මේ වන විට සිංහල කාව්‍ය ක්ෂේත්‍රය දෙස අවධානය යොමු කළ හොත් දක්නට ලැබෙන විශේෂත්වයක් පවතී.

එනම් වසරකට අවම වශයෙන් කාව්‍ය සංග්‍රහ පනහකට ආසන්න ප්‍රමාණයක් ප්‍රකාශයට පත්වීම ය. ඇතැම් විට මෙම ප්‍රමාණය මීට වඩා වැඩි විය හැකි ය.

කාව්‍ය සංග්‍රහ ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ ගිය ද, කවි ලියන ප්‍රජාව ඉහළ ගිය ද ඊට සාපේක්ෂව කවිය වර්ධනය වී තිබේ ද යන්න ගැටලුවකි. මගේ පුද්ගලික අදහස නම් කවි ලියන ප්‍රජාව සහ වසරකට නිකුත් වන කාව්‍ය සංග්‍රහ ප්‍රමාණයට සාපේක්ෂව කවියේ වර්ධනයක් දක්නට නොලැබෙන බවයි. මේ අදහස සම්බන්ධයෙන් විවිධ මත පැවතිය හැකි ය. එහෙත් කවිය ගැඹුරෙන් කියවන, ගැඹුරෙන් රස විඳින, ගැඹුරෙන් විමර්ශනය කරන පාඨකයකු ලෙස මෙය පැවසිය යුතු ම ය.

සමස්තයක් ලෙස ගත් විට මෙබඳු තත්ත්වයක් පැවතිය ද එක් එක් කාව්‍ය සංග්‍රහ තුළ ‘‘නොකවි’’ අතර ‘‘කවි’’ ද ‘‘කවි’’ අතරර ‘‘නොකවි’’ ද පවතින බව සත්‍යයකි. එසේ නම් එකී නොකවි අතර පවත්නා අවම කවි ප්‍රමාණය හෝ කියවීම, විඳීම, විමංසනය කිරීම කළ යුතු ය.

මම පුද්ගලිකව එහි නියැළෙමි. ඒ අන් කිසිවක් නිසා නොව කාව්‍ය නිර්මාණ තිස් පහක් පනහක් අතර ප්‍රමාණයක් අඩංගු එක් කාව්‍ය සංග්‍රහයක ‘‘කවි’’ ලෙස (මගේ කියවීමට සාපේක්ෂව) අවම කවි ප්‍රමාණයක් හෝ පවතී නම් එකී අවම කවි ප්‍රමාණය හෝ කියවා, රස විඳ, ඒ සම්බන්ධයෙන් පාඨකයා දැනුවත් කිරීම විචාරකයකු ලෙස මගේ යුතුකමක් නොව වගකීමක් ලෙස සලකන බැවිනි. එම වගකීම වෙනුවෙන් මා අද දින තෝරා ගත්තේ ප්‍රසන්න ගුණවර්ධන විසින් රචිත ‘‘පමා වී වැටෙන වැහි’’ නමැති කාව්‍ය සංග්‍රහය යි.


මෙම කාව්‍ය සංග්‍රහය තුළ කාව්‍ය නිර්මාණ හතළිස් දෙකක් අන්තර්ගත ය. එම නිර්මාණ හතළිස් දෙක අතුරින් මගේ වින්දන කලාපය ආලෝකමත් කළ නිර්මාණ පහළොවක් පැවති අතර ප්‍රශ්න සහගත කාව්‍ය නිර්මාණ ත්‍රිත්වයක් ද සම්මුඛ විය. කෙසේ වුව ද මගේ මේ ප්‍රයත්නය වන්නේ මා සිත් ගත් කාව්‍ය නිර්මාණ අතුරෙන් අවම නිර්මාණ ත්‍රිත්වයක් පිළිබඳව හෝ මගේ අදහස සමාජ ගතකිරීම ය. මෙහි දී ද ඇතැම් විට මා විඳි නිර්මාණ තවකකුට ගෝචර නොවන්නට පිළිවන; එමෙන් ම මගේ වින්දන කලාපය ආලෝකමත් කළ නිර්මාණ: එකක්, දෙකක් හෝ කිහිපයක් තවකකුට ‘‘කවි’’ නොවිය හැකි ය. එය ද සාපේක්ෂ කරුණක් වන බැවින් මෙතැන් සිට මම, මගේ වින්දන කලාපය ආලෝකමත් කළ, වඩාත් රසවත් නිර්මාණ කිහිපයක් පිළිබඳ මගේ අදහස ඉදිරිපත් කරන්නෙමි.

