‘‘අස්ගිරියයි මල්වත්තයි කියන්නෙ වැඩවසම් ආයතනයක දෙපාර්තමේන්තු දෙකක් වුණාට එකම නියෝජනය.

දෙකටම තියෙන්නෙ එකම Our vision and mission. රජවරු මේ වැඩවසම් ආයතනය රාජ්‍ය තන්ත්‍රයෙහි අවයවයක් හැටියට පවත්වාගෙන යද්දි නිදහසෙන් පස්සෙ ආපු පාලකයොත් ඒකම අනුගමනය කරනවා. එහෙම නැතිව බෑ. අපි වැඩවසම් ආයතන රැකගත යුතුයි. අපිට වැඩවසම් චින්තනයක් අවශ්‍යයි. ආගමත් එක්ක පෝෂණය වූ වැඩවසම් චින්තනයක් අවශ්‍යයි.’’

-Prabhath Nandana Kariyawasam

යට දැක්වූ කොටස මේ ආකාරයෙන් ම පසුගිය 29වන දින මම මගේ Facebook හි පළ කළෙමි. නමුදු මෙම ලිපිය ලියන මොහොත (2023/12/02/ ප.ව. 07.35) දක්වා එය පිළිබඳ අවධානය යොමු වී තිබුණේ: Suranga Manikrama සහ Chamindra Weerasena යන දෙදෙනාගේ පමණි.


මා එසේ පවසන්නේ මා අද විමර්ශනයට ලක් කරන්නට සුදානම් වන ප්‍රබන්ධ කෘතිය කියවූ, රස විඳි මගේ එකදු Facebook මිතුරකු හෝ මිතුරියක සිටියා නම් යට දැක්වූ කොටස දුටු මත්තෙන් එය අන්තර්ගතව තිබුණේ අසවල් කෘතියේ ය; අදාළ දෙබස් ඛණ්ඩය පවසන්නේ අසවලාය යන්න සිහිපත් විය යුතු බැවිනි; ඒ වෙනුවෙන් කමෙන්ට් ලයික් සටහන් විය යුතු බැවිනි. එහෙත් එය එසේ සිදු නොවිණ. ප්‍රතිචාර දැක්වූ දෙදෙනා වුව ද  (ඇතැම් විට) අදහස් කරන්නට ඇත්තේ මෙම දෙබස් කණ්ඩය සජීවි පුද්ගලයකු විසින් පවසන ලද්දක් යනුවෙන් යැයි මට හැඟේ. අවම වශයෙන් මෙම පෝස්ටුව ප්‍රකාශන ආයතනයේ කිසිවකුගේ හෝ අවධානයට හෝ යොමු වී නොතිබිණ. ඒ මන්දැයි මම නොදනිමි. නමුදු මා එයින් වටහාගත් යමක් ඇත. එනම් මගේ Facebook හි සිටින කිසිම මිතුරකු හෝ මිතුරියක මා උපුටාගත් එම කොටස අන්තර්ගත ප්‍රබන්ධ කෘතිය මෙතෙක් කියවා නොමැති බව ය. එසේ වුව ද මා දැඩි අවධාරණයෙන් යුතුව කියා සිටින්නේ අදාළ ප්‍රබන්ධ කෘතිය කියවිය යුතු ම ය යන්න ය. කෘතිය නම් ‘‘සකිය මධුවිත’’ ය; කතුවරයා ආරියරත්න විතාන ය.

සකිය මධු විත 00
මීට පෙර මා මෙම කතුවරයාගේ කෘතියක් කියවූයේ නම්, රස වින්දේ නම් ඒ, ‘‘ඇන්ටන් චෙකොෆ්ගේ’’ නමැති කෘතිය පමණි. එය ද කියවූයේ චෙකොෆ් පිළිබඳ තිබෙන ආසක්ත බව හේතුවෙනි. මන් ද එය චෙකොෆ්ගේ ජීවිත කතාව ය. නමුදු ‘‘සකිය මධුවිත’’ කෘතිය කියවීමෙන් ඉක්බිති මට මා ගැන ම කිසියම් පසුතැවීමක් ඇති විය. ඒ, මෙතෙක් මා මෙම කතුවරයාගේ කෘති කියවා නොමැති බැවිනි. ඒ අතර ප්‍රබන්ධ කෘති සුවිශේෂී ය.

