‘‘තථ්‍ය දෑ: සවන් දීමට, කියවීමට හෝ දැකීමට වඩා අතථ්‍ය දෑ ඇසීමට දැකීමට හෝ කියවීමට මිනිසා තුළ පවත්නේ සහජ ආශයකි.

එමෙන් ම ඇසීමට, දැකීමට හෝ නැරඹීමට අවස්ථා නොලැබෙන හෝ අවම අවස්ථා එළඹෙන යමක් වේ නම් එබඳු දෑ ඇසීමට, දැකීමට හෝ නැරඹීමට ද මිනිසා දැඩි ආශයක් දක්වයි. මිනිසා නිර්මාණ: නැරඹීම, කියවීම සහ සවන් දීම සඳහා පෙලඹෙන්නේ  යට කී සියලු ආශයෝ සන්තෘප්ත කරගනු පිණිස ය.

මිනිසා එසේ සන්තෘප්ත කිරීම සඳහා මිනිසා විසින් ම කරනු ලබන කුමන හෝ සාහිත්‍ය කලා නිර්මාණයක් ‘ප්‍රබන්ධ’ ලෙස හැඳින්විය හැකි ය. ඊළඟට පැන නැගෙන ප්‍රශ්නය වන්නේ එබඳු නිර්මාණ ‘ප්‍රබන්ධ’ ලෙස හඳුන්වන්නේ ඇයි ද යන්න ය. එසේ නම් ‘ප්‍රබන්ධය’ යනු කුමක් ද යන්න මඳක් විමසා බලමු.

ප්‍රබන්ධ කෘතියක් (කවි, ගීත, කෙටිකතා, නවකතා, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට, ඔපෙරා හෝ වෙනත් ඕනෑම සාහිත්‍ය කලා නිර්මාණයක්) ලෙස හැඳින්විය හැක්කේ මනඃකල්පිත ලෝකයක ඉදි කළ හෝ ඉදි කරන කිසියම් ඉදිකිරීමකි. එකී ඉදිකිරීමට උපස්තම්භක කරගන්නා ජීවි අජීවි සියලු වස්තු සහ ඒවායේ ක්‍රියාකාරිත්වය තථ්‍ය ලෝකයේ ජීවි අජීවී වස්තු විසින් කරනු ලබන ක්‍රියාදාමවලට වඩා වෙනස් විය යුතු යැයි මතයක් පවතින අතර ම එබඳු ඉදිකිරීම් බොහෝ විට තථ්‍ය සමාජය විසින් පිළිගනු ලබයි.

What is fiction 2021.06.12

 කිසියම් නිර්මාණයකට පාදක කරගන්නා සිද්ධි හෝ චරිත තථ්‍ය ලෝකයේ සිදු නොවන දෑ මෙන් ම සිදුවන දෑ සමග ද මිශ්‍ර විය යුතු ය. එකී චරිත ද තථ්‍ය ලෝකයේ වෙසෙන චරිත මෙන් ම නොවෙසන චරිත ද විය යුතු ය. එමෙන් ම ඊට අදාළ චරිතවල ක්‍රියාකාරිත්වය ද එසේ විය යුතු ය. එනම් ඕනෑ ම ප්‍රබන්ධයක් තුළ සත්‍ය නොවන දෑ මෙන් ම අසත්‍ය නොවන දෑ ද අඩංගු විය යුතු ය.’’

 

යට දැක්වෙන කොටස උපුටා ගත්තේ ‘‘ප්‍රබන්ධය යනු කුමක් ද?’’ (https://theleader.lk/hansa-wila/7106-2021-06-12-14-21-18) යන මැයෙන්  2021 ජුනි 12වන දින මවිසින් මෙම වෙබ් අඩවියට ම ලියන ලද ලිපියකිනි.

එම කොටස එලෙස උපුටා ගන්නට හේතු පාදක වූයේ අද දින මවිසින් ලියන්නට යෙදුණු ලිපියට අටුවාවක් ලෙසිනි. එබැවින් මතු දැක්වෙන විවේචනාත්මක විචාරය කියවා ඉඩක් ලදොත් ‘‘ප්‍රබන්ධය යනු කුමක් ද?’’ නමැති ලිපිය ද කියවන (නොකියවූ සහ කියවූ) මෙන් පාඨක ප්‍රජාවගෙන් මම ඉල්ලා සිටිමි.