ප්‍රසන්න සිය පළමු කාව්‍ය සංග්‍රහය තුළ අන්තර්ගත කර ඇති නිර්මාණ අතර: ආදරය, විරහව, මවු සෙනෙහස, පිය සෙනෙහස යනාදි නිර්මාණ මෙන් ම, මතුපිටින් සරල, සුගම වදන් අමුණා පබැඳි ඇතැම් නිර්මාණ තුළ යටි පෙළෙහි ඉතා සියුම්  දේශපාලන අරුත් ද ගැබ්ව පවතී. ‘‘වෙස් සහ රැස්’’ යන මැයෙන් නම් කර ඇති නිර්මාණය මා කියවා ගත්තේ සහ රස වින්දේ එබදු නිර්මාණයක් ලෙසිනි. පළමුව අපි නිර්මාණය කියවමු.

ඔළුව මැටි මුට්ටියක්
පිංතාරු කර මුහුණක්
පලඳවා හැඩ තොප්පියක්
එල්ලී ය උස් ගසක පඹයෙක්

දැන් කරල පැසේවී
අස්වැන්න එයි යහමින්
සැනසුණිය ප්‍රීතිමත්
ගොවියෙක්

රැයක පල්ලම් බැස
හාරා තළා පොඩි කර වැනසීය එකවර
වල් ඌරු රංචුවක්

අහුලමින් හොටින් හොට
‘අද නං රජ මඟුල්’
පැවසීය හබන් කුකුළෙක්


කවියා සිය නිර්මාණය වෙනුවෙන් පාදක කරගන්නේ ‘‘ඌරන් කැකුණ තළද්දී හබන් කුකුළන්ට රජ මඟුල්’’ නමැති ප්‍රස්තාව පිරුළ බව බැලු බැල්මට ම දක්නට හැකි ය. නමුදු එම නිර්මාණය තුළ සිටින: හබන් කුකුළෝ, වල් ඌරෝ, ගොවියා මතු නොව පඹයා යනු ද මෙරට පවත්නා දේශපාලන ක්‍රියාවලිය පවත්වාගෙන යන, එතුළ ජීවත්වන, එයින් බැට කන ජන ප්‍රජාව ම නොවන්නේ ද...? එමෙන් ම මෙම නිර්මාණය තුළ අන්තර්ගත: මැටි මුට්ටිය, පින්තාරු කළ මුහුණ, හැඩ තොප්පිය සහ පැසෙන කරල යනු ද මෙරට පවත්නා දේශපාලන ක්‍රමය තුළ අන්තර්ගත විවිධ ක්‍රියාදාමවලට යොදවා ගන්නා, භාවිත කරන: උපාය, උපක්‍රම, මෙන් ම එබඳු දේශපාලන වාතාවරණයක් තුළ සාමානය ජනතාවට මුහුණ පාන්නට සිදුවන අබග්ග සංකේතවත් කරන කාව්‍යලංකාර නොවන්නේ ද...?

මේ සියලු කාව්‍යෝක්ති සහ කාව්‍යලංකාර උපස්තම්භක කරගනිමින් කවියා ඉදිරිපත් කරන්නේ හුදු, පඹයෙක්, ගොයමක්, ගොවියෙක් සහ හබන් කුකුළන්ගේ රජ මඟුලක් පිළිබඳව පමණක් ම ද...? නැත... මගේ කියවීම අනුව නම් කවියා සිය කාවිතාව උපස්තම්භක කරගනිමින් සමාජ ගත කරන්නේ මෙරට: දේශපාලකයා නොව දේශපාළුවා පිළිබඳ ඉඟියකි, දේශපාලනය නොව දේශය පාළු කිරීම පිළිබඳ වූ ඉඟියකි, එලෙස පාළු කරන දේශය පිළිබඳ කිඹුල් කඳුළු හෙළන විරුද්ධ පක්ෂ නියෝජනය කරන දේශපාළුවන්ගේ ක්‍රියාකලාප පිළිබඳ ඉඟියකි. එමතු නොව එකී දේශපාළුවන්ගේ ඊනියා දේශපාලන ක්‍රියාදාම හේතුවෙන්: ව්‍යසනයට, පීඩනයට, අසරණ භාවයට පත්වන රටේ බහුතරයක් වූ ජන ප්‍රජාව පිළිබඳ වූ ඉඟියකි.

