ගියෝර්ගි ගොස්පොදිනොව් බල්ගේරියානු ජාතික කවියෙකි, ප්‍රබන්ධ රචකයෙකි සහ නාට්‍ය රචකයෙකි.
සාහිත්‍ය විචාරකයන්ට අනුව ගියෝර්ගි වර්තමාන යුරෝපයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලේඛකයෙකි.
ඔහුගේ පාඨක සහ විචාරක අවධානය නොමඳව දිනා ගත් කෘති අතර Natural Novel (1999), The Physics of Sorrow (2012), Time Shelter(2020) ප්‍රධාන තැනක් ගනියි. එම කෘති විදේශ භාෂා විසි ගණනකට පමණ පරිවර්තනය වී ඇති අතර විවිධ සාහිත්‍ය සම්මාන වලින් ද පිදුම් ලැබ ඇත.මේ වසරේ (2023) අන්තර්ජාතික බුකර් සම්මානය දිනා ගන්නා ලද්දේ ද, කොරෝනා වසංගත සමයේ ලියා පළ කරන ලද Time Shelter කෘතිය විසිනි.
පහතින් දැක්වෙන්නේ, words without borders වෙබ් අඩවියේ නොවැම්බර් 03(2023) දින පළවුණු, ගියෝර්ගි විසින් ඔක්තෝබර් 23(2023) වැනිදා, ප්‍රබන්ධ සාහිත්‍යයේ ගැබ්ව ඇති, ජිවිත බේරාගැනීමේ අසිරිමත් ශක්තිය පිළිබඳව, ලැන්කැස්ටර් අන්තර්ජාතික සාහිත්‍ය උත්සවයේ දී පැවැත්වු දේශනයේ සංක්ෂිප්ත පරිවර්තනයකි.
අපගේ වැනි කාලයක ප්‍රබන්ධයට කුමක් කළ හැකි ද? කිසිවක් නැත. එය තමයි එම ප්‍රශ්නයට දිය හැකි වඩාත් කෙටි, ඇනෙන සුළු, එසේම වඩාත් අශුභවාදීම පිළිතුර. අපට සැබවින්ම එම ප්‍රශ්නයට ඒ ආකාරයෙන් පිලිතුරු දිය හැකි නම් (එය වාගාලංකාරය විදහා පෑමක් නොවේ නම්) අප වහාම මේ පාඨ නිෂේදනය කළ යුතුය, මේ සාහිත්‍ය උත්සව අහෝසි කළ යුතුය, පුස්තකාල පොත පත එළියට විසි කළ යුතුය, එසේම සාහිත්‍ය නිර්මාණකරණය ද නවතා දමා අපි මුල්ලකට වී ඔළුව ඔබා ගෙන, ලෝක අවසානය උදාවන තෙක් බලා සිටිය යුතු වෙමු. මක්නිසාදයත් අප ලෝකය පිළිබඳ කතාන්දර කීම නවතා දමන්නේ නම්, ලෝක අවසානය සැබවින්ම ඉතා අත ලඟ නිසාය.
සාහිත්‍යයට, කතන්දර කීමට සහ විශේෂයෙන් ප්‍රබන්ධයට සැබවින්ම සරල ආශ්චර්යයන් පෑ හැකිය. ඒ පිළිබඳ මගේ පළමු අත්දැකීම මට ලැබෙන්නේ මට අවුරුදු හයක් හෝ හතක්ව සිටියදීය.
එම නිසා මගේ කතාව, මගේ ජීවිතයේ කතාන්දරයකින්ම මම පටන්ගන්නෙමි. මම නපුරු හීනයක් දකිමින් සිටියෙමි, එය ඉතාමත් භයානක වූවා පමණක් නොව සෑම රාත්‍රියකම එය මට නැවත නැවතත් පෙනෙන්නට විය. එක් උදෑසනක මගේ අත්තම්මාට එය කියන්නට හැකි තරම් ධෛර්යයකින් යුතුව මම අවදි වුනෙමි (ඒ දිනවල මම නැවතී සිටියේ ඇයත් සමඟ ගම්මානයේ).
