කොළඹ යුගයේ සඳැස් කවියේ සිට මේ දක්වා දිවෙන නිසඳැස් කවිය දක්වා වූ බෙහෝ කවි ‘‘සිද්ධිවාචක කවි’’ යැයි හැඳින්වීමට හැකි ය.
නමුදු එම සිද්ධිවාචක කවි තුළ වුව ද කිසියම් යටි පෙළ අරුතක් සහිත කවි ද තිබිණ. එය එසේ නොවේ යැයි කිසිවකුට පැවසිය නොහැකි ය.

මේ සඳහා කදිම උදාහරණයක් ලෙස විමලරත්න කුමාරගම විසින් රචිත ‘කකුල’ නමැති කාව්‍ය ගෙන හැර දැක්විය හැකි ය.

මගෙ කකුල රන්හාමි අතට මම දුන්                     නිසා
දැන් හොඳයි ඒ කකුලෙ නොන්ඩිය ද ඇති           නිසා
මා ලෙඩෙකු කළ කකුල සිහි කරමි හිස                කසා
රන්හාමි නොහිටින්ට මා ලෙඩෙකි මා                 නිසා


විමලරත්න කුමාරගමගේ එකතු කළ කවි: සංස්කරණය සුසිල් සිරිවර්ධන, එස් විජේසූරිය: 1987: පිටුව 293

මෙම නිර්මාණය සිද්ධි වාචකයකි; එමෙන් ම මෙය සඳැස් කවකි. එහෙත් ‍මෙ’කවෙහි වුව කාව්‍යෝක්ති අතරෙහි එන ව්‍යංගාර්ථය අන්තර්ගත ය. එකී ව්‍යංගාර්ථය පළමු පදයෙහි ම අන්තර්ගත ය. ‘‘මගෙ කකුල රන්හාමි අතට මම දුන් නිසා’’ යැයි කවියා පවන්නේ ඔහුගේ කකුල ගලවා රන්හාමි නමැති පුද්ගලයාට දුන් බවක් නොවේ; කවියා පවසන්නේ කිසියම් අනතුරකට මුහුණ පෑම හේතුවෙන් ආබාධයකට ලක් වූ කකුල රන්හාමි නමැති පුද්ගලයා (ඇතැම් විට ඔහු නිල නොලත් වෙදමහතකු විය හැකි ය. භාවිත භාෂාවෙන් පවසන්නේ නම් ‘ගොඩ වෙදෙකු’විය හැකි ය) හට පෙන්වූ පසු ඔහු කළ ප්‍රතිකාර හේතුවෙන් කකුල සුව වු බවයි.
 
විමලරත්න කුමාරගමගේ
 
කොළඹ යුගයේ කවි අතර මෙබඳු යටි පෙළ සහිත සඳැස් කවි විශාල ප්‍රමාණයක් පවතී. එමෙන් ම හුදු සිද්ධි වාචකයකට පමණක් ම සීමා වූ කවි ද බොහෝ ප්‍රමාණයක් පවතී. කුමාරගමගේ විසින් ම රචිත බොහෝ කාව්‍ය නිර්මාණ ඒ සඳහා අවැසි පමණටත් වඩා උදාහරණ සපයනු ඇත.
 
ඒ පිළිබද අධ්‍යයනය කරන පාඨකයකු හෝ පාඨකාවක සිටිත් නම් කුමාරගම කවියා විසින් ම රචිත: ‘නොකී ආයාචනය’, ‘ආදාහනය’, ‘පිය තනතුරේ කිරුළෙන්’, ‘හපුමලී’ සහ ‘මුනිඳුන් පුදන්නට මල්’ යනාදි නිර්මාණ කියවා බලන්න.

කොළඹ යුගයෙන් නිසඳැසට

ජී. බී. සේනානායක
 
paliganeemaකොළඹ කවිය උත්කර්ෂයට නැංවී තිබූ වකවානුවේ එම උත්කර්ෂවත් භාවය උඩු යටිකුරු කළේ ජී. බී. සේනානායක සාහිත්‍යවේදියා ය. ඒ, ඔහු විසින් රචිත ‘පළිගැනීම’ නමැති කෙටි කතා සංග්‍රයේ කෙටිකතා නවයක් අතරට නිසඳැස් (ඔහු මෙය හැඳින් වූයේ නිදහස් කවි යන මැයෙනි.) කාව්‍ය නිර්මාණ අටක් ද අන්තර්ගත කරමිනි.
 