විවිධ කෘති රචනා කර ඇති මෙම ලේඛකයා මීට පෙර නවකතාවක් ලෙස රචනා කර ඇත්තේ ‘‘බිඟු රොද හැඬුවා’’ නමැති ප්‍රබන්ධය යි. ‘‘සකිය මධුවිත’’ කියවීමෙන් ඉක්බිති ‘‘බිඟු රොද හැඬුවා’’ නමැති ප්‍රබන්ධ කෘතිය ද කියවන්නට ලැබෙන්නේ නම් මැනවැයි සිතිණ. ඒ, ‘‘සකිය මධුවිත’’ ප්‍රබන්ධය එතරමට ම මා සිත් ගත් බැවිනි.

ආරිරත්න විතාන 01.jpg large
කතුවරයා ම සඳහන් කරන පරිදි ඔහු මෙම ප්‍රබන්ධය සඳහා පාදක කරගන්නේ හෙතෙම සිය මිතුරකුගෙන් අසා දැනගත් කුඩා සිදුවීම් පෙළකි. නමුදු කතුවරයා ඉනොබ්බට එය ප්‍රබන්ධ කෘතියක් දක්වා වර්ධනය කරන්නේ සිය සාහිත්‍යමය ශක්‍යතා මැනවින් පිළිබිඹු කරමිනි.


කතුවර ශක්‍යතාව
 
‘‘සකිය මධුවිත’’ කෘතියේ ආරම්භක පිටු තිහ පසු කළ සැණින් මට නිතැතින් ම සිහිවූයේ කොන්සතන්තීන් පවුස්තවුස්කි විසින් රචිත, ආරියවංශ රණවීර විසින් පරිවර්තිත ‘‘රන් රෝස’’ කෘතිය යි. ප්‍රබන්ධ කෘතියක් රචනා කිරීමේ දී කතුවරයා හෝ කතුවරිය ලද හෝ ඇසු දුටු අත්දැකීම හෙවත් අනුභූතිය (experience) ප්‍රබන්ධයක් සඳහා වර්ධනය කරගන්නේ කෙසේ ද යන්න ‘‘රන් රෝස’’ කෘතියේ මැනවින් පැහැදිලි කර ඇත. එම පැහැදිලි කිරීම කෙතරම් සාර්ථක ද යන්න කිසිවකු විමර්ශනයට ලක් කරන්නේ නම් ඒ සඳහා ඉතා කදිම ප්‍රබන්ධ කෘතියක් ලෙස ‘‘සකිය මධුවිත’’ හැඳින්විය හැකි ය. එම කෘතිය තුළ කතුවරයා සිය අත්දැකීමට බඳුන් වූ වස්තු බීජය (experience) ඉතා මැනවින් ප්‍රසාරණය කර ඇත; විදාරණය කර ඇත.
 