එහෙත් මම එය කියන්නට පටන් ගත් සැණින්, ඇය දෙතොල මත ඇඟිල්ලක් තබා, මට එය පැවසීම නවත්වන ලෙස සංඥා කළාය. බියජනක සිහින නැවත නොකිව යුතුය, ඒ ඒවා සැබෑ වන නිසාය. සැබවින්ම ඇය එය මට පැවසුවේ වඩාත් සුන්දර ආකාරයකින් : සිහින වලට ලේ පිරී ඒවාට පණ ඒවි. ඉතින් කිසිවෙකුටත් කියා ගත නොහැකිව, තනිවම දරා ගැනීමටත් ශක්තියක් නොමැතිව මම මගේ නපුරු සිහිනය සමඟ තනි වූවෙමි.
ඉතින් මට ඉතාමත් බුද්ධිමත් අදහසක් පහළ විණි - අපට බුද්ධිමත් විය හැක්කේ එසේ වයස අවුරුදු හයේදි හෝ හතේදී වැනි කුඩා කාලයේදී පමණි - මගේ සිහිනය ලියා තබන්න. මම සීයාගේ සටහන් පොතකින් සොරෙන් කඩා ගත් කොළයක, ඊයේ පෙරේදා ඉගෙන ගත් වර්ණමාලාව භාවිතා කරමින්, ඉතාමත් කැත කුරුටු බලි හැඩයකින් යුතු අකුරු සමඟ මම මගේ සිහිනය ලීවෙමි. ඉතින් මම මගේ ආශ්චර්යය අත්පත් කරගත්තෙමි. මා නැවත කිසි දිනෙක ඒ නපුරු සිහිනය දුටුවේ නැත, එහෙත් මට එය කිසි දිනෙක අමතක වූයේ ද නැත. ඒ වෙනුවෙන් මා ගෙවූ මිල එයයි. (වසර හතළිස් නමයකට පසුත් එය මට තවමත් මතකය, මම එය මේ දේශනය අවසානයේදී පවසන්නට ඉටා ගත්තෙමි).
ඒ මතකය ඇසුරින් අද දින කාරණා දෙකක් වෙත මම ඔබේ අවධානය යොමු කරමි. ලිවීම අපගේ භීතින්ගෙන් අප මුදවා ගනියි. දෙවැනි කාරණය නම් ලිවීම මතකය උත්පාදනය කරයි.
මතක රැක ගැනීම සඳහා අපි ලියන්නෙමු, සමහරවිට එහි අනෙක් පැත්ත ද සිදුවෙයි - අපගේ මතකය නිසා අපට කීමට කතාවක් ඇත. මතකයේ ඇත්තේ බියජනක සුළු දේ වුව ද, ඔව්! ලිවීම මතකය උපදවයි. නමුත් බියජනක දේ පිළිබඳ මතකය, නිතරම බියජනක මතකයක් වන්නේ නැත. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස, වරෙක එය පැවසූ විට, වරෙක එය සුරක්ෂිතව මතක ගබඩාවේ තැන්පත් වූ විටෙක, බියජනක දේ තුළ ඇති බියජනකබව වියැකී යාම ඇරඹෙයි. කතා කීම තුළින් ටිකෙන් ටික භීතියේ සත්ත්වයා අපි හීලෑ කරන්නෙමු.
අප රාත්‍රීයේ නින්දට යාම පෙර කුඩා දරුවන්ට කතන්දර කියන්නේ ඇයි? ඒ මිථ්‍යාවන්ගේ පැවැත්මට තුඩු දෙන හේතු කාරණා නිසා ම තමයි. ආරම්භයේදී ප්‍රාථමික ලෙස වනචාරී වූ, එහි අවසානයේදී ප්‍රචණ්ඩත්වය හෝ මිලේච්ඡත්වය වෙත යමින් සිටින ලෝකය, හීලෑ කර ගැනීම සඳහා අපි කතන්දර කියමු. අපගෙන් භාහිර සුළි කුණාටු, ගින්දර සහ ජලගැලීම් පිරි වියවුල් සහගත, තේරුම්ගත නොහැකි ලෝකය සේම, එම අංගලක්ෂණ සපිරි අපගේ ඇතුළාන්ත ලෝකය ද පැහැදිලි කරගැනීමට අපි කතන්දර කියන්නෙමු. අප කතන්දර කියන විට, මේ ලෝකය වචනයෙන් විස්තර කළ හැකි බවත් එය පිළිවෙලකට සකස් කළ හැකි බවත් යන මායාව අපි නිර්මාණය කරන්නෙමු. නමුත් මම හොර රහසේ සැක පහළ කරන්නේ, ලෝකය තුළ කිසිදු පිළිවෙලක් දක්නට නැති අතර එය නිර්මාණය කරන්නේ අපගේ කතන්දර තුළින් බවකි. නමුත් එය විසින් අපගේ කතන්දර කීමට වඩාත් වැඩි වැදගත්කමක් ගෙන එයි.
