සීතාම්බර පට සළුව ඇඳි රජතුමාගේ කතාව මෙය කියවන බොහෝ දෙනා අසා ඇතුවාට සැක නැත. එය අසා නොමැති කෙනෙකු සිටීනම් පළමුවෙන් ම පහත විඩියෝව නරඹා

ලිපිය කියවන මෙන් මම ඉල්ලා සිටිමි.



මෙම ලිපිය ලිවිමට පෙලඹුණේ එකල රජතුමකු ඇන්දා යැයි ප්‍රචලිත ඒ සිතාම්බර සළුව ඇඳි චීවරධාරියකුගේ ලිපියක් කියවීමෙන් ඉක්බිතිව ය. ඔහුට මා චීවරධාරියා යැයි අමතන්නේ ‘‘චීවරයක් ඇඟලාගත් පමණින් හෙතෙම භික්ෂුවක් නොවන්නේ ය’’ යනුවෙන් බුදුන් වහන්සේ ම දෙසා වදාරා ඇති බැවිනි. මා මේ ලිපියෙන් පිළිබිඹු කරන චීවරධාරියා ද එබන්දෙකි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පිරිනමනු ලබන ස්වර්ණ පුස්තක සම්මානය මෙරට ජනප්‍රිය ම සහ වටිනා ම (මූල්‍යමය පාර්ශ්වයෙන්) සම්මානය බව අවිවාදිත ය. එම සම්මානය මෙරට සිංහල සාහිත්‍යයේ යේ උන්නතියට කෙතරම් බලපැමක් කළා ද නැද්ද යන්න වෙනම සාකච්ඡා කළ යුතු බැවින් මෙම ලිපිය ඒ සඳහා භාවිත නොකරන බව ද පැවසිය යුතු ය. මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ වන්නේ යට පැවසු චිවරධාරියා විසින් පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කෙතරම් අපහාසයට සහ උපහාසයට ලක් කර ඇති ද යන්න පැහැදිලි කිරීම සඳහා ය.

මා පවසන මෙම චීවරධාරියා දැනට වසර කිහිපයක සිට ස්වර්ණ පුස්තක සම්මාන කමිටුවේ උත්තරිතර මණ්ඩලය නියෝජනය කරන්නෙකි. එහෙත් මෙරට වෙසෙන බුද්ධිමය පාඨක ප්‍රජාවගෙන් බොහෝ පිරිසක් මෙම චිවරධාරියා පිළිබඳ දරන්නේ ඍණාත්මක ආකල්පයකි. ඒ, සැබැවින් ම එම චිවරධාරියාගේ හැසිරීම හේතුවෙන් මිස එම චිවරධාරියා පිළිබඳ වු පුද්ගලික අමනාපයකින් නොවන බව ස්ථිර වශයෙන් ම කිව හැකි ය.


මෙම චීවරධාරියා සිය මුහුණු පොතේ තැබූ සටහනක් ඇසුරෙන් (එම සටහන ද සහිතව) සැකසු ලිපියක් පසුගිය (2023/10) 09වන දින ‘‘ස්වර්ණ පුස්තක සම්මාන දෙදරයි..! විනිශ්චය මණ්ඩලයේ සිටි හිමිනමකගෙන් ප්‍රකාශකයන්ට චෝදනා’’ යන ශිර්ෂය යටතේ https://ceylonwire.lk නමැති වෙබ් අඩවියේ පළ කර ඇත. චීවරධාරියා අදාළ ලිපිය සිය මුහුණු පොතේ පළ කර ඇත්තේ 23/10/07වන දින ය.

තම සෙලුව වසාගන්නට අනෙකුගේ සළුව උදුරා ගැනීම

චීවරධාරියා සිය සටහන අරඹන්නේ 2023 වසරේ පැවති ස්වර්ණ පුස්තක සම්මාන උළෙලෙහි පූරක කටයුතු මෙහෙය වූ වජිර ජයවර්ධන කෙරෙහි මෙන් ම මෙරට සුප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු (ඔහු මේ වන විට එම වෘත්තියෙන් විශ්‍රම ගොස් සිටී) වෙත සිය ද්වේශය මුදාහරිමිනි. අනතුරුව මෙම චීවරධාරියාගේ වෛරයට පාත්‍ර වන්නේ පොත් කර්මාන්තයේ නමක් දරා සිටින ප්‍රකාශකයෙකි. ලිපිය කියවන ඕනෑම පුද්ගලයකුට අදාළ ප්‍රකාශකයා කවුද යන්න අවබෝධ කරගත හැකි ය.

