ලාංකික සාහිත්‍ය සම්මාන වංශකතාවේ රන් අකුරෙන් ලියවෙන, සාහිත්‍ය සම්මාන උත්සව අතර පෙරමුණේ සිටින ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානෝත්සවය 2023 වසරේ සිය විසිපස්වන රිදී ජුබිලිය සමරයි.


1998 වසරේදී ගොඩගේ ප්‍රකාශන වෙනුවෙන් සම්මාන තිළිණ පුද දෙන සාහිත්‍ය සම්මානයක් ලෙස ඇරඹි මෙම සම්මානොත්සවය වසර කිහිපයක් ඇවෑමෙන්: සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත්වන: නවකතා, කෙටිකතා කාව්‍ය අංශයත්, ශාස්ත්‍රීය යොවුන් නවකතා පරිවර්තන, තීරු ලිපි යනාදි අනෙකුත් සාහිත්‍යාංග වෙනුනේ ද සම්මාන පිරිනැමෙන විවෘත සම්මාන උළෙලක් ලෙසින් වැඩී වර්ධනය විය.

රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන හා සමාන්තර ජනප්‍රසාදයකට ලක්වෙමින් වසර විසිපහක් තිස්සේ අඛණ්ඩව පවත්වා ගෙන ආ ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය යනු පුද්ගලික අර්ථපතීත්වයකින් යුතුව ලාංකික පසුතලයේ දැනට සජීව ව පවතින එකම සම්මාන උළෙල ද වන්නේය.

godage 03

2020 හොඳම නවකතාව සඳහා සම්මානය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අතින් ප්‍රවීණ ලේඛක එරික් ඉලයප්පආරච්චි ලබා ගනිමින්

සම්මානිත කෘති රචනා කළ කතුවර කතුවරියන්ට ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානයට අමතරව මුල්‍ය ත්‍යාගයක් සහ සහතික පත්‍රයක් පිරිනැමෙන අතර වසරේ කැපී පෙනෙන නවක දායකත්වය වෙනුවෙන්: නවකතා, කෙටිකතා, කාව්‍ය සහ යොවුන් නවකතා යන අංග යටතේ නවක දායකත්ව සම්මානයක් ද පිරිනැමෙන ලංකාවේ එකම සම්මාන උළෙල වන්නේ ද මේ වසරේ සිය රිදී ජුබිලිය සමරණ ගොඩගේ සම්මාන උළෙලයි.

ලාංකික වාර්ගික සුභදත්වය උදෙසා අන්තර් සංස්කෘතික හුවමාරුවක ඇති දායකත්වය සලසා දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවටත්, සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවටත් පරවර්තනය කෙරෙන කෘති අගයමින් ඒ අතරින් සාර්ථක ප්‍රයත්න අගයා සම්මාන සහ මුල්‍ය ත්‍යාග පිරිනැමීම මෙම සම්මානෝත්සවයේ තවත් විෂේශත්වයකි. එහි දී ගොඩනැංවෙන අන්තර් සංස්කෘතික හුවමාරුව භාෂා දෙකකින් වෙන්ව සිටිය ද ලාංකිකයන් ලෙස මේ ජනවර්ග දෙක ම එකම සමාජීයීය ගැටලුවලට මුහුණ දෙන සමානයන් බව වටහා ගැනීමෙහි ලා ඉවහල් වෙයි.

මහා සම්මත සම්මාන නිර්වචන යාවත්කාලීන සමාජ මෙහොත සමග නොපෑහෙන බවත්, නව සාහිත්‍යාගමනයේ ගැබ්ව පවතින නව නිර්මාණ ආකෘති සහ නිර්මාණ නිමිති ඇසුරේ නව සම්මාන නිර්වචන බිහි විය යුතු බවත් සහතික කෙරෙන තීන්දු තීරණ ප්‍රකාරව සිය සම්මාන නම් කිරීම මගින් ගොඩගේ සම්මාන උළෙල ඉතිහාසයට එක් වී තිබේ. ඒ ඇසුරේ නව චින්තන කලාපයක් සේම නව නිර්මාණ කෘති බිහි වීමේ පුරෝගාමී මෙහෙවර ද ඉටු කළ බව නිදහස් විචාරක මතය යි.

