‘‘නවකතාවේ සාරාර්ථය (Spirit of the novel) යනු අවිචින්නතාවයේ සාරාර්ථයයි.

එක් එක් කෘතිය පෙර පැවති ඒවාට පිළිතුරකි. එක් එක් කෘතියෙහි නවකතාවේ සියලු පූර්ව අත්දැකීම් අඩංගු කොට ගනී. එහෙත් අපේ කාලයේ සාරාර්ථය දැඩිව නාභිගතව ඇත්තේ මිල අධික වර්තමානය මතය. එය අතීත ක්ෂතිජ මායිමෙන් තල්ලු කර කාලය වර්තමාන මොහොතට පමණක් ඌනනය කරයි. මේ පද්ධතිය තුළ නවකතාව තව දුරටත් කෘතියක් නොවේ. (එය අතීතය අනාගතයට ගැට ගසා නොනැසී පැවතීමට කළ දෙයකි.) එහෙත් එය බොහෝ දේ අතර තවත් එක් වර්තමාන සිදුවීමකි. අනාගතයක් නැති බවට ඉඟියකි.’’

නවකථාවේ රටාව (The Art of the novel: milan kundera): පිටුව 33: පරිවර්තනය සමන් වික්‍රමාරච්චි: සංහිඳ ප්‍රකාශන: 2011


milan

hdklf
යට උපුටා දැක්වූ කොටස එසේ උපුටා දක්වන්නට සිත් වූයේ එම කොටස සමග නිවැරදිව ම සමපාත කළ හැකි ප්‍රබන්ධ කෘතියක් කියැවීමට අවස්ථාව ලද බැවිනි. කෘතිය ‘‘උන්මාද තොටමුණ’’ ය. එය ප්‍රබන්ධ කර ඇත්තේ සම්මානලාභී ප්‍රවීණ ලේඛිකාවක වන රූපා ශ්‍රියානි ඒකනායක ය.


‘‘උන්මාද තොටමුණ’’ කතුවරියගේ දසවන ප්‍රබන්ධ කෘතිය යි. විශේෂත්වය එය නොවේ; කතුවරිය මීට පෙර රචනා කළ කෘති නවයට ම වඩා මෙම කෘතිය සපුරා ම වෙනස් මගක් ගෙන තිබීම ය. මීට පෙර ඇය විසින් රචිත බොහෝ කෘතිවල දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් වූයේ අදාළ කෘතිය තුළ පාඨක ප්‍රජාවට සම්මුඛ වන බොහෝ චරිතවල හෘද අභ්‍යන්තරය විවර කරන්නට කතුවරිය දැක්වූ සමත්කම ය. ‘‘උන්මාද තොටමුණ’’ කෘතිය තුළ ද එම ලක්ෂණ යම් ප්‍රමාණයකට දක්නට ලැබුණ  එය ඇගේ මීට පෙර රචනා සියල්ලට ම වඩා වෙනස් රචනාවකි. මෙවර ඇය යත්න දරා තිබෙන්නී ලාංකීය දේශපාලන භූමියේ ප්‍රහසනත්වය, මුග්ධ භාවය, ක්‍රෑරත්වය සහ අවස්ථාවාදිත්වය පාඨක ප්‍රජාව වෙත සම්මුඛ කිරීම ය.


අන්තර්ගතයේ පරස්පරතා

thitamuna‘‘උන්මාද තොටමුණ’’ ප්‍රබන්ධය, ප්‍රබන්ධයක් ලෙස රස විඳිය හැකි වුව ද යට සඳහන් කළ දේශපාලන සන්දර්භය විදාරණය කිරීමට කතුවරිය දැරු තැත කෙතරම් දුරට සාර්ථක ද යන්න ගැටලුවකි. මන්ද ඇගේ රචනාව තුළ ඇය විසින් ම මතුකරනු ලබන ඇතැම් අවස්ථා එකිනෙකට පරස්පර බැවිණ. එය කතුවරිය දැන සිදු කළා ද නොදැන සිදු වූවා ද යන්න පවා ගැටලු සහගත ය.