ඔහු සිය නිර්මාණ සංග්‍රහයේ පටුන තුළ හෝ ‘කෙටිකතා’ සහ ‘නිසදැස්’ලෙස එම නිර්මාණ වෙන් කර හඳුන්වා නොදෙන්නට තරම් සුක්ෂම විය. නමුදු කෙටිකතා නිර්මාණ නවය අතර එකක් හැර එකක් නිසඳැස් නිර්මාණ අටක් අන්තර්ගත කිරීම තුළ ඔහු යත්න දරා තිබෙන්නේ ඉතා සුක්ෂ්ම ආකාරයෙන් පාඨක ප්‍රජාව තමාගේ නිර්මාණ කෙරෙහි රඳවා තබාගැනීම ය; කෙටි කතාව ද නිසඳැස ද යන ප්‍රවර්ග දෙක ම මග හැර යා නොහැකි ලෙස පාඨක ප්‍රජාව තම නිර්මාණ සංග්‍රහය තුළ රඳවා ගැනීම ය.
 
ඔහුගේ නිසදැස් නිර්මාණ තුළ වුව ද කාව්‍යෝක්ති බහුල නිර්මාණ මෙන් ම සිද්ධිවාචකයක් ලෙස පමණක් කියවා රසවිදිය හැකි නිර්මාණ ද අන්තර්ගත විය. උදාහරණයක් ලෙස ගත හොත් ‘රුව දැකීම’ නමැති නිර්මාණයේ යටි පෙළින් කියැවෙන ගැඹුරු අරුතක් පවතී; ඒ ගැඹුරු අරුත අනෙක් නිර්මාණ කිහිපය තුළ ඒ ආකාරයෙන් ම නොපවතී.

ජී. බී. පැමිණීමෙන් ඉක්බිති
 
siriමහාචාර්ය සිරි ගුනසිංහ
Abinikmanaජී. බී. සේනානායකගෙන් ඉක්බිති නිසඳැස් කාව්‍යකරණයට එළඹෙන්නේ මහාචාර්ය සිරි ගුනසිංහ ය. ඔහු ද සිය නිර්මාණ තුළ සිද්ධිවාචක කවියට නගා ඇත. නමුදු එම සිද්ධිවාචක නිර්මාණ බොහොමයක ගැඹුරු අරුත් සපයන යටිපෙළක් සැඟව පවතී. ඒ සඳහා එක් උදාහරණයක් ලෙස ඔහු විසින් රචිත ‘රතු කැකුල’ කෘතියේ අන්තර්ගත ‘මහ ගස’ නමැති නිර්මාණය කියවන්න. එහි ද අන්තර්ගත වන්නේ සිද්ධිවාචකයකි. නමුදු එකී සිද්ධිවාචක කාව්‍ය නිර්මාණය තුළ ඉතා ගැඹුරු: සමාජ, දේශපාලන සහ මානුෂිය අරුතක් සැඟව පවතී. එමෙන් ම ඔහු විසින් රචිත ‘අබිනික්මන’ කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත ‘දිවා භෝජනය’ නමැති කාව්‍ය කියවා බලන්න. එය ද සිද්ධිවාචකයකි. එකී සිද්ධිවාචක කාව්‍ය නිර්මාණය යට සඳහන් කළ ‘මහ ගස’ නමැති සිද්ධිවාචක නිර්මාණය තරමට ම යටි පෙළ අරුතක් නොසපය යි.
 