ලක්ශාන්ත අතුකෝරළ

අභියෝගාත්මක විනිශ්චය මගින් සම්මානයට පාත්‍ර කෙරුණ තරුණ සාහිත්‍යකරුවන් එල්ලයේ අධිපතිවාදි බැට දීම ඉදිරිපත් වුවද අනාගත විශිෂ්ටත්වය පිළිබඳ වන අනිවාර්ය අවබෝධය ප්‍රකාරව ගොඩගේ සම්මානය විසින් තහවුරු කරන ලද එඩිතරභාවයේ අගනා ඵලයක් ලෙස ලක්ශාන්ත අතුකෝරළ කවියා පමණක් නම් කිරීම වුවද සෑහෙන්නේ ය. අධිපතිවාදී ඇකඩමික විචාර ප්‍රතිචාර අවලාද සහ අපහාස උපහාස මැද වුවද නිර්මාණකරුවා නොව නිර්මාණය ම පමණක් සම්මානය පිළිබඳ තීන්දුවට බලපාන එකම කොන්දේසිය බව තහවුරු කිරීමේ නිදහස සමීක්ෂකයන්ට පවරා දුන් බවට වන බලවත් උදාහරණය ද එය ම වන්නේ ය.

godage 02

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සම්මාන ලබාගනිමින්

කලාව යුගකාරක වෙනසේ ප්‍රතිඵලයක් ලෙස වැඩෙන බවත්, ඊට සාපේක්ෂව වෙනස්වන සමාජ, ආර්ථික සහ දේශපාලනමය වෙනස කලාවේ සංවේදී මර්මස්ථාන ස්පර්ශ කරන හෙයින් අනිවාර්ය වෙනස් වීමක් හෝ මහා පිපිරීමක් හෝ කලාව තුළින් අපේක්ෂා කරන බවත් පිළිගත් විශ්ව තත්ත්වයකි. ඊට අනුරූපව වෙනස් වීමේ ශක්තිය පෙන්නුම් කරන සාහිත්‍ය නිර්මාණ නිරන්තරයෙන් ගොඩගේ සම්මානයෙන් පිදුම් ලැබීම හෝ සම්මාන නිර්දේශ ඇගයීම් ලැබීම සාහිත්‍යයේ වෙනසක් අපේක්ෂිත ආධුනික ලේඛකයන් දිරිගැන්වීමක් සේ ගැනේ. එම විශ්වාසය ප්‍රකාරව විශේෂයෙන් ම කාව්‍ය සාහිත්‍යයේ සහ කෙටිකතා ශානරයේ කැපී පෙනෙන නිර්මාණාත්මක නව ප්‍රවේශ බිහි කිරීමෙහි ලා උපස්ථම්භක වූ බව කිව මනාය. පසුගිය වසර විසිපහේ දී එවැනි ඇගයීම් ලද කලාකරුවන් අද ලාංකික සාහිත්‍ය මොහොතේ කැපී පෙනෙන වගකීමක් දැරීම ඊට කදිම සාක්ෂියකි.

sirisumana godage

සිරිසුමන ගොඩගේ

පුද්ගල අර්ථපතීත්වයේ අයථා බලපෑම ගොඩගේ සම්මානය පසුපස වන බවට කිසිදු මැසිවිල්ලකට ඉඩ නොතබනාකාරයේ නිදහසක් සිරිසුමන ගොඩගේ මහතා සහ එහි පාලකයන් විසින් සමීක්ෂකයන් මත මුදාහැර තිබුණෙන් පුද්ගලික අමනාපයන් සහ ඊගෝමය පරාජ මත පිහිටා කැලෑ විචාර විචේචන ඉඳ හිට එල්ල වුවද පොදුවේ ගත් කළ මෙම සම්මාන උළෙලේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රචලිතව ඇත්තේ සාධනීය ප්‍රතිචාරයකි.