‘‘අනාදිමත් කාලයක සිට තමන්ගේ ම සුභ සිද්ධිය සඳහා ආණ්ඩු මාරු කළ, සඟ වෙද ගොවි කම්කරු න්‍යායන් මගින් ගොඩ එන්නට තැතනූ, කතිරයේ බලය උරගා බැලූ, එය සාර්ථක නොවූ කල ගල්කටස් අතට ගත්, තමාගේ රටේ වෙසෙන වෙනත් ජාතින් සතුරන් යැයි සිතා යුද වැදුණු, එය ද සාර්ථක නොවූ කල අමුතුම තාලේ අරගලවල පැටලුණු තම්බපණ්ණි ජනතාවට අන්තිමට පාලකයින් විසින් ම පුරුදු කර ඇත්තේ මල් වට්ටි, පූජා වට්ටි, හඳුන්, කපුරු, තුවරළා දුම් අස්සෙන් තමන්ගේ මනදොළ සපුරාගැනීමට ය.’’ - පිටුව 309  

 

මෙම කොටසේ එන ‘‘සඟ වෙද ගොවි කම්කරු’’  යනුවෙන් ඉඟි කර තිබෙන්නේ කුමක්දැයි වෙසෙසින් හඳුන්වා දිය යුතු නැත. එහෙත් එම කොටසට අන්තර්ගත විය යුතු ‘‘ගුරු’’ නමැති වදන (පාර්ශ්වය) කතුවරිය වුවමනාවෙන් ම මගහැරියා ද, එසේත් නොමැති නම් අතපසු වීමකින් මගහැරුණා ද යන්න එක් ගැටලුවකි.

‘‘උන්මාද තොටමුණ’’ යනු ප්‍රබන්ධයක් වන බැවින් අදාළ කොටස අත්හැරීමේ අයිතිය කතුවරිය සතු බව පිළිගන්නා අතර ම කතුවරිය සමස්ත කෘතිය පුරා ම චිත්‍රණය කරන දේශපාලන සිදුවීම් පිළිබඳව ද මෙම පැනය ම යළි යළිත් මතුවේ. ඇගේ ඉදිරිපත් කිරීම අව්‍යාජ බව සැබැවි. එහෙත් ‘‘උන්මාද තොටමුණ’’ යනු සපුරා ම දේශපාලනික ප්‍රබන්ධයක් වන බැවින් ඇගේ දෘෂ්ටිවාදය පිළිබඳව ද ගැටලු පැන නැගෙන අවස්ථා පවතී.


සියලු ජන පිබිදීම් සමපාත ද

යට උපුටා දැක්වූ කොටසෙහි ම එක් තැනෙක ‘‘තමාගේ රටේ වෙසෙන වෙනත් ජාතින් සතුරන් යැයි සිතා යුද වැදුණු, එය ද සාර්ථක නොවූ කල’’ යනුවෙන් සඳහන් කෙරේ. මෙහි දී කතුවරිය දැනුවත්ව හෝ නොදැනුවත්ව ම 71 සහ 87-89 අරගලය, තිස් වසරක් පුරා පැවති උතුරු නැගෙනහිර සන්නද්ධ අරගලය සහ 2022 වසරේ පැන නැගුණ අරගලය සමපාත කිරීමට යත්න දරන්නී ය. තවත් සරලව පවන්නේ නම් මෙකී අවස්ථා කිහිපය ම එකම පිරිසකගේ උත්සාහ ලෙස අර්ථ දක්වන්නී ය. මෙහි වඩාත් බරපතළ තත්වය වන්නේ එල්ටීටීඊ සංවිධානය විසින් මෙහෙයවන ලද අරගලය සහ 2022 වසරේ සාමාන්‍ය ජනතාව ද මහ මගට අවතීර්ණව සම්බන්ධ වූ අරගලය එකම මිම්මෙන් මනින්නට යත්න දැරීම ය.