කාව්‍යකරණයෙහි නියැළෙන පුද්ගලයන්: ආදරය, විරහව, දෙමාපිය සෙනෙහස, සහෝදර ප්‍රේමය යනාදිය පිළිබඳ ලිවිය යුතු ය. ඒ පිළිබඳ විවාදයක් නොමැත. නමුදු හුදෙක් හෘද සංවේදී, භාව කම්පනයට ලක් කරවන නිර්මාණ මෙන් ම රටේ පවත්නා දේශපාලනයේ මුග්ධ බව සහ එකී දේශපාලනය වෙනුවෙන් වහල්කම් කරන ප්‍රජාව පිළිබඳව ද ලිවිය යුතු ය. එක් හෝ තවත් දේශපාලන පාර්ශ්වයක නොමනා ක්‍රියාකලාප තමන්ගේ හෝ තම දේශපාලන අරමුණ වෙනුවෙන් භාවිතයට ගන්නා දේශපාළුවන් පිළිබඳව ද ලිවිය යුතු ය. ‘‘වෙස් සහ රැස්’’ යනු මේ සියලු යථාර්ථ අන්තර්ගත නිර්මාණයක් ය යන්න මගේ අදහස ය; මගේ කියැවීම ය.

20240109 071620
හෘද සංවේදී කාව්‍ය නිර්මාණ, භාව කම්පිත කාව්‍ය නිර්මාණ, මවු ගුණ වරුණ හෝ පිය ගුණ වරුණ පිළිබඳ ලියැවුණු කාව්‍ය නිර්මාණ මෙරට කාව්‍ය පාඨක ප්‍රජාව අනන්තවත් කියවා ඇතුවාට සැකයක් නොමැත. එමෙන් මව්වරු සිය දරුවන් වෙනුවෙන් කරන අප්‍රමාණ කැපකිරීම් පිළිබඳව ලියැවුණ නිර්මාණ ද එසේ ම ය. එමෙන් ම ඒ ඒ මව්වරු නියැළෙන වෘත්ති සහ ඒවායේ කටුකත්වය පිළිබඳව ද අනන්තවත් කවි ලියැවී තිබේ; එමෙන් ම මමත් ඔබත් එබදු නිර්මාණ කියවා රස විඳ ඇත. නමුදු මා මෙතෙක් කියවා ඇති එබදු නිර්මාණ අතුරෙන්: මවක, බිරිඳක, සොයුරියක වන කාන්තාව පිළිබඳ ලියැවුණු සංවේදී ම නිර්මාණයක් ලෙස ‘‘පමා වී වසිනු මැන’’ නිර්මාණය මගේ මගේ වින්දන කලාපය ආලෝකමත් කළේ ය.

බලනු මැන වැසි වලාහක
නොපෙනේද ඇගේ දුක
බලනු මැන දැස් විදා

රබර් කඳු යායේ
බෑවුම් තැනිතලාවේ
දුවයි ඇය ඔබ මොබ
ගස් අතර හනි හනික

පාන්දර බිවු කහට උගුර
හිස්බඩින්මයි ඈ තවම
සවන් දිය හැකි නම් ඒ හදට
දුක්බර ම ගීයක් වේ

ඉහිරුණොත් කිරි කඳුළ
හදෙහි කැටි ගැසෙයි දුක
මිහිරි දවසක හැගුම්
උදා කර දී ඇයට
පමා වී වැසි වසිනු මැන


මෙම නිර්මාණය ද සිද්ධි වාචක නිර්මාණයකි. නමුදු කවියා සිය කවිතාව උපස්තම්භක කරගනිමින් රබර් කිරි කපන කාන්තාවකගේ දෛනික දිවියේ ආරම්භක කාලපරිච්චේදයේ සංවේදී ම අවස්ථාවක් කවියෙන් චිත්‍රණය කර ඇත. මා එය ‘කවියෙන් චිත්‍රණය කර ඇත’ යනුවෙන් සඳහන් කළේ අදාළ නිමේෂයේ, අදාළ වෘත්තියේ යෙදෙන කාන්තාවන් මා සජීවිව දැක ඇති බැවිනි; ඔවුන්ගේ මානසික සහ කායික පීඩාව, විඩාව සහ බිය පිළිබඳ නිවැරැදිව ම දැන සිටින බැවිනි.