ඕනෑම නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක සිය සාහිතය කලා නිර්මාණය තුළ පිළිබිඹු කරන්නේ ඔහුගේ හෝ ඇයගේ දක්ෂතාව යි. මෙහි දී මා ‘‘දක්ෂතාව’’ යනුවෙන් සඳහන් කරන්නේ අදාළ නිර්මාණය තුළ නිර්මාණකරුවා හෝ නිර්මාණකාරිය භාවිත කරන සියලු අංග ය. එනම්: නිර්මාණයේ අන්තර්ගත දෙබස්, ඒ ඒ චරිතවලට අදාළ ගති පැවතුම්, එක් එක් චරිත තමන්ගේ හෝ අනෙකාගේ යහපත මෙන් ම අයහපත වෙනුවෙන් භාවිත කරන උපාය උපක්‍රම, ඒ ඒ චරිතවලට ම අනන්‍ය වූ ගති සොබා යනාදිය සියල්ල ම නිර්මාණකරුගේ හෝ නිර්මාණකාරියගේ මනසෙහි ගොඩනැගෙන පරිකල්පනී ය සිතුවිලි ය. ඒ සඳහා ද ඔහුට හෝ ඇයට කොතැනකින් හෝ යම් අභාසයක් ලැබී තිබෙන්නට පිළිවන. නමුදු එවන් අවස්ථාවල දී නිර්මාණකරුවා හෝ නිර්මාණකාරිය එකී අභ්‍යාසය වැඩි දියුණු කරන්නේ සිය පරිකල්පන ශක්තිය උපස්තම්භක කරගනිමිනි.

උදාහරණයක් ලෙස ගතහොත් කිසියම් රහස් පරීක්ෂක කතාවක් ප්‍රබන්ධ කරන රචකයා හෝ රචකාව එහි සිදුවන අපරාධමය ක්‍රියාදාම මෙන් ම එම ක්‍රියාදාමවල නිරතවූ පුද්ගලයන් නීතියේ රැහැනට හසු කරගන්නා ක්‍රියාදාම යනාදි සියල්ල ම කතුවරයාගේ හෝ කතුවරියගේ පරිකල්පනීය ශක්‍යතාව යි. ඒ සඳහා ඇතැම් විට කතුවරයා හෝ කතුවරිය යම් අධ්‍යයනයක යෙදෙන්නට ද පිළිවන. එසේත් නොමැති නම් ඔහු හෝ ඇය නියැළී සිටින වෘත්තිමය ක්ෂේත්‍රයේ අත්දැකීම් පාදක කර ගත හැකි ය. ඒ කුමනාකාරයෙන් කළ ද ඒ සියල්ල කතුවරයා හෝ කතුවරියගේ පරිකල්පන ශක්තිය යි. ‘‘සකිය මධුවිත’’ ප්‍රබන්ධ කෘති තුළ මෙම පරිකල්පන ශක්‍යතාව ද මැනවින් දක්නට හැකි ය.
 
කිසියම් ප්‍රබන්ධය තුළ සිට පාඨකයා හමුවට එන සියලු චරිත තම අරමුණ සාර්ථක කරගනු වස් ක්‍රියාත්මක කරන සියලු මෙහෙයුම් යනු සැබැවින් ම එබඳු අවස්ථාවක කළ යුත්තේ කුමක් ද යන්න කතුවරයා හෝ කතුවරිය දරන අදහස් ය. ‘‘සකිය මධුවිත’’ කෘතිය තුළ දී ද ඒ ඒ පාර්ශ්ව තම අරමුණ සාක්ෂාත් කරගනු වස් ක්‍රියාත්මක කරන සියලු මෙහෙයුම්වල මහ මොළකරුවා අන් කිසිවකු නොව කතුවරයා ම ය. ඒ දක්ෂතාව ලේඛන දක්ෂතාව අභිභවන තත්ත්වයකි.
 
