පිටපත් රචනයේ සහ ගීත රචනයේ ද ඔහු යෙදෙයි. 'බත්තලංගුණ්ඩුව' කෘතියෙන් ආරම්භ වන ඔහුගේ නවකතාකරණය ‘මගේ ආදරණීය යක්ෂණී', ‘පැරිස් වළාකුළු', ‘ඒ අහඹු අතීත හැන්දෑව' හරහා පැමිණ ‘මුන්නක්කරේ සංසාරේ' අසළ දැන් කෙටි විරාමයක් ගනිමින් සිටියි.

මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුනු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.

මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය' (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය.

හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ,ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.

මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.

කෞශල්‍ය: මේ සංවාද මාලාවේ දිගටම සිද්ධ වුණු විදිහටම මම මුලින්ම ඔබෙනුත් අහන්නෙ ඔබේ නවකතාවල පළවෙනි වාක්‍යය ලියවුනු හැටි ගැන. අපි දෙන්න ම හොඳින් දන්න දෙයක්නෙ මේ සමාරම්භක මොහොත මොනතරං වැදගත් ද කියන එක.

මංජුල: ඔව් අනිවාර්යෙන්ම. හැබැයි මට සාමාන්‍යයෙන් නවකතාවක් ඔළුවේ වැඩකරන්න පටන් ගත්ත ම මුලින්ම එන්නෙ මම ලියන්න යන නවකතාවෙ නම. 'බත්තලංගුණ්ඩුව' ගත්තත්, ‘මගේ ආදරණීය යක්ෂණී' ගත්තත්, ‘පැරිස් වළාකුළු' හරි ‘මුන්නක්කරේ සංසාරේ' හරි ගත්තත් ඒ හැමවෙලේ ම මුලින්ම ඇවිත් තියෙන්නෙ පොතේ නම. ‘ඒ අහඹු අතීත හැන්දෑව' විතරයි එහෙම නොවුනෙ, මොකද ඒක මම මුලින්ම ලියන්නෙ ‘ඇහිපිල්ලමක් යට' කියන ටෙලි නාට්‍යය හැටියට. හැබැයි ඒ ප්ලොට් එක මුලින් ආවෙ නවකතාවක් හැටියට. එතකොට ආපු නම තමයි ඇහිපිල්ලමක් යට. ඒක ටෙලි නාට්‍යයට දුන්න නිසා තමයි වෙනත් නමක් නවකතාවට එන්නෙ. ඉතින්, යමක් නවකතාවක් බවට පත්වෙනවා කියන අදහස එනකොටම වෙන්නෙ මේ විදිහට නමක් ඔළුවට එන එක.

කෞශල්‍ය : දැන් එතකොට මේ වෙද්දි ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරං දැනුවත් ද?

මංජුල: මේ වෙනකොට මූලික චරිත ටික ඔළුව ඇතුලේ ස්ථානගත වෙලා. මම ලියන්න යන සමස්ත වියමනේ ඡායාවක් මා තුළ තියනව කියල මට දැනෙමින් තියනවා. ඒක පරිපූර්ණ සවිඥ්ඥානික දැනුමක් නෙමෙයි. මා තුළ විශ්වාසයක් තියනවා මේ චරිත ත් එක්ක මේ සැකැස්ම මා තුළ තියනව කියන එක ගැන. නමුත් පළවෙනි වාක්‍යය නැත්තං වාක්‍යය කිහිපය ලියවීම ත් එක්ක තමයි මේක හැඩගැහෙන්න පටන් ගන්නෙ. පළවෙනි වාක්‍යය කියන එක මට හරිම වැදගත්. නවකතාවෙදි විතරක් නෙමේ මාධ්‍යවේදියෙක් හැටියට මම ලියපු විශේෂාංග වලත් ඒක එහෙමයි. පළවෙනි වාක්‍යය කිහිපය අවශ්‍ය ආකාරයට ලියන්න මං සෑහෙන වෙහෙසක් දරනවා. 'බත්තලංගුණ්ඩුව' නවකතාව ලියන්න කලින් මං බත්තලංගුණ්ඩුවට ගිහින් ලියපු විශේෂාංග ලිපියක් තියනවා 2000 අවුරුද්දෙ විතර. ඒ ලිපියෙ පළවෙනි වාක්‍යය තමයි ඒ ආකාරයෙන්ම නවකතාවට ඇවිත් තියෙන්නෙ. දැන් උදාහරණයකට ‘මුන්නක්කරේ සංසාරේ' නවකතාව ගත්තොත් ඒක මගෙ ඔළුව ඇතුලේ වැඩෙන්න පටන් ගන්නෙ 2013. නමුත් මේක හිත ඇතුලෙ වද දෙමින් තිබිල පළවෙනි වාක්‍යය ලියවෙන්නෙ 2015 දී. ඒ ලියපු පළමු වාක්‍යය තමයි පොතේ දැන් තියෙන්නෙ.