චීවරධාරියා සිය සමස්ත අදහස් දැක්වීම තුළ ම නිර්දය විවේචනයට බඳුන් කර ඇත්තේ අදාළ ප්‍රකාශකයා පමණි. අදාළ ලිපිය අවබෝධයෙන් කියවන්නේ නම් ප්‍රත්‍යක්ෂ වන එක් කරුණක් පවතී. එනම් මෙම ලිපියෙහි අන්තර්ගත වන්නේ අදාළ චීවරධාරියාගේ අදහස් පමණක් නොවන බව ය. මන්ද මෙම චීවරධාරියා කර තිබෙන්නේ තමන්ගේ සෙළුව වසාගැනීම සඳහා අනෙකකුගේ සළුව උදුරාගැනීම ය. ඒ අනෙකා නම් චීවරධාරියාගේ නිර්දය විවේචනය ලක් වී ඇති ප්‍රකාශකයාගේ ය. එහෙත් මේ චීවරධාරියාට නොවැටහුණ කරුණ නම් ප්‍රකාශකයාගේ සළුව යැයි සිතා තමන් උදුරාගෙන ඇත්තේ සිතාම්බර පට සළුවක් බවයි. චීවරධාරියා එය ඔහුගේ ම ලියවිල්ල තුළින් මොනවට ප්‍රත්‍යක්ෂ කර ඇත.

‘‘මං පොර’’ උම්මාදය


චීවරධාරියා පවසන අන්දමට ඔහු මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ සිටින මාර පොරකි. එබැවින් ඔහු, ඔහුට ස්වර්ණ පුස්තක සම්මාන කමිටුවවට පැමිණෙන්නැයි එවකට පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපතිතුමා ඉල්ලා සිටි අවස්ථා කිහිපයක ම එය ප්‍රතික්ෂේප කර ඇත. නමුදු ඊට හේතුව කුමක් ද යන්න මෙම චීවරධාරියා පවසා නැත. අවසන මෙම චීවරධාරියා අදාළ ආරාධනය පිළිගෙන ඇත්තේ තෙවන වරට ය. පෙර දෙවතාවක් ප්‍රතික්ෂේප කළ හේතුව සහ තෙවන වර එය පිළිගත්තේ ඇයි ද යන්න පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් ද නොමැත. නමුදු චීවරධාරියාගේ නම ස්වර්ණ පුස්තක කමිටුවට යෝජනා කර ඇත්තේ ඔහුගේ නිර්දය විචාරයට ලක්වන ප්‍රකාශකයා බව එම ප්‍රකාශකයා පැවසුවා යැයි හෙතෙම අදාළ සටහනේ සඳහන් කර ඇත. 

sps 29387
එය සැබෑවක් නම් මෙම ප්‍රකාශකයා ද සිය පොත් කර්මාන්ත දිවියේ සිදු කර ඇති අඥාන ම ක්‍රියාව එය බව ද පැවසිය යුතු ම ය. මන්ද මෙම චීවරධාරියා ස්වර්ණ පුස්තක සම්මාන කමිටුවට නොව පොත් ජනගතකිරීමේ උළෙලකට පවා ආරාධනා නොලබන, අනාරාධනයෙන් හෝ පැමිණිය ද කිසිවකු මායිම් නොකරන වර්ගයේ චීවරධාරියකු වන බැවිනි. ඉදින් එබඳු චිවරධාරියකු ස්වර්ණ පුස්තක සම්මාන කමිටුවේ උත්තරීතර මණ්ඩලයට සුදුසු යැයි යෝජනා කරන්නට තරම් අදාළ ප්‍රකාශකයා අඥාන ද යන්න විශ්වාස කළ නොහැකි ය.

තමාගේ සළු තමා විසින් ම උනා දැමීම

කෙසේ වුව ද මේ චීවරධාරියා තම සෙලුව ඉතා මැනවින් ප්‍රදර්ශනය කරන ආකාරය පිළිබඳ අවධානය යොමු කරමු.