සමහර පිරිස් වැරදි සහගත ලෙස ප්‍රබන්ධ යනු පරිකල්පිත, අසත්‍ය, අතථ්‍ය සාහිත්‍යයක් ලෙස සිතාගෙන සිටිති, එම නිසා ඔවුහු සාහිත්‍යය, ප්‍රබන්ධාත්මක සහ වාර්තා ලෙස බෙදා දක්වති. මම හිතන්නෙ එය ඉතාමත් බරපතල වැරදි වැටහීමක් ලෙසය. ප්‍රබන්ධය මිථ්‍යාවක් නිර්මාණ කර, යථාර්තයට ඉන් අර්ථයක් ලබා දෙයි, එය දාශ්‍යමාන පුරාවෘත්තයක් මවා, කතාවකට ගොනු කොට අපට එය විස්තර කරයි. “ මිථ්‍යාව යනු කිසිවක් නොවන සෑම දේමයි” පෙසෝවා කියයි.
ඉතින් සාහිත්‍යය සහ ප්‍රබන්ධයට, මතකය නිර්මාණය කිරීම සහ බිය දුරු කිරීම හැරෙන්නට කළ හැකි වෙනත් විශේෂ දේ මොනවාද?
එයට උදාහරණයක් ලෙස, ජීවිතයක් බේරා ගැනීම වැනි සරල දේ කළ හැකිය.
සාහිත්‍යය කතාන්දර කියයි, එසේම එය අවසාන මොහොත කල් දමනු ලබයි. මෙය අප හොඳින්ම දැන ගන්නේ ෂෙහෙරසාද්(ආරාබි නිසොල්ලාසයේ කතා කියන්නිය) ගෙනි. ඇය කියන සෑම කතන්දරයකින්ම ඇය ජීවිතයේ එක් දිනක් ඇය දිනා ගන්නීය. ඇයගේ කතාන්දර තුළ වැඩිමනත් ලෙස ජීවිතය හෙට්ටුකරන මෙවලම වන්නේ ද නැවතත් කතාන්දරය. නොනැවතී කාන්තාවන් ඝාතනය කරන ශහ්රියාගේ පුද්ගල ස්වභාවය, ඒ කතාන්දර වලින් වෙනස් වනවාද? මේ ලෝකය පිළිබඳ ඔහුගේ සහවේදනය අවධිවනවා ද ? කවුරු දනිත්ද ? නමුත් ආශ්චර්යයන්, වෙට්ටු දැමීම් සහ හැරවුම්, ප්‍රේමයන් සහ මුළා කිරීම් යන සියල්ලමත් සමඟ වූ ලෝකය පිළිබද නැවුම් කුතුහලයක ඔසුවක් එම කතාන්දර විසින් ඔහුගේ නහර ගත කරයි. ගොදුරක් බවට පත් වූ ඇය කතාවක් කියන විට, ඇය තාවකාලිකව වෙනත් කතාවක් නැතිනම් ආරක්ෂිත කලාපයක ලැඟුම් ගනියි. ගැහැණියක් හෝ මිනිසෙක් කතාවක් කියන විට ඔවුන්ගේ ශ්‍රාවකයන් සිටින්නේ කතාව විසින් මවන වංකගිරිය තුළය, වෙනත් විශ්වයක් තුළය. වෙනත් වදන් වලින් කියතොත්, ඔවුහු එකවර ස්ථාන දෙකක ජීවත් වෙති: සැබෑ සහ ප්‍රබන්ධිත. එක මොහොතේ දෙවරක්. මෙය ක්වොන්ටම් භෞතිකවාදයේ, එක මොහොතේ දෙතැනක පවතින මූලික අංශු වෙත අපව රැගෙන යයි.