මා මෙතෙක් උත්සාහ කළේ සඳැස් ආරෙන් ලියුව ද, නිසඳැස් ආරෙන් ලියුව ද, සිද්ධිවාචකයක් ලෙස ලියුව ද, කිසියම් කාව්‍ය නිර්මාණයක් ‘අරුත් බර කාව්‍යයක්’ ලෙස ගිණිය හැකි වන්නේ කවියේ ප්‍රභේදය අනුව නොව කවියේ අන්තර්ගතය සහ එය ඔප් නංවා ඇති කාව්‍යෝක්තිවල බරසාරත්වය අනුවය යන්න ය.
 
නිසඳැස සිද්ධිවාචකයට පමණක් ලඝුව...

මගේ මතකය නිවැරැදි නම් සිද්ධිවාචක කාව්‍ය හුදෙක් සිද්ධිවාචක කාව්‍ය පමණක් ම ලෙස සමාජ ගත වන්නේ 2000 වසරේ පළමු දශකයේ දී පමණ ය. එම කාව්‍ය නිර්මාණ බොහොමයක් නිසඳැස් ආරට රචනා වුව ද එහි අන්තර්ගතය බොහෝ දුරට කොළඹ යුගයේ කවිවල පැවති සිද්ධිවාචකත්වය අභිභවන්නට සමත් නොවිණ. එම ප්‍රවණතාව එතැන් සිට මේ දක්වා වර්ධනය වෙමින් පැවති අතර වර්තමානයේ වුව ද හුදු අමු වදන් පමණක් භාවිත කර රචනා කළ ඇතැම් නිර්මාණ ඉමහත් ලෙස ජනප්‍රියත්වයට පත්ව තිබේ. නමුදු ඒ සියල්ල ‘කවි’ ලෙස නම් කළ හැකි ද යන්න ගැටලුවකි.

කාව්‍ය නිර්මාණයක් උදෙසා අමු වදන් භාවිත නොකළ යුතු යැයි මෙයින් අදහස් නොකෙරේ. නමුදු කවියක් යනු හුදෙක් වාර්තාකරණයක් නොවේ.
 
වර්තමානයේ කියවන්නට ලැබෙන බහුතරයක් කවි එබඳු වාර්තාකරණ ස්වරුපයක් උසුලයි. විශේෂයෙන් ම අතැම් සමාජ ඛේදවාචක පිළිබිඹු කරන නිර්මාණ මේ අතර බහුල ය. එබදු නිර්මාණ ‘උසස් කවි’ ලෙස සමාජ ගත කරන්නට බොහෝ ප්‍රවීණ යැයි විරුදාවලි ලද කවියෝ ද, කිවිඳියෝ ද යත්න දරමින් සිටිති. කාව්‍ය රසවින්දන වැඩසටහන්වල පවා මෙවන් කවි පිළිබඳ අතිශයෝක්තියෙන් වර්ණනා කෙරේ. මෙය කවියේ ප්‍රගමනයට එල්ල වන බලවත් ප්‍රහාරයක් යන්න මගේ පුද්ගලික අදහස ය. එය වළක්වාලීමේ වගකීම පැවරෙන්නේ ද ප්‍රවීණ යැයි විරුදාවලි ලද කවියන් සහ කිවිඳියන් වෙත ම ය. නමුදු වර්තමානයේ පවතින තත්ත්වය අනුව ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ද මේ අවනඩුව’ යන ආප්තෝපදේශය සිහිපත් කරනවා හැර අන් යමක් කළ හැකි තත්ත්වයක් නොපවතින බව පවසන්නේ දැඩි කනගාටුවකිනි.
 
ඉඩෝරයට පසු වට වැස්ස
 
ධූමලාවණ්‍යාගාරය : මායාමය හැඟීමක කියවන්නා පටලවන බන්දුජීව කවි - (කාංචනා  අමිලානි)රුවන් බන්ධුජීව
මෙවන් වාතාවරණයක් තුළ යට ඉදිරිපත් කළ ඛේදවාචී තත්ත්වය අභිභවන්නට සමත් කාව්‍ය සංග්‍රහයක් කියවීමට, රස විඳීමට ලැබීම යනු ඉඩෝරයකට පසු වට වැස්සක් බඳු ය. එබඳු කාව්‍ය සංග්‍රහයක් පසු ගිය දිනෙක රස විඳින්නට ලැබිණ. ඒ, රුවන් බන්ධුජීව විසින් රචිත දෙවන කාව්‍ය සංග්‍රහය වන ‘‘ධූමලාවණ්‍යාගාරය’’ නමැති කාව්‍ය සංග්‍රහය යි.

miivithaහෙතෙම ‘‘ධූමලාවණ්‍යාගාරය’’ කෘතිය ප්‍රකාශයට පත්කරන්නේ ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහය වන ‘‘මීළග මී විත’’ නිකුත් වී දස වසරක ඇවෑමෙනි.
 