කෘතියේ අන්තර්ගත සියලු චරිත: සිතන දෑ ද, කියන දෑ ද, කරන දෑ ද යන සියල්ල ම කතුවරයාගේ සිතුවිලි ය. ඒ නයින් ගත් විට ආරියරත්න විතාන යනු හුදෙක් සාහිත්‍ය නිර්මාණකරුවකු හෙවත් ප්‍රබන්ධකරුවකු පමණක් නොවේ ය යන්න සක් සුදක් සේ පැහැදිලි ය. ඒ, සමස්ත කෘතිය පුරා ම විවිධ මිනිස් සන්තාන තුළ සැඟව පවත්නා: කුහකකම්, ජඩකම්, මෝඩකම්, කපටිකම්, ලිංගික ආසක්තතා, අවස්ථාවාදි බව යනාදි සියල්ල ඉතා මැනවින් පාඨක මනසෙහි අලවන්නට හෙතෙම සමත් වී තිබීම ය. එමතු නොව අදාළ චරිත තුළ සැඟව පවත්නා ප්‍රචාරාත්මක කලා දක්ෂතාව, එම දක්ෂතාව උපයෝගි කරගනිමින් ඔවුන් නියැළෙන ව්‍යාපාර දියුණුව කරා රැගෙන යෑම, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී එම ව්‍යාපාරයේ ම යෙදෙන අනෙකා පරාජය කර ඉදිරියට යෑම සඳහා ක්‍රියාත් මක කළ යුත්තේ කුමනාකාරයේ ප්‍රචාරාත්මක වැඩපිළිවෙළක් ද මෙම නිර්මාණය තුළ ඉතා තියුණු අන්දමට සාකච්ඡා කෙරේ. ඒ සියලු සංකල්ප අන් කිසිවකුගේ නොව කතුවරයාගේ ම ය. කතුවරයාගේ එකී දක්ෂතාව ලේඛන දක්ෂතාව අභිභවන තත්ත්වයක් යැයි මා යට සඳහන් කළේ එබැවිනි.
 
චිවරධාරින් වෙතින් බුදු දහමට එල්ලවන අභියෝග
 
බාල අපචාර කරන භික්‍ෂුන් සිවුරෙන් ඉවත් කළ යුතුයි - බුද්ධ ශාසන ඇමති
 
මේ වන විට බුදු දහමට සිදුවන විශාලතම හානිය සිදුවන්නේ ඇතැම් චීවරධාරින්ගේ ක්‍රියා කලාප හේතුවෙන් බව ලෝකය ම අවබෝධ කරගෙන අවසන් ය. එහෙත් මේ චීවරධාරින්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග මතු නොව නීතිමය ක්‍රියාමාර්ග වුව ක්‍රියාත්මක වන්නේ මන්දගාමීව ය. ලේඛකයෙක් සිය නිර්මාණ කෘතියක නවමු අදහසක් ඉදිරිපත් කළ හොත් එය ජාතිවාදය, වර්ගවාදය හෝ ආගම්වාදය පතුරවනවා යැයි පාරම්බාමින් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්නට යුහුසුලු වන්නේ ය. එහෙත් චීවරධාරියෙක්, ලෝගුධාරියෙක් හෝ වෙනත් ආගමිකත පූජකවරයෙක් සමාන්‍ය සමාජය තුළ ප්‍රසිද්ධියේ ම ආගම්වාදය, ජාතිවාදය පැතිරෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් උම්මත්ක ලෙස හැසිරෙන විට නීතිය එකී චීවරධාරින්ට, ලෝගුධාරින්ට සහ පුජක පාර්ශ්වවලට බියෙන් සැඟවෙති. මෙකී යථාර්ථය, වෙසෙසින් ම බෞද්ධ භික්ෂුන් ලෙස පෙනී සිටින මෙරට චිවරධාරින්ගේ නොමනා ක්‍රියාකලාප ඉතා සුක්ෂමාකාරයෙන් දැඩි විවේචනයට බඳුන් කරන්නට කතුවරයා සමත් වී තිබේ. එය හුදෙක් වචන හරඹවලට පමණක් සීමා නොකර ඉතා සියුම් ආකාරයෙන් සාහිත්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කරන්නට කතුවරයා සමත්ව ඇත.