අප හිතනවාට වඩා සාහිත්‍යය සහ ක්වොන්ටම් භෞතිකවාදය තුළ එකිනෙකට සමානකම් බොහෝ ඇත. විද්‍යාව ඒවා සොයා ගැනීමට ප්‍රථම, සාහිත්‍යය ඒ දේවල් දැන සිටීම අපේ( ලේඛකයන්ට සහ පාඨකයන්ට..) පහසුවට හේතුවක් වී ඇත. ඉතින් කතාන්දරය කෙතරම් කාලයක් පවතින්නේ ද, එතරම් කාලයක් ෂෙහෙරසාද් ගේ ජිවිතය සුරක්ෂිත වන්නේය. කතාව කීම ඇතුළේ ජීවිතය සුරැකෙයි. ඉතින් කතාන්දරය ද, වංකගිරිය සේම නිමක් නැත්තේය.
ෂෙහෙරෙසාද් ගේ ශ්‍රේෂ්ඨ කතාව තුළින් මෙය ඔබට සිහිපත් කිරීමට මා කැමතිය : දුර්වලයාගේ කතා කීමේ බලය. කුඩා දරුවෙකු ලෙස, එය මට උපවිඥානය තුළින් සංවේදනය වූ දෙයකි, මක්නිසාද යත් මම නිතරම කියවීමට තෝරා ගත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කතාව ඉදිරිපත් කෙරෙන පොත්ය. එවැනි කෘතිවල ප්‍රධාන චරිත, පොතේ අවසානයේදී මිය නොයන බවක් මා දැන සිටියෙමි. කතා කියන තාක් මම පවතිමි. මා කතා කියන තාක් මම ද මා වටා ලෝකයද පරිපූර්ණය. මම කතා කියමි, ඒ නිසා මම පවතිමි.
කතා කීම සහ සාහිත්‍යයට, විශේෂයෙන් අපගේ වැනි කැළඹිලි සහිත කාලවකවානුක කළ හැක්කේ වෙන මොනවාද? අප මොනවා කළත් අප දැන් සිටින්නේ යුරෝපය අගිස්සේ ඇති යුද්ධය නම් සන්දර්භය තුළය. තවත් යුද්ධයක් මැද පෙරදිග කලාපයේ මතුවෙන නරක ලකුණු පහළ වී ඇත, යුක්රේනයට එරෙහි යුද්ධය දැන් මාස දොළහක් තිස්සේ කෙරෙයි. මේවා යුධ ටැංකි, ඩ්‍රෝන, මිය ගිය සොල්දාදුවන් සහ සිවිල් වැසියන්, පලා යන පවුල්, විනාශවුණු නගර සහ ගම්බිම් සහිත සැබෑ යුද්ධය ය. අද මේ සියල්ල සිදුවන්නේ භයංකාරත්වයෙන් සහ යුද්ධයෙන් මිදුණා යැයි සිතූ යුරෝපයක් තුළය. නමුත් පුටින්ගේ යුක්රේන ආක්‍රමණය ඇරඹුනේ පළමු වෙඩි පහරින් සහ රුසියානු යුධ ටැංකි ඉදිරියට ගමන් කිරීමත් සමඟින් නොවේ. මාධ්‍ය ප්‍රචාරණය සහ ව්‍යාජ පුවත් මඟින් එය ආරම්භ වූයේ බොහෝ කලකට ඉහතදීය.