මෙම චීවරධාරියාගේ ප්‍රකාශයට අනුව හෙතෙම සම්මාන කමිටුවේ උත්තරීතර මණ්ඩලයේ අසුන් ගත් මොහොතේ සිට අදාළ ප්‍රකාශකයා මෙම චීවරධාරියාට පොත් පත් සහ විවිධ වරදාන වරප්‍රසාද ලබා දුන් බව පවසයි. එය චීවරධාරියා ම සටහන් කර ඇත්තේ මෙලෙසිනි.

// එවර සමන් වික්‍රමාරච්චිගේ “අප්පච්චී ඇවිත්” කෘතියට සම්මානය ලැබුණු පසු ඊට වඩා තමා පළ කළ “වරණ” හොඳ යැයි මා සමග දීර්ඝ කයිවාරුවක් ද ගැසුවේ මෙදිනයි. මේ 2018 සැප්තැම්බර් මස දවසකයි. එතැන් පටන් නොමිලේ පොත් ද, ජනවාරි 01 දා ඇදෙන් නැගිටින කොට දොර ළගට එන අලංකාර සුබ පැතුම් පත ද ඔහුගෙන් නොවරදවා ලැබුණි. වෙනත් ප්‍රකාශකයන් කිසිදාක අනුගමනය නොකරන මිනිසුන් මානසිකව බිලි බා ගන්නා ක්‍රම හොඳින්ම ප්‍රගුණ කර ඇති ගිජුමංකඩට මාව එසේ මානසික එන්නත්වලින් බා ගත නොහැකි බව තේරුම් ගියේ සම්මාන උන්මාදයෙන් මුහුණු පොතේ බඩ පිණුම් ගසමින් සිටියදී ඔහුගේ හෙළුව පෙන්වූ අවස්තාවකයි.//

මෙම සටහනට අනුව අදාළ ප්‍රකාශකයා මෙම චීවරධාරියා වෙත ලබා දුන් වරප්‍රසාද වරදාන (එලෙස ලබා දුන්නේ නම්) කිසිවක් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කර නොමැත. එයින් හැඟවෙන්නේ මෙම චීවරධාරියා අදාළ වරදාන වරප්‍රසාද ලබාගෙන ඇති බවයි. එසේ නොවුණේ නම් ‘‘මා නම් ඒ කිසිවක් ම ලබා නොගෙන ප්‍රතික්ෂේප කළේ ය.’’ යන වාක්‍ය ලිවීමට හැකි ය. නමුදු චීවරධාරියා එබඳු වාක්‍යක් ලියා නොමැත. ඒ ඔහුගේ ම සෙලුව ඔහු විසින් ම ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව ය. මතු දැක්වෙන්නේ දෙවන අවස්ථාව ය.

// ඔහු දැන් වෙඩි කෑ ඌරකු මෙන් පැසවමින් හැසිරෙන්නේ ඇයි ද යන්නට අතීත හේතු ද තිබේ. 2021 දී ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි ඔහුගේ ප්‍රකාශන දෙකක් වූ ”කඳ අරණි සහ කෝමල මානවක” අවසන් පොත් 05 න් ගිලිහී ගියේ ය. ( 2022 සංසක්කාරි ද ගිලිහී ගියේය.)//

මේ, යට සඳහන් චීරධාරියාගේ ම සටහනින් උපුටා ගත්තකි. මෙම සටහනට අනුව ද එම චීවරධාරියාගේ නිරුවත හෙළිවන්නේ ය. එනම් මෙකී චීවරධාරියා පවසන පරිදි ඔහුගේ දැඩි විවේචනයට ලක්වන ප්‍රකාශකයාගේ ප්‍රකාශන ‘‘ගිලිහී යාමට’’ නොව ‘‘පලවා හැරීමට’’ මොහු අනියමින් බලපැම් කර ඇති බව මෙයින් පැහැදිලි කරගත හැකි ය. 