අදාළ කර්මාන්තය රටට ඩොලර් උපයා දෙන මාර්ගයක් වුව ද එම කර්මාන්තයේ නියැළෙන කාන්තා සහ පුරුෂ යන දෙපාර්ශ්වය ම කෙතරම් දුක් ගැහැට විඳිනවා ද, ඊට සාපේක්ෂව ඔවුන්ට: නිසි වැටුපක් ලැබෙනවා ද, නිසි ගරුත්වයක් ලැබෙනවා ද යන්න පිළිබඳව ද පවතින්නේ ගැටලුසහගත තත්ත්වයකි.

තේ කර්මාන්තයේ නියැළෙන කම්කරු ප්‍රජාවගේ තත්ත්වය ද මීට වෙනස් නොවේ. ඇතැම් විට ඔවුන්ගේ ජීවන තත්ත්වය මීටත් වඩා ඛේද ජනක ය. එහෙත් ඒ සම්බන්ධයෙන් අදාළ කර්මාන්තය පවත්වාගෙන යන ප්‍රජාවගේ සිට ඊට අදාළ රාජ්‍ය තන්ත්‍රය දක්වා කටයුතු කරන්නේ ඉතා නොසැලකිලිමත් ආකාරයෙනි.

එබැවින් ‘‘පමා වී වසිනු මැන’’ නිර්මාණය වනාහී කවියක තිබිය යුතු යැයි සම්මත: කාව්‍යෝක්ති, කාව්‍යාලංකාර යනාදි කිසිවක් දක්නට නොලැබුණ ද එය හුදෙක් එම කර්මාන්තයේ නියැළෙන: මවකගේ, බිරිඳකගේ, සොයුරියකගේ කතාවක් නොව එහි නියැළෙන සමස්ත කම්කරු ප්‍රජාවගේ ම කතාව ය; ඔවුන් කෙරෙහි අවම අවධානයක් හෝ නොකරන හාම්පුතුන්ගේ සහ රාජ්‍ය පාලන තන්ත්‍රයේ මුග්ධ භාවය පිළිබිඹු කෙරෙන නිර්මාණයකි. මන්ද මෙවන් ප්‍රස්තුතයක් පාදක කරගන්නා කවියකුට හෝ කිවිඳියකට සිය නිර්මාණය සඳහා සුන්දර හෝ කලාත්මක (‘උඩරට කඳුකර සිරියා පරදන’ ගීතය බඳු) වදන් භාවිත කළ නොහැකි ය. ඒ අදාළ කර්මාන්තයේ නියැළෙන ප්‍රජාවගේ ජීවිත තුළ පවතින්නේ ම අඳුර බැවිනි. ඉදින් එකී අඳුරෙහි අඳුරු භාවය පිළිබිඹු කිරීම යනු කාව්‍යකරණයේ යෙදෙන ප්‍රජාවගේ යුතුකමක් නොව වගකීමකි. ප්‍රසන්න ගුණවර්ධන කවියා මෙම නිර්මාණය තුළින් සිය වගකීම ඉටු කර ඇත; කාව්‍යාත්මකව ම ඉටු කර ඇත.