යුධ පෙරමුණේ සිදුවෙන යුද්ධයට සමගාමීව, වචන සහ කතාන්දර යුද්ධය, මාධ්‍ය ප්‍රචාරණ කාලතුවක්කු ද ක්‍රියාත්මක වීම නොනැවතී සිදු විය. එහි අරමුණ වූයේ මිනිසාගේ මතිමතාන්තර දුර්වල කිරීමය, ඉදිරියට පැමිණිය හැකි ප්‍රතිරෝධය අඩාල කිරීමය. මාධ්‍ය ප්‍රචාරණය සහ කුමණ්ත්‍රණ න්‍යාය, ජාතිවාදී ප්‍රහාරයන් සහ ප්‍රකෝපකිරීම්- යන මේ සියල්ලේම අරමුණ වූයේ මිනිසාව මිනිසත් බවින් බැහැර කිරීමය, තමන්ගේ අනෙකාගේ මානව ලක්ෂණ යටපත් කොට ඔවුන් යුද්ධයට නිස්කාරණේ බෙල්ල දෙන ඔළු ගෙඩි බවට, නැතහොත් තමන්ගේ සතුරන් බවට පත් කිරීමය. එවිට තම සතුරා මානව වර්ගයාගේ සමාජිකයන් වන්නේ නැත. සතුරාගේ ඉතිහාසයෙන් ඔවුන්ව උපුටා දමයි, එය සාර්ථක වන්නේ නම්, යුද්ධය ඇරඹීමටත් ප්‍රථම එය දිනිය හැකිය.
නිශ්චිතවම ප්‍රබන්ධ සහ සාහිත්‍යය මැදිහත් විය යුත්තේ මෙවැනි තත්වයන් වලදීය. පුළුල් ලෙස කිවහොත් ප්‍රබන්ධයට කළ හැක්කේ කුමක්ද? මානවයා ආරක්ෂා කිරීමය. මිනිසත්බව, මෙම ප්‍රතිගාමී අමානුෂිකරණය දක්වා යන රූපාන්තරණයට ඉඩ තැබීම ප්‍රතික්ෂේප කිරීමය. සාහිත්‍යය, මාධ්‍ය ප්‍රචාරණයේ විෂට එදිරි ස්වභාවික ප්‍රතිවිසක් ලෙස ක්‍රියා කරයි. ප්‍රචාරණය විනාඩි තුනකින් ලෝකය ද්විමානීයව විස්තර කිරීමට උත්සාහ දරයි, මෙය හොඳයි, මෙය නරකයි. සාහිත්‍යය අපට වඩාත් ගැඹුරු, වඩාත් සංකීර්ණ සම්පූර්ණ චිත්‍රයම ලබා දෙනවා පමණක් නොව එය අපට වැදගත් යමක් උගන්වයි. ප්‍රබන්ධයකට කේන්‍ද්‍ර වන්නේ, එකිනෙකාගේ භීතීන්, අපේක්ෂාවන්, සැසලීම්, සිහින සහ තැවුල් සහිත මිනිසාය. මාධ්‍ය ප්‍රචාරණය ද ඒ භීතින්, ආශාවන් පිළිබඳ කැමැත්තක් දක්වයි, ඒ මිනිසාගේ මනස සාමුහිකව හැසිරවීමේ මෙවලක් ලෙස භාවිතාකිරීමේ අරමුණින් පමණි. ප්‍රබන්ධ සහ ප්‍රචාරණය එකම බිමකදී මුණ ගැසෙයි - ඒ මානවීය සහ මානුෂීය බිමේදීය.
ප්‍රබන්ධයත් ප්‍රචාරණයත් එකක් යැයි ඔබ වාද කරනු ඇත, ඒ දෙවගම ලෝකයේ විවිධාකාර දෘශ්‍යමාන ලබා දීමට කතාන්දර භාවිතා කරයි. නැත! අපි එහි වෙනස දැක ගැනීමට උත්සාහ කරමු. ප්‍රචාරණයේ සහ කුමණ්ත්‍රණ න්‍යායන්ගේ සියුම් විෂ, ඒවා කාලයක් තිස්සේ රැස්කළ මිනිස් දැනුමේ මුලික සංකල්ප ප්‍රතිස්ථාපනය කිරීම, සියවස් ගණනාවක සමාජ සංස්කෘතිය සහ ශිෂ්ඨාචරය ලුහුඬු කිරිම, මිනිසාගේ පුරාතන වාර්තා ලිපි ගොනු උඩු යටි කොට ඒවා ගිනි බත් කිරීම යන කාරණා තුළ අන්තර්ගතව ඇත. මීට ප්‍රතිපක්ෂව, හොඳ නරක, සැබෑව බොරුව, මිනිසත්කම නොමිනිසත්කම, අවසර දීමේ හා නොදීමේ හැකියාව එකිනෙකට ගැටගැහෙන පද්ධතිය භාවිතයට ගනිමින් සැබෑ සාහිත්‍යය, ප්‍රබන්ධය සහ කතා කීම ලෝකයේ දෘශ්‍යමානයන් ගොඩනඟන්නේ ඒ පුරාතන වාර්තා මත පිහිටමිනි. අපට වැටහුනත් නැතත් අද දින අප සිටින්නේ - නැත අප සැබවින්ම කොටස්කරුවන් වන්නේ - සුවිසාල, විටෙක අදෘශ්‍යමාන මිනිස් ජීවිත රැකගැනීමේ යුද්ධයක පමණක් නොව, මානවීය සහ මානව ජිවියේ සාරය රැකගැනීමේ යුද්ධයකය.