ප්‍රබන්ධය තුළ සැඟව පවත්නා පසුබිම

මෙරට සම්මාන උළෙවල දී සම්මානයට පාත්‍ර වූ, මහාචාර්යවරයකු විසින් රචිත කෘතියක එහි සමාජ වටපිටාව අදාළ සාහිත්‍යමය රසය නොමැති බව මා එක් අවස්ථාවක දී එවකට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරිය වෙත පැවසී ය. ඒ චෝදනාවක් වශයෙන් නොව මෙරට සාහිත්‍ය සම්මාන උලෙල නියෝජනය කරන ඇතැම් විනිශ්චයකරුවන් සහ විනිශ්චකාරියන් පිළිබඳ මතු වූ ගැටලු සහගත කරුණක් සාකච්ඡා කරන මොහොතක දී ය. නමුදු එම වසරේ අදාළ කෘතියට රාජ්‍ය සම්මාන හිමි නොවූ බව එම අධ්‍යක්ෂකවරිය පැවසුවා ය. ඇය පැවසුවේ සත්‍යයකි. එම වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වූයේ වෙනත් කෘතියකට ය. මා මේ පවසන සම්මාන ලාභී කෘතිය විනිශ්චය කළ විනිශ්ච මණ්ඩල සාමාජික සාමාජිකාවන් හට ‘‘සකිය මධුවිත’’ ප්‍රබන්ධය හොඳින් කියවා ගන්නට හැකි නම් කිසියම් ලේඛකයකු හෝ ලේඛිකාවක සිය නිර්මාණයට පාදක කරගන්නා වස්තුබීජයට අදාළ සියලු දෑ සාහිත්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ කෙසේ ද යන්න හොඳින් අවබෝධ කරගත හැකි ය. ඒ: කතුවරයා ඇතැම් සිද්ධියක් හෝ සිද්ධි සමුහයක්, පුද්ගලයකුගේ සිතිවිල්ලක්, ක්‍රියාවක් යනාදි ඕනැම අවස්ථාවක් රසවත්ව, ව්‍යංගාර්ථවත්ව, සංඛේතාත්මකව, රූපකාත්මකව ඉදිරිපත් කරන්නට සමත් වී ඇති බැවිනි.
 
කතුවරයා අදාළ සිද්ධිය පාඨකයාට පවසන්නේ හුදෙක් වාක්‍යමය ස්වරූපයෙන් නොවේ. එම වාක්‍ය තුළ: රස භාව සැඟව පවතී; ව්‍යංගාර්ථ සැඟව පවතී. ඇතැම් විට කතුවරයා පවසන්නේ කුමක් ද යන්න ඇතැම් පාඨක පාඨකාවකට වටහාගත නොහැකි වන්නට ද පිළිවන. නමුදු එය කතුවරයාගේ දුර්වලතාවක් යැයි මම නොපවසමි. එය පාඨක ප්‍රජාවගේ නොදියුණ භාවය වීමට බොහෝ සෙයින් ඉඩ කඩ පවතී.
 
සකිය මධු විත 01එකී සාහිත්‍යමය දක්ෂතා හඳුනාගත නොහැකි පාඨක ප්‍රජාවට වුව ද ‘‘සකිය මධුවිත’’ යනු කතා රසය නොඅඩුව විඳිය හැකි ප්‍රබන්ධයකි; එක හුස්මට කියවාගෙන යා හැකි ප්‍රබන්ධයකි; කියවා රස විඳිය හැකි. යථාර්ථවාදී ප්‍රබන්ධයකි.

මා මෙහි දී ‘‘සකිය මධුවිත’’ ප්‍රබන්ධ කෘතිය ‘‘යථාර්ථවාදී’’ යනුවෙන් හැඳින්වූයේ කතුවරයා ප්‍රබන්ධය රචනා කිරීමේ දී කිසිදු නවමු ක්‍රමවේදයක් වෙත ගමන් කර නොමැති බැවිනි. ආඛ්‍යානයේ හෝ ආකෘතියේ ද කිසිදු වෙනසක් කර නොමැති බැවිනි. එසේ නොමැතිව යථාර්ථවාදී සාහිත්‍ය යේ පියා යැයි බොහෝ දෙනකු වර නගන මාර්ටින් වික්‍රමසිංහමගේ සාහිත්‍ය ක්‍රමවේදයට ලඝු කිරීමට නොවේ.  