‘‘උන්මාද තොටමුණ’’ කෘතිය සපුරා ම දේශපාලන ප්‍රහර්ෂයක් වන අතර ම මෙබඳු, එකිනෙකට නොගැළපෙන සිද්ධි සහ ප්‍රකාශ ද බහුල ය. මෙය කතුවරිය විසින් මීට පෙර රචිත ආකාරයේ ප්‍රබන්ධයක් වූයේ නම් මෙවන් අවස්ථා මගහැර යා හැකිව තිබිණ. නමුදු ‘‘උන්මාද තොටමුණ’’ යනු එසේ මගහැර යා නොහැකි ප්‍රබන්ධයකි. එවන් ප්‍රබන්ධයක් රචනා කිරීමේ දී අදාළ සිද්ධි සහ ප්‍රකාශ කෘතියේ සන්දර්භය තුළ තබා විග්‍රහ කිරීමේ දී එහි වගකීම සපුරා ම පවතින්නේ කතුවරිය මත ය; ඇයට එය මගහැර යා නොහැකි ය.


කතුවරියගේ දෘෂ්ටිවාදය කුමක් ද...?

පසුගිය වසරේ නිකුත් වූ, මංජුල වෙඩිවර්ධන විසින් රචිත, ‘‘මුන්නක්කරේ සංසාරේ’’ නමැති ප්‍රබන්ධය ද ඊනියා නිදහසින් ඉක්බිති මෙරට පැවති දේශපාලන ධාරාව දැඩි ලෙස විවේචනයට ලක් කෙරෙන කෘතියකි. නමුදු මංජුල එහි දී කෘතියේ සමබරතාව ගිලිහී නොයන්නට වගබලාගෙන ඇත. ඔහු ද සිය ප්‍රබන්ධය තුළ මෙරට පැවති සහ පවතින දේශපාලන භූමිකාවේ: ප්‍රහසනත්වය, මුග්ධ භාවය, ක්‍රෑරත්වය සහ අවස්ථාවාදිත්වය මනා ලෙස ඉදිරිපත් කර ඇති අතර ඒ එක් එක් කරුණ තවකෙකට පරස්පරතා නොදක්වයි; තවත් සරලව පවසන්නේ නම් කතුවරයා සිය දෘෂ්ටිය ඍජුව ම කෘතිය තුළ විදාරණය කරයි. නමුදු ‘‘උන්මාද තොටමුණ’’ ප්‍රබන්ධ කෘතිය රචනා කරන්නී සිය දෘෂ්ටිවාදය වුවමනාවෙන් ම හෝ අතපසු වීමකින් සඟවාගන්නී ය.

ප්‍රබන්ධකරුවකු හෝ ප්‍රබන්ධකාරියක කිසියම් ප්‍රබන්ධයක් කිරීමේ දී අදාළ ප්‍රබන්ධය තුළ ඔහුගේ හෝ ඇයගේ දෘෂ්ටිවාදය කුමක්දැයි පිළිබිඹු කිරීම අත්‍යවශ්‍ය නැතැයි කිසිවකු ප්‍රශ්න කළ හැකි ය. නමුදු අදාළ කතුවරිය හෝ කතුවරයා ඉදිරිපත් කරන්නේ ඔහු හෝ ඇය වෙසෙන රටෙහි පැවති සහ පවතින දේශපාලන යථාර්ථය නම්, එකී යථාර්ථය තුළ තමාගේ දාෂ්ටිවාදය කුමක් ද යන්න පිළිබඳ කිසියම් ඉඟියක් හෝ සැපයිය යුතු ය. එසේ නොවුණ හොත් ප්‍රබන්ධය තුළ වුව ද දක්නට ලැබෙන යථාවාදී ස්වරූපය පිළිබඳ පාඨක ප්‍රජාවගේ අවධානය අවුල්සහගත විය හැකි ය; කෘතිය නිවැරැදිව කියවාගත නොහැකි විය හැකි ය. අවසන සිදුවන්නේ කතුවරයා හෝ කතුවරිය සිය කෘතිය තුළින් සමාජ ගතකිරීමට උත්සාහ කළ අදහස, එසේත් නොමැති නම් ප්‍රකාශය අවලංගු කාසියක් බවට පත්වීම ය.