තවත් පැහැදිලි කරන්නේ නම්, අපි ජීවය, ජීවින් සහ සොබාදහම රැක ගන්නේ නැතිව තව දුරටත් මිනිස් ජීවිත රැකගත නොහැකි තත්වයකට අපි පැමිණ සිටිමු. මේ තත්වයෙන් ආත්ම කේන්ද්‍රීය, මානව කේන්ද්‍රීය පලායාමක් කල නොහැකිය. ප්‍රබන්ධ තුළින් අනෙකුන්ගේ හඬට සහ කතාවලට සවන් දීමෙන්- මිනිසුන්ගේ පමණක් නොව සියළුම ප්‍රාණින්ගේ- ජිවය රැකගත හැකිය. මෙය කතාන්දර ලෝකයත් මනුෂ්‍යත්වයත් සමඟ වන යුද්ධයකි. සාහිත්‍යය එහි භූමිකාවක් රඟ දක්වයි.
සාහිත්‍යය තුළින් මිනිසුන්ගේ පමණක් නොව, මුළු ජිවයේම හඬට සහ කතාන්දරවලට සවන් දීමෙන් ජීවය රැකගතහැකිය, ඒ අනුව පරිවර්තන සාහිත්‍යය, අනෙකුන්ගේ සමස්ත හඬ සහ කතාන්දරවල විසල් චිත්‍රයක් අපට ලබා දෙයි. අප ජිවත්වන්නේ තවදුරටත් කේන්‍ද්‍රයක් හෝ පරිධියක් පැහැදිලිව හඳුනාගත නොහැකි ලෝකයකය. අප වෙත වසංගත, ව්‍යසන, යුද්ධ පැමිණෙන විට, වේදනාවේ කේන්ද්‍රය ඇත්තේ සතර අතය, ලෝකයේ කේන්ද්‍රයට තැනින් තැනට ගමන් කළ හැකිය. එය වේදනාව හඹා යයි.
අද නැඟෙනහිර යුරෝපයේ ලේ ගලා යයි, ඒ කලාපයේ මිනිසුන්ට ඒ පිළිබඳ වැඩිමනත් කතාන්දර අපට කියා දිය හැකිය. වත්මන් ලෝකය තුළ වේදනාවෙන්, ජන කැළඹීම්වලින් කම්පනය වන ස්ථාන බොහෝ ඇත, ඒ නිසා ඒ ස්ථානයන් තුළින් පැන නැඟෙන හඬ, සහ ඒ කතාන්දරවල පරිවර්තන අපට ඉතා වැදගත්ය. එය ජිවිත ගලවාගන්නා බව ද මම පවසමි. මක්නිසාදයත් එක්තැනක දැනටමත් රිදුම් දෙන දේ, සතරඅත වේදනාවට පත්කරන දෙයක් බවට පත් වන නිසාය. බොහෝ කාලයක සිට ලෝකය එක් කයකි, තනි ජාලයකි. එසේනම් ඒ කිසිවෙකු තව එකෙකුගෙන් උදව් ඉල්ලා හඬද්දි ඒ ජාලයේ කෙලවරක සිටින අපට සතුටින් හෝ සාමකාමීව ජිවත්විය නොහැකිය.