එම කෘතියේ ද බොහෝ කාව්‍ය නිර්මාණ සිද්ධිවාචක කාව්‍යය යන්න මගේ පුද්ගලික කියැවීම ය. නමුදු එම සිද්ධිවාචක වුව ද කවියා පාඨක ප්‍රජාව හමුවට රැගෙන එන්නේ වෙනස් මානයකිනි. එනම් හුදු සිද්ධිවාචක ලෙස පමණක් ම නොවේ. ඒ සියලු නිර්මාණ තුළ ගැඹුරු යටි පෙළ කියවීමක් අන්තර්ගතව තිබිණ.
 
bookම’විසින් සම්පාදිත පළමු කාව්‍ය විචාර සංග්‍රහය වූ ‘‘මකරන්ද කාව්‍ය විමංසා’’ කෘතියට ඔහුගේ ‘වියළි නැලවිලි’ (මෙය ඔහුගේ නිර්මාණයක් පිළිබඳ ලියැවුණ පළමු විමංසනය යැයි මට සිතේ) නිර්මාණය ද අන්තර්ගත කෙරෙන්නේ එබැවිනි. එම නිර්මාණය පළමුව අන්තර්ගත වන්නේ තිඹිරියාගම බණ්ඩාර විසින් සංස්කරණය කරන ලද ‘‘මකරන්ද කව් සරණිය තෙවන වෙළුම’’ කෘතියෙහි ය. ම’විසින් සම්පාදිත ‘‘මකරන්ද කාව්‍ය විමංසා’’ කෘතියට අන්තර්ගත කෙරෙන්නේ ද ‘‘මකරන්ද කව් සරණිය තෙවන වෙළුම’’ කෘතියෙහි අන්තර්ගත කවි අතුරෙන් මගේ සිත් ගත් කාව්‍ය නිර්මාණ තිස් එකකි. ඒ අතරට රුවන් බන්දුජීවගේ ‘වියළි නැලවිලි’ නිර්මාණය තොරා ගන්නේ එහි පැවති සිද්ධිවාචී භාවය නිසා ම පමණකත් නොවේ; එහි අන්තර්ගත සමාජ, දේශපාලන, ආර්ථික සහ මානුෂීය පාර්ශ්ව හේතුවෙනි.

ගද්‍ය පද්‍ය සංකලනය

රුවන් බන්ධුජීව මෙවර වුව ද තම නිර්මාණ සඳහා ප්‍රස්තුථ කරගන්නේ සමාජ, ආර්ථිතික, දේශපාලන, ආගමික සහ මානුෂික සිද්ධිවාචක ය. නමුදු ඔහු මෙවර ඒ සියල්ල පාඨකයා හමුවට ගෙන එන්නේ ‘‘මීළග මී විත’’ නිර්මාණ සංග්‍රහයට වඩා සපුරා ම වෙනස් ආඛ්‍යාන රටාවකිනි; එය හුදෙක් කවියට පමණක් සීමා නොකරන්නට ද හෙතෙම වග බලාගනී. ඒ, කෘතිය ආරම්භයේ දී ම ඉදිරිපත් කරන සංදීපනය හෙවත් දැල්වීමේ දී ගද්‍ය ආකෘතියෙන් කිසියම් සිද්ධි දාමයක් පාඨක ප්‍රජාව හමුවේ නිරාවරණය කිරීමෙනි.
 