කෞශල්‍ය : දැන් එතකොට ‘මුන්නක්කරේ' ලියන්න පටන්ගත්තට පස්සෙ ඒකට කලින් ඔබ තව නවකතා දෙකක් විතර පළ කරල තියනවා. මේක කොහොමද වෙන්නෙ?

මංජුල: මං ඇත්තටම එකවර වැඩ කීපෙක ඉන්නෙ. එකක් ඉවර වෙලා තව එකක් පටන් ගන්නව වගේ එකක් නෙමේ මගෙ විදිහ. දැන් උදාහරණයක් හැටියට, මං ‘මගේ ආදරණීය යක්ෂණී' අවසන් කළාට පස්සෙ දැන් ඊළඟ නවකතාව පටන් ගන්නව වගේ එකක් නෑ. හැබැයි ඒ වෙනකොටත් නවකතා විදිහට පටන් ගත්තු නම් දාපු තුන හතරක් මගෙ පරිගණකයේ තියනවා. හැබැයි නවකතාවක් අවසන් වුනාට පස්සෙ මම කරන්නෙ මගෙ සාමාන්‍ය ජීවිතේට යන එක. කඳු නගින, ඇවිදින, වැවේ නාන, ඍතු මාරු වෙන එකට මුහුණ දෙන ඒ ජීවිතේ ගත කරමින් ඉන්න කොට යම් කිසි දෙයක් විසින් ඊළඟ වැඩේ තීරණය කරන්න පුලුවන්. මං ‘මුන්නක්කරේ' ලියමින් ඉන්නකොට තමයි තමලිනී පිළිකාවකින් නැතිවුණා කියන ප්‍රවෘත්තිය එන්නෙ. තමලිනී කියන දන්න කියන චරිතය, ඉතාම දුක් විඳිමින් උසාවි ගෙනිහිං, පුනරුත්ථාපනය වෙලා, හමුදාව විසින් කපුකම් කරල, සම්පූර්ණයෙන්ම තමන්ගෙ යාන්ත්‍රණයට ප්‍රතිවිරුද්ධ කෙනෙක් ස්වාමි පුරුෂයා හැටියට අභිමුඛ වෙලා... දැන් මෙන්න මේ දේවල් හිතට එන්න ගන්නකොට අර ලියමින් හිටපු ‘මුන්නක්කරේ' හෝ තවත් දේවල් පොඩ්ඩක් පැත්තකට වෙලා මේකත් එක්ක ගැවසෙන්න, සැතපෙන්න හැමිනෙන්න ගන්නවා. එහෙම තමයි ‘පැරිස් වළාකුළු' ‘මුන්නක්කරේ' ඕවර්ටේක් කරන්නෙ. නවකතාවක් අවසාන අර්ථයෙන් අපේ ආත්මීයත්වයත් එක්කනෙ බැඳිල තියෙන්නෙ. නවකතා ලිවීමේ පිස්සුව එන්නෙ ඒකත් එක්ක. එහෙම නැත්තං අපි නිකම්ම කතාකාරයො වෙනවා. ඉතින් හැමවෙලේම ලියමින් ඉන්න කීපයක් අතේ තිබුණත් මේ වගේ හේතු මත යමක් ඉදිරියට එනවා. ඒකත් එක්ක වැඩ කරන අතරෙ තව එකක් ඉදිරියට එන්නත් පුලුවන්. මේ විදිහට වැඩ කරල යමක් මුද්‍රණයට සුදුසු පරිසමාප්ත තත්වයට පත් වෙලා කියල දැනෙන කං කරන්නෙ හංගගෙන තනියම රසවිඳින එක.