අර්බූදකාරී කාලයන් හි දී, මම විශ්වාසය තැබුවේ සාහිත්‍යය සහ අවිනිශ්චිතතාවේ, දෙගඩියාවේ සහ පීඩාකාරීබවේ පාර්ශවකරුවන් වූ මිනිසුන්වය. එසේම ඔවුන් අර්බූද පිළිබඳ විශේෂඥයෝය. පෙසෝවා, කෆ්කා, එලියට්, වූල්ෆ්, බෝර්ජස් එසේ නම් කල හැකි කීප දෙනෙකි. අපට ලෝකය දේශපාලනික සහ ආර්ථික සබඳතාවන්ගෙන් පමණක් විස්තර කළ නොහැකිය යන වැටහීමට අපි කෙමෙන් පැමිණ සිටින්නෙමු.
මන්ද අප ගොඩනැඟී ඇත්තේ ආර්ථිකයෙන් සහ දේශපාලනයෙන් පමණක් නොවන නිසාය. අප ගොඩ නැගී ඇත්තේ ශෝකය, දෙගිඩියාව සහ එවැනි විස්තර කිරීමට අපහසු බිඳෙන සුළු දේවලින් ද වන නිසාය. ඒ අනුව අර්බුද විශේෂඥයන්ට, ඒවා විස්තර කිරීමට සාහිත්‍යය සහ භාෂාව යොදාගත හැකිය.
සාහිත්‍යයට කළ හැකි වෙනත් දේවල් මොනවාද? රසඥතාව නිර්මාණය කිරීම. එය සෞන්දර්යයවේදයට අදාළ ප්‍රශ්නයක් පමණකැයි කියා එය යන්තමින් හෝ අවතක්සේරු නොකළ යුතුය. උසස් රසඥතාවයකින් යුතු කෙනෙකු මාධ්‍ය ප්‍රචාරණයට හසුවන්නේ අඩුවෙනි. උදාහරණයක් ලෙස, ජාතිකත්වයට යටින් ඇති දේශපාලන ගොරසැඬිභාවය ඔවුහු හොඳින් දකිති. එය සැබවින්ම දේශපාලනික ක්‍රියාවකි. ජෝසෙෆ් බ්‍රොදස්කි(රුසියානු ඇමරිකානු කවියෙක්) පවසා ඇති ලෙස, සෝවියට් පාලනයට එරෙහි ඔහුගේ ප්‍රතිවිරෝධය අඩුවෙන් දේශපාලනික, වැඩියෙන් සෞන්දර්යයවේදි ක්‍රියාවකි.
අපගේ විචාර බුද්ධිය නපුරේ ග්‍රහණයට හසුවීමට ප්‍රථම අපේ සංවේදි ඉන්ද්‍රියයන්ට - ඒවා හරි හැටි සුසර වී තිබේ නම්- හිංසාකාරී දුගඳ හඳුනාගැනීමට ඉව ඇල්ලීමේ හැකියාව තිබෙයි. සාහිත්‍ය්‍යට ද එවන් සියුම් සංවේදීතාවක් නිර්මාණය කිරීමට වැඩ කළ හැකිය.
අද අපට පුද්ගලිකව ද දේශපාලනිකව ද ඉතා වැදගත්වන සහවේදනය, බරපතල ලෙස අවශ්‍ය දෙයක් බවට පත්ව ඇත.
ඒකාධිපතිවාදය හෝ මූලධර්මවාදය සහවේදනයට කිසිදු ඉඩක් තබා නැත. ඔවුන් අනෙකාව, සතුරාව, මිනිස් ස්වභාවයෙන් නෙරපා දමා ඇත. මක්නිසාදයත් මිනිසාගේ සිත නොමඟ යයි, පිට පනියි, එය දුබලතාවයේත්, දෙගිඩියාවේත් උල්පතකි. මිනිසුන් නැතිනම් ප්‍රශ්නයක් ද නැත, ස්ටලින් නරුම ලෙස පවසන්නට පුරුදු වී සිටියේය. මනුෂ්‍යත්වය නොමැත, ප්‍රශ්න ද නොමැත. ජනප්‍රියවාදය සහ ප්‍රචාරණය එසේ සිතයි. එය තමයි සහතික ලෙසම වඩාත්ම අප බියපත් කරන කාරණය. මේ නිසයි අපට කතා කීමත්, සහවේදනයත් අවශ්‍යය. මිනිසා සමඟ සෘජුව ගනුදෙනු කිරීම යන කාරණය නිසාම බිහිවන අපගේ පෞද්ගලික කතාන්දර වල සැඟවුණු ශක්තිය ස්වභාවයෙන්ම මතවාදයන් සහ රාජ්‍යය අභිබවා යයි.