ගොඩගේ සම්මාන උළෙල අන් සාහිත්‍ය සම්මාන උළෙලවලින් වෙනස් වන තවත් ප්‍රබල නිමිත්තක් වන්නේ තමන් විසින් වසරේ විශිෂ්ට කෘති ලෙස තෝරා සම්මානයට බඳුන් කරනු ලබන කෘති සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන සමීක්ෂණ සටහන් හේතුවෙනි. ‘සම්මාන සමාප්ති සටහන’ නමින් මුද්‍රිත පොතක් ලෙස සම්මාන උත්සව අවස්ථාවේදී නොමිලේ පාඨකයන් අතට පත් කරන මේ කෘතියේ, තමන්ගේ තෝරාගැනීම පිළිබඳ ඒ ඒ සාහිත්‍ය ප්‍රවර්ග යටතේ ඉදිරිපත් කෙරෙන විචාර සටහන් පෙළ වසරේ ප්‍රශස්ත කෘති සම්බන්ධයෙන් නිකුත් වන එකම හා වැදගත්ම විචාර සටහනක් ලෙසින් ද සැලකේ.

godage 01මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සම්මාන ලබාගනිමින්

අදාළ සාහිත්‍ය ප්‍රවර්ග පිළිබඳව මෙන්ම දෙස් විදෙස් සාහිත්‍යය පිළිබඳ විෂයීය ප්‍රාමාණිකයන් හා අභීෂ්ටත්ව පාඨක ප්‍රජාව ලෙසින් කැපී පෙනෙන බුද්ධිමත් සාහිත්‍යවේදීන් පිරිසකගේ දායකක්වය ලබා ගනිමින් සිදු කළ සහ සිදුවෙමින් පවතින සම්මාන සමීක්ෂණ ක්‍රියාවලියේ වැදගත්ම මැදිහත් වීම ලෙසින් කැපී පෙනෙන්නේ ද මේ සමාප්ති සටහනයි. එය ගොඩගේ සම්මානයේ කීර්තිය සහ අවංකාධ්‍යාංශය මොනවට දක්වන්නක් බව ද නොකිව මනාය. එසේම තමන්ට පැවරුණ සාහිත්‍ය වගකීම අභියෝගයක් ලෙස පෙරළා සමීක්ෂකයන් වෙත පවරනු ලබන්නක් ලෙසින් ද සැලකිය හැකි ය. මේ පාරදෘශ්‍ය සංදර්භය ගොඩගේ සාහිත්‍ය සම්මානයේ වැදගත්කම දක්වා සිටින්නක් ලෙසින් ද සැලකේ. එය ගොඩගේ සම්මානයේ ආරම්භක සංවිධායකයන් වූ ටෙනිසන් පෙරේරා, සේන තෝරාදෙනිය යනාදි ප්‍රවීණයන්ගේ මග පෙන්වීමේ පුරෝගාමී මෙහෙවරේ වැදගත්ම මැදිහත් වීමකි. ගොඩගේ සම්මාන උළෙල තවත් එක් සාහිත්‍ය සම්මානයක් නොව වැදගත් සාහිත්‍ය මෙහෙවරක් පවරා ගත් සම්මාන ප්‍රදානයක් බවට පත් කිරීම වෙනුවෙන් ගත් වැදගත් උත්සාහයක් බව කීම නිබොරු ය.