Screenshot 2023 10 13 at 17.40.45 

කෞශල්‍ය : මොනතරම් ආත්මීය සාධක මත නවකතාවක් ලිවීම තීරණය වුනත් අපි දන්නව ඒ ඒ නවකතාව ගොඩනැංවීමට අදාළව කළ යුතු පර්යේෂණ තියනවා. මේක කොහොමද වෙන්නෙ?

මංජුල: ඔව්, අනිවාර්යයෙන්ම. මට මේ හැදෑරීම, මේ පර්යේෂණය හැම විටම ද්වීතිකයි. මුලින්ම නවකතාවෙ සංකල්පය පහළ වෙලා, නමකුත් ඇවිල්ලා පළවෙනි වාක්‍ය කිහිපයත් ලියල තියෙන්නෙ. දැන් මෙතන කතාවක් තියනවා නමුත් මේක නවකතාවක් වෙන්න නං මේ කතාව ගැටගැහිල තියෙන සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික ප්‍රවාහය තේරුම් ගන්න ඕන. මෙන්න මෙතෙන්දි තමයි රිසර්ච් එක එන්නෙ. මං මුන්නක්කරෙන් උදාහරණයක් දෙන්නං, දැන් ඒකෙ අර මෝඩ ඇල පාලම හදන්න කලින් තියන ලෑලි පාලමෙන් ඌරු පැටව් දාගෙන යන ට්‍රැක්ටරයක් පාලම කඩාගෙන ඇලට වැටෙනවා. ඊට අවුරුදු පනහකට විතර පස්සෙ පාලම උඩ විනෝදෙට බිලී බාමින් ඉන්න ඉඩම්හිමි ව්‍යාපාරිකයෙකුගෙ බිලී පිත්තට පැටලිලා මේ ට්‍රැක්ටරේ ගොඩට එනවා, මේකෙ හිටපු ඌරු පැටව් පාලම උඩට වැටිල මේ පොතේ කියවෙන පල්ලි දෙකක් දෙසට දුවන්න පටන් ගන්නවා. දැන් කොහොමද ඒක වෙන්නෙ. මේ සිදුවීම් දෙක පුරුද්දන්න රිසර්ච් එකක් අවශ්‍යයි. ඒක එහෙම ලියවිලා තියන එක පිටුපස තියනවා හැදෑරීමක්. ඒ නිසා කතාවක් සමාජ අර්ථික දේශපාලන දැලක පටලන්න තමයි රිසර්ච් එක අවශ්‍ය වෙන්නෙ. එහෙම නැති වුනොත් මේක නිකම්ම කතාවක් විතරක් වෙනවා.

කෞශල්‍ය : ලිවීමත් එක්ක ගත කරන කාලය ගැන යමක් කියන්න පුලුවන් ද?