ප්‍රබන්ධකරණය සියලු දනන් හට නොහැකි වුව ද එය අතැඹුලක් සේ මෙන් ම අසීරු කර්තව්‍යයක් ලෙස පාඨක ප්‍රජාව හමුවට පමුණුවන ලේඛක ලේඛිකාවෝ බහුල ය. එහෙත් සාහිත්‍ය ප්‍රබන්ධකරණයේ දී අදාළ ප්‍රබන්ධය ‘‘නවකතාවක්’’ ලෙස හඳුන්වන්නට තරම් සුදුසුකම් ලබන්නේ ඉතා සුළු ප්‍රබන්ධ ප්‍රමාණයකි. මෙතෙක් ම’විසින් රචිත සාහිතය නිර්මාණ වුව ද ‘‘නවකතා’’ ලෙස හඳුන්වා නොදෙමින් ‘‘ප්‍රබන්ධ’’ ලෙස හඳුන්වන්නේ එබැවිනි. මන්ද කිසියම් ලේඛකයකු හෝ ලේඛිකාවක විසින් රචිත ප්‍රබන්ධය නවකතාවක් ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ පාඨක ප්‍රජාව ය; වෙසෙසින් ම පුහුණු පාඨක ප්‍රජාව ය. ඇතැමි විට එය ද එක් එක් පාඨක පාඨකාවගේ බින්න රුචිකත්වය අනුව වෙනස් විය හැකිය. එය සාමාන්‍ය තත්ත්වයකි. ඒ අනුව සලකා බැලීමේ දී මගේ පාඨක පුහුණුවට සාපේක්ෂව ගත් කල ‘‘නවකතාවක්’’ ලෙස නම් කළ හැකි ප්‍රබන්ධ කෘතියක් කියවා අවසන් කරන්නට මට හැකි විය. කෘතිය ‘‘මොනර පිහාටු’’ ය; කතුවරයා අමිත්ත වීරසිංහ ය.


විචාරාත්මක කොටස

 
monara pihaatu 03
මොනර පිහාටු යනු අමිත්ත විරසිංහගේ පළමු නවකතාව (සාමාන්‍ය වහරට අනුව) ය. මා එය පළමු ප්‍රබන්ධය ලෙස හැඳින්වීමෙන් වැළකී සිටින්නේ හෙතෙම මීට පෙර කෙටිකතා සංග්‍රහයක් පළ කර ඇති බැවිනි. එහි අන්තර්ගත වන්නේ ද කෙටි ප්‍රබන්ධ සංග්‍රහයකි. එම කෙටි ප්‍රබන්ධ සංග්‍රහය තුළ ද ඔහු සිය ප්‍රබන්ධ ශක්‍යතාව මැනවින් ප්‍රකට කර තිබිණ. ‘‘මොනර පිහාටු’’ නවකතාව තුළ ද ඔහු සිය ප්‍රබන්ධ ශක්‍යතාව මැනවින් ඉටු කර ඇති බව පැවසිය යුතු ම ය.

මා මෙන් ම ඔබ ද විශාල ප්‍රබන්ධ ප්‍රමාණයක් කියවා, රස විඳ ඇති බව නොරහසකි. නමුදු ඒ අතුරින් ‘‘නවකතා’’ හමුවන්නට ඇත්තේ අතළොස්සක් බව ද නොරහසකි. එය එසේ වුව ද සෑම ප්‍රබන්ධයක් ම ‘‘නවකතාවක්’’ ලෙස වර නැගීම සාමාන්‍ය තත්ත්වය යි. නමුදු එය නිවැරැදි නොවේ. නවකතාවක් යනු ඔබ හෝ මා මෙතක් කියවා තිබු ප්‍රබන්ධයකට වඩා වෙනස් ප්‍රබන්ධයක් විය යුතු ය; නව ප්‍රබන්ධයක් විය යුතු ය. එසේ වුව ද එය එලෙස සිදුවන්නේ කලාතුරකිනි. නොබියව පවසන්නේ නම් සම්මානවලට පවා බඳුන් වී ඇති බොහෝ ප්‍රබන්ධ, ප්‍රබන්ධ ලෙස සැලකුව ද ‘‘නවකතා’’ ලෙස සැලකිය නොහැකි ය. කිසිවකු ඒ පිළිබඳ විමසන්නේ නම්, සංවාද කරන්නේ නම් ඒ සඳහා මෙම වෙබ් අඩවියෙන් වුව ද ඉඩකඩ වෙන් කරගත හැකි ය.