මා යට සඳහන් කළ පරිදි පළමු පිටු තිහ කියවීමේ දී කතුවරයා ඉතා සීඝ්‍ර ලියවිල්ලකට අවතීර්ණ වී ඇත. මා එසේ සඳහන් කරන්නේ ආරම්භක පිටු තිහ තුළ ගම්පෙරළියේ පියල් දියුණු වනවාට වඩා සීඝ්‍රයෙන් ප්‍රධාන චරිතය දියුණුව කරා පියනගන බැවිනි. නමුදු එතැන් සිට කතුවරයා ඉතා මැනවින් සිය නිර්මාණය ඉදිරියට රැගෙන යන්නට සමත් වී තිබේ. ආරම්ක පිටු තිහ ම නොතිබුණ ද කතුවරයා ඉන් ඉදිරියට කෘතිය පෙළගස්වන ආකාරය ඉතා දියුණු මට්ටමක පවතී. ඒ ආරම්භක පිටු තිහ යනු කතුවරයා ප්‍රබන්ධය රචනා කිරීමට අවශ්‍ය උත්තේජනය ලබාගැනීම සඳහා කළ අනවරත අරගලයක් යැයි මට හැඟේ. එය එසේ නොවුණා නම් වඩාත් සුදුසු ය යන්න මගේ පුද්ගලික අදහස ය.
 
එකී කුඩා දුර්වලතාව පැවතිය ද සමස්තයක් ලෙස ගත් විට ‘‘සකිය මධුවිත’’ යනු ලියන කියවන, ආධුනික ප්‍රවීණ යන සියලු පාර්ශ්ව කියවිය යුතු ම සාහිත්‍ය ප්‍රබන්ධයකි; රස විඳිය යුතු සාහිත්‍ය ප්‍රබන්ධයකි. ඉදින් ඔබත් හැකි ඉක්මනින් ම ‘‘සකිය මධුවිත’’ කියවන්න; රස විඳින්න යැයි ආරාධනා කරනා’තර ම මා යට දැක්වූ ලක්ෂණ අන්තර්ගත ස්ථාන කිහිපයක් උපුටා දක්වමින් ‘‘සකිය මධුවිත’’ ප්‍රබන්ධය පිළිබඳ මගේ රසවින්දනය ඔබට සම්මුඛ කිරීම අවසන් කරමි.
 
ලිපිය ආරම්භයේ දී උපුටා දක්වා තිබෙන්නේ ද මෙම කෘතියේ ප්‍රධාන භූමිකාවකට පණ පොවන ප්‍රභාත් නන්දන කාරියවසම් නමැති පුද්ගලයාගේ මුවෙන් ගිලිහෙන වදන් සමූහයකි.

‘‘ගීතයක් සමග බැඳුණු ආවර්ජනා සෑම සිතකම වාගේ නිදා නොනිදා මෙන් සැගවී ඇත්තේ ය. එම ආශ්වාදජනක හෝරා කිහිපයේ මතකය අභිනවයේ දී ප්‍රභාත්ගේ සිත ‘පෙම්බර මධු මගේ’ ආවර්ජනයට කැඳවන්නාසේම එදා පටන් පෙම්බර මධු මගේ සවනත සනසන සෑම මොහොතකම ඇය සමඟ ගතවූ සොඳුරු හෝරා කිහිපය ඔහු සිතට සොඳුරු සිහින කැඳවීමට පටන් ගත්තේ ය.

ඔහුගේ මනෝ ලෝකය දඩ බඩස් ගා කඩා වැටුණේ පාර මැද සිට වින්ඩ්ස්ක්‍රීනය මතට එල්ල වු රතු එළියකිනි. රතු එළිය දැල් වූ විදුලි පන්දමක් අතින් ගත්පොලිස් භටයෙක් රිය නවත්වන්නට අණ කළේ ය.’’

පිටුව 194

සැබැවින් ම නම් මේ සඳහන් ආකාරයේ සිදුවීමක් සිදු නොවන්නේ ය. එය කතුවරයා අදාළ චරිතයේ මනස අතික්‍රමණය කර ඔහුගේ සිතිවිලි එළියට ඇද ගන්නා මොහොතකි. එය කුමක් ද, කෙසේද යන්න වටහා ගැනීමට කෘතිය කියවිය යුතු ය; විඳිය යුතු ය.