පාඨක ප්‍රජාවගේ ස්වයං තීරණය
death of the
මෙහි දී යමකු රෝලන්ඩ් බාර්ත්ගේ න්‍යාය සංකල්පයක් වන ‘‘පාඨයක අරුත තීරණය වන්නේ කතුවරයාගේ අභිප්‍රාය මත නොව පාඨකයාගේ අර්ථ නිරූපණය මත ය’’ (The Death of the Author) යන සංකල්පය ඉදිරිපත් කළ හැකි ය. ඔවු... කිසිවකුට එසේ විමසිය හැකි ය. නමුදු පාඨක ප්‍රජාව වුව ද ස්වයං තීරණයකට එළඹිය හැකිවන්නේ හෝ එළඹිය යුත්තේ කතුවරයා හෝ කතුවරයා හෙලි පෙහෙළි කළ මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙනි. එහෙත් කතුවරයා හෝ කතුවරිය ද අතරමං වී නම් පාඨක ප්‍රජාව ස්වයං තීරණයකට එළඹෙන්නේ කෙසේ ද...?

‘‘උන්මාද තොටමුණ’’ ප්‍රබන්ධය තුළ සමාජයේ පවත්නා විවිධ විෂමතා පිළිබඳ ඉඟි සැපයේ. එහෙත් රටක ප්‍රජාව විසින් අනුගමනය කරනු ලැබිය යුත්තේ මේ අතුරෙන් කුමන ආකල්ප ද, කුමන සම්ප්‍රදාය ද, කුමන ක්‍රියා පිළිවෙත් ද යන්න පිළිබඳ ව්‍යංගාර්ථයක් හෝ නොසපයන්නට කතුවරිය වගබලාගන්නී ය. ඇය පන්සිල් පද පමණක් ප්‍රකාශ කරන්න්නී ය. එය පිළිපැදීම හෝ පිළි නොපැදීම සමාජය මත පවරන්නී ය.

කෘතියේ මුඛ්‍ය තේමාව ලෙස ගෙඩනැගෙන්නේ නවින තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස මිනිස් ශ්‍රමය මුලිනුපුටා දැමෙන, සිත් පිත් නොමැති රොබෝවරුන්ගෙන් පිරි භූමියක් ලෙස පෘථිවිය වෙනසකට බඳුන් කරන්නට යත්න දැරීම පිළිබඳ කතිකාව ය. නමුදු එහි දී ප්‍රබන්ධයේ එන කිසිදු චරිතයක්, අදාළ සංකල්පය පිළිබඳව දරණ ස්ථාවර මතය කුමක් ද යන්න පැහැදිලි නොකෙරේ. නුතන තාක්ෂණයේ වැලඳගතයුතු ස්ථාන මෙන් ම බැහැර කළ යුතු ස්ථාන ද අනන්ත ය; අප්‍රමාණ ය. නමුදු එය එසේ යැයි පවසන්නට කෘතියේ අන්තර්ගත කිසිදු චරිතයක්, කිසිදු උත්සාහයක නිරත නොවෙති. ඒ සැම චරිතයක් තුළින් ම මතුවන්නේ අදාළ සිද්ධි ඉස්මතු කිරීම පමණි. අවම වශයෙන් ඊට ප්‍රතිවිරුද්ධ (ඒ ඒ චරිතවලට අදාළ අදහස් හෝ ක්‍රියා කලාප වෙනුවෙන්) චරිත ගෙඩනැංවීමක් සිදු නොකෙරේ.

අනාගතයක් නැති බවට කෙරෙන ඉඳියක් ද...?