එසේ නම් අමිත්ත විරසිංහගේ ‘‘මොනර පිහාටු’’ ප්‍රබන්ධයක් පමණක් නොවී ‘‘නවකතාවක්’’ වන්නේ කෙසේදැයි කිසිවකු විමසිය හැකි ය. එසේ විමසීම දamitta 05 සාධාරණ ය. මන් ද ප්‍රබන්ධ කෘති කියවන, විඳින පුහුණු පාඨක ප්‍රජාව වුව ද සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ‘‘නවකතා’’ සොයමින් සිටින බව පැහැදිලි ය. එවන් පිරිසට මා ආරාධනා කරන්නේ ‘‘මොනර පිහාටු’’ කියවන ලෙස යි; කියවා විඳින ලෙසයි.

‘‘මොනර පිහාටු’’ නවකතාවේ සංකල්පය (Idea or Concept) නැවුම් ය; ආඛ්‍යානය (Narration or Statement) නැවුම් ම නොවුණ ද බොහෝ සෙයින් වෙනස් ය. ඉදිරිපත් කිරීම (submission) ද මන වඩනාසුලු ය. ප්‍රබන්ධය කියවීම ඉතා පහසුකර (කෘතියෙහි නොගැඹුරු බවක් මෙයින් ගම්‍ය නොකෙරේ) ය. මේ සියල්ල අන් කිසිවක් නොව කතුවරයා සතු සාහිත්‍යමය ශක්‍යතාව යි. හෙතෙම අපූරු (පෙර නොවූ විරූ හෙවත් පෙර නොකියවූ) අදහසක් සිය පරිකල්පනයට ග්‍රහණය කරගනිමින් එය විවිධ හැඩතලවලින් ඔපමට්ටම් කර පාඨක ප්‍රජාව වෙත මුදා හැර ඇත. දැන් ඉතිරිව පවතින්නේ පාඨක ප්‍රජාවගේ කර්තව්‍ය යි.

 මෙම ‘‘නවකතාවේ’’ කිසිදු කොටසක් උපුටා දක්වන්නට මම උත්සාහ නොකරමි. මන්ද එවිට ‘‘නවකතාව’’ කියවන්නට බලාපොරොත්තුවෙන් සිටින පාඨක ප්‍රජාව මගේ කියවීම ඔස්සේ ගමන් කරන්නට ඉඩ - කඩ පවතින බැවිනි. එහෙත් එය එසේ නොවී එක් එක් පාඨක පාඨකාවගේ මානය ඔස්සේ කියවාගන්නට ඉඩ හැරීම වඩාත් සුදුසු යැයි මම අදහස් කරමි. අවම වශයෙන් මෙම ‘‘නවකතාවේ’’ සංක්ෂිප්තයක් හෝ ඉදිරිපත් කරන්නට මම අදහස් නොකරමි. ඒ මන්ද යත් මෙම ‘‘නවකතාව’’ ප්‍රබන්ධ කර තිබෙන්නේ නවමු සංකල්පයක් පාදක කරගෙන බැවින් එය විසංයෝජනය කර ඉදිරිපත් කිරීම ප්‍රබන්ධයට මෙන් ම කතුවරයාට ද කරන අසාධාරණයක් යැයි මට හැඟෙන බැවිනි.
 
කෘතිය කියවා අවසන් වූ පසු අසවලා වැරැදි ය, අසවලා නිවැරැදිය යන ඒක පාර්ශ්විය මතයකට ඒමට කිසිදු පාඨක පාඨකාවකට හැකියාවක් ඇතැයි මම පුද්ගලිකව විශ්වාස නොකරමි. ඒ, පවතින සමාජ, ආර්ථික, තාක්ෂණික සහ දේශපාලන ව්‍යුහය තුළ ඒ සියල්ල සාමාන්‍යකරණය වී හමාර බැවිනි. නමුදු කතුවරයා අනාගත ප්‍රජාව වෙනුවෙන් යම් අදහසක් ඉතිරි කර තිබෙන බව පැහැදිලි ය. එය ක්‍රියාවට නැංවීම පහසු නොවිය හැකි ය. නමුදු අපහසුවෙන් හෝ ඒ සඳහා කිසිවකු ඉදිරිපත් වන්නේ නම් ඔහු වදනේ පරිසමාප්ත ආකාරයෙන් ම නවීන මිනිසකු වනු නොඅනුමාන ය.