මංජුල: නවකතාකාරයෙකුට වැකේෂන් නෑනෙ. අපි හැමවෙලේම ලියමින් ඉන්නෙ නැති බව ඇත්ත. නමුත් අපි වැකේෂන් එකකට ගියත් ලියන්නෙකුගේ මානසිකත්වයෙන් ගැළවෙන්න බැහැ. මුහුදු වෙරළකට ගියත් බාර් එකකට ගියත් අපි දේවල් දකින්නෙ අත්විඳින්නෙ ලියන්නෙකුගෙ ඇසින්, ලියන්නෙකුගෙ ආත්මයෙන්. මාත් එක්ක ඉන්න කෙනා වීදුරුව අල්ලන විදිහ, බොන විදිහ එයා වේටර් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන විදිහ දැන් මේවා පේන එක නවත්තන්න බැහැනෙ. ඒකයි මම කිව්වෙ ලියන්නෙකුට වැකේෂන් එකක් නෑ කියල. හැබැයි මම පිළිගන්නවා මේකෙ එක එක තල තියනවා. දැන් පොතක අවසානයට ළං වෙනකොට මම දවසකට පැය දහ අටක් විතර පොතත් එක්ක ඉන්නවා. මේක අදහස් වේගයෙන් ගලන වෙලාවක්. සමහර වෙලාවට මගෙ බෙල්ලෙ ඉඳන් පිට වෙනකං හිරි වැටිල, ඒත් අත් වැඩ කරනවා. මං සාමාන්‍යයෙන් වැඩ කරන්නෙ මේසෙ. මේ වගේ කාලෙට සමහර වෙලාවල් තියනවා මං පොත් රාක්කෙක එක තට්ටුවක පොත් අයින් කරල ලැප්ටොප් එක එතන තියාගෙන හිටගෙන ලියන. මොකද මොන තරං අසීරු වුනත් මේ වෙලාවට ලියන එක නවත්තන්න බැහැ. සාමාන්‍යයෙන් පොතක් අවසානයට ළං වුනාම මාස තුනක් විතර මේ විදිහට වැඩ කරනවා. මේක බොහොම ආවේශකර කාලයක්. ලියන්නා කියන පැවැත්මේ උපරිම මොහොත තමයි මේ. නමුත් ලියන එකම විතරක් නෙමේ මේ කාලය තුළ කරන්නෙ. වෙන් වෙන්ව ලියල තියන පරිච්ඡේද සහ කොටස් එකට එකතු කරන එකත් ලිවීම තරම් ම අසීරු දෙයක්. වඩාත්ම අමාරු දේ ලියපු දේවල් කපා ඉවත් කිරීම. ඉතින් මේ විදිහට වැඩ කරද්දි වරින් වර දවසක බ්රේක් එකක් අරන් දිග නින්දක් ගන්නවා. ඒක ඇත්තටම ඒ වෙලාවට ශරීරය ඉල්ලන එකක්. මෙහෙම නොවන කාලෙට කියවීමට ලිවීමට දිනපතා කාලයක් වෙන් වෙනවා. අනිත් එක ලියනවා කියන එකේදි සමහර දවසට පැය ගානක් ගත කරල තියෙන්නෙ එක වාක්‍යයක් වෙනුවෙන් වෙන්න පුලුවන්. එහෙම නැත්තං එක වාක්‍යයක් ලිවීම වෙනුවෙන් කරන හැදෑරීම වෙනුවෙන් වෙන්නත් පුලුවන්. සමහර වෙලාවට ලියන නවකතාවක පරිච්ඡේදයක් ගැන හිතමින් ලී කොටයකින් එක එක දේවල් නිර්මාණය කරන එක වෙන්න පුලුවන්.

කෞශල්‍ය:පොඩ්ඩක් ඒක ගැන තව ටිකක් විස්තර කරන්න පුලුවන්ද? ලී කොටයක් එක්ක හැප්පෙමින් මේ කරන දේ ලිවීමත් එක්ක සම්බන්ධ වෙන හැටි.

මංජුල: ඒක එක්තරා විදිහකට මං රිලැක්ස් වෙන්න කරන දෙයක්. කැලේට ගිහිං අජීවී දර කොටයක් අරන් ඇවිත් මං ඒකත් එක්ක හැප්පෙමින් ගත කරන කාලය මට හිතන්න ගොඩක් උදව් වෙනවා. මං ගෙදර ගැරේජ් එකේ පොඩි වර්ක්ෂොප් එකක් හදල තියෙන්නෙ. ඒකෙ අවශ්‍ය කරන ටූල්ස් තියනවා. මං මේ වුඩ් කාර්විං වැඩේ ප්‍රංශෙට ආවට පස්සෙ විධිමත්ව ඉගෙන ගෙනත් තියෙනවා. නමුත් ඒක මූලිකවම හිතමින් නිදහසේ කරන දෙයක්. ඒ වුනාට ඉතින් අන්තිමට යම් දෙයක් ඉතුරු වෙනවා. මං ඔය බෙල්ලෙ දාන දේවල් එහෙම මම ම හදපුවා. එහෙම දේවල් තමයි මම යාළුවෙක් මුණගැහුණම තෑගි හැටියට දෙන්නෙත්. මොකද ඒ පුංචි ලී කෑල්ලත් එක්ක මම ගත කරපු කාලයක් ශ්‍රමයක් තියනවා. ඒ නිසා ඒක මං හිතන්නෙ හොඳ මතකයක්.