sirisumana godage1

දේශ බන්ධූ සිරිසුමන ගොඩගේ සහ නන්දා ගොඩගේ 

පසුගිය වසර විසිපහ මුළුල්ලේම මේ සම්මාන උළෙල වෙනුවෙන් සිය පුද්ගලික මුල්‍ය ශක්තිය වැය කළ දේශ බන්ධූ සිරිසුමන ගොඩගේ සහ නන්දා ගොඩගේ මැතිණිය ව්‍යාපාරයක් ලෙස ගොඩගේ සහ සහෝදරයෝ පූද්ගලික සමාගමේ සාර්ථකත්වය පසුපසින් නොව සමාන පියවරේ සිටින්නේ ලාංකික ලේඛක ප්‍රජාව බව විශ්වාස කරන්නෝ බැවින් එහි ලාභයේ අග්‍රභාගය පෙරළා සාහිත්‍ය වෙත බැර කිරීමේ අවංක වේතනාවත් සාහිත්යික සමාජයේ සුබ පැතුම ඊට මුසු වීමත් හේතුවෙන් වසර විසිපහක් පුරා අඛණ්ඩව මෙම අගනා සාහිත්‍ය සම්මානය පවත්වා ගැනීමේ වාසනාව උදාවු බව අපට දැනේ.

වර්තමාන ලාංකික ආර්ථික පසුබෑම හමුවේ ආයතනයක් ලෙස මුල්‍ය පසුබෑමකට ලක්ව සිටින යුගයක මෙවැනි මිලාධික උත්සවාදිය සංවිධානය කිරීම ද මහත් අභියෝගයක් බව නොකිව මනාය. එසේ වතුදු සිරිසුමන ගොඩගේ මහතා සිය නමින් ඇති පුද්ගලික ගිණුම්හී මුල්‍ය දායකත්වය මේ සද්කාර්ය වෙනුවෙන් මුදාහරිමින් තවදුරටත් තමාගේ සාහිත්‍ය මෙහෙවර මුල් තැන්හි ලා සලකා කටයුතු කිරීම ලාංකික සාහිත්‍යයේ ප්‍රගමනයෙහි ලා වැදගත් නිමිත්තක් ලෙස සැලකීම වටී. එය හේතුවෙන් ම වසර විසිපහක් පුරා සිංහල, දෙමල සහ ඉංග්‍රිසි භාෂාවෙන් ලේඛනයේ නිරත වන ලංකික නිර්මාණවේදීන් රාජ්‍ය සම්මානය හා සම සම්මාන මට්ටමෙහි ලා සලකමින් සිය කෘතියේ නාමය ඉදිරියෙන් ‘ගොඩගේ ජාතික සම්මානය’ යන අකුරු සටහන ප්‍රතිමුද්‍රණය කිරීමේ කැමැත්තකින් සිටි බව නොරහසකි.

2022 වසරේ සිය නිර්මාණ ඉදිරිපත් කර ඇති ලේඛක ලේඛිකාවන්ගේ එම අභිප්‍රාය සපුරමින් 2023 නොවැම්බර් 15වන බදාදා ප.ව. 2.30 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී 25වන රිදී ජුබිලි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානෝත්සවය පැවැත්වීමට සියලු කටයුතු සුදාම් කර ඇත.

398942050 6752187234896508 8787415321563355057 n3298936458 6752187048229860 1156764759570627722 n3399385639 6752186924896539 2955941063774796837 n358995870 6752186758229889 3193965381084988101 n378924223 6752187364896495 5631766729883154900 n25 වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය නිර්දිෂ්ට ග්‍රන්ථ

වසර විසිපහක් පුරා සිරිසුමන ගොඩගේ මහතා සහ එම මහත්මියත්, එම ආයතනයේ සමස්ත කාර්ය මණ්ඩලයත්, සම්මාන සමීක්ෂණයෙහි ලා සහාය වු විද්වත් දායකකාරකාදීහුත්, මෙම සම්මාන ගෞරවනීයත්වයට පත් කරමින් ඊට සහාය දුන් ලාංකික ලේඛක ප්‍රජාවක් මේ මොහොතේ සිය පුද්ගලික ප්‍රහර්ශය නොව පොදු ආස්වාදනීය මිහිරක් වින්දනය කරන බව කීම අතිශයෝක්තියක් නොවන්නේ ය.

(අනුරසිරි හෙට්ටිගේ)
සංවිධායක
25වන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන -2023


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image