නමුත් අද අනෙකා යනු කවුද? සාමාන්‍යයෙන් අප සහවේදනය පිළිබඳ කතා කරන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව අප මානව වර්ගයා වෙත සීමා වෙමු. වඩාත් පුළුල් පරිසරයක් වෙත අපගේ සහවේදනය මෙහෙයවිමට මේ කාලය නොවේද? සැබවින්ම අපට අපගේ ළමා කාලයත්, සුරංගනා කතාත් අපට මතක නම්, සහවේදනය හුරුකරවන සාහිත්‍යය අපට හඳුනාගත හැකි අතර කුඩා දරුවන් එය බෝහෝ කාලයක සිට පුරුදු පුහුණු වෙන සැටි අපට දැක ගත හැකිය. ඒ සාහිත්‍යය තුළ කතාන්දරයක් හරහා ගොලුබෙල්ලෙකුට, සුනඛයෙකුට හෝ රෝස මලකට කතා කිරීම සහමුළින්ම ස්වභාවික ක්‍රියාවකි.
සුලු මොහොතකට මිනිසා කට පියාගෙන නිහඬ වී අනෙක් කතාන්දරකරුවන්ගේ - මාළුවෙක්, බත් කූරෙක්, මුගටියෙක්, බට ගහක්, බළලෙක්, ඕර්කිඩ් මලක් හෝ ගල් කැටයක් - හඬ ඇසීමට අවකාශ ලබා දිය යුතුය.
අවසාන වශයෙන්, මේ කතාව නිම කිරීමට අවුරුදු හතළිස් නවයකට ඉහත දී මා දුටු, එය ලියා තැබූ පසු, කිසි දිනෙක මා නැවත නොදුටු, ඒ නිසාම මට අමතක ද නොවුනු නපුරු සිහිනය මට පවසන්න ඉඩ දෙන්න. එය සරල එසේම භයංකාරය. අපේ මුලු පවුලම හිටියේ ගමේ ළිං පතුලේ: මගේ අම්මා, මගේ තාත්තා, මගේ සහෝදරයා. ළිඳ බොහෝ ගැඹුරුයි සහ අඳුරුයි, මම දුටුවේපිටතට පැමිණීමට නොහැකිව සිටින ඔවුන්ගේ අඳුරු ඡායාවන් පමණයි. මම පමණයි පිටත සිටියේ, ආරක්ෂිතව නමුත් තනිවම. මා තුළ වූ බිය දෙයාකාරයි. පළමුව ඔවුන් ගැන බිය, දෙවැනුව මා ගැන බිය. මා ඔවුන්ගෙන් වෙන්ව ඇත, මම සිටියේ ඔවුන් සමඟ නොවේ, ළිං පතුලේ වුවත්, මා ඔවුනට අත්හැරී තිබුනි. මේ දෙගුණනය වූ බිය- ඔවුන් වෙනුවෙන් සහ මා වෙනුවෙන්- ඒ අත්හැර දමනු ලැබීමේ හැඟීම, බාගවිට මා ලේඛකයෙකු කරන්නට ඇත, යටත් පිරිසෙයින් එය කැත කුරුටු බලි අකුරුන් ලියූ මාගේ පළමු කතාවට පණ දෙන්නට ඇත. එය ලිවීම මට උදව්වක් වූයේය. දැනටත් මා නොනවත්වා ලිවීමට හේතු, ඒ නපුරු සිහිනය ලියා තැබු පිරිමි දරුවාට තිබූ හේතු වලින් බොහෝ සෙයින් වෙනස් වන්නේ නැත.
නපුරු සිහින වලට පණ දීමට මට උවමනා නැති නිසා මම ලියමි.
සටහන - සුභාෂිණී චතුරිකා
2023.12.10 වැනි දින අනිද්දා පුවත්පතේ මුල් වරට පලවිය.
අවධාරණය කිරීම් ඡායාරූප අපෙන්