කතුවරයා සිය දිවි ගමනේ වැඩි කාලයක් ගත කර තිබෙන්නේ වේදිකාවේ සහ කැමරා කාච ඉදිරියේ වන බැවින් ඔහුගේ සාහිත්‍ය නිර්මාණය තුළ ද නාට්‍යමය සහ සිනමා රූපී ලක්ෂණ පිළිබිඹු වන බව ද පැහැදිලි ය. නමුදු ඒ කිසිවක් සාහිත රස විඳින්නාට හෝ විදින්නියට බාධා එල්ල නොකරන බව ද පැවසිය යුතු ය. මන්ද කතුවරයා සිය උපරිම හැකියාව උපස්තම්භක කරගනිමින් ප්‍රබන්ධය නිමවා ඇති හෙයිනි.


විවේචනාත්මක කොටස


manara pihatu 02මෙතෙක් මා අකුරු කළේ ‘‘නවකතාවක්’’ ලෙස ‘‘මොනර පිහාටු’’ වෙසෙස් භාවයක් උසුලන බව ය. නමුදු මෙහි යම් යම් අඬුලුහුඬුතා ද පවතී. එය අවම ස්ථානයෙන් අරඹන්නේ නම් අවස්ථා දෙක තුනක දී පමණ සාම්ප්‍රදායික (අප මීට පෙර අනන්තවත් කියවා, නරඹා හෝ අසා ඇති) සිදුවීම් කිහිපයක් කෘතියට අමුණා තිබීම ය. කතුවරයා තව ඉවසීමෙන් ප්‍රබන්ධය රචනා කළේ නම් එම අඩුපාඩු අවස්ථා වුව ද මගහරවාගැනීමට හැකිවනු ඇති බව පැහැදිලි ය. විශේෂයෙන් ම කෘතියේ අන්තර්ගත 22වන පරිච්ඡේදය සහ 25වන පරිච්ඡේදය පුරා දක්නට ලැබෙන්නේ සාම්ප්‍රදායික සිදුවීම් පෙළකි. එම සිදුවීම් පෙළ තුළින් කතුවරයා පවසන්නේ කුමක් ද යන්න පිළිබඳ ගැටලුවක් පැන නොනගී. නමුදු අදාළ යටි පෙළ පවසන්නට වෙනත් මානයක් තෝරා ගත්තේ නම් කෘතියේ සාර්ථක භාවය තව තවත් ඉහළ අගයක පවතින බව මගේ පුද්ගලික විශ්වාසය යි.

මේ හැර තවත් අවස්ථා දෙක තුනක ම එබඳු දුර්වලතා පැවතිය ද එය ප්‍රශ්න කීරීමට මම වෙහෙස නොවෙමි. මන් ද මෙය ප්‍රබන්ධයක් වන බැවිනි.

එම අවස්ථා මග හැර සිටිය ද කෘතියේ භාෂා අඩුපාඩු පිළිබඳව නම් නොලියා ම බැරි ය. අක්ෂර වින්‍යාස, පද බෙදීම්, ව්‍යාකරණ රීති යනාදියෙහි බහුල ලෙස දුර්වලතා පවතී. මෙය කතුවරාට මෙන් ම ප්‍රකාශකයාට ද දැඩිව බලපාන බව මෙහි දී අවධාරණය කළ යුතු ය. මගේ පුද්ගලික අදහස නම් මෙය කතුවරයාගේ ම අත්තනෝමතික භාවය හේතුවෙන් සිදුවූවක් බවයි. කෘතිය ජනගත කළ දිනයේ මහාචාර්ය ජේ. බී. දිසානායක මේ සම්බන්ධයෙන් සිහින් ඉඟියක් කළේ ය. නමුදු එම තත්ත්වය මහාචාර්යවරයා පෙන්වා දුන් ප්‍රමාණයට වඩා  බරපතළ ය. කතුවරයාගේ කෙටිකතා සංග්‍රහයේ මෙතරම් භාෂා අඩු ලුහුඬුතා නොතිබිණ. එසේ නම් ‘‘නවකතාවක්‘‘ ලෙස හැඳින්විය හැකි මෙම ප්‍රබන්ධය එසේ වූයේ ඇයි දැයි කතුවරයාගෙන් විමසිය යුතු ය. ඒ, ඔහු සමග අමනාපයකින් හෝ ඔහු අපහසුතාවට පත්කිරීමට නොව ඔහුගේ ඉදිරි නිර්මාණ සාර්ථක කරගැනීම පිණිස අත්වැලක් සැපයීමට ය. එමෙන් ම මෙම කෘතියේ දෙවන මුද්‍රණයක් ජනගත කරන්නේ නම් පළමු මුද්‍රණයේ පවත්නා එම අඩුපාඩු මගහරවාලනු ඇතැයි පාඨකයකු ලෙස මම බලාපොරොත්තු වෙමි.

jayasiri 04 e1619629387941
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්