මෙකී දැල්වීම යනු කෘතියේ අන්තර්ගත නිර්මාණ පැහැදිලිව සොයාගත හැකි ආලෝක පුංජයකි; කියවා ගත හැකි කෙසි සිදුරකි; යතුරු කපොල්ලකි. ගද්‍ය ප්‍රබන්ධය අවසන් කරන කවියා පද්‍ය ප්‍රබන්ධකරණයට ප්‍රවිශ්ට වී මඳ දුරක් ගමන් කර යළි ගද්‍යකරණයට එළැඹෙන්නේ නිර්මාණ සංග්‍රහයේ ඉතිරි අඩ වඩාත් නිරවුල් ලෙස කියවාගන්නට පාඨක ප්‍රජාවට ඉඩ හසර විවර කරමිනි. මෙය එක් පසෙකින් නව්‍ය අත්හදා බැලීමකි. කවියාගේ එකී අත්හදා බැලීම පාඨක ප්‍රජාවට ද නව්‍ය අත්දැකීමකි; වෙසෙස් අත්දැකීමකි. නිර්මාණ සංග්‍රහය තුළින් මඳ දුරක් ඇවිද පැමිණි පාඨක ප්‍රජාවට කිසියම් වෙහෙසක් දැනුනේ නම් එකී වෙහෙස නිවාගන්නට අතර මග ඉදි කළ ගිමන්හලක් වැනි ය. එකී ගිමන් හරෙලහි මඳක් නතරව වෙහෙස නිවාගැනීමෙන් ඉක්බිති යළි නිර්මාණය තුළින් ගමන් කළ හැකි ය.
 
අඳුරේ අතපත ගෑම හමාර ය...
 


පාඨක ප්‍රජාව ‘‘ධූමලාවණ්‍යාගාරය’’ කෘතියට කුමනාකාරයෙන් ප්‍රවේශ වුව ද, කුමනාකාරයෙන් එතුළ ගමන් කළ ද එහි රස විඳීම ‘‘මීළග මී විත’’ කෘතිය රස විඳි තරම් පහසු නොවේ. ඒ අන් කිසිවක් නිසා නොව මෙවර කවියා සිය නිර්මාණ සමුච්චය ඉදිරිපත් කරන්නේ අතිශය සංකිර්ණ කාව්‍යෝක්ති උපස්තම්භක කරගෙන බැවිනි. පුහුණු කාව්‍ය පාඨක ප්‍රජාවකට මෙය එතරම් අපහසු නොවීමට පිළිවන. නමුදු මා ලිපිය ආරම්භයේ දී පැවසූ පරිදි සුපුරුදු සිද්ධිවාචක රස විඳ, ඒ කෙරෙහි ම ලොල්ව, එබඳු රසය ම සොයන පාඨක ප්‍රජාවට නම් මෙය තරමක් සංකීර්ණ වන්නට පිළිවන. මගේ අදහස නම් එය එසේ විය යුතු ම ය; කවියෝ ද, කිවිඳියෝ ද එය එසේ කළ යුතු ම ය. සිංහල කාව්‍ය ක්ෂේත්‍රය නව්‍යකරණයෙන් පරිපුර්ණ කළ හැකිවන්නේ එවිට ය. එසේ නොවන්නට හුදෙක් සරල සුගම අමු වදන්වලින් සුසැදි කවි පමණක් ම රස විඳිමින් ‘කවි’ නම් මෙයැයි උදම් අනමින් සිටිනවාට වඩා යමක් සිදු නොවනු ඇත.

මෙතෙක් අඳුරේ අත පත ගාමින් සිද්ධිවාචක රසවිඳි පාඨක ප්‍රජාවට, සිද්ධිවාදකයක් වුව ද ඉතා මනරම් ආකාරයෙන්, උපරිම කාව්‍යෝක්ති භාවිත කරමින් ඉදිරිපත් කළ හැකි ය යන්න මෙවර රුවන් බන්දුජීව කවියා ස්ඵුට කර ඇත. ඒ ප්‍රයත්නය වෙනුවෙන් කාව්‍ය පාඨකයකු ලෙස මම ඔබට දිරි දෙන්නෙමි.

දෙවියන්ට ද නොපෙනෙන 'දෙවියන්ගේ මිනිස්සු' - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024/02/04   

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්