තව ද 2020 වසරේ පළවූ, 2021 වසරේ අවසන් කෘති පහ සඳහා නිර්දේශ වූ මෙරට සුප්‍රසිද්ධ මහාචාර්යවරයකුගේ කෘතිය සඳහා එම වසරේ ස්වර්ණ පුස්තක සම්මානය ලබා දිය යුතු යැයි මෙම චීවරධාරියා බලපෑම් කර ඇත. ඒ, කෘතිය පිළිබද සලකා නම් කිසිදු ගැටුලුවක් නොමැත. නමුදු මෙම චීවරධාරියා අදාළ සාකච්ඡාවේ දී පවසා ඇත්තේ අදාළ මහාචාර්යවරයා මෙරට සාහිත්‍ය වෙනුවෙන් කර තිබෙන සේවාව සහ ඔහුගේ පරිණත භාවය සලකා අදාළ සම්මානය ඔහුට ලබා දිය යුතු (ඇතැම් විට එම කෘතිය පළමු සහ දෙවන වටයට තේරෙන්නට ඇත්තේ ද මෙම කරුණ නිසා ද යන්න සැක සහිත ය. මන්ද ලේඛක ලේඛිකාවන්ගේ සිවිල් බලයට බිය සාහිත විනිසුරුවරුන් සහ විනිසුරුවරියන් සිටින බව ද නොරහසකි) බවයි. නමුදු උත්තරීතර විනිශ්චමණ්ඩලයේ කටයුතු කළ අනෙක් සිවු දෙනා ම එම තීරණයට එක හෙළා ම සිය විරුද්ධත්වය පළ කර ඇති බැවින් මේ මුග්ධ චිවරධාරියාගේ අභිප්‍රාය පරාජයට පත්වී තිබේ.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ වගකීම

කොළඹ පොත් ප්‍රදර්ශනය' : අරුණ පත්තරේ පලනොවුන කුසල්ගේ ලිපිය

අනුන්ගේ සළු පිළි උනන්නට යත්න දරන මේ චිවරධාරියාගේ ඇතුළු වත මේ ආකාර ය. ඔහු ගැන පවසන්නට තව බොහෝ දැ තිබුණ ද අදාළ මාතෘකාවට පසුබිම් වූ හේතු පමණක් සලකා මෙම ලිපිය අවසන් කිරිමට අවස්ථාව එළඹ ඇත. නමුදු මෙම ලිපිය කියවන පාඨක ප්‍රජාවට මේ වන විට ප්‍රශ්නයක් සිතට නැගී ඇති බව පැහැදිලි ය. එනම් ලිපියේ සිරස ‘‘ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අවධානය පිණිස’’ ලෙස යොදා චිවරධාරියාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම ය. එය සැබැවකි.

මන්ද මාගේ විවේනයට බඳුන්වන චිවරධාරියා බඳු: මුග්ධ, අමනෝඥ, ජාතිවාදී, ආගම්වාදී, කුහක චීවරධාරින් ස්වර්ණ පුස්තක සම්මාන කමිටුව සඳහා තෝරාගැනීමේ මුලික වරද සිදුකර (හෝ සිදු වී) ඇත්තේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අදුර දර්ශී තීරණ හේතුවෙනි. එනිසා මා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින්නේ අනාගතයේ දී හෝ මෙවන් චිවරධාරීන් සම්මාන විනිශ්චය සඳහා තෝරා පත්කර නොගන්නා ලෙස ය. මන් ද මෙබඳු චීවරධාරීන් අද මෙලෙස එක් ප්‍රකාශකයෙක් මේ ආකාරයට විවේචනයට ලක් කර, හෙට දවසේ තවත් ප්‍රකාශකයකු වෙත යොමු වන බැවිනි. බොහෝ විට ඒ ද දැනට සංගමයේ කිසියම් ප්‍රධාන නිලයක් දරන ප්‍රකාශකයකු විය හැකි ය. එබැවින් ලබ්බට තැබූ අත පුහුලට නොතබන්නට කටයුතු සැලසුම් කළ යුත්තේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය යි.

(චිවරධාරියාගේ ලිපියේ ලින්කුව)

ස්වර්ණ පුස්තක සම්මාන දෙදරයි..! විනිශ්චය මණ්ඩලයේ සිටි හිමිනමකගෙන් ප්‍රකාශකයන්ට චෝදනා

(චීවරධාරියාගේ Facebook සටහන)


ජාතක කතා විමර්ශන 13 : 'පිරිමිකම' මැනීමේ වැරැදි ක්‍රම - ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2023/10/29 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image