මෙහි දී කිසිවකු විසින් යළිත් රෝලන්ඩ් බාර්ත් ගේ සංකල්පය සිහිකරනු ලැබිය හැකි ය. ඒ අනුව සලකා බැලුව ද කතුවරිය මුදා හැර ඇති අදහස්, සංකල්ප, සංසිද්ධි, ප්‍රකාශ යනාදි සියල්ල හුදු: අකුර, වචන, වාක්‍ය, ඡේද සහ පරිච්ඡේදවලට පමණක් සීමා කෙරේ. වෙසෙසින් ම මෙම ප්‍රබන්ධය සමාජ, ආර්ථික, දේශපාලන සහ ආගමික යනාදි සියලු මාන එක මිටට ගෙන අනා නිම කර ඇති පිළිරුවක් මෙනි. එම පිළිරුව තුළ මේ සියලු සංකප්ප, ආකල්ප අන්තර්ගත ය; එබැවින් ම රසවිඳිය හැකි ය. එහෙත් අවසන මිලාන් කුන්දේරා පවසන පරිදි ම ‘‘(එය අතීතය අනාගතයට ගැට ගසා නොනැසී පැවතීමට කළ දෙයකි.) එහෙත් එය බොහෝ දේ අතර තවත් එක් වර්තමාන සිදුවීමකි. අනාගතයක් නැති බවට ඉඟියකි.’’  

එසේ නම් අපි මෙය අනාගතයක් ඇති යමක් බවට පරිවර්තනය කර ගත යුත්තේ කෙසේ ද...?

මගේ පුද්ගලික අදහසට අනුව නම් මෙම කෘතිය  සර්ව පාඨකවාදි කෘතියකි. එනම් මෙය කියවන පාඨක ප්‍රජාව තම තම නැණ පමණ අනුව පමණක් නොව තම තම රුචි අරුචිතා අනුව ද කෘතිය රසවිඳිය හැකි ය; ඒ අනුව ම කතුවරිය වෙත නින්දා හෝ ප්‍රශංසා කළ හැකි ය. පවතින සමාජ ක්‍රමය පිළිබඳ වුව ද තම රුචිකත්වය අනුව එය හොඳ හෝ නරක යැයි තීරණය කළ හැකි ය. එනම් තාක්ෂණයට පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයට ම තම රුචිකත්වය මත පිහිටා කෘතිය කියවිය හැකි ය; විඳිය හැකි ය. සම රිසි ප්‍රජාව කෙරෙහි රුචිකත්වයක් දක්වන අයට කෘතිය අගය කළ හැකි ය. සම රිසි විරෝධින්ට ද ඔවුන්ගේ මතය නිවැරැදි යැයි තීරණය කළ හැකි ය. 2022 අරගලය අගය කරන පිරිසට මෙන් එය එය පිටු දැක්කා වූ/අනාගතයේ ද පිටු දකින පිරිසට ද තුටුපහටු විය හැකි ය. එහෙත් අවසන ඉතිරි වන්නේ කුමක් ද...? එනම් කතුවරිය පාඨක ප්‍රජාව වෙත ඉතිරි කර ඇත්තේ කුමක් ද...? තම්බපණ්ණිය නම් වූ මේ කොදෙව්වේ අනාගත සුරක්ෂිතතාව උදෙසා දියසෙන් කුමාරයකු පැමිණෙන බව නොවේ ද..., අභිතා එකී දියසෙන් කුමාරයා හදා වඩා ගනිමින් සිටින බව නොවේ ද...?


මම යළිත් ලියමි... ‘‘උන්මාද තොටමුණ’’ ප්‍රබන්ධයක් ලෙස කියවිය හැකි ය; රස විඳිය හැකි ය; එහෙත් රුපා ශ්‍රියානි ඒකනායක නම් වූ ප්‍රබන්ධකාරිය කෘතිය අවසන පාඨක ප්‍රජාවට කිසිවක් ඉතිරි කර නැත. යමක් ඉතිරි කර ඇත්නම් ඒ අනාගතයේ දියසෙන් කුමාරයකු බිහි කළ යුතු බවට කරන ඉඟියක් පමණි.


ඉදින් කිසිදා නොපැමිණෙන දියසෙන් කුමාරයකු පිළිබඳ බලාපොරොත්තු තබාගැනීමෙන් තම්බපණ්ණිය නම් කොදෙව්වේ වෙසෙන ජනතාවට අත්වන ප්‍රතිඵලය හෝ ප්‍රති විපාකය කුමක් ද...?

සැ.යු. කෘතියෙන් උපුටා ගත් කොටස්හි අක්ෂර වින්‍යාසය සහ පද බෙදීම් කෘතියේ අන්තර්ගත පරිදි ම ය.

jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 2023/12/24

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්