prasanna 00

ප්‍රසන්න ගුණවර්ධන

කලාකරුවා හෝ කලාකාරිය යනු සංවේදී පුද්ගලයෙකි යන්න (පෞද්ගලික තලයේ එසේ නොවුන ද) සමාජයේ පවතින මතයකි; ආකල්පයකි. ඒ අතුරෙන් ද කවියා හෝ කිවිඳිය සුවිශේෂී ය. එමෙන් ම ඕනෑ ම කලාකරුවකුට හෝ කලාකාරියකට පුද්ගලිකව දේශපාලන මතයක් දැරීමේ හිමිකම පැවතිය ද ඔවුන් නිරන්තරයෙන් ම සිටගත යුත්තේ ජනතාවගේ පාර්ශ්වයේ ය; ජනතා සුබ සිද්ධිය සලසන පාර්ශ්වයේ ය. නමුදු පසුගිය වකවානුවේ මතු නොව වර්තමානයේ ද එම ආකල්පය සුන්නද්දුලි කරමින් කලා ලෝකයේ බහුතරයක් දෙනා හුදු පුද්ගලික වරදාන, වරප්‍රසාද තකා ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා නොව දේශපාළුවන්ගේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරන දේශපාලන පාර්ශ්ව වෙත සිය ගැතිභාවය පුදා ඇත. ඒ අතර එසේ නොවන කලාකාර ප්‍රජාවක් ද නැතුවා නොවේ. එවන් කලාකාර ප්‍රජාවගේ අවධානය යොමු කළ යුතු නිර්මාණයක් ලෙස ‘‘පමා වී වැටෙන වැහි’’ කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත ‘‘අඬගසමි සරු මිනිසුන්ට’’ නමැති නිර්මාණය හැඳින්විය හැකි ය.

විඩාපත් මහපොළොව
ඉරි තැළී භේද භින්නව
තැන නොතැන වැවී කටු පඳුරු

වලාවක්ව වැසි වැස
ළතෙත් උල්පත් පණ පුබුදුවා
නිවා දැමිය යුතු
අළු යට ලූ ගිනි පුපුරු

අඩගසමි සරු මිනිසුන්ට
දෑත් දිගු කොට
නෙතු කෙවෙනි මත දිලෙන
දයාව ආදරය ගෙන එන්න

පුරන් වූ මිහිමත පුබුදන්න දලු මල්
නෙළා දෝතට ගන්න අස්වැන්න
නෙක කුරුලු රෑන් අවුදින්
අහුලන් යාවි රන් කරල්


මෙම නිර්මාණය රස විඳ අවසන් වනවාත් සමග ම මගේ මතකයට නැගුණේ: මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කළ, සුනිල් දයානන්ද කෝනාර සංගීතවත් කළ, විශාරද නන්දා මාලනී ගයන ‘‘වහින්නට හැකිනම් ගිගුම් දී’’ නමැති ගීතය යි. එම ගීතයේ අරුත ගත් කල, එහි අන්තර්ගතය සුබවාදි ප්‍රාර්ථනයකි. එනම් සියලු මිනිසුන්ගේ යහපත ප්‍රාර්ථනා කරනා බවෙකි. එමෙන් ම ‘‘අඬගසමි සරු මිනිසුන්ට’’ නිර්මාණයේ ද අන්තර්ගත වන්නේ සුබ ප්‍රාර්ථනයකි; යහපත් සමාජයක් වෙනුවෙන් සමාජයට කෙරෙන ආරාධනයකි; ආයාචනයකි. අනෙක මෙහි විශේෂත්වය වන්නේ කවියා මෙහි දී ආරාධනා කරන්නේ සරු මිනිසුන් වෙත වීම ය. එය යථාර්ථයකි. නිසරු මිනිසුන් හට කෙතරම් ආරාධනා කළ ද ඔවුන් සරු බිමක් වෙනුවෙන් කටයුතු නොකරන බව මේ කොදෙව්වේ වෙසෙන ඇතැම් ජනකොටස් පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මැනවින් අවබෝධ වේ.

රට මෙතරම් අගාධයට ඇද දැමූ, රටේ ජනතාවට මෙතරම් ව්‍යසනයක් උදා කර දුන්, අවස්ථාවාදී, බල ලෝභී, මහලු දේශපාළුවන් තව දුරටත් වන්දනා මාන කරන්නේ එබදු නිසරු මිනිසුන් ය. ඉදින් ඔවුන් තම වහල් භාවය ද, ගැති භාවය ද ප්‍රදර්ශනය කරමින් සඳුන් අරටු දුර්ගන්ධ බවත් යට කී දේශපාළුවන්ගේ අසුචි වුව ද සුගන්ධවත් බවත් පිළිගන්නා තත්ත්වයක පසුවේ. ඉදින් අපි ආරාධනය කළ යුත්තේ ම සරු මිනිසුන්ට පමණි. ඉක්බිති හැකි නම් පමණක් නිසරු මිනිසුන්ට යථා තත්ත්වය අවබෝධ කළ හැකි දැයි යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත. ඉදින් කලාකාර ප්‍රජාවගේ යුතුකමක් නොව වගකීමක් ද වන්නේ එබඳු සරු මිනිසුන් ඒකරාශි කර මේ භූමිය සරු බිමක් බවට පත්කිරීම ය. වර්තමානය යනු, එම කටයුත්ත උදෙසා ‘‘අඬගසමි සරු මිනිසුන්ට’’ බඳු නිර්මාණ අත්‍යවශ්‍ය යුගයකි.