‘‘වස්ත්‍ර නූතනයට ආධුනික ඇඳුම් මසන්නියන් සිව් දෙනෙකු බඳවා ගත් ඇය ඔවුන් සමග දෙහිවල ඩඩ්ලි මායාදුන්නේගේ ඇදුම් මැසීමේ පාසලට ඇතුළත් වූවාය. හය මසක් කාන්තා ඇදුම් මැසිම පුහුණ වෙද්දී පිරිමි ඇඳුම් මසන්නන් බඳවා ගැනිමද ඇගේ සැලසුමෙහි අංගයක් විය. ආකර්ෂණීය වැඩි පඩියක් දී හමීඩියාස්හි සේවය කරන නිපුණ කපන්නෙකු බා ගැනීමට තරම් අපූරු උපායශීලිත්වයක් ඇයට තිබුණේය. ඇය ඔහුට ගෝලයන් තිදෙනෙකු බාර දුන්නාය.’’

පිටුව 31  

‘‘පූජකයෝ කවුරුත් එකයි. හැබැයි සිවුරු අඳිනවා. ලෝගු අදිනවා. වේට්ටි අඳිනවා. උඩුකය හෙලුවෙන් ඉන්නවා. ඔක්කොම පරපෝෂිතයෝ. ආගම්වල ආරක්ෂකයො කියලනෙ කියන්නෙ. ආගම කියන්නෙ මිනිස්සු බයට හදාගත්තු දෙයක්. අහස ගොරවනවාට විදලි කොටනවාට ආදිම මිනිස්සු බය වුණා. ඒවා දෙයියන්ගෙ වැඩ කියලා හිතුවා. පුද පූජා පවත්වන්න මිනිස්සු පෙළඹුණා. මිථ්‍යාවට ආගම ඕනෑ. ආගමට මිථ්‍යාව ඕනෑ. ඉතින් මිථ්‍යාව මිනිස්සුත් එක්ක බද්ධ වුණා. විද්‍යාව කොච්චර දියුණු වුණත් මිනිස්සු බහුතරයක්තවමත් ආගම නමැති මිථ්‍යා අන්ධකාරයේ තමයි ඉන්නෙ. මට මතක් වෙනවා කාල් මාක්ස්ගෙ කියමනක්. ‘තේරුම් ගත නොහැකි සිදුවීම් සමග ගනුදෙනු කිරීමේදී මිනිස් මනසෙහි බෙලහීනත්වය වන්නේ ආගමය’ කියල ඒ දාර්ශනිකයා කියනවා.’’

පිටුව 115

‘‘ඇගේ කේශ කලාපය කියා පාන්නේ වයසත් සමඟ කාල වර්ණයට නම් වෙනස් වන්නට අසමත්ව ඇති බවකි. මුව මඬලේ සිරියාව මොනවට කියා පාන්නේ මුවඟට මදහසක් එක් වූ විටය. දුඹුරු පැහැති පසුබිම කෙමෙන් කෙමෙන් අතරුදහන් වී යමින් තිබෙන නිල් කට්රොල් මලින් පිරුණු සාරියෙන් වැසී ඇති සිරුරෙහි නිරාවරණය වූ තැන ලා රෝසට හුරු ආකර්ෂණීය පැහැයක් වැලඳ ගෙනය. කෙට්ටුව මට්ටු කරගත් උඩුකයේ හංස සරාගත්වය වයසට අභියෝග කරන්නාක් මෙනි.’’

පිටුව 170

සැ.යු. උපුටා ගත් සියලු කොටස්වල අන්තර්ගත අක්ෂර වින්‍යාස සහ පද බෙදීම් යනාදිය කෘතියේ අන්තර්ගත පරිදි ම ය.

Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2023/12/03    

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්