Screenshot 2023 10 13 at 17.43.09

කෞශල්‍ය: ඇත්තටම ඒක හරිම සිත්ගන්නාසුළු දෙයක්. ඉතින් අවසාන වශයෙන් මට කියන්න නවකතාකාරයෙක් හැටියට ඔබ ලිවීම විඳින්නෙ කොහොමද? ඒ විඳීම මොනවගේ දෙයක් ද?

මංජුල: එක්තරා විදිහකට ගත්තම ඒක අතිශය වේදනාකාරී දෙයක්. කිසියම් චරිතයක් ලියද්දි අපිට ඒ චරිතයට අනන්‍ය වෙන්න සිද්ධ වෙනවා. ඒ විදිහට හිතන්න වෙනවා. ඒ විදිහට දේවල් අත්විඳින්න වෙනවා. හිතන්න, අපි ස්ත්‍රී චරිතයක් නිර්මාණය කරනකොට අපිට ස්ත්‍රියක් වෙන්න වෙනවා. අප තුළ තියන ස්ත්‍රී ආත්මය අවදිවෙනවා. එහෙම නැති කෙනෙකුට ඒක කරන්න බැහැනෙ. අපි මාර පිරිමි කියල හිතන් හිටියට එතෙන්දි අපේ ජෙන්ඩර් එක ප්‍රශ්නගත වෙනවා. ඔයත් නවකතාකාරයෙක් හැටිය මේක හොඳටම දන්නවනෙ. මේ විදිහට විවිධ චරිත වල ආත්මයට ඇතුල් වෙමින් ගත කරන කාලයේ විශාල වේදනකාරීබවක් තියනවා. අනිත් අතට මේකෙ ආශ්වාදය තියෙන්නෙත් මෙතනමයි. ඒ ඇරුනම සතුට කියල වෙනම එකක් නැහැ. දැන් ඔය සමහරු කියන්නෙ ලියන කාලෙ මාර දුකක් වින්ද පොත පළ වුනාම හරිම තෘප්තියක් දැනෙනවා කියල. මට නං ඒක තේරෙන්නෙ නැහැ. නවකතාවක් ලිවීමේ ආශ්වාදය තියෙන්නෙ ඒකෙ චරිත ඒ හැඟීම් එක්ක ගත කරන කාලයේ අත්විඳින වේදනාව ඇතුලෙමයි. ඒ නිසා තමයි මං නැවත නැවත නවකතා ලියන්නෙ.

නවකතාකරුවෙක් ලෙස ලිවීම තුළ මංජුල අත්විඳින සංවේදනා, ඔහුට දැනෙන හැඟීම් සහ ඔහුගේ භාවිතයන් හා තාක්ෂණයන් අප මෙතෙක් හමු වී ඇති අනෙකුත් නවකතාකරුවන් හා කාරියන් ගේ කතාබහ ද අපට නැවත සිහිපත් කරවයි. මේ හැම කෙනෙකු ම ලිවීම තුළ පවතින ආකාරයේ සුවිශේෂීත්වයන් හා සමානකම් ඇත. එසේම නවකතාකරුවෙකුගේ වැකේෂන් නැති ජීවිතය ගැන මංජුලගේ හෙළිදරව්කිරීම් අපට නවකතා ලිවීමේ සෞන්දර්යය ගැන යළි සිතා බැලීමට බලකරයි.

ලබන සතියේ මුණගැසෙන ශමෙල් ජයකොඩි මෙම සිතාබැලීම තවදුරටත් විචිත්‍ර හා සංකීර්ණ කරනු ඇත.


බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වන කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි.

ඔහු මේ වන විට නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය අවසන් කරමින් සිටියි.

Screenshot 2023 10 13 at 18.09.08කෞශල්‍ය කුමාරසිංහ
ලේඛක

උපුටා ගැනීම : BBC සිංහල පුවත් සේවය   


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්