මෙම ලියවිල්ල අවසන් කිරීමට පෙර සියලු සාහිත්‍ය කලා නිර්මාණකරණයේ යෙදෙන ප්‍රජාව වෙනුවෙන් යමක් පැහැදිලි කළ යුතු ය. ඒ, සිංහල වදනරුත් පිළිබඳ නිවැරැදි අවබෝධයකින් නිර්මාණකරණයේ යෙදිය යුතු ය යන්න ය. ඒ මන්ද යන්න මෙම කාව්‍ය සංග්‍රහයේ ම එන නිර්මාණයක කොටසක් උදාහරණයක් ලෙස ඉදිරිපත් කළ හැකි ය.

මෙම නිර්මාණ සංග්‍රහයේ අන්තර්ගත ‘‘අහසෙ ඒකයි සැර කුණාටු’’ යන මැයෙන් වූ නිර්මාණයේ එන පද දෙකක් මෙසේ ය.

‘‘විසල් මේ මහ පොළොවේ
ගැහැනු මිනිස්සු අපි’’

මෙහි සඳහන් ‘‘ගැහැනු මිනිස්සු’’ යන දෙවදන භාවිත කරන බොහෝ සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ නියැළි පුද්ගලයෝ නොදන්නා කරුණක් පවතී. එනම් ලොව වෙසන මිනිසුන් ‘‘ගැහැනු - පිරිමි’’ ලෙස හැඳින්වුව ද ‘‘ගැහැනු - මිනිස්සු’’ ලෙස හැඳින්විය නොහැකි බවයි. මන්ද ‘‘මිනිස්සු හෙවත් මිනිසා’’ යනු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් භාවිත කරන පොදු වදනකි. ලොව වෙසෙන්නේ ‘‘ගැහැනු’’ සහ ‘‘මිනිස්සු’’ නොව ‘‘ගැහැනු’’ සහ ‘‘පිරිමි’’ ය. එසේත් නොවේ නම් ‘‘ස්ත්‍රී’’ සහ ‘‘පුරුෂ’’ ය. නමුදු සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ මතු නොව වෙනත් බොහෝ අවස්ථාවල ද මෙය වැරැදි ආකාරයෙන් භාවිත කරනු අනන්තවත් අසා ඇත; දැක ඇත. එය නිවැරැදි නොවන බව මෙතැන් සිට හෝ අවබෝධ කරගන්නේ නම් මැනවි.

යට විමංසනයට ලක් කළ නිර්මාණ ත්‍රිත්වය හැරුණු විට: ‘‘රුවල් හැරවෙන ගොඩබිම්’’, ‘‘යදී මිහි මත’’, ‘‘දියවර’’, ‘‘කඩදාසි ඔරු’’, ‘‘රස්තියාදුකාර වලාකුළු’’, ‘‘ඇඬෙනවා තනි ඇහැට’’, ‘‘දිවියක අඳුරු සළු’’, ‘‘උඩු හිතට රහසේ’’, ‘‘වරපට’’, ‘‘චන්දරේගේ චක්කරේ’’, ‘‘දවා අළුකළ යුතු මෙපුර’’ සහ ‘‘ඉර සේවය’’ යන නිර්මාණ කිහිපය ද මගේ වින්දන කලාපය ආලෝකමත් කළ නිර්මාණ බව සඳහන් කළ යුතු ය.

සැ.යු. - උපුටාගත් සියලු නිර්මාණවල පද බෙදීම් සහ අක්ෂර වින්‍යාස කෘතියේ අන්තර්ගත පරිදි ම ය.

අපලෝකන 14: දැන් මගේ හීනෙ කොටුව ඇතුළෙ ඇවිදින එක - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2